UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය

මීට වසර දෙදහස් තුන්සියකට පෙර මහින්ද මහ රහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට මේ මහාර්ඝ දායාදය වූ බුදුදහම ගෙන එන ලදී. එම ධර්මදායාදය තුළින් මෙරට ජන ජීවිතය පුරා සිදු වූ වෙනස්කම ශ්‍රී ලංකා ඉතිහාසය උදාර ගුණ ගරුක ජාතියකගේ කථා පුවත බවට පත්කර ඇත. මහින්දාගමනයෙන් පසු යන්නට පෙර වදනකි මේ වංශකථා මූලාශ්‍ර කොටගෙන ඉහත සඳහන් නිගමන සනාථ කරන්න.

පිළිතුර

ජන සංඛ්‍යාවෙහි ප්‍රතිශතයෙන් බහුතරය වූ බෞද්ධයන් මත පමණක් නොව පොදුවේ සමස්ත ශ්‍රී ලාංකික ජනයා මෙහෙය වන සාරධර්මයන්ගේ ස්වරූපය තුළින් පැහැදිලි වන්නේ බුදු සමයෙහි ආලෝකය ගැඹුර ලෙස සටහන්ව ඇති ආකාරයයි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මුල් ලක්බිම තදින් කාවැදී පවත්නා පරිද්දෙන් බෞද්ධ සංකල්ප ශ්‍රී ලාංකිකයන්ගේ ඇට, මස්, නහර අස්සේ මුල් ඇදී පවත්නා බව විද්වතුන් පවසා ඇත්තේ ඒ නිසයි. මිහිඳු මාහිමියනට දීප පසාදක අනුබද්ධ යන ගෞරව අභිධාන යොදනු ලබන්නේ ඒ නිසයි. දේශාභිමානය, ජාති හිතෛෂී භාවය, සාර්වජණීන විචාර ආත්ම ධෛර්යය, කලාරුචිය, පරිත්‍යාගශීලී බව සහනශීලීත්වය වැනි උදාර ගති ගුණ මිහිඳු මාහිමියන් ගෙන ආ බුදු දහමේ ප්‍රභවයෙන්ම ඇති වූ සද් ගුණයන් බව අවිවාදයෙන් පිළිගත යුත්තකි.

සිංහල සංස්කෘතියේ සුජාතබව මහින්දාගමනයෙන් සිදු වූ බව අපට වැටහෙන්නේ සංස්කෘතිය යන්නෙන් ජනතාව විසින් තම ඓතිහාසික පැවැත්ම පුරා නිම වූ භෞතික, ආධ්‍යාත්මික, බුද්ධිමය සාහිත්‍යමය සහ කලාත්මක සාර ධර්මයන්ගේ සමුද්භවය එතැන සිදු වූ හෙයිනි. බුදු සමය සාරධර්ම ජීවන රටාවක් වෙතම උසස් චින්තනයක් හා ප්‍රසන්න ආචාර පිළිවෙත් පිහිටුවා සමාජ අභ්‍යන්තරය තුළ ජීවිතය, දේපල අයිතිය හා විශිෂ්ට මිනිස් සබඳතා පිළිබඳ ගෞරවාන්විත ආකල්ප පුබුදු කරන සාරධර්ම පද්ධතියකින් එය පුෂ්ටිමත් බව වසර දෙදහස් පන්සියකට පසුව වුවද අභියෝගයෙන් තොරව පිළිගැනේ.

සිනා පෙරදැරිව කතා කරමින් (විහිත පුබ්බංගමා) සැප සනීප විමසා සංවාද අරඹමින් (සම්මෝධනීයං කථං සාරාණීයං විනීසාරෙත්වා) ජනතාව සොම්නසට පත්කළ උන්වහන්සේ රාජ රාජ මහාමාත්‍යවරුන් මෙන්ම දුගී දුප්පත් අහිංසකයන්ටද එකසේ අර්ථ සම්පන්න වූ ලොවී ලොව්තුරා සුවයට අදාළ වූ සාරවත් සංකල්ප සමූහයක් ඉදිරිපත් කළහ. ජීවිතය අගනා වස්තුවක් බව හා එහිලා මිනිස් තිරිසන් භේදයක් නොමැති බව මහින්දාගමනය සමග සිංහලයන් ග්‍රහණය කරගත් ප්‍රථම සාර ධර්මයයි. මිහිඳු මාහිමියන් තමන් වහන්සේ හඳුන්වා දුන් වහාම දෙවන පෑතිස් රජුගේ දුනු ඊතල අතින් ගිලිහීමෙන් සංකේතවත් කරනු ලබන්නේ ලක්දිවට ජීවිතයෙහි අගය සාර ධර්මයක් ලෙස සම්ප්‍රාප්ත වූ වගය.
 


ප්‍රශ්නය

අභිධර්ම පිටකය,’ප්‍රකරණ’ හෙවත් ග්‍රන්ථ හතකින් සංයුක්ත වෙයි. මෙම ප්‍රකරණ ග්‍රන්ථ පිළිබඳව පැහැදිලි කර විශිෂ්ට ධර්මය ‘අභිධර්මය’ යැයි කෙටි හැඳින්වීමක් සාමාන්‍ය හඳුනා ගැනීමක් ඇතත්, අන්තර් ගතය පිළිබඳව විවරණයක් අවබෝධ කොට ගැනීම වඩාත් ඵලදායී වන හෙයින් එක් එක් ප්‍රකරණ සංයුතිය පිළිබඳව වෙන් වෙන්ව හඳුන්වන්න.

පිළිතුර

ප්‍රථම ප්‍රකරණය හෙවත් ග්‍රන්ථය – ධම්ම සංගිණියයි. එහි අන්තර්ගතව වී ඇත්තේ ආචාර ධර්ම හා ධර්ම කරුණු ය. බුද්ධඝෝෂ අටුවාචාරීන් විසින් ‘අත්ථසාලිනී’ නම් අටුවා ග්‍රන්ථයක් රචනාකොට ඇත.

විභංග නමින් එන දෙවන අභිධර්ම ප්‍රකරණයෙහි ධර්ම කරුණු විග්‍රහයට හා විශ්ලේෂණයට භාජනය වී ඇත. එහි අට්ඨ කථාව ‘සම්මෝහ විනෝදනී’ නමින් හැඳින්වෙයි. තෙවන කෘතිය ‘ධාතු කථා’ නමින් හඳුන්වා ඇත්තේ එහි මූලධර්ම හෙවත් මූල ධාතු පිළිබඳව විග්‍රහකොට ඇති බැවිනි. සතර වන ප්‍රකරණය වන පුද්ගල පඤ්ඤත්තියෙහි පුද්ගලයන්ගේ විශේෂ ලක්‍ෂණ හෙවත් ගති පිළිබඳව විග්‍රහයක් ඇතුළත් වෙයි. කථා වත්ථුප්පකරණය. අභිධර්මයේ පස්වන කෘතියයි.

දාර්ශනික කථාවස්තු හෙවත් විෂය මාතෘකා පදනම් කොටගෙන කරුණු එහි විස්තර වෙයි. මෙම කෘතිය මොග්ගලීපුත්ත තිස්ස හිමියන් විසින් රචිත බව පිළිගත් මතයයි. සයවැනි ප්‍රකරණය හඳුන්වා ඇත්තේ ‘යමක’ යන නමිනි. බුද්ධ ධර්මයෙහි එන යම් යම් කරුණු යුගල වශයෙන් මෙහි ඉදිරිපත් කොට ඇත. අවසාන කෘතිය වන ‘පට්ඨාන ප්‍රකරණය’ හේතුඵල සම්බන්ධතාව පිළිබඳ විශ්ලේෂණයකි. මානසික භෞතික වස්තූන්ගේ පැවැත්ම සඳහා හේතුවන සාධක විසිහතරක් මෙහිදී ඉදිරිපත් කොට ඇත.


ප්‍රශ්නය

දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙහිදී, යංකිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මංති’ යනුවෙන් දේශනා කොට ඇත. ‘සමුදය’ ධර්මයන්හි තීණි සංඛත ලක්ඛණානි යනුවෙන් දේශීත ගති ලක්‍ෂණ තුන හඳුන්වන්න.

පිළිතුර

හටගැනීම, විනාශය වෙනස් වෙමින් පැවතීම, උප්පාද, වය, ඨිතස්ස අඤ්ඤතත්ත යනුවෙන් සංස්කාර ධර්මයන්ගේ ලක්‍ෂණ තුනක් දක්වා තිබේ.


ප්‍රශ්නය

දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙහිදී එවං තිපරිවට්ටං ද්වා දසාකාරං යනුවෙන් ත්‍රිපරිවෘත ඤාණය ලැබූ බව සඳහන් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර

තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍යය සර්වප්‍රකාරයෙන්ම අවබෝධ කොටගත්හ. එක් සත්‍යයක් ත්‍රිවිධ ආකාරයෙන් යුක්ත විය. එය තිපරිවෘත ඥානය නමින් හැඳින්වෙයි. එක් සත්‍යයක තුන් ආකාර ඥානය ලැබිණි. එය හතරෙන් ගුණ කළ විට දොළොස් ආකාර වෙයි.

1. සත්‍ය ඤාණය – පරිඥෙය්‍ය ඤාණය පරිඥත ඤාණය
2. සත්‍ය ඤාණය – ප්‍රභාතව්‍ය ඤාණය ප්‍රහීනයික ඤාණය
3. සත්‍ය ඤාණය – සච්ඡිකාතබ්බ ඤාණය සච්චිකතන්ති ඤාණය
4. සත්‍ය ඤාණය – භාවෙතබ්බ ඤාණය භාවිතන්ති ඤාණය වශයෙනි.

 

අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජුනි මස 15 වන දා සඳුදා අපර භාග 3.12 ට ලබයි. 16 වනදා අඟහරුවාදා අපරභාග 3.57 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජුනි මස 15 වනදා සඳුදාය.

මී ළඟ පෝය ජුනි 22 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

Full Moonපසෙලාස්වක

ජූලි 06

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]