UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ලෝ සතට මඟ කියන හර දහම


මමංකාරය පිළිබඳ විශ්වාසය මිනිසා මිථ්‍යා ලබ්ධියක බැඳ තබන යදමකි. බුද්ධ ශ්‍රාවකයාට එයින් මිදෙන්නට අවබෝධාත්මක ප්‍රයත්නයක යෙදෙන්නට සිදු වෙයි. බුදුන් වහන්සේගේ අරමුණ වූයේ, සියලු සත්වයන් සුවපත් කිරීම යි. මිනිස් ජීවියා අන්‍යෝන්‍ය වශයෙන් වෙන් කොට හුදකලා කර තබන්නට හේතුවන මූලික සිතිවිල්ල මමංකාරය යි; එනම් ආත්ම දෘෂ්ටිය යි.

පරිවර්තනය - නාරාවිල පැට්රික්

බුදුන් වහන්සේ සිය දහම වේදයෙන් හා සර්වේශ්වරවාදී උපනිෂද් වලින් සහ කපිල සූත්‍ර වලින් ණයට ගන්නා ලදැ යි කීම, චාල්ස් ඩාවින් සිය දර්ශනය ක්‍රිස්තියානි බයිබලයෙන් සහ ඇරිස්ටෝටලියානු ආචාර විද්‍යාවෙන් ද, හර්බට් ස්පෙන්සර් සිය දර්ශනය මධ්‍යකාලීන දේවධර්ම වාදීන්ගේ ලේඛන වලින් ද ණයට ගන්නා ලදැ යි කීම වැනි ය. තව ද බුදුන් වහන්සේගේ දේශනාව හුදෙක් බමුණන්ගේ සූපදීසි වලින් තොලගා ගන්නා ලද ඉඳුල් දියරක් වූයේ නම්, එය කවරදාකවත් චණ්ඩාශෝක චක්‍රවර්තීන්ගේ ආගම බවට පත් වන්නේ නැත. බුදුදහම අර්ථපූර්ණ ද, මූලධාර්මික ද වන අතර බොළඳ සුකුමාර ජනයාට පහසුවෙන් ග්‍රහණය කළ හැක්කක් නොවන්නා සේ ද පෙනේ. එසේ ම ඉන්ද්‍රිය පි‍්‍රණනයෙහි ගිජු වුවනට ද එහි ප්‍රබල චිත්ත පාරිශුද්ධික ආචාරධර්ම කෙරෙහි ආසක්ත වීම පහසු නොවන්නා සේ ය.

බුදුන් වහන්සේ විසින් උද්දේශිත අනාත්ම දර්ශනය ආත්මවාදීන්, සර්වේශ්වරවාදීන් සහ ඒකේශ්වරවාදීන්ටත් බිය දනවන්නක් විය. මම අතීතයේ වීම් ද? මම වර්තමානයේ වෙම් ද? මම අනාගතයේ වන්නෙම් ද? මම හෙවත් ආත්මය සහ කය දෙකක් ද? නැතහොත් ඒ දෙක ම අනන්‍ය ද? ඒවා ස්ථාවර ආකෘතියකින් පවත්නේ ද? නැතහොත් ඒවා නස්තීත්වයට යේ ද? බුදුන් වහන්සේ එවන් විවාදාත්මක ප්‍රශ්න ගණනකට නොගෙන ඉවත දැමූහ. උන්වහන්සේ එවන් සියලු ප්‍රශ්න සාකච්ඡාවට නොගත යුතු බවට තීරණය කළහ.

බුදුදහම තුළ අඥේයවාදයක් හෙවත් නාස්තික දෘෂ්ටියක් නැත. බුදුන් වහන්සේ පරම සත්‍යය ප්‍රකාශ කර ඇත. එනම් සෝමනස්සය තුළ කුළු ගැන්වෙන පරම අවබෝධ ඥානයයි. එමඟින් මම කවරෙක් වෙම් ද? කොහි සිට කොහාට යම් ද? ආදී උමතු විමසීම්වල උපකාරයෙන් තොරව, කේවල විඥානය තුළ මේ ජීවිතයේ දී ම විමුක්තිය හෙවත් නිර්වාණ සුවය අත්දකින්නට හැකි වනු ඇත. එහිදී මැවුම්කරුවකු පිළිබඳ අධ්‍යාත්ම විද්‍යාව අනවශ්‍ය අනුබද්ධයකි. ඒවා බැමි හෙවත් බාධක ලෙස සලකනු ලැබේ. ආත්මවාදී විශ්වාසයන්හිලා අදාළ අංග තරයේ ම අත්හළ යුතුව තිබේ.

ප්‍රාථමික ම්ලේච්ඡ ජනතාව මරුත් හෙවත් වායු, පර්ජන්‍ය හෙවත් වලාකුළු, අසනි, සූර්ය, ආපෝ හෙවත් ජල ආදී දෙවියන් පිදූහ. එහෙත් ඔවුහු කෙමෙන් යථාභූත ඥානය ලබත් ම එයට සමානුපාතිකව නිවහනක් ගොඩනඟා ගන්නා ශිල්පය ප්‍රගුණ කරන්නට පටන් ගත්හ. එපමණක් නොව තුමූ තමන් විසින් ම අවු, වැසි, සුළං ආදියෙන් ආරක්‍ෂා වන උපක්‍රම සොයා ගත්හ. තමනට ආරක්‍ෂාව සැලසිය නොහැකි දෙවියන් නිෂ්ඵල සේ ඔවුනට පෙනිණ. චාල්ස් ඩාවින් විසින් පරිණාමවාදී සිද්ධාන්තය ඉදිරිපත් කළ කල්හි දේවධර්මවාදීහු භීතියෙන් කම්පාවට පත්වූහ.

ඔවුහු ඩාවින් විසින් මැවුම්කරුවා ඝාතනය කරන ලදැයි මොර දෙන්නට වූහ. බුද්ධිමත්ව සිතන මිනිසුන් විසින් පිළිගන්නා ලද මූලධර්මය අනුව නැති දෙයක් ඇතැයි පිළිගැනීම නිෂ්ප්‍රභ විය. ඒ එක්ක ම යළිත් හේතුවක හරය හෙවත් න්‍යෂ්ටිය ප්‍රාමාණික සිද්ධාන්තයක්ව, කිසියම් ප්‍රතිඵලයක් ඇති වන්නේ හේතුවක් නිසා බව පිළිගැනිණ. එහෙත් සත්තකින් ම එය ඇති සැටියෙන් බරපතල ලෙස පිළිගනු ලබන්නේ අතලොස්සක් දෙනකුන් විසින් පමණි. ගතානුගතික විශ්වාසය අනායාසයෙන් සහනය ගෙන දෙයි. අන්ධ භක්තිකයාට එයින් සෙත සලසා ගැනීමට අමුතු ප්‍රයත්නයක් දරන්නට වුවමනා නැත.කෙසේ ද යත්, මිනිසා මත්පැනට සහ අබිං වලට නැඹුරු වන්නාක් මෙනි. එය ඔහුගේ සදාචාරාත්මක සමෘද්ධියට අනර්ථදායක වූවත්, ඔහු එහි ම එල්බ සිට විමුක්තිය සොයයි.

තර්කානුකූල සහ ගතානුගතික විශ්වාසයන් ප්‍රතික්‍ෂේපයෙහි සහ ප්‍රතිග්‍රහණයේ දී පුරුද්ද වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. ඉන්දියානු සම්ප්‍රදාය තුළ වැන්දඹු කන්‍යාවන්ගේ නැවත විවාහ සාපරාධී ක්‍රියාවක් සේ සැලකේ. අනෙක් අතට ළදරු විවාහය වැළැක්වීමට ගනු ලබන කවර උත්සාහයක් හෝ ආගමික විශ්වාසයට නුවුවමනා ඇඟිලි ගැසීමක් සේ ගැනේ. යුරෝපීය රටවල හරක්මස් කෑම අවශ්‍යතාවකි. එහෙත් ඉන්දියාව තුළ එළදෙනක මැරීම සාපරාධී ක්‍රියාවකි. ඇතැම් ආගම්වල තාපස ව්‍රතය ආගමික ගිවිසුමකි. එහෙත් බුදුන් වහන්සේ විසින් එය තරයේ ම නිෂ්ඵල ක්‍රියාවක් ලෙස ප්‍රතික්‍ෂේප කර ඇත.

මමංකාරය පිළිබඳ විශ්වාසය මිනිසා මිථ්‍යා ලබ්ධියක බැඳ තබන යදමකි. බුද්ධ ශ්‍රාවකයාට එයින් මිදෙන්නට අවබෝධාත්මක ප්‍රයත්නයක යෙදෙන්නට සිදු වෙයි. බුදුන් වහන්සේගේ අරමුණ වූයේ, සියලු සත්ත්වයන් සුවපත් කිරීම යි. මිනිස් ජීවියා අන්‍යෝන්‍ය වශයෙන් වෙන් කොට හුදකලා කර තබන්නට හේතුවන මූලික සිතිවිල්ල මමංකාරයයි. එනම් ආත්ම දෘෂ්ටිය යි.

ආත්ම දෘෂ්ටිය තෙමේ නියත සංවේදන හා සංජානනයන්හි ලග්නව සිටිමින් ඒවා ස්ථාවර ලෙස හඟී. මේ මූඪ ප්‍රයත්නය කෙළවර වන්නේ පියා සහ පුතාත්, සහෝදරයා සහ සහෝදරයාත්, සහෝදරයා සහ සහෝදරියත්, සහෝදරිය සහ සහෝදරියත්, මව සහ දුවත් අතර පරස්පසරයක් ජනිත කරමින් කලහයෙනි. මේ අනර්ථදායක සිද්ධාන්තය බුදුදහමෙහි හැඳින්වෙන්නේ ‘තණ්හා මාන දිට්ඨි’ නමිනි. එයට අනෙක් විකල්ප හැඳින්වීමක් වන්නේ ‘අහංකාරමමංකාර’ යනු යි. යම්තාක් මේ උමතුව යමකුගේ සිත තුළ ක්‍රියාත්මක වන්නේ ද, ඒතාක් ඔහුට, තෘෂ්ණාභිලාෂී යදම් බන්ධනයෙන් නිදහසක් නොලැබෙනු ඇත.

දැන් අප විසින් අපෙන් ම ඇසිය යුතු සරල ප්‍රශ්නයක් ඇත. එනම්, අප විසින් අනෙකකුට වේදනාවක් දීම වැඩදායක ද යනු යි. මැවුම්කරුවා ආහාරය පිණිස සතුන් මවා ඇති අතර, අපේ යුතුකම වන්නේ මැවුම්කරුවාට ස්තුති කර සතුන් මරාගෙන කෑම යැයි ඒකේශ්වරවාදී විශ්වාසය ප්‍රකාශ කරයි. තරයේම ම්ලේච්ඡ ලෙස මේ මතවාදය, එහි න්‍යායාත්මක නිගමනය අනුව ක්‍රියාත්මක කළ කල්හි, අපි මිනී මස් කන්නන්ගේ දේශය වෙත මෙහෙයවනු ලබන්නෝ නොවෙමු ද? සුදු මිනිසාගේ මස් කනු ලැබේවායි! මිනී මස් කන්නන්ගේ දෙවියා ඔහුට කියා ඇත.

ඒ අතර එම මැවුම්කරුවා ම අසරණ එළදෙනක වෙතින් සිය ගොදුර සපයා ගැනීමේ ඉව කොටියාගේ මොළයේ රෝපණය කරයි. එහෙත් අනෙක් අතට මැවුම්කරුවකු කෙරෙහි විශ්වාසය තබන තුවක්කු කරුවෙක් කොටියා මරා ගැනීමේ ජයග්‍රහණයෙන් තොරව සතුටක් නොලබන්නේ ය.

කුමක් වෙතත් එය මැවුම්කරුවා විසින් කලින් නිම කරනු ලැබ තිබිණි යි දෛවවාදීහු විශ්වාස කරති. ඒ සියල්ල යටහත් පහත්ව පිළිගැනීම දෙවියන් වහන්සේ කෙරෙහි වන දැඩි විශ්වාසය වෙති යි සැලකිණ. කෙසේ වෙතත් දෛවවාදීහු තමන් රැක බලා ගත් බලාපොරොත්තු පරිසමාප්ත අර්ථයෙන් ඉටු කර ගන්නට සිය බලය යොදති.

ඒ අතර නාස්තිකවාදීහු ඉහත සඳහන් සිද්ධාන්ත දෙක ම ප්‍රතික්‍ෂේප කරන්නාහු, මේ ජීවිත කාලය තුළ ලබා ගත හැකි භෞතික ආස්වාදය භුක්ති විඳීමට පොරයක යෙදී සිටිති. කෙසේ වෙතත් යමකු අත්විඳින මේ විශ්වාසය සහ තවත් කෙනකු තමන් බලාපොරොත්තු වන ඉලක්කය සපුරා ගන්නට දරන දැඩි ප්‍රයත්නය අසාර්ථක වීම යන දෙකන්හිදී ම කැරෙන පොර බැඳීම බෙහෙවින් භෞතික ය, එනම් ලෝකායත ය. සිය ඉලක්කය සපුරා ගන්නට යොදන ධර්මිෂ්ඨ ප්‍රයත්නය ‘සම්මප්පධාන’ නමින් හැඳින්වෙයි. තමන්ගේ ජයග්‍රහණය පිණිස දරන ප්‍රයත්නයේ දී එයින් අනුන්ගේ සතුටට හානියක් වන්නේ නම් එය ‘මිච්ඡාවායාම’ නමින් හඳුන්වනු ලැබේ.

නිවැරැදි දෙයක් කිරීමට දරන ප්‍රයත්නයේ ප්‍රමාදය වැරැදි දෙයක් කිරීමට හේතුවෙයි. අනුන් මත යැපෙන්නට සිතීම සංවර්ධනය පිළිබඳ න්‍යාය ධර්මයට පටහැනි ය. එක් එක් පුද්ගලයා වෙන වෙන ම ගත් කළ තමාගේ දෛවය සාධනය කර ගන්නා තැනැත්තා තමා ම ය. කෙනෙකුගේ දුෂ්ටත්වය දිගින් දිගට ම ලෝකය කෙරෙහි අසන්තුෂ්ටිය ජනිත වන්නට හේතු වෙයි. කුසල පාක්‍ෂික ක්‍රියා වලින් ඒවා නිෂ්ක්‍රීය නොකරනතාක් දුෂ්ටත්වයේ විපාක විඳින්නට සිදු වෙයි. බුදුරජාණන් වහන්සේ සිය ප්‍රඥා මහිමයෙන් අත්‍යන්තයෙන් විස්මයජනක වූ මේ සත්‍යය අත්දුටු සේක. එමඟින් උන්වහන්සේ විසින් අපට, තමා විසින් තමාගේ පරම විමුක්ති සාක්‍ෂාත් කර ගැනීමට වුවමනා ප්‍රයත්න සාධන අවබෝධය ප්‍රදානය කරන ලදී.

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය ඔක්තෝබර් 25 වනදා ඉරිදා අපර භාග 4.54 ට ලබයි. 26 වනදා සඳුදා අපර භාග 7.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 25 වනදා ඉරිදාය.

මීළඟ පෝය නොවැම්බර් මස 2 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 25

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

New Moonඅමාවක

නොවැම්බර් 16

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]