නිරෝගී සමාජයක් බිහි කිරීම
අද දින කතු වැකියේ ආරම්භය සඳහා කේ.ඩබ්ලිව්.ඒ.ජයවර්ධන ලියූ
‘වෛද්‍ය විද්‍යාවේ පුරෝගාමියෝ’ නමැති කෘතියෙහි ඇතුළත් කුඩා
ඡේදයක් උපුටා දැක්වීමට සිතුවෙමු.
‘ලෙඩ රෝගවලට හේතුව දේව උදහස, භූතයන් ගේ බලපෑම් හා අනවින
හූනියම් බව ආදිකාලීන මිනිසා ගේ මතය විය. ඒවා සුව කිරීමට දේව
පිහිට මෙන් ම යකැදුරන්, ගින්දර, භයානක ශබ්ද ආදියේ පිහිට ද සෙවූ
හ. මිසර වැසියන් මෙන් ම ග්‍රීකයෝ ද දෙවිවරුන් කෙරෙහි සම්පූර්ණ
විශ්වාසය තබා පූජකයන් වෛද්‍යවරයන් ලෙස සැලැකූ®හ.
ක්‍රි.පූ.පස්වන සියවස දක්වා ම මේ තත්ත්වය එ සේ ම තිබූ මුත්,
ඉන්පසු පහළ වූ දර්ශනවාදීන් කියා සිටියේ, ලෙඩ රෝග ඇති වීමට
හේතුව මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වයේ හා අවට පරිසරයේ ද ඇතිවන
විෂමතාවන් බව යි. හිපොක්‍රටීස් පහළ වූයේ ද එම යුගයේ ය.’
එහෙත් ක්‍රි.පූ. පස්වන සියවස පමණ වන විට මිසරයේ හෝ ග්‍රීසියේ
පැවැති මේ තත්ත්වය විසිඑක්වන සියවසේ ජීවත්වන අපට තවමත්
අත්විඳීමට සිදු ව තිබේ. අම්බලන්ගොඩ කොබෙයිතුඩුව, දියසෙන්පුර
පදිංචි ව සිටි 59 හැවිරිදි එම්.ඩබ්ලිව්.මෙමිනෝනා මහත්මිය හා
මාතලේ පල්ලේපොළ වේල්ලකුඹුරේ පදිංචි ව සිටි 41 හැවිරිදි පද්මා
දමයන්ති සමරතුංග මහත්මිය පසුගිය මස 31 වනදා කොළඹ විහාරමහාදේවී
උද්‍යානයේ පැවැති ලෙඩ සුවකිරීමේ දේව මෙහෙයකට සහභාගි වී ජීවිත
අහිමි කැර ගැනීම ඊට එක් උදාහරණයකි. ඔවුන් සමඟ එම දේව මෙහෙයට
සහභාගි වූවන් පසුගිය 08 වන දා රිවිර පුවත්පතට මෙ සේ පවසා
තිබිණ.
“අපි විහාරමහාදේවි උද්‍යානයට එන කොටත් සෙනග හිටියා. ඒ ඇවිත්
ටික වෙලාවකින් යාඥාව පටන් ගත්තා. මගේ බිරිඳ (මෙමිනෝනා) නැගිටලා
වෙව්ලන්න පටන් ගත්තා. දේව මෙහෙයේ වැඩට හිටපු කට්ටිය ඇවිත්
බිරිඳ අරගෙන යද්දී අපිත් ඒ එක්ක ම යන්න හැදුවත් එන්න දුන්නේ
නෑ. පාදිලි හිටපු තැනට පහතින් වෙන් කරපු තැනකට බිරිඳ ව දැම්මා.
එහෙම කාන්තාවන් පිරිසක් එතැන හිටියා. අව්ව සැර වෙනකොට මිනිස්සු
කුඩ ඉහළා ගත්තා. ඒ නිසා එතැන වෙන දේවල් පේන්නෙ නැතුව ගියා. අපි
කීප සැරයක් එතෙන්ට යන්න ගියත් ඒ ළඟටවත් මේ අය අපට යන්න දුන්නේ
නෑ. දේව මෙහෙය අවසන් වෙලා ලෙඩෙක් ගැන කියනවා ඇහුනා. මගේ
මුනුබුරා බලෙන් වගේ එතැනින් රිංගලා කොටු කර තිබුණු තැනට ගියා.
මමත් ඒ පස්සෙන් ගියා. බිරිඳ සිහිසුන් ව බිම හිටියා. මම ඇය ව
අල්ලා බැලුවා. කකුල් සීතල වෙලා. අපි ඇය ව රෝහලට අරන් ආවා.
නමුත් ඇයට ප්‍රතිකාර කරන්න ලැබුණෙ නෑ. ඒ වෙනකොටත් ඇය
මියගිහින්.”
උපාධිධාරී දෙදරු මවක් වූ දමයන්ති මහත්මිය පිළිබඳ ව එහි මෙ සේ
සඳහන් විය.
‘අපි විහාරමහාදේවි උයනට යනකොට අනුරාධපුරේ ඥාති දුවත් එතෙන්ට
ඇවිත් හිටියා. ඒ වෙලාවේ උස මහත රැවුළ වවපු දේවගැති කෙනෙක්
ඇවිත් යාඥාව පටන් ගත්තා. දුවත් එක්ක කීපදෙනෙක් ආවේශ වෙලා වගේ
හිටියා. ඒ හැමෝම මේ අය කොටුවක් වගේ තැනකට දැම්මා. අපට සන්සුන්
වෙන්න කියලා ඒ පුද්ගලයා ඇස් පියාගෙන ‘මේ මල් යේසුට පුදම්
කියන්න’ කිව්වා. අන්තිමට පරලවෙලා කොටුවෙ දාලා හිටපු ඒ අය රෝහලට
අරන් ගියා. එහ දී මගේ දුව මියගොස් ඇති බව දැන ගන්න ලැබුණා’.
මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූ දෙදෙනා ම උපතින් බෞද්ධයන් බව
ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අතුරලියේ රතන
හිමියෝ පසුගිය 06 වනදා පාර්ලිමේන්තුවේ දී හෙළි කළ හ. එය මෙරට
සියලු බෞද්ධයන් ගේ අවධානයට යොමු විය යුතු ය. එපමණක් ද නො ව මෙ
සේ මියගිය එක් කාන්තාවක් උපාධිධාරිනියකි.මෙයින් පැහැදිලි වන්නේ
ඉහළ අධ්‍යාපන මට්ටම පවා මෙහි දී ප්‍රයෝජනයක් වී නොමැති බව ය.
මනෝරෝග විශේෂඥ වෛද්‍ය ඩී.වී.ජේ.හරිශ්චන්ද්‍ර මහතා මේ පිළිබඳ ව
දක්වා ඇති අදහස් ද අප පාඨකයන් ගේ අවධානයට යොමු විය යුතු යැයි
සිතමු. ඔහු ඉරිදා ලක්බිම පුවත්පතට ලියූ ලිපියක මෙ සේ සඳහන්
විය.
“වසර එක්දහස් හත්සිය ගණන්වල දී යුරෝපීයයන් ගේ විශ්වාසය වුණේ
මානසික රෝග දෙවියන් ගේ බලපෑමකින් ඇතිවන්නක් ලෙස ය. මානසික
රෝගීන් මායාකාරයන් ලෙස ද ඔවුහු හැඳින්වූහ. ඒ අනුව දෙවියන්ට කරන
පූජාවක් ලෙස මානසික රෝගීන් දර දමා අමු අමුවේ පුලුස්සා මරා දැමූ
හ. මෙයට මූලික වශයෙන් ම බලපෑවේ ඩොමිනිකන් පූජකවරුන් දෙදෙනකු
ලියූ ‘මැලියස් මැලිෆිකාරුම්’ (මායාකාරයන් ගේ කුළුගෙඩිය) නම්
ග්‍රන්ථයයි. මානසික රෝගීන්ට දිය යුතු වධ බන්ධන, මරණයට පත් කළ
යුතු ආකාරය ආදිය එම ග්‍රන්ථයේ විස්තර සහිත ව දක්වා තිබිණ. ඒ
එක්දහස් හත්සිය ගණන්වල දී ය. වෛද්‍ය විද්‍යාව මෙ තරම් දියුණු
මේ යුගයේදීත් තමන් ගේ රෝග සුවකර ගැනීම පිණිස ස්තෝත්‍ර කීම,
යාච්ඤා කිරීම, යකුන් එළවීම, විශ්ව ශක්තියේ පිහිට පැතීම,
දොළුකන්ද වැනි ස්ථානවලට යෑම තුළින් පැහැදිලි වන්නේ මිනිසුන්
මිථ්‍යාමතවල ගිලී සිටින අන්දම ය.”
මේ ආකාරයට මිනිසුන් මිථ්‍යා මතවල ගිලී සිටීමට හේතු අප තේරුම්
ගත යුතු ය. මිනිසාට සහජයෙන් ම උරුම වී ඇති බිය හා රෝගපීඩා ආදිය
නිසා ඇතිවන අසරණකම මේ තත්ත්වයට ගොදුරු වීමට බලපාන බව අපි
දකිමු. එහෙත් ඒවාට බුදු දහම මනා ලෙස පිළිතුරු සපයා තිබේ. එ සේ
තිබිය දී අප සමාජය මිථ්‍යා මතවලින් රෝගී වන්නේ ඇයිදැයි සොයා
බලා පිළියම් යෙදීම අප සියලු දෙනා ගේ වගකීමකි. |