UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 ‘සමාජය වරදින් මුදවන්න ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඕනෑ’

අපරාධවලට එරෙහි මානසිකත්වයක් ගොඩනැංවීම සඳහා මාධ්‍යයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය ය. එසේම සිදුවමින් පවතින අපරාධ උත්කර්ෂයට නංවා ප්‍රචාරය කිරීමේ ක්‍රියාවලිය ද නැවැත්විය යුතු ය. පවුල ශක්තිමත් කිරීමත්, පවුල තුළ ශ්‍රේෂ්ඨ දූ දරුවන් සහ මවුපියන් තැනීමත් සමාජයක අපරාධ අඩුවීම කෙරෙහි සුවිශේෂ බලපෑමක් සිදුකරන්නට පුළුවනි. ආධ්‍යාත්මික වශයෙන් දියුණු වූ මවක්, පියකු යටතේ හැදුණු වැඩුණු දරුවෙක් අපරාධකාරී ක්‍රියාවක නියැළෙන්නට තිබෙන අවකාශය ඉතා අල්ප බව, මෙහිදී අවබෝධ කරගත යුතු යි.


දුසිරිතට, වරදට, අපරාධයට තිබූ ලැජ්ජාව සහ බිය යන ලෝක පාලක ධර්ම, පසුගිය තිස් වසර තුළ අප රටේ සමාජය තුළද විශාල ලෙස බිඳ වැටුණු බව පෙනී යයි. යුද්ධය නිමාකිරීමේ සටනේ දී සමාජයක් ලෙස අපට ද ඊට යම් පෙළඹවීමක් ඇති කිරීමට සිදුවුණා. ත්‍රස්තවාදය සමාජය තුළින් මුලිනුපුටා දැමිය යුතු බවට යම් පෙළඹවීමක් මාධ්‍යය අනුසාරයෙන් සමාජගත කරන්නට අප හැමටම ඒ සමයේ දී සිදු වූ බව සත්‍යයක්. අපට එසේ කිරීමට සිදු වූයේ සමාජය තුළ ජීවත් වීම පිළිබඳ ඇති වී තිබූ බිය සැක වලින් ඒ සමාජය ගලවා ගැනීමේ සද් අරමුණකින් බවත් අප මෙහිදී කිසිලෙසකින් හෝ අමතක නො කළ යුතු ය.

නමුත් ඕනෑම රටක කළක් පැවැති යුද්ධයකින් පසුව යුද්ධය මගින් ඇති කරනු ලැබූ වැරැදි මනෝභාව, ඒ සමාජය තුළ යම්තරමකට හෝ නරක ප්‍රතිවිපාක ඇති කිරීම ස්වභාවිකයි. ජපානයේ දී වගේම යුරෝපා රටවලදීත් යුද්ධ කාල නිමාවට පත්වීමත් සමගම ඇති වූ සමාජ ප්‍රවණතා ගැන අපට මතක් කර ගන්නට පුළුවන්. මෙකී තත්ත්වය ලංකා සමාජය තුළ අද දවසේ අපට යම් දුරකට දැකගන්නට ලැබෙනවා. ස්ත්‍රී දූෂණ ප්‍රමාණය, මංකොල්ල කෑම් සහ සිවිල් සමාජයේ සිදුවන එකිනෙකා මරාදැමීම මෙන්ම සියදිවි නසා ගැනීම් ප්‍රමාණයත් දිගින් දිගටම වර්ධනය වෙමින් තිබෙන බව අපට අවබෝධ කරගන්නට පුළුවන්. පසුගිය කාල පරිච්ඡේදය තුළ අසන්නට ලැබුණු යම් යම් ප්‍රවෘත්ති කෙරෙහි ගැඹුරු අවධානය යොමු කරන විට මෙකී අපරාධ රැල්ල වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අතර විවිධ යෝජනා සමාජය තුළින් ඉදිරිපත් වන ආකාරයක් අපට දැකගන්නට පුළුවන්කම ලැබෙනවා. ඇතැම් දැවැන්ත අපරාධ සිදුකරනු ලැබූ අපරාධකාරයෙක් දුටු විගසම බොහෝ දෙනකුගේ මුවින් පිටවන වාක්‍යයක් වන්නේ අනිවාර්යයෙන්ම ඔහු ද මරා දැමිය යුතු බවයි. මෙවැනි බරපතල වාක්‍ය ඇතැම් සිද්ධිවලින් පසුව සමාජය තුළ සාමාන්‍ය වාක්‍ය බවට පත් වෙලා සමාජගත වන ආකාරය අපට දැකගන්නට පුළුවන්. ඒ එක තත්ත්වයක් අනෙක් අතින් තවත් පිරිසක් නීතිය බලවත් කළ යුතු බව නිරන්තරයෙන් අවධාරණය කරනවා.

නීතිය ශක්තිමත් කළහොත්, පොලිසිය වැනි නීතිය සුරකින ආයතනවල විනිවිද බව ඇති කළහොත් මේ තත්ත්වය මීට වඩා හොඳින් පාලනය කරගත හැකි බවයි, ඔවුන් විශ්වාස කරන්නේ, ඔවුන් අදහස් කරන්නේ. නමුත් තවත් පිරිසකගේ අදහස වන්නේ ආගමික නායකයන් ඇතුළු සිවිල් සමාජයෙහි මැදිහත්වීම මෙම අපරාධ වළක්වා ගැනීම සඳහා වැඩි වශයෙන් ලබාදිය යුතු බවයි. මම කල්පනා කරනවා අද සමාජයෙහි දැනට දක්නට ලැබෙන මෙකී අපරාධකාරී ක්‍රියා ඇතිවීම මුලින්ම පාලනය කර ගන්නට මාධ්‍යයෙහි ප්‍රමාණවත් මැදිහත්වීමක් අනිවාර්යයෙන් අවශ්‍ය බව. මන්ද කියනවා නම් විශාල පිරිසක් තුළ අපරාධවලට ප්‍රතිවිරුද්ධ ආකල්ප එක විට ගොඩනැඟීමට අපට තිබෙන හොඳම මාධ්‍යය වන්නේ රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය යි. මීට අමතරව මුද්‍රිත මාධ්‍ය ද මේ සඳහා විශාල ලෙස දායක කරගන්නට පුළුවන්කම තිබෙනවා. මෙකී මාධ්‍ය භාවිතා කරමින් සමාජය තුළ අපරාධ පිළිබඳ වැරැදි ක්‍රියා පිළිබඳ යම් පිළිකුල් සහගත ආකල්පයක් ඇති කරන්නට පුළුවන්කම ලැබුණොත්, අපරාධයක් කිරීම කෙනෙකුගේ මානසික රෝගී තත්ත්වයක් නිසා සිදු වන පහත් හැසිරීමක් බව මිනිසුන්ට ඒත්තු ගන්වන්නට අපට පුළුවන්කම ලැබුණොත්, එසේම, අපරාධ කිරීම දුර්වල මිනිසුන්ගේ ක්‍රියාවක් බව පෙන්වා දෙන්නට එමඟින් අපට ශක්තිය ලැබුණොත්, සමාජය තුළ අපරාධයක් කිරීමට ඇති මානසික පෙළඹවීම යම් දුරකට හෝ අඩුකරන්නට අවස්ථාවක් සැලසෙයි කියා මම විශ්වාස කරනවා.

එසේම සිදුවන අපරාධ, මාධ්‍ය මගින් ඡායාරූප හා වීඩියෝ දර්ශන ආදිය ඔස්සේ ප්‍රචාරය කිරීම නැවැත්වීමත් මෙකී තත්ත්වය පාලනය කිරීම උදෙසා ගත හැකි තවත් ප්‍රබල විකල්ප පිළිතුරක් ලෙසයි, අපි කල්පනා කරන්නේ.

මිනිසකු මරා දැමීම වැනි අපරාධ රූප මාධ්‍ය භාවිතා කරමින් සමාජයට නිතර දැක ගන්නට සැලැස්වීම, තවත් කෙනෙකුගේ සිත තුළ එවැනි කුරිරු ක්‍රියා සඳහා පවතින ලැජ්ජාව බිය නැතිකොට, ඒ ගැන පවතින අකැමැත්ත නැති කර දමනවා. එය එසේ සාමාන්‍යකරණයට ලක් වෙද්දී ලැජ්ජාවට සහ බිය දෙක මිනිස් සිත් තුළින් නැති වී යෑම ස්වාභාවික යි. සුළු සිද්ධියකදී වුවත් කෙනෙකු ඝාතනය කිරීමට හැකි මානසිකත්වයක් ගොඩනැඟීමට එසේ ඒ පිළිබඳ ඇතිවන සරල ආකල්පය හේතුවන්න පුළුවන්.

එබැවින්, අපරාධවලට එරෙහි මානසිකත්වයක් ගොඩනැංවීම සඳහා මාධ්‍යයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය ය. එසේම සිදුවමින් පවතින අපරාධ උත්කර්ෂයට නංවා ප්‍රචාරය කිරීමේ ක්‍රියාවලිය ද නැවැත්විය යුතු ය. මෙකී අපරාධ වළක්වා ගැනීමට තිබෙන ඉතාම හොඳ ක්‍රමවේදයක් ලෙස මෙහිදී එය යෝජනා කරන්නට කැමැති යි.

ඒවගේම පවුල ශක්තිමත් කිරීමත්, පවුල තුළ ශ්‍රේෂ්ඨ දූ දරුවන් සහ මවුපියන් තැනීමත් සමාජයක අපරාධ අඩුවීම කෙරෙහි සුවිශේෂ බලපෑමක් සිදුකරන්නට පුළුවනි. ආධ්‍යාත්මික වශයෙන් දියුණු වූ මවක්, පියකු යටතේ හැදුණු වැඩුණු දරුවෙක් අපරාධකාරී ක්‍රියාවක නියැළෙන්නට තිබෙන අවකාශය ඉතා අල්ප බව, මෙහිදී අවබෝධ කරගත යුතු යි.

හොඳ මවකගේ ඇසුර, හොඳ පියකුගේ ආදර්ශ සම්පන්න ඇසුර ලබන දරුවකුගේ ආධ්‍යාත්මය ඒ මවුපියන්ගේ ආකල්ප මත ම පදනම් වී ‍ෙගාඩනැඟීම, ඊට හේතුවයි. ජීවිත වලට ආදරය කරන්නට පුරුදු වූ මවක්, පියෙක් යම් දරුවකු සතු නම්, අනුන්ගේ දේපළවලට ගරු කරන්නට, ඒවා සුරකින්නට පුරුදු වූ මවක්, පියෙක්, යම් දරුවකු සතු නම්, අනිවාර්යෙන්ම එම දරුවාගේ ආකල්ප සංවර්ධනය වන්නේ එවැනිම යහපත් ස්වරූපයකින්මයි. එසේම දරුවකුට පවුල තුළ දී ආදරය, කරුණාව මනුෂ්‍යත්වය සහ ඒ සඳහා උපකාර වන කලාව, සාහිත්‍ය, රසවින්දනය, වගේම ආගමික නැඹුරුවක් ලබා දෙනවා නම් ඉතා හොඳ හදවතක් සහිත, අපරාධ කිරීමට මැළිකමක් දක්වන දරුවකු බිහි කරගන්නට අනිවාර්යෙන් අපට හැකියාවක් උදාවෙනවා.

මවුපියන් දූ දරුවන් එක මිටකට රොක් වී කරන ගැඹුරු සංවාද තුළින් අධ්‍යාත්මික දියුණුවක්, පුහුණුවක් පවුල තුළම ඇති කර ගැනීම අත්‍යවශ්‍ය බව මෙහි දී සිහිපත් කරන්නට කැමැතියි. ඒ වගේම ආගමික මධ්‍යස්ථාන මඟින් අධ්‍යාත්මික මධ්‍යස්ථාන මගින් අපරාධ සිදුවීම වැළැක්වීම සඳහා අඩු කිරීම සඳහා සමාජයෙහි යම් පෙළඹවීමක් ඇති කරන්නට පුළුවන්. ආසියාතික මිනිසා නීතියට එතරම් බියක් දක්වන්නේ නැතත්, නීතිය මඟින් ඒ තරම් හික්මීමක් ලබා නැතත්, ආගමට දහමට ඔහු තුළ පවතින බිය, බුදුරදුන්, දෙවියන් කෙරෙහි පවතින ගෞරවය සහ භක්තිය අපරාධ අඩු කිරීම සඳහා අවශ්‍ය යහපත් මානසිකත්වයක් ඔවුන් තුළ ගොඩනැඟීමේ ප්‍රායෝගික උපාය මාර්ගයක් ලෙස අපි දකිනවා. වැඩි වැඩියෙන් ආගමික මධ්‍යස්ථාන මඟින් සිදු කැරෙන ආධ්‍යාත්මික සංවර්ධන වැඩ පිළිවෙළ වැඩි දියුණු කිරීමත්, ඒවාට වැඩි ප්‍රචාරයක් ලබා දීමත්, වැඩි වැඩියෙන් දූ දරුවන් තරුණ තරුණියන් මෙන්ම වැඩිහිටි අයත් සහභාගි කරවා ගැනීමත් මාධ්‍ය තුළ ප්‍රබල ලෙස ඒවා ඔසවා තැබීමක් මඟින් සමාජය තුළ ආධ්‍යාත්මික වර්ධනයක් ඇති කරන්න පුළුවන් වනවා. අපරාධයට සමාජය තුළ පවතින ප්‍රවණතාව යම් තරමකට හෝ සමනය කර ගන්නට එවැනි පිළිවෙත් මඟින් ම හැකිවේය යන විශ්වාසය අප තුළ තිබෙනවා.

භික්‍ෂූන් වහන්සේගේ දේශනා මගින් සහ මවුපියන්ගේ නිවැරැදි ආදර්ශයෙන් හා මඟ පෙන්වීමෙන් පවට ලැජ්ජාව සහ බිය සහිත සමාජයක් නිර්මාණය කළ හැකියි. නීතිය සුරකින ආයතන වල විනිවිද භාවයෙන් යුක්ත ක්‍රියාකාරීත්වයක් ඇති කිරීම විශාල රුකුලක් වනවා සාමාන්‍ය සමාජයට ඒ අයගේ ප්‍රශ්නවලට නීතිය පිළිබඳ කටයුතු කරන ආයතනවලින් තමන්ට සාධාරණයක් ඉටුවේවි කියා හැඟෙනවා නම්, බොහෝ දුරට ඔවුන් අවි ආයුධ දඬු මුඟුරු ආදිය මඟින් තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට දරන ප්‍රයත්න සමනය වීමට, එය ප්‍රබල හේතුවක් වනු ඇත. ලෝභ, දෝෂ, මෝහ යන අකුසල මූල නිසා සිදුවන අපරාධ වැළැක්වීමට එවැනි සාමුහික ප්‍රයත්න මඟින් හැකි වන බව අවධාරණය කරන්නට කැමැතියි.

උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදා අපරභාග 03.21 ට ලබයි.
02 වනදා බදාදා අපර භාග 12.59 දක්වා පෝය පවතී සිල්සමාදන්වීම දෙසැම්බර් මස 01 වනදා අඟහරුවාදාය.

 මීළඟ පෝය දෙසැම්බර් 09 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]