UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දන්නා දෙයින් නොදන්නා දෙයට යන දාර්ශනික න්‍යාය

කර්මය විපාක දීම ගැන බුදු දහමේ ඉගැන්වූ කරුණු ආචාර විද්‍යාත්මකව උසස්ම තත්ත්වයක පවතින බව පෙන්වා දීමට සාධක ඇත. අංගුත්තර නිකායේ ලෝණාඵල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කරපු හැම කර්මයකටම විපාක දෙයි නම් බ්‍රහ්මචරියාවේ ථලක් නොවන බවයි. ආනන්තරිය පාපකර්මය හැර එපමණ බලවත් නොවූ වේදනීය කර්මවල විපාක කුසල් ඉපදවීමෙන් හා භාවනාවෙන් වළකා ගත හැකි බව වදාරා ඇත.


මෙම සූත්‍රය මගින් සාකච්ඡා කරන්නේ පායාසිරාජඤ්ඤ රජතුමා පරලොවක් නැතැයි ප්‍රකාශ කිරීම හා කුමාර කාශ්‍යප හිමි පරලොවක් ඇතැයි ප්‍රකාශ කිරීමයි. මුලින්ම රජතුමා ප්‍රකාශ කරන අදහස නම් “ නත්ථි පරලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකට දුක්කටානං කම්මානං ඵලං විපාකෝ “. (පායාසි රාජඤ්ඤ සූත්‍රය)

(පරලොවක් නැත, ඕපපාතික සත්වයෝ නැත, හොඳ හෝ නරක ඵල විපාක නැත) මේ ආදි අදහසක් රජතුමා දරන විට කුමාර කාශ්‍යප හිමි රජතුමාට ඒවා ඇති බව පවසයි. රජතුමාට එම කරුණු ඇති බව පැහැදිලි කිරීම සඳහා තර්ක ක්‍රමයක් උපයෝගී කර ගනී. එයට හේතුව රජතුමාද කුමාර කාශ්‍යප හිමිගේ තර්ක බිඳීමට සූදානම් වීමයි.

කුමාර කාශ්‍යප හිමි පරලොවක් ඇත. ඕපපාතික සත්වයන් ඇත. හොඳ හෝ නරකවල ඵල විපාක ඇත. යනුවෙන් ඒවා තිබෙන බවට තර්ක ඉදිරිපත් කරයි. රජතුමාගේ අදහස් ඛන්ඩනය කිරීම සඳහා මෙතැනදී තර්කය භාවිතා කරන්නට ඇත්තේය යන්න අපට නිගමනය කළ හැකිය. රජතුමාගේ රාජ සභාවේ පාලනයම උදාහරණයට ගෙන, බාහිරවද උපමා ගෙන කුමාර කාශ්‍යප හිමි රජුගේ මතය වැරැදි බවත් , සත්‍යය මතය මෙයයි පෙන්වා ඇත.

කුමාර කාශ්‍යප හිමිගේ පළමු පැනයෙන්ම රජතුමා විසින් ම පරලොව ඇති බව පිළිගෙන ඇත. ඒ බව අපට පහත නිදසුනෙන් පැහැදිලි වේ.

කුමාර කාශ්‍යප හිමි :- මේ සඳු දෙව් පුත්ද, හිරු දෙව් පුත්ද යන දෙදෙනා මෙලොව වෙත්ද? පරලොව වෙත්ද? ඔහු දෙවියෝද ? මිනිස්සුද?

පායාසි රාජඤ්ඤ රජු - මේ දෙදෙනා පරලොව්හි වෙත්. මිනිස් ලොව නොවෙත්, දෙවියෝය, මිනිස්සු නොවෙති.

ඉහත සංවාදයේදි රජු පරලොවක් ඇති බව පිළිගෙන ඇත. රජුගේ පූර්වදෘෂ්ටිය අතහැර යාමට නොහැකිව එතුමා තර්ක කරන බවයි. පසුව සඳහන් වන කරුණු වලින් පැහැදිලි වන්නේ. ඔහු මේ මතයේ තරව එල්ලී සිටින බව බොහෝ පිරිසක් දනිති. එම නිසා ඔහුගේ මතය සනාථ කර ගන්න ඔහු දිගින් දිගටම පැන විසඳන බව දක්නට ලැබේ.

රජු :- දෙවෙනි පැනය ලෙස “ මිත්‍රයෝ ආබාධ වුණ විට, අසාධ්‍ය වුණ විට, මැරුණ විට ඇවිත් නැවත ඉපදුන තැන කියන්න කියූ විට නැවත නොඑන බව “ පැවසීය.

කුමාර කාශ්‍යප හිමි පවසන්නේ නිරය පල්ලන් ඔවුන්ට එන්න ඉඩ නොදෙන බවයි. රජුගේ වධකයන්ට අසුවුණ මෙන් නැවත එන්න, ගැළවෙන්න ඉඩ නොදෙන බවයි. එම නිසා කර්මය ගැන හෝ විපාක ගැන කියන්න නැවත ඇවිත් යන්න අවසර නොදන බව පැවසේ. එසේම දිව්‍ය ලෝකයට යන අයද මනුෂ්‍ය ලොව අය පිළිකුල් කරන බවද සඳහන් කරයි. ජාත්‍යන්ධ පුරුෂයකු පාට රූප නොදකින බැවින් ඒවා නැතැයි කිව නොහැකි බවද කුමාර කාශ්‍යප හිමියෝ ප්‍රකාශ කරති. පුනර්භවය ආදිය මසැසට නො පෙනෙන බව රජතුමාට පැහැදිලි කරයි. මේ අයුරින් දීර්ඝ සාකච්ඡාවක් පායාසිරාජඤ්ඤ රජතුමා සහ කුමාර කාශ්‍යප හාමුදුරුවන් අතර සිදුවේ. මෙවැනි තර්ක කිරීම් ප්‍රශ්න කිරීම් අවසානයේ රජතුමා පවසන්නේ පළමු උපමාවෙන්ම තමන්ගේ පැණයට පිළිතුරු ලැබුණු බවත් නමුත් කුමාර කාශ්‍යප හිමිගේ දක්‍ෂතාව ගැන පැහැදී සාකච්ඡා කරන්න සතුටු වී ප්‍රශ්න විචාරීමෙන් තව දුරටත් කරුණු අවබෝධ කරගත් බවයි.

එකල භාරත සමාජයේ තිබුණු මතවාද අතර මුල්තැනක් ගෙන තිබූ කරුණුම මේ රජතුමාට ද ප්‍රශ්න වූ නමුත් කුමාර කාශ්‍යප හිමියෝ ඉතා දක්‍ෂ අන්දමින් ඒවා විසඳූහ. ප්‍රධාන වශයෙන්ම රජතුමාට ඇතිවූ ප්‍රශ්නයට පිළිතුරු දෙන අතර කර්මය හා පුනර්භවය පිළිබඳවද කරුණු රාශියක් සාකච්ඡා වන බව දක්නට ලැබේ. මේ සාකච්ඡා කිරීම් පොදුවේ බලන විට මුල් බුදු සමයේදී සඳහන් වන වැදගත් කරුණු ලෙස සැලකිය හැක.

මහා කම්ම විභංග සූත්‍රයට අනුවද, චුල්ලකම්ම විභංග සූත්‍රයට අනුවද සත්වයින්ගේ උත්පත්තියට ද කර්මයන් එක හේතුවක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. කර්මවාදයම පුනර්භවයටද බලපාන අයුරු සූත්‍රවලින් පැහැදිලි කර ඇත. “ චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කායේන කම්මං කරෝති, වාචාය කම්මං කරෝති, මනසාය කම්මං කරෝති “ යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. එහි දීද චේතනාවට මුල්තැන දී ඇති බව පැහැදිලිය. බෞද්ධ දර්ශනයේ ඉතාම අගය කළ හැකි එක් ධර්මයක් ලෙසද මේ පාඨය සඳහන් කළ හැකිය. යම් ක්‍රියාවක් කුශල හෝ අකුශල කර්මයක් වන්න චේතනාව මුල්විය යුතු බව බුදු දහම අවධාරණය කර ඇති බව මෙම කරුණින් අපට පැහැදිලි වේ. කර්මය පිළිබඳව සඳහන් කරන තැන දක්වා ඇත්තේ සසර දිග්ගස්සන පුනර්භවය ලබාදෙන සිත, කය, වචනය යන තිදොරින් සිදුකරන ක්‍රියාකාරි ශක්තියයි. මෙම ශක්තිය අකුශලින් පිරී ඇත්නම් ජීවිතය දුක් සහිත බව පෙන්වා ඇත. “ චක්කංච වහතෝ පදං “යනුවෙන් ධම්මපදයේ ඒ බව සඳහන් වේ. ඒ ශක්ති විශේෂය කුසලින් පිරී ඇත්නම් ජීවිතය සැපදායක බව “ ඡායාව අනපායිනී “ යනුවෙන් ධම්මපදයේ දක්වා ඇත.

කර්මය විපාක දීම ගැන බුදු දහමේ ඉගැන්වූ කරුණු ආචාර විද්‍යාත්මකව උසස්ම තත්ත්වයක පවතින බව පෙන්වා දීමට සාධක ඇත. අංගුත්තර නිකායේ ලෝණාඵල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කරපු හැම කර්මයකටම විපාක දෙයි නම් බ්‍රහ්මචරියාවේ ථලක් නොවන බවයි. ආනන්තරිය පාපකර්මය හැර එපමණ බලවත් නොවූ වේදනීය කර්මවල විපාක කුසල් ඉපදවීමෙන් හා භාවනාවෙන් වළකා ගත හැකි බව වදාරා ඇත. අංගුලිමාල කතා පුවතම නිදසුනට ගත හැක. එසේම මුගලන් හිමිගේ කථාවද අපට අමතක කළ නොහැකිය. හොඳ හා නරක වල තත්ත්වය අවබෝධ කරගන්න අපට ඉහත කරුණු වැදගත් වේ. නොමග ගිය කෙනෙකුට නිසි මගට පැමිණෙන්න යථාර්ථය බුදුදහමෙන් පෙන්වා දී ඇත. කුමාර කාශ්‍යප හිමියෝද තර්ක න්‍යායෙන් හෝ මේ අයුරින් පායාසිරාජඤ්ඤ රජතුමාට සිදුකර ඇත්තේද අනල්ප සේවයකි.

චුල්ලකම්ම විභංග සූත්‍රයට අනුව බලන විට සත්වයෝ කර්මය ස්වකීය කොට ඇති බවත්, දායාද කොට ඇති බවත්, එකම පිළිසරණ වන බවත් දක්වා ඇත. කර්මය පිළිබඳව දක්වා ඇති නිදසුන් වලින්ද පරලොවක් ඇති බව දැන ගත හැකිය. පුනර්භවයක් ඇත්තේද කර්මය නිසා බව බුදු දහමට අනුව පැහැදිලි කර ඇත. “ තණ්හා පච්චයෝ භවෝ , භව පච්චාය ජාති.” ආදි වශයෙන් පටිච්චසමුප්පාදයේ දක්වා ඇත්තේද පරලොවක් තිබෙන නිසා එම පරලොවට නොගොස් එයින් ගැලවෙන්නේ මුක්තිය ලබන්නේ කෙසේද? යනුයි.

ලක්ඛන සූත්‍රයේදී මහා පුරුෂ සංකල්පය, කර්මවාදය , පුනර්භවය , හේතුඵල ධර්මය යන මේවාට සම්බන්ධ කරමින් සමාජ ආචාර විද්‍යාවට එය සම්බන්ධ කොට දක්වා ඇත.මේ සිරුරේ ආයුෂ , උණුසුම, විතාණය යන ලක්‍ෂණ නැතිවේද යම් කලක එවිට පරලොව ගැන විශ්වාස කරන්න සිදුවන බව රජතුමාට පැහැදිලි කරයි. රජතුමාගේ වචන වලින් පවසන අයුරින් නම් රජතුමා පරලොව නැතය යන මතය දිගින් දිගටම ඉදිරිපත් කරන්නේ ද අහංකාරයෙනි. එයට හේතුව රජතුමා පවසන්නේ, “කොසොල් ආදි මහ රජවරුද පායාසිරාජඤ්ඤ පරලොවක් නැතය යන කරුණ කියයි. මේ ආදි වැකි වලින් අපට පැහැදිලි වන්නේ රජුගත් මතය අතරම අහංකාරයද බලපා ඇති බවයි.

පායාසිරාජඤ්ඤ රජතුමාට කුමාර කාශ්‍යප හිමි විසින් පරලොවක් ඇති බව සනාථ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද්දේ ලෞකික උපමා රාශියකි. රජතුමා ද ලෞකික පක්ෂයට බරවී තර්ක කරමින් ප්‍රශ්න ඉදිරිපත් කර ඇත. පරලොව ගැන සොයමින් අනවශ්‍ය ප්‍රශ්න දිගින් දිගටම අසා ඇත්තේ ද රජතුමාගේ පෘථග්ජන ගතියටයි. කුමාර කාශ්‍යප හිමි ඉතාම ශාන්තව එසේම සියුම් ලෙස රජතුමාට එකින් එක කරුණු තේරුම් ගැනීමේ පහසුව සඳහා උපමාද ඉදිරිපත් කරමින් රජුගේ සිතේ තිබුණු දුර්මත ඛණ්ඩනය කර ඇත්තේ ඉතාම දක්‍ෂ අයුරිනි. රජතුමාට ඉදිරිපත් කරන ලද සාධක ද ඉතාම යෝග්‍ය බව පැවසිය හැක. එයට හේතුව රජතුමා ජීවත්වන කාලයේම එතුමාගේ රාජ්‍යයේම උදාහරණ උපමාවලට යොදා ගෙන තිබීමයි. දන්නා දෙයින් නොදන්නා දෙයට යාමේ න්‍යාය කුමාර කාශ්‍යප හිමි රජතුමාට කරුණු අවබෝධකර දීමට යොදා ගෙන ඇත. කුමාර කාශ්‍යප හිමිගේ උත්සාහය සාර්ථක වූ බව රජතුමාට යහපතක් වීමෙන් පැහැදිලි වේ.

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදා අපරභාග 03.21 ට ලබයි.
02 වනදා බදාදා අපර භාග 12.59 දක්වා පෝය පවතී සිල්සමාදන්වීම දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදාය.

 මීළඟ පෝය දෙසැම්බර් 09 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]