නොපමාවෙන්
වැඩෙන යසස
කොතලාවල බණ්ඩාරගම
නාමළුව ආරණ්‍ය සේනාසනයේ
කළුදෑවල ධම්මිකරතන හිමි
පස්, පව්, දස අකුසල් කෙරෙහි චිත්ත සන්තානයේ නම්‍යතාව වැඩි ය. එසේම එවන්
කර්ම කිරීමෙන් ලබන සතුට නසා මොහොතින් මොහොත මිනිස් සිත නීවරණ තුළින්
කිළිටි වන්නේ ය. එය මරණින් මතු සතර අපායෝත්පත්තියක් ලැබීමට හේතු කාරක
වේ. එම නිසා සමථ විදර්ශනා වඩා දෙලොව සුව සලසා ගැනීමටත් කෙළවර නිවනින්
සැනසෙන්නටත් පවිත්‍ර චේතනාව මූලාධාරයක් වේ
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස....
උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤ තස්සච ධම්ම ජීවිනෝ
අප්ප මත්තස්ස යසෝභි වඩ්ඩති....
කාරුණික පින්වත්නි,
සියලු ලෝ සතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් හා දයාවෙන් යුක්තව පුරා
පන්සාලිස් වසක් මුළුල්ලෙහි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දහම් දෙසූහ.
මනසින් උසස් වූ මිනිස් වර්ගයා ඇතුළු සත්වයන්, බුදුන් වහන්සේ මේ බියකරු
සසර කතරින් එතෙර කරවීමට ගත් වෙහෙස අපමණය.
ධම්ම පදයේ අප්පමාද වග්ගයේ ගාථා ධර්මයක් මාතෘකා ගාථාව වශයෙන් ඉහතින්
සඳහන් කරන ලදී. එහි සරල අදහස නම් නොපසුබස්නා වීර්යය සහ යහපත් සිහිය ඇති
නිවැරැදි කාය, වාග් කර්ම ඇති මනා නුවණින් විමසා කටයුතු කරන දැහැමිව
දිවි ගෙවන තැනැත්තාගේ යසස කීර්තිය නොපමාව වැඩෙන බවයි.
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවන නම් අරමෙහි වැඩ වසන සමයෙහි
කුම්භඝෝෂක නම් තරුණ සිටු පුතකු අරභයා ඉහත ගාථා ධර්මය දේශනා කර වදාළ
සේක. රජගහ නුවර හතළිස් කෝටියක් ධනයට හිමිකම් කියූ මහා සිටු පවුලක් විය.
එකල රජගහනුවර වැසියෝ අභිවාතක නම් දරුණු වසන්ගත රෝගයකින් පෙළෙන්නට වුහ.
එම සිටු මැදුරට ද අභිවාතක නමැති එම රෝගය සෙමින් පැතිරිණි.
සිටු දෙමහල්ලෝ මරණාසන්න තත්ත්වයට ද පත් විය. එම පළාතේ පැවති එම
පීඩාකාරී රෝගයෙන් මිදී ජීවත් වීමට අවශ්‍ය කෙනෙකු වේ නම් නිවසේ
බිත්තියක් හාරා පලා යා යුතු ය. සිටු යුවල එම රෝගයෙන් පීඩිතව වේදනාවෙන්
පසුවන අවස්ථාවේදී තම එකම පුතු මරණයෙන් බේරා ගත යුතු යැයි සිතා පුතු
අමතා මෙම රෝගයෙන් මිදී ඈත පළාතකට ගොස් ජීවත් වී පසුව නැවත පැමිණ නිදන්
කර ඇති මහ ධනස්කන්ධය ගෙන දිවි ගෙවන ලෙස ඉල්ලා සිටියහ. තම මව්පියන්
තනිකර දමා යාමට අකැමැති වූවද, පසුව ඔවුන්ගේ කීමට එකඟ වූ කුමරා ඈත
පළාතකට ගොස් එම රෝගයෙන් මිදී ජීවත් විය.
වසර ගණනකට පසුව රජගහ නුවරට කුමරු පැමිණිමුත් කිසිවකුට ඔහුව හඳුනා
ගැනීමට ද නොහැකි විය. නුවණින් කල්පනා කළ සිටු කුමරා තම මව්පියන් නිදන්
කළ ධනස්කන්දය සුරැකිව තිබේදැයි පරීක්‍ෂා කර බලා නිසි කාලය එනතුරු වෙනත්
රැකියාවක් කළ යුතු බව තීරණය කළේ ය. කාලයත් සමග මොහුට අපූරු රැකියාවක්
ලැබිණි. ගොවියන් කම්කරුවන් මෙන්ම නගරයේ ප්‍රභූ පන්තියේ සැවොමද පහන් දොර
අවධි කරවීම මොහු සතු කාර්යය විය.
හිරු උදාවීමට පෙර ඉතා ශබ්ද නගා නගර වැසියන් අවධි කරවන ඝෝෂාවක් නිකුත්
කරන නිසා මොහු ‘කුම්භ ඝෝෂක’ නමින් ප්‍රසිද්ධ විය. මෙසේ දින ගණනක් ගතවන
කල බිම්බිසාර රජතුමා අලුයම පිබිදී සිටි මොහොතක මෙම කුම්භ ඝෝෂකගේ කටහඬ
තම කන වැටී වහා සේවකයන් යවා ඔහු මාළිගාවට කැඳවාගෙන එන ලෙස අණ කරන ලදී.
ශබ්ද විද්‍යාව පිළිබඳ හසල දැනුමක් ඇති රජතුමා එම තරුණයා උසස් කුමාරයකු
විය හැකි බව දැන තොරතුරු විමසා මහත් සතුටු වී ඔහු සතු සියලුම ධනය වහා
මාළිගාවට ගෙන්වා සත්කාර සම්මාන සහිතව සිටුතනතුරක් ද පිරිනමන ලදී. පසුව
මහරජතුමා මෙම සිටු තරණයා ද කැටුව බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට
වේළුවනාරාමයට ගොස් එම සියලු පවත් පවසන ලදී.
පින්වත්නී!
අනතුරුව බුදුරජාණන් වහන්සේ මහරජතුමා අමතා මෙම ඝෝෂක තරුණ සිටු
පුත්‍රයාගේ ජීවිතය බොහෝ ධාර්මිකය. නුවණින් යුක්තය, එපමණක් ද නොව
වීර්යයෙන් ද යුක්තය. එවැනි අයගේ දිවිය ධනයෙන්, ඉසුරුමත් බවින්
ප්‍රභාමත් වන්නේ ය. නොපමාව තම කීර්තිය දසත පැතිරෙන්නේ ය. යනුවෙන් පවසා
ඉහත ගාථා ධර්මය දේශනා කරන ලදී.
මෙම ගාථා ධර්මයෙන් අප ජීවිතයට ගත යුතු වැදගත් කරුණු හතක් පමණ විවරණය
වෙයි. ඉන් පළමු වැන්න නම් උට්ඨානවතෝ හෙවත් උත්සාහයයි. උත්සාහයෙන්
ක්‍රියා කිරීමට නම් තමන් කරන කාර්යය ගැන විශ්වාසය හා ඉන් ලැබෙන
ප්‍රතිඵලය ගැන මනා අවබෝධයකින් යුක්තව සිටිය යුතු ය.
අප මහ බෝසතාණන් වහන්සේ පාරමිතාවක් ලෙස නියත විවරණයේ සිට බුද්ධත්වය
ලැබීම දක්වා පුරණය කළ වීර්යය පාරමිතාව හේතුවෙන් සියලුම පාරමී ධර්මයන්
ක්‍රියාත්මක කිරීමේ දී පැමිණි බාධක අභිබවා ගමන් කිරීමට අවශ්‍ය මානසික
ශක්තිය ගොඩනැගිණි. එම නිසා බුදු, පසේ බුදු, මහ රහත් පදවි ලබන්නට නම් තම
සිත් සතන් තුළ උපදින නීවරණ ධර්මයන් යටපත් කර ධ්‍යාන විදර්ශනා වඩා මඟඵල
ලැබීමට උට්ඨාන වීර්යය අවශ්‍යම අංගයකි.
දෙවන කරුණ නම් සතිමතෝ හෙවත් සිහිය පිහිටුවා ගැනීමයි. සෑම කාර්යයකදීම
සිහිය අවශ්‍ය වන අතර, එම සිහිය දීර්ඝකාලීනව පවත්වා ගැනීමත්, චිත්ත
සන්තානයේ ලෝභ, ද්වේෂ, මෝහාදී කෙලෙස් ධර්මයන් යටපත් කිරීමටත්, එම කෙලෙස්
සිතිවිලි එකිනෙක හඳුනා ගැනීමටත්, ඒ තුළින් කමටහන් වඩා මඟ ඵල ලබා
ගැනීමටත්, සතිමතෝ හෙවත් සිහිය අනිවාර්යයෙන්ම තිබිය යුතු ය.
‘සුචිකම්මස්ස’ හෙවත් කයින් වචනයෙන් සහ සිතින් කරන ක්‍රියා පිළිබඳ
පිරිසුදු බව කුසලයේ දී අත්‍යවශ්‍යය. විශේෂයෙන් ලෞකික ජීවිතයෙහි සාරවත්
බව රඳා පවතින්නේ මෙම කාය, වාග්, කර්මයන්ගේ පවිත්‍රතාවය මතය.
විශේෂයෙන් පස්, පව්, දස අකුසල් කෙරෙහි චිත්ත සන්තානයේ නම්‍යතාව වැඩි ය.
එසේම එවන් කර්ම කිරීමෙන් ලබන සතුට නසා මොහොතින් මොහොත මිනිස් සිත නීවරණ
තුළින් කිළිටි වන්නේ ය. එය මරණින් මතු සතර අපායෝත්පත්තියක් ලැබීමට හේතු
කාරක වේ. එම නිසා සමථ විදර්ශනා වඩා දෙලොව සුව සලසා ගැනීමටත් කෙලවර
නිවනින් සැනසෙන්නටත් පවිත්‍ර චේතනාව මූලාධාරයක් වේ.
අපි යම් කර්මයක් හෙවත් ක්‍රියාවක් කරන විට ඒ ගැන සොයා බලා නුවණින්
මෙනෙහි කර කටයුතු කිරීම නිසම්මකාරිනෝ යන්නයි.සඤ්ඤතස්සච නම් සිත, කය,
වචනය යන තිදොරෙ සංවර බවයි. ජීවිතයේ සාර්ථකත්වයට කය වචන දෙකේ සීල ගුණය ද
මනසේ සමාධියද අත්‍යවශ්‍යය.
“ධම්මජීවිනෝ” යනු ධාර්මිකව ජීවිතය පවත්වා ගැනීමයි. බුදුදහමට අනුව
පුද්ගල ජීවිතය පවත්වා ගැනීමට දැහැමින් උපයා සපයා ගත් ධනය ඉතා වැදගත්
වේ. ව්‍යග්ඝ පජ්ජ සූත්‍රය, පරාභව සූත්‍රය ආදී සූත්‍ර තුළින්
බුදුපියාණන් වහන්සේ ඒ බව තහවුරු කර ඇත.
‘අප්ප මත්තස්ස’ යනු පමා නොවීමයි. මුලානොවී සිහියෙන් යුක්තව කටයුතු කරන
පුද්ගලයා දෙලොව දියුණුව සලසා ගන්නා බවද දේශනා කර ඇති අතර, ඒ අයුරින්
කටයුතු කරන පුද්ගලයාගේ යසස, කීර්තිය වර්ධනය වන බව ද මෙම ගාථා ධර්මයෙන්
පැහැදිලි වේ.
මෙසේ දැක් වූ උතුම් සප්ත ගුණාංගයන්ගෙන් සම්පූර්ණ වූ පුද්ගලයාගේ භෞතික
සම්පත් මෙන්ම කීර්තිය වර්ධනය වන බවත් පෙනී යයි. මෙම ධර්මය තුළින් ඔබ
සැමට ජාති, ජරා මරණාදී සසර දුකින් මිදී නිවන් සුව අවබෝධ වේවා!...
|