ස්කොට්ලන්තයේ බෞද්ධකම
දහඅට වන සියවස පමණ වන විට අපරාධ විමර්ශන විද්‍යාව ආරම්භ වී
යැයි ඉතිහාසයේ සඳහන් ය. එ සේ වූව ද මරණීය දණ්ඩනය යළි
ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කැරෙන විවාදය දෙස බැලූ විට අප
සමාජය දහ අට වන සියවසට වඩා පසු පසට ගමන් කළ සෙයකි. මෙයට හේතුව
ආවේගශීලී ව ප්‍රශ්නය දෙස බැලීම හා නූතන දැනුම උපයෝගී කැර නො
ගැනීම ය. මෙ බඳු ප්‍රතිපත්ති ගැන තීරණය කැරෙන අවස්ථාවල දී
පමණක් නො ව පුද්ගලයකු සම්බන්ධයෙන් වන රාජ්‍ය මැදිහත්වීමක දී
පවා ආවේගාත්මක බවින් මිඳී මානුෂීය කරුණු මෙන් ම ඊට බලපාන සමාජ
හා දේශපාලන සාධක නිවැරැදි ව හඳුනා ගැනීම අවශ්‍ය යැයි සිතමු. එ
ලෙස විශිෂ්ට අයුරින් ක්‍රියා කළ අවස්ථාවක් දෙසට පාඨක අවධානය
යොමු කිරීම පිණිස අද දින කතු වැකිය වෙන් කැරේ.
ලොකර්බි ගුවන් අනතුර ලෙස ප්‍රකට මේ සිද්ධිය වසර විස්සක් පුරා
අන්තර්ජාතික දේශපාලන වේදිකාවේ සාකච්ඡාවට ලක් වූ කරුණකි. ලන්ඩන්
නුවර සිට නිව්යෝර්ක් බලා පියාසර කළ පෑන් ඇම් මඟී ගුවන් යානයක්
1988.12.21 වන දා ස්කොට්ලන්තයේ ලොකර්බි ප්‍රදේශයට ඉහළ අහසේ දී
පුපුරයෑම එම සිද්ධියයි. ගුවන්යානයේ සඟවා තිබූ කාලබෝම්බයක්
පුපුරායෑමෙන් සිදු වූ ලොකර්බි ගුවන් අනතුර නිසා දෙසිය හැත්තෑ
දෙනකු මරණයට පත් විය. එය සිදු වී වසර තුනකට පසු අබ්දෙල්බාසෙට්
අලිමොහොමඩ් අල් මැග්‍රාහි හා අල් අමීන් කාලිෆා ෆායිමා යන
ලිබියානු ජාතිකයන් දෙදෙනාට එරෙහි ව නඩු පැවැරිණ. එක්සත්
ජාතීන්ගේ සංවිධානය පවා මැදිහත් වී පැවැරූ එම නඩුව විභාග වූයේ
ස්කොට්ලන්ත නීතිය යටතේ නෙදර්ලන්තයේ දී ය. එක්සත් ජාතීන්ගේ
සංවිධානය විසින් ලිබියාවට එරෙහි ව සම්බාධක පැනවීම දක්වා
ලොකර්බි සිද්ධිය අන්තර්ජාතික වශයෙන් විශාල බලපෑමක් සිදු කළේ ය.
අල් මැග්‍රාහි වරදකරු ලෙස තීරණය කළ අධිකරණය ඔහුට ජීවිතාන්තය
දක්වා (අවුරුදු 27 ක ) සිර දඬුවමක් 2001 දී නියම කරන ලදී.
අමීන් කාලිෆාට එහි දී නිදහස ලැබිණ. සිර දඬුවම් විඳිමින් සිටි
අල් මැග්‍රාහි මාරාන්තික පිළිකාවක් නිසා පීඩා විඳින බව 2008
සැප්තැම්බර් මාසයේ දී අනාවරණය විය. ඒ අනුව ඔහු නිදහස් කිරීමට
ස්කොට්ලන්තය ගත් තීරණයට ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ද
විරෝධය පළ කළේ ය. එහෙත්, අන්තර්ජාතික බලවේග හමුවේ පවා
අපරාධකරුවකු දෙස මානුෂවාදී ලෙස බැලිය යුත්තේ කෙ සේ ද යන්න
පිළිබඳ ව ලොවට ආදර්ශයක් දීමට ස්කොට්ලන්තය සමත් වී තිබේ. අල්
මැග්‍රාහි නිදහස් කිරීමට ස්කොට්ලන්ත රජය ගත් තීරණය එ රට අධිකරණ
ලේකම් කෙනී මැක් ආස්කිල් විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ මේ
අයුරිනි.
“ස්කොට්ලන්තයේ අපි, අපේ මනුෂ්‍යත්වය හා මානව දයාව ගැන ආඩම්බර
වෙමු. මේ මනුෂ්‍යත්වය පිළිබඳ හැඟීම ස්කොට්ලන්තයේ හා ස්කොට්ලන්ත
ජනතාවගේ චරිත ලක්‍ෂණ නිරූපණය කරන්නා වූ මිනුම් දණ්ඩක් ලෙස
සලකනු ලැබේ. සාපරාධී හා දාමරික ක්‍රියාවන් පිළිබඳ වරදක් හේතු
කොට ගෙන අප කවුරුන් ද යන්න පිළිබඳ අපේ අනන්‍යතාවත්, අප ආරක්‍ෂා
කිරීමට බැඳී සිටින සාරධර්මයත් අපට අමතක කළ නො හැකි ය. එ සේ ම
අප දල්වා සිටීමට උත්සාහ දරන අපේ විශ්වාසයන් නමැති පහන් නිවා
දැමීමට මෙය හේතුවක් නො විය යුතු ය.”
‘එදා තමා යටතට පත් වූ මගීන්ට අල් මැග්‍රාහි මහතා කිසිදු
ලිහිලක්, සහනයක් හෝ අනුකම්පාවක් දැක් වූයේ නැත. රෝගාතුර ව
මියයන්නට ආසන්න ව සිටි සිය ඥාතීන් වෙත යෑමට ඔහු මඟීන්ට ඉඩ
දුන්නේ නැත. ඔහුගෙන් මඟීන්ට කිසිදු අනුකම්පාවක් ලැබුණේ නැත.
එහෙත් ඔහු ගේ අවසාන කාලයේ දී ඔහුටත්, ඔහු ගේ පවුලේ අයටත්
අනුකම්පාවක් නො දැක්වීමට එය අපට හේතුවක් නො වන්නේ ය.’
‘තීන්දුවක් දිය හැකි වුවත්, අනුකම්පාවක් දැක්වීමට එයින් ඉඩකඩ
ඇහිරිය යුතු නැති බව අපේ අධිකරණ පද්ධතිය අවධාරණය කරයි. යුක්තිය
පසිඳලිය යුතු වුවත් අනුකම්පාව දැක්විය යුතු බව අප ගේ
විශ්වාසයන් අපට බල කැර තිබේ. ජනතාවක් වශයෙන් අපේ සාරධර්මවලට
තවදුරටත් කැප වෙමින් ජීවත් වීමට උත්සාහ දැරීමේ දී අනුකම්පාව හා
සමාව දීම පිළිබඳ අප ගේ විශ්වාසයන් රැක ගත යුතු ය. ප්‍රකෝපකාරී
ක්‍රියාවක හෝ සාපරාධී ක්‍රියාවක බරපතළකම කුමක් වූවත්, අප එම
කාරණය මෙහි දී සැලකිල්ලට ගත යුතු නැත.
‘මේ අනුව ලොකර්බි බෝම්බ සිද්ධියට 2001 දී වරදකරු වී දැන්
පිළිකාවෙන් බරපතළ ලෙස රෝගාතුර වී සිටින අබ්දෙල්බාසෙට්
අලිමොහොමඩ් අල් මැග්‍රාහි මහතා සානුකම්පික හේතූන් මත නිදහස්
කොට සිය මරණය සඳහා ලිබියාවට ආපසු යෑමට අවසර දීමට මේ හේතූන් මත
පමණක් ම මම තීරණය කරමි.’
ස්කොට්ලන්ත රජය අල් මැග්‍රාහි සම්බන්ධයෙන් ගත් මේ තීරණය අපට ද
ආදර්ශයකි. අපරාධයේ බරපතළකම නිසා ම මානව ගුණ නිහඬ කිරීමට ඉඩ දිය
යුතු නැති බව ඔවුන් ලොවට උගන්වා තිබේ. මෙ බඳු මානුෂවාදී
ආදර්ශයක් දීමට අපට නො හැකි නම් අප ගේ බෞද්ධ කම කුමක් ද? |