මාර/මිරිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ ආචාරිනී
ශාස්ත්‍රපති
එල්.ඒ. ඉන්ද්‍රානි
මසැසින් උන්වහන්සේ නොදුටුවත් දහම් ඇසින් දැක ගත හැකි ය. එබඳු
කරුණාවන්ත, එබඳු ප්‍රඥාවන්ත උත්තමයකු මේ ලොව පහළ වී නොමැති බව එවිට
තේරුම් යයි. භෞතික ලෝකයේ විවිධ උපකරණ සොයා ගත්
විද්‍යාඥයින්ට අපේ සසර ගමනට හේතුව සොයා ගත නොහැකි ය. එහෙත්
බුදුරජාණන් වහන්සේ අතීන්ද්‍රිය ඥානයෙන් එය අවබෝධ කොට වදාළහ. සහමුලින්
චින්තන ශක්තියෙන්ම මේ ධර්මතාව මේ තරම් සියුම් ලෙස ගැඹුරු ලෙස අවබෝධ කර
ගැනීම ම, කොතරම් විස්මය ජනක ද?
අබළුවකින් පමණ
නොකළැකි දිය සෙ සරතණ
ලදුවයි පෙදෙස් නැණ
කෙසේ පැවසිය හැකි ද බුදු ගුණ
ගුත්තිල කාව්‍යය මෙසේ පවසන්නේ බුදුරජාණන් වහන්සේ ගේ ගුණ සුළු දැනුමක්
ලබා පැවසිය නොහැකි බවයි. සැරියුත් මහ රහතන් වහන්සේ බුදුරජාණන්
වහන්සේගේ ශ්‍රාවක පිරිස අතර මහා ප්‍රඥාවන්ත මහ රහතන් වහන්සේ ය. එනමුදු
උන්වහන්සේ දන්නා බුදු ගුණ ද ඉතා අල්ප බව දැක්වේ.
බුදුරජාණන් වහන්සේ වෙන කිසිම දෙයක් නොවදාරා බුදු ගුණම පමණක් කල්පයක්
දේශනා කළ ද, කල්පය අවසන් වනවා මිස බුදු ගුණ දේශනා කර අවසන් වන්නේ නැත.
අපසතු උපමා වලට සමාන කරන බුදුගුණ මහා සාගරයක් බඳු යැයි ද, මහා මේරුව
තරම් යැයි ද, මහ පොළව තරම් යයිද දක්වතත් බුදු ගුණ ඒ හැමටම වඩා ගැඹුරු
ය. උස් ය. මහත් ය.
උන්වහන්සේ ලෝකය පිළිබඳව සත්‍යය අවබෝධ කළ නිසාම, ලෝකයා අගය කරන ලෝකය අගය
කරන කිසිම භෞතික දෙයක හරයක් නැති බව වටහා ගත්හ. මේ නිසා උන්වහන්සේ
අනතිමානී වූහ. ඉවසන සුළු වූහ. යථාවාදී තථාකාරී වූහ. මහා කරුණාවන්ත වූහ.
කුල වන්තයාට මෙන්ම කුල හීනයාටත්, රජුට මෙන්ම සිඟන්නාටත්, පුරුෂයාට
මෙන්ම ස්ත්‍රියටත් සමාන ලෙස සැලකූහ. රජුගේ මාලිගයෙන් ලද රාජ භෝජන මෙන්ම
දිළිඳු පැලෙන් ලද රළු ආහාරය පවා වෙනසක් නොකොට පිළිගෙන වදාළහ.
ජේතවනාරාමයේ මෙන්ම රුක් මුල් සෙනසුන් හිඳ වැඩ වාසය කළහ. ප්‍රශංසාවත්
නින්දාවත් එක ලෙස පිළිගත්හ. මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය දෙමාපිය යුවළක ගෙන්
උපත ලබා ආශ්චර්යවත් උත්තරීතර මනුෂ්‍ය රත්නයක් ලෙස ක්‍රියා කළහ.
සක්විති රජකම අතින් ගෙන අතිශයින් සුඛෝපභෝගී පවුලක උපත ලද උන්වහන්සේ
විනා වෙන කිසිවකු ගිහිගෙය අත්හරින්නේ නැත. තමා ලද යස ඉසුරු අත් හලේ පයට
පෑගෙන දූවිලි පොදක තරම් වත් අගයක් නොමැතිවය. කාලාන්තරයකට පසු පහළ වූ මේ
අසිරිමත් මහා උත්තම මනුෂ්‍ය රත්නය වදාළේ ලද මිනිසත් බවින් පල ලබා ගන්නා
ලෙස ය. මිනිසත් බව දෙවියන් හමුවේ බාල්දු වී සිටි සමයෙක පහළ වූ
උන්වහන්සේ මිනිසාගේ ස්වාමීත්වය මතු කර දුන්හ. මෙලොව පහළ වූ සත්වයන් අතර
මිනිසාගේ අගය වටහා දුන්හ. මිනිසාට දෙවියකු වන්නටත් බුදු වන්නටත් හැකි
බව වටහා දුන්හ.
එහෙත් ජීවමාන බුදුරදුන් දවස මෙන්ම අදත් බුදුරජාණන් වහන්සේගේ වචනය ගණන්
නොගත් උන්වහන්සේගේ ගුණය හෑල්ලු කළ පිරිස් ඇතැම් විට දක්නා ලැබේ. එබඳු
අයට හිමිවන්නේ දුගතියයි. දේවදත්ත, චිංචි මාණවිකා, සුප්‍රබුද්ධ ඒ අතර
ප්‍රධාන තැනක් ගනී.
ඇතැම් ප්‍රදේශ වලට උන්වහන්සේ වැඩම කරන විට ඒ පළාතේ ජලය බිඳක්වත්
නොගන්නට විවිධ උපක්‍රම යොදා තිබිණි. ඇතැම් විටක කිසිදු ආහාරයක් පිළියෙළ
නො කොට දානයට ආරාධනා කළහ. ඒ කිසිම ක්‍රියාවක් ඒ අයුරින් ක්‍රියාත්මක
වූයේ නැත. බුදු ගුණ හමුවේ ඒ සියල්ලම නිරර්ථක ක්‍රියාවන් විය.
උන්වහන්සේ පෙන්වා දුන් සත්‍යයට පිටු පෑ සියල්ලන්ටම සිදු වූයේ ලැබූ
මිනිසත් බව අපතේ යවා ගන්නට ය. බුදුරජාණන් වහන්සේගේ කීර්තියට ඒ එකකිනුදු
පලක් වූයේ නැත. අන්‍ය ආගමික විද්වතුන් බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේ
සහ උන්වහන්සේගේ ගුණ මහත් සේ අගය කළහ. ජවහර්ලාල් නේරු, එච්.ජී. වේල්ස්,
එඩ්වින් ආර්නෝල්ඩ් එවන් උතුමන් ය.
බුදුරජාණන් වහන්සේ දෙව් ලොව වැඩම කළ අවස්ථාවකදී දන්සැල් බැඳගෙන දන්
දුන් ‘අංකුර’ නම් දිව්‍ය පුත්‍රයා උන්වහන්සේ සමීපයට ආවේ ය. කෙමෙන්
කෙමෙන් මහේශාඛ්‍ය දෙවිවරු සමීපවත්ම ‘අංකුර’ දෙව්පුත් පසුපසට වීම කොතෙක්
ද යත් ගව්වක් පමණ දුරින් සිටියේ ය. එහෙත් ‘අනුරුද්ධ තෙරුන් වහන්සේට’
තමා සිඟාලත් බත් හැන්දකින් පිදූ ‘ඉන්ද්‍රක’ නම් දෙවියන් බුදුරජාණන්
වහන්සේ ළගින්ම නොසෙල් වී සිටීමට තරම් මහේශාඛ්‍ය බවක් ලැබී ය.
බුදුරජාණන් වහන්සේ අසලින්ම නිතර වැඩ සිටියේ අගසව් දෙනමය. උපස්ථායක
ආනන්ද තෙරුන් වහන්සේ ය.බුදුරජාණන් වහන්සේ කිසිවකුට සමාන කළ නොහැකි ය.
උන්වහන්සේ ගැන බුදුගුණාලංකාර කතුතුමා මෙසේ දක්වා ඇත.
හැම ගුණයෙන් නඳා
සම, වැඩි සතෙකු ඇමදා
දියතෙහි නැති සදා
අනුත්තර යයි කියති මුනිදා
උන්වහන්සේට වැඩි හෝ සම අයකු නැති නිසාත් උසස් හැම ගුණයකින්ම යුතු
නිසාත් උන්වහන්සේ අනුත්තර වෙති. එසේ වූ බුදුරජාණන් වහන්සේ සරස්වතීටත්
ලක්‍ෂ්මිටත් අතරමැද සිටින පින්තූර ඇතැම් බෞද්ධ නිවාසවල බෞද්ධ රියදුරන්
සිටින සමහර බස් රථවල ප්‍රදර්ශනය වනු පෙනේ. ඊට එහායින් සීවලී හිමියන්
වැඩ හිදින අතර ගණ දෙවි රූපයක් ද ඇතුළත් වේ. එසේ පින්තූර මුද්‍රණය
කරන්නාට අවශ්‍ය මුදල් ය. ඔහුට ඒ පින්තූර වෙළඳාමෙන් වාසනාව උදා වී ඇත.
එම පින්තූර එල්ලාගෙන සුවඳ දුම් අල්ලන අපේ ඇතැම් බෞද්ධයෝ ද වාසනාව
උදාවනතුරු ඉස්පාසුවක් නැතිව බලා සිටිති.
ලක්‍ෂ්මී පින්තූරයෙන් ධනය ද,සරස්වතී ගෙන් ශිල්ප ඥානයද,ගණ දෙවියන් ගෙන්
නුවණ ද,සීවලී මහරහතන්වහන්සේගෙන් ආහාරද, බලාපොරොත්තු වන ඔවුහු
බුදුරජාණන් වහන්සේගෙන් ආරක්‍ෂාව බලාපොරොත්තු වෙති. බුදුරජාණන් වහන්සේ
වදාළේ... ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරි.... කියා ය. ධර්මයට අනුව
හැසිරෙන්නාට ධර්මය නිසා ආරක්‍ෂාව ලැබේ. බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ
මාර්ගෝපදේශකයන් වහන්සේ ය.
බුදුරජාණන් වහන්සේ ලාභ අපේක්‍ෂාවෙන් තොරව හුදු මහා කරුණාවෙන්ම අන් අයට
පිහිට වූහ. එබඳු මහා කරුණාවන්තයෙකු ලොව පහළ වන්නේ කාලාන්තරයකට පසු ය.
මේ බව ඇතැම් විට උපතින් බෞද්ධයන්ට වඩා වටහාගෙන ඇත්තේ, ඇතැම් විට අපරදිග
උගතුන් ය.
ආසියාවේ ආලෝකය නමැති කාව්‍යය රචනා කළ එඩ්වින් ආර්නෝල්ඩ් පැවසුවේ
මනුෂ්‍ය වර්ගයා නමැති මහා වෘක්‍ෂයේ කාලාන්තරයකට පසු මුදුනේ ම පිපෙන
ප්‍රඥා සුගන්ධයෙන් සහ කරුණා මකරන්දයෙන් හෙබි අසිරිමත් පුෂ්පය
බුදුරජාණන් වහන්සේ බවයි. බුදුරජාණන් වහන්සේගේ අගය වටහා ගන්නට අප උත්සාහ
කළ යුතු ය. එයම අපගේ විමුක්තියට මාර්ගය හෙළි කරන හෙයිනි. උන්වහන්සේ
ශාස්තෘවරයා කරගන්නා පිරිස හැකි තරම් සිල්වත් ගුණවත් පිරිසක් විය යුතු
ය. උන්වහන්සේ ගේ අවවාද අනුගමනය කළ යුතු ය.
මසැසින් උන්වහන්සේ නොදුටුවත් දහම් ඇසින් දැක ගත හැකි ය. එබඳු
කරුණාවන්ත, එබඳු ප්‍රඥාවන්ත උත්තමයකු මේ ලොව පහළ වී නොමැති බව එවිට
තේරුම් යයි. භෞතික ලෝකයේ විවිධ උපකරණ සොයා ගත් විද්‍යාඥයින්ට අපේ සසර
ගමනට හේතුව සොයා ගත නොහැකි ය. එහෙත් බුදුරජාණන් වහන්සේ අතීන්ද්‍රිය
ඥානයෙන් එය අවබෝධ කොට වදාළහ. සහමුලින් චින්තන ශක්තියෙන්ම මේ ධර්මතාව මේ
තරම් සියුම් ලෙස ගැඹුරු ලෙස අවබෝධ කර ගැනීම ම, කොතරම් විස්මය ජනක ද?
එසේම එය අන්‍යයන්ට ද අවබෝධ කරවීමට තරම් හසුරු කුසලතාවයකින් යුතු වීම
ඊටත් වඩා පුදුම සහගතය. උන්වහන්සේ ගේ ගුණ හමුවේ කණමැදිරි එළියක් වත්
විහිදුවා ගත නොහෙන ඇතැම් අන්‍ය ආගමික දෙවඟනන් ගේ පින්තූර ඇතුළත් කිරීම
කොහෙත්ම බෞද්ධයින්ට ගැළපෙන්නේ නැත.
බුදුරජාණන් වහන්සේ තුන්වරක් සිය පාද ස්පර්ශයෙන් අතිපරිශුද්ධ කළ මෙවන්
භූමියක් මේ මිහිපිට තවත් නොමැත. ලොව පළමු දාගැබ නිර්මාණය කළේ ශ්‍රී
ලංකාවේ ය. බුදුවීමට සෙවන දුන් බෝධි වෘක්‍ෂය, ලලාට ධාතූන් වහන්සේ
පාත්‍රා ධාතූන් වහන්සේ, ගී‍්‍රවා ධාතූන් වහන්සේ දකුණු අකු ධාතූන්
වහන්සේ, ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතූන් නිදන් කළ රුවන්මැලි සෑ රදුන්, දළදා
වහන්සේ දම් දෙසූ මිණි පළඟ නිදන් කළ කැලණි චෛත්‍යය, සිරිපා සටහන ආදී
පූජනීය වස්තු රාශියක් අප සතු ය. එසේම පිරිසුදු බුද්ධ ධර්මය ලේඛන ගත කළේ
ද ශ්‍රී ලංකාවේ ය. මෙවන් පින් කෙතක් ඇති රටක් ලෝකයේ වෙනත් නැත. අපි අපේ
ශාස්තෘවරයාණන් වහන්සේගේ වටිනාකම හඳුනා ගනිමු. දෙදහස් හයසිය වන
සම්බුද්ධත්ව ජයන්තිය අර්ථවත් වන්නේ එවිට ය.
|