දඹදිව ධර්ම ප්‍රචාරය සඳහා ජීවිතය කැප කළ
ඉන්දීය මහාබෝධි සමාගමේ ලේකම්
දොඩම්ගොඩ රේවත නා හිමි
‘සමහර දවස්වලට මට දඹදිවදී කෑමට යමක් නොලැබුණ විට බුලත් විටක් කා කෙලගිල
දවස් ගත කරපු ආකාරය මට මතකයි”
අනගාරික ධර්මපාලතුමාගේ ජීවිත කතාව අරුම පුදුම සිද්ධීන්ගෙන් පිරිණු
එකකි. අභීත බව, නිවහල් බව, උපදවාගත් වීර්ය, නිර්භීත බව කියන මෙකී
ගුණාංග එක්තැන් වූ චරිතයක් ලෙස ධර්මපාලතුමාගේ චරිතය හැඳින්වීම වරදක්
නැත.
ධර්මාශෝක මහා රජතුමාගෙන් පසුව දඹදිව බුදුසසුනට අයිතිකාර පිරිසක් සිටියේ
නැත. මිසදිටුවන්ට යටත්ව තිබූ බුද්ධගයාව, බරණැස ඉසිපතන මිගදාය,
කුසිනාරානුවර, ලුම්බිණි සල්උයන, සැවැත්නුවර ජේතවනාරාමය, ආදී බෞද්ධ
ස්ථාන කඩා බිඳ දමා තිබූ අතර ඒවා ආරක්‍ෂාකර සංරක්‍ෂණය කිරීමට කිසිවකු
නොසිටි නිසා බුද්ධගයාව මිසදිටු මහන්තා අත් පත් කර ගෙන තිබුණු බව
ප්‍රසිද්ධ කරුණකි.
දඹදිව සිද්ධස්ථාන දැක ගැනීමට ඇමරිකාවේ සිට පැමිණි හෙන්රි ඕල්කට්
සෙන්පතිතුමා ඒ සිද්ධස්ථානයන් හි දුටු දුක්ඛදායක තත්ත්වය ගැන ලංකාවට
පැමිණ දේශනා කර ඇත. එකී දේශනා ඇසීමෙන් පසුව දොන් ඩේවිට් හේවාවිතාරණ
තරුණයාගේ දෑස විවර විය.
එවකට ලංකාවේ සුප්‍රසිද්ධ ම ලී බඩු සමාගමක අයිතිකාරයා වූ දොන්කරෝලිස්
හේවාවිතාරණ නමැති ධනවත් ම පවුලක උපත ලැබූ දොන් ඩේවිට් එවකට හෙළ බිමේ
තිබුණු අධ්‍යාපන ක්‍රමය අනුව මිෂනාරී අධ්‍යාපනය ලබමින් සිටිබව
ප්‍රසිද්ධ කරුණකි.
එහෙත් පසුව මිෂනාරීන්ගේ කපටි ඉරියව් නිසා එතුමා මිෂනාරී අධ්‍යාපනයෙන්
සමුගෙන ඕල්කට්තුමාගේ දේශන ඇසීමෙන් පසුව දඹදිව සිද්ධස්ථාන දැක ගැනීම
සඳහා මුලින්ම පැමිණ ඇත්තේ දඹදිව බරණැස ඉසිපතන මිගදායට ය. දුම්රියෙන්
පැමිණ බරණැස ඉසිපතනයට ළඟා වී ඇත්තේ කැලයක් මැදින් ය.
ඒ අතරතුර එතුමාට දැකීමට ලැබුණ, දර්ශනයන්ගෙන් ම හදවත කම්පාවී ඇත. කැටයම්
සහිත ගල්කණු පැටවූ කරත්ත දහයක් පමණ කැලය මැදින් නගරය දෙසට යන ආකාරයත්
හිස් කරත්ත දහයක් නගරයේ සිට ඉසිපතනයට යන ආකාරයත් දැක කැටයම් සහිත
ගල්කණු පිරවූ කරත්තකාරයින්ගෙන් කාරණය විමසූ විට සඳහන් කර ඇත්තේ.
ඒ අයගේ ගෙවල්වල අත්තිවාරම් වලට දැමීම සඳහා මෙකී ගල්කණු ගෙනයන බවයි.
ඇඳිරි වැටීගෙන එනවිට බරණැස ඉසිපතනයට පැමිණි විට මහා වනයෙන් වට වූ
ධම්මික ස්ථූපය පමණක් දැකීමට හැකි වූ බව සඳහන් වේ. රාත්‍රිය ගත කිරීමට
කිසිම ස්ථානයක් තිබී තැන. ඉසිපතන භූමියේ තිබුණ විශාල නුග බෙනයක එදා
රාත්‍රිය ගත කර ඇත.
මහා කාරුණික බුදුරදුන් තම ප්‍රථම ධර්ම දේශනා කර වදාළ, ලෝකයට ප්‍රථමයෙන්
රහතුන් බිහි වූ බුද්ධං සරණං, ධම්මං සරණං, සංඝං සරණං ගච්ඡාමි කියා ලෝකයට
මුලින්ම තිසරණ සරණ සමාදන් වූ උපාසක උපාසිකාව බිහි වූ බුදුසසුනේ ප්‍රථම
භික්‍ෂුව බිහි වූ “චරථ භික්‍ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය”
යනුවෙන් වදාරා ප්‍රථම ධර්මප්‍රචාරක භික්‍ෂු පිරිස පිටත් කර යැව්වේ
බරණැස ඉසිපතන මිගදායෙන් ය. වර්තමානයේ මේ ස්ථානය හඳුන්වන්නේ සාරානාථ
නමින් ය. මේ උතුම් පුදබිමේ තිබුණ දුක්ඛදායක තත්ත්වය දැක එතුමන් තම
ආදරණීය මෑණියන් වෙත ලියා ඇත්තේ මෙසේ ය. මගේ කාරුණික දයාබර මෑණියනි!.
ලෝකයට ආලෝකය පහළ කළා වූ ප්‍රඥාව පහළ කළා වූ මහා කාරුණික අමා මෑණි
බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්මදේශනාව දේශනා කර වදාළ බරණැස ඉසිපතන
මිගදායට උදා වී ඇති තත්ත්වය දැක මා කම්පාවට පත් වුනෙමි. මේ ස්ථානය කෙසේ
හෝ මෙකී අඳුරින් ගොඩ ගැනීම සඳහා මට උපකාර වන්න.
එතුමා ඉන්පසු ගියේ දසබිම්බර මාර සේනාව පරාජය කර බුදු බව අවබෝධ කර ගත්
බුද්ධගයාවටයි. බුද්ධගයා මහා විහාරය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ එවකට
අත් පත් කර ගෙන සිටියේ දකුණු ඉන්දියාවෙන් ගයාවට ගිය හින්දු මහන්තායි.
බුදුරදුන්ගේ පිළිමවහන්සේට රතු රෙදි අන්දවා කඩුක්කන් පළඳවා රතුපොට්ටු
තබා බුදු පිළිමය ඉදිරිපිට විශාල ශිවලිංගයක් තබා කිසිම බෞද්ධයකුට එහි
යාමට අවසර නොදී තම බලය තහවුරු කරගෙන සිටි බව ප්‍රසිද්ධ කරුණකි.
මහන්තා සමග සටන් කිරීම පසුව සිදු වූවත් ධර්මපාලතුමන් මුලින්ම සිදු කර
ඇත්තේ, කෙසේ හෝ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස වජ්‍රාසනයට
ළඟාවීමටයි. මහත් උත්සාහයකින් වජ්‍රාසනය ළඟට ගිය දොන්ඩේවිට් හේවාවිතාරණ
තරුණයා මහා සතිපට්ඨාන සූත්‍රය දේශනාකර ප්‍රාර්ථනාකර ඇත්තේ, මගේ ජීවිතය
පරදුවට තබා දඹදිව බුදු සසුන මිසදිටුවන්ගෙන් නිදහස් කර ගෙන දඹදිව පිරිහී
විනාශ වී තිබුණ සිද්ධස්ථාන නැවත ප්‍රතිසංස්කරණය කර ලෝක බෞද්ධයින් අතට
පත් කිරීමයි. එකී දැඩි අධිෂ්ඨාන මුදුන්පත් කර ගැනීමේ අදහසින් හෙළදිවට
නැවත පා තැබූ දොන්ඩේවිට් හේවාවිතාරණ තරුණයා.
එවකට කොළඹ විද්‍යොදය පිරිවෙන්පති ලෙස කටයුතු කළ ප්‍රධාන සංඝනායක
අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ගේ සභාපතිත්වයෙන්
‘බුද්ධගයා මහාබෝධි සමාගම’ නමින් සමාගමක් ආරම්භ කර උන්වහන්සේ එහි සභාපති
තනතුරට පත් කර ගත් අතර දොන් ඩේවිට් හේවාවිතාරණ මහා ;ල්කම්තුමා වූ අතර
එහි මූලස්ථානය ඉන්දියාවේ කල්කටා නගරයේ පිහිටවූහ.
ශ්‍රී ලංකාවේ මැලිබන් වීදියේ කාර්යාලයක් විවෘත කර ශ්‍රී ලංකා නියෝජිත
වරයා ලෙස ජී.පී. වීරසේකර මැතිතුමා පත් කර ඇති බව මහාබෝධි ඉතිහාසය සඳහන්
කරයි.
“සිංහලයින් නැගිටිව් බුද්ධගයාව බේරාගනිව්” යන සටන් පාඨය එදා මහාබෝධි
සමාගමේ සටන් පාඨය විය. එතැන් පටන් එතුමා දොන් ඩේවිට් හේවාවිතාරණ නම
අතහැර “ධර්මපාල” නමින් ප්‍රකට විය. සම්පූර්ණ ජීවිතය බ්‍රහ්මචාරීව
හේවාවිතාරණ නම අතහැර “ධර්මපාල” නමින් ප්‍රසිද්ධ වූහ.
බුද්ධගයා සටන එසේ මෙසේ සටනක් නොව මහන්තා සෑම අංශයකින්ම ශක්ති සම්පන්නව
සිටි බලවත් හින්දු පූජකයෙකි. මුළු ගයා ගමම ඔහුගේ බූදලය ලෙස පාවිච්චි කර
ඇත. අනගාරික ධර්මපාලතුමාගේ සටනේ හින්දු මහන්තාට අමතරව ඉංගී‍්‍රසි පාලනය
සමඟ ම ලංකාවේ සමහර ආයතන හා පුද්ගලයින් ද කරදර කර ඇත. ඉන්දියාවේ නිදහස්
සටන සිදු වූයේ අනගාරික ධර්මපාලතුමාගේ බුද්ධගයා දඹදිව සටන සමඟ ය. සටනේ
මහාකවි රවින්ද්‍රනාත් තාගෝර් මැතිතුමා කිසිම දිනක විහාරයකට, දේවාලයකට
ගිය කෙනෙක් නොවී ය. එතුමා ධර්මපාලතුමාගේ සටනේ හඬට පැහැදී ප්‍රථම වරට
බුද්ධගයාවට ගොස් වජ්‍රාසන මහා විහාරයේ පිහිටි භූමිස්පර්ශ මුද්‍රා බුදු
පිළිමයට වැඳ නමස්කාර කර ඇත. එතුමා ප්‍රථම වරට හා අන්තිම වරට විහාරයට
ගොස් ඇති අවස්ථාවක් පිළිම වන්දනාවක් කර ඇති බවක් වාර්තා වන ප්‍රථමවතාව
මෙය බව ප්‍රසිද්ධ කරුණකි. ධර්මපාලතුමා බෞද්ධයින් වෙනුවෙන් තනිවම මේ කරන
දැවැන්ත සටන ගැන පැහැදුණු මහාකවි තාගෝර්තුමා මහත්මා ගාන්ධිතුමාට කියා
ඇත්තේ බෞද්ධයින්ට උරුම බුද්ධගයාව නිදහසේ පූජා කිරීමට බෞද්ධයින්ට
ලබාදීමට කටයුතු කරන ලෙසයි.
ඊට මහත්මාගාන්ධි පිළිතුරු දී ඇත්තේ ඉස්සරවෙලා මට ඉංගී‍්‍රසීන්ගෙන් මගේ
රට නිදහස් කර ගන්න ඉඩදෙන්න. ඊට පස්සේ මේ ගැන හිත යොදන්නම් කියායි.
මහත්මා ගාන්ධි දැඩි හින්දු භක්තිකයෙකි. එතුමා කවදාවත් මේ අදහසට එකඟ
නොවන බව ඉතාමත් පැහැදිලි ය.
අන්තිමේ ධර්මපාලතුමා සහ මහන්තා අතර බුද්ධගයාවේ වජ්‍රාසන මහාවිහාරයේ
අයිතිය ගැන නඩුවක් ආරම්භ විය. නඩුව ඉතාම උසස් අන්දමින් සිදු වූවකි.
හින්දු පැත්ත කීවේ බුදුන් විෂ්ණු දෙවියන්ගේ දස අවතාර අතරින් එකක් නිසා
එහි අයිතිය තමන්ට බවයි. මේ අදහස එසේ නොවේ යයි කීමට තරම් උසාවිය සෑහීමට
පත් කළ හැකි සාක්‍ෂි ධර්මපාලතුමන් ළඟ නොතිබුණු බැවින් එතුමා බුද්ධගයා
නඩුවෙන් පරාජයට පත්වූහ.
එහෙත් සටන අත්හලේ නැත. ඉන්දියාවේ එවකට සිටි බලවත්ම හින්දුනායකයින්
නිල්කමල් මුකර්ජි, ශ්‍යාම්ප්‍රසාද් මුකර්ජි ආදී බමුණුකුලවල වැදගත් ම
පිරිසක් එතුමාගේ සටනට සහයෝගය දී ඇත.
සටන තීරණය කර ගැනීමට නොහැකි වූ බැවින් රාජේන්ද්‍රප්‍රසාද් මැතිතුමාගේ
ප්‍රධානත්වයෙන් බුද්ධගයා ප්‍රශ්නය විසඳීම සඳහා කොමිටියක් පත්කරන ලදී.
එකී කොමිටිය නිර්දේශ කළේ හින්දු ධර්මය පැත්තෙන් නියෝජිතයින්
හතරදෙනෙකුත් මහන්තා ඇතුළු බෞද්ධ පැත්තෙන් ඉන්දියානු මහාබෝධි සමාගමේ
මහාලේකම් ඇතුළු හතර දෙනෙකුගෙන් යුක්ත කොමිටියක් පත්කර එහි සභාපති ලෙස
ගයාවේ දිසාපතිතුමා පත්කළ යුතුයි යන්නයි.
මෙකී නිර්දේශ බිහාර් ආන්ඩුවෙන් සම්මත කර මධ්‍යම ආණ්ඩුවට ඉදිරිපත් කළ
පසුව මධ්‍යම ආණ්ඩුව මෙකී නිර්දේශ ඒකමතිකව අනුමතකර ඇත. ඉන්දියානු
මහාබෝධි සමාගම දඹදිව සිද්ධස්ථාන පාලනය කරන ප්‍රධානම සමාගම වූවත්
බුද්ධගයාවේ වජ්‍රාසන විහාරය සහ වජ්‍රාසනය පාලනය වන්නේ පාලන කොමිටියෙන්
ය. ඉන්දියානු මහාබෝධි සමාගමේ මහාලේකම් හිමියන් එකී කොමිටියේ ප්‍රධාන
අනුශාසක ධූරය දරති.
වජ්‍රාසන මහා විහාරයේ බුදු පිළිමවහන්සේ ඉදිරිපිට මහන්තා විසින්
පිහිටුවා තිබූ විශාල ශිව ලිංගය අනගාරික ධර්මපාලතුමන් විසින් කඩා බිඳ
විනාශ කළත් අදත් එහි කොටසක් විහාරයේ පිළිම වහන්සේ ඉදිරිපිට දැකීමට ඇත.
බුද්ධගයා මහා සටන සිදුවේගෙන යන අවස්ථාවේ දී ඉංගී‍්‍රසි රජය පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුව විසින් කරන ලද කැනීම්වල ප්‍රතිඵලයක් ලෙස නාගාර්ජුන්
කොන්ඩ ප්‍රදේශයේ පුරාණ ස්ථූප කැනීමේ දී රත්තරන් කරඬු සහිත සර්වඥධාතූන්
වහන්සේ ලැබුණු බව ප්‍රවෘත්ති පත්‍ර කියවීමෙන් ධර්මපාලතුමා බලවත් සතුටට
පත්වූහ.
බ්‍රිතාන්‍ය පාලකයින් මෙකී ධාතූන්වහන්සේලා බ්‍රිතාන්‍යයට ගෙනයාමට අදහස්
කරන බව ප්‍රවෘත්ති පත්‍රයේ සඳහන් වී තිබූ නිසා ධර්මපාලතුමා වහාම
ඉංගී‍්‍රසි ආණ්ඩුව සමඟ සාකච්ඡා කර සර්වඥ ධාතූන්වහන්සේලා පුද සත්කාර
සඳහා තමන් වෙත හෙවත් මහාබෝධි සමාගමට ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ ය.
සර්වඥධාතූන් ආරක්‍ෂා කිරීමට සුදුසු ස්ථානයක් සූදානම් කරන්නේ නම් එය
මහාබෝධි සමාගමට ලබාදීමට කැමති බව ඉංගී‍්‍රසි ආණ්ඩුව ධර්මපාලතුමාට
දැනුම් දී ඇත. බුද්ධගයා නඩුව නිසා ආර්ථික වශයෙන් ඉතාම දුර්වලව සිටි
ධර්මපාලතුමාට විහාරයක් සෑදීමට ඉඩමක් මිලදී ගැනීම එතරම් පහසු කාර්යයක්
නොවූයෙන් එවකට එතුමාට ආධාර කළ මේරිපෝස්ටර් රොබින්සන් මැතිණියට මේ බව
දන්වා යැවීය.
ඇමරිකාවේ ජීවත් වූ මේරිපෝස්ටර් මැතිණිය විසින් ඉඩම ගැනීම සඳහා එවකට
ඉන්දියානු මුදලින් රුපියල් දහදහක් එවීය. එකී මුදලින් එවකට (සාරානාථ)
ඉසිපතන ඉඩම් අයිතිකාරයාව කටයුතු කළ බින්ගා රජතුමාගෙන් ලබාගත් ඉඩමේ
වර්තමාන මූලගන්ධකුටි විහාරය ගොඩ නඟා සර්වඥ ධාතූන්වහන්සේ රන්කරඬුව සමග
තැන්පත් කර ඇත. දඹදිව බුදු සසුන සඳහා තම ජීවිතය කැප කළ ධර්මපාලතුමා
බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා ද අප්‍රතිහත ධෛර්යයක් දැරූහ. මහාකවි
රවින්ද්‍රනාත් තාගෝර් සමග සාකච්ඡා කර සිංහල දීපයෙන් සාමණේරවරුන් ගෙන්වා
ශාන්තිනිකේතනයේ අධ්‍යාපනය සඳහා යොමු කරන ලදී.
මහාචාර්ය ඌරුවෙල ධම්මරතන, පසුව මහාචාර්ය තෙන්නකෝන් නම් වූ විමලානන්ද,
පූජ්‍ය මැටිවල සංඝරතන, තාරාවිල ධම්මරතන මේ අයගෙන් කීපදෙනෙකි. හින්දි,
ඉංගී‍්‍රසි, වංග යන භාෂාවලින් පුංචි ධර්ම ග්‍රන්ථ සම්පාදනය කළ අතර
දඹදිව ජනතාවට බුදු දහම දැනගැනීම සඳහා හින්දි බසින් ධර්මදූත සඟරාවද
ඉංගී‍්‍රසියෙන් මහාබෝධි ස¼ගරාව ද සිංහලෙන් ‘සිංහල බෞද්ධයා’ පත්‍රයද
ආරම්භ කළ අතර සම්මන්ත්‍රණ මගින්ද ජනතාවට බුදු දහම ගැන කරුණු ඉගැන්වූහ.
1893 දී ඇමරිකාවේ චිකාගෝ නුවර සිදු වූ දෘෂ්ටි සම්මේලනයේ ප්‍රධානම බෞද්ධ
නියෝජිතයා වූයේ අනගාරික ධර්මපාලතුමාය. එදා මහාසභාවේ බෞද්ධයින් කීදෙනෙක්
සිටියාද කියා ධර්මපාලතුමා ඇසූ ප්‍රශ්නයට එකම කාන්තාවක් පමණක් අත උස්සා
මා බෞද්ධ යයි කියා ඇත. අවුරුදු අටසියයකට පසුව 1891 දී ඉන්දියාවේ කල්කටා
නගරයේ ඇල්බට් හෝල් එකේ දී සිදු වූ වෙසක් උත්සවය සංවිධානය කර තිබුණේ
අනගාරික ධර්මපාලතුමා විසිනි. එදාත් මේ ස්ථානයේ බෞද්ධයින් කීදෙනෙක්
සිටියා ද කියා ධර්මපාලතුමා ඇසූ ප්‍රශ්නයට උත්තර දී ඇත්තේ එකම බෞද්ධයකු
පමණි. එහි සිට ඇත්තේ එකම වංග බෞද්ධයකු පමණි. බුද්ධගයා මහා සටන් සමග
කල්කටාවේ ශ්‍රී ධර්මරාජික විහාරය, බරණැස මූලගන්ධකුටි විහාරය ප්‍රාථමික
පාඨශාලා කාර්මික විද්‍යාල ආරම්භ කර එතුමා සෑම අංගයකින්ම බුදු දහම බෞද්ධ
සංස්කෘතිය පෝෂණය කිරීමට සෑම මොහොතක්ම කැප කර ඇත. මේ ලෝකයේම ඇති බැනුම්
ඇසූහ. හිරබත් කෑහ. අවනම්බු වින්දහ. බොහෝ විට බඩගින්න නිවා ගන්නට යමක්
නොතිබීම නිසා බඩ ගින්නේම සිට ඇත. බරණැස ඉසිපතන මූලගන්ධකුටි විහාරය සාදා
අවසන් හුස්ම එකී විහාරය දෙස බලාගෙන සිදුකළ යුතු බව එතුමාගේ ප්‍රධාන
ශිෂ්‍යයා වූ දේවපි‍්‍රය වලිසිංහට කියා ඇත.
අවසාන කාලයේ ලෙඩ වී බෙහෙත් ගැනීමට දොස්තර රැගෙන ආවිට එතුමා දේවපි‍්‍රය
වලිසිංහට කියා ඇත්තේ, දේවපි‍්‍රය අහිංසක අසරණ දුප්පත් උපාසකම්මලා
සම්බුද්ධශාසනය දියුණුකිරීමට දෙන මේ සම්මාදම් සල්ලි මගේ මේ කුණු ශරීරයට
වියදම් කරන්න එපා. බුද්ධශාසනයේ දියුණුවට වියදම් කරපන් කියා අවවාද දී
ඇත. මේ උදාර අදහස් දැරූ ශ්‍රේෂ්ඨ සිංහල බෞද්ධ නායකයා බරණැස ඉසිපතන
මිගදාය මූලගන්ධකුටි විහාරය දෙස බලාගෙන දඹදිව බුදු සසුන නගා සිටුවීම
සඳහා මා නැවත විසිපස් වරක් දඹදිව බමුණු පවුලක ඉපදේවා යන ප්‍රාර්ථනාවෙන්
මහාකාරුණික බුදුන් ප්‍රථම ධර්මදේශනාව දේශනාකර වදාළ දඹදිව ඉසිපතන
මිගදායේ දී අවසන් හුස්ම හෙලන ලදී. |