මේ තරගකාරී ජීවන ක්‍රමයෙන් මදකට ඉවත් වී මේ පිළිබඳව
කල්පනා කළ යුතුය. මේ ගෙන යන තරගකාරී ජීවන රටාව මිනිසාට මෙන්ම පරිසරයට ද
ඔරොත්තු දෙන්නේ නැත මෙයට විසඳුමක් ලෙස බුදුදහම පෙන්වා දෙන්නේ
අධ්‍යාත්මික
සංවර්ධනයත් සමග ඇති කර ගන්නා භෞතික සංවර්ධනයයි.
ඉසිපතනාරාමාවාසී
වග විජිතවංස හිමි
අදවන විට මුළුමහත් ලෝකයම දැවැන්ත ආර්ථික අර්බුදයකට ගොදුරු වී ඇත.
කිසිදු රටකට මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට හැකියාවක් ලැබී නොමැත.
දිනෙන් දිනම කර්මාන්තශාලා වැසීයන අතර විශාල සේවක පිරිසකට රැකියා අහිමි
වී ඇත. මෙම ආර්ථික අර්බුදයට හා නූතන ආර්ථික ප්‍රශ්නවලට හේතු වූ
මූලබීජයන් කවරේද? මේ පිළිබඳව බෞද්ධ දෘෂ්ටි කෝණයෙන් කරුණු විමසා බැලීම
මෙම ලිපියේ අරමුණයි.
පෘථග්ජන පුද්ගලයාට කාමසම්පත්වලින් සෑහීමක් ලැබෙන්නේ නැත. ඒ බව
බුදුරජාණන් වහන්සේ ධම්මපද ගාථාවක ‘න කහාපණ වස්සේන තිත්ති කාමේසූ
විජ්ජති’ යනුවෙන් දක්වා තිබේ. එනම් කහවනු වර්ෂාවක් ඇදහැලුන ද පෘථග්ජනයා
ඉන් සෑහීමට පත් නොවේ. මෙය පෘථග්ජන පුද්ගලයාගේ සැබෑ ස්වරූපයයි. එමෙන්ම
‘ඌණො ලොකො අතිත්තො තණ්හාදාසෝ’ යනුවෙන් රට්ඨපාල සූත්‍රයේ දක්වා ඇත්තේ
ලෝකයා ඌන, තෘප්තිමත් නැති තණ්හාවට දාසයෙකු බවයි. මෙය ස්වභාවය වුවද
තෘෂ්ණාව පාලනය කරගෙන ජීවත් වීමට බුදුදහම අපට උගන්වයි.
ගිහියාට ධනය රැස් කිරීමේදී ඒ පිළිබඳ ප්‍රමාණයක් බුදුදහමේ දක්වා නැත.
ඔහුට හැකියාව තිබේනම් කෝටි ප්‍රකෝටි ගණනක් වුවද රැස් කළ හැකිය. එහෙත් ඒ
සියල්ල කළයුත්තේ ධාර්මිකව හා අසාහසිකවය. නොයෙකුත් ආර්ථික ක්‍රම මුදල්
ඉපයීමට පුද්ගලයා උනන්දු කළ ද බුදුදහම ධනය සෙවීමට පුද්ගලයා උනන්දු
කරවන්නේ මෙම ධාර්මික පදනමේ සිටය. එනම් මේ සඳහා සදාචාර දර්ශනයක් පවතී.
එහෙත් වෙනත් කිසිම අර්ථක්‍රමයක් තුළ මෙවැනි සදාචාර දර්ශනයක් නොමැත.
මේ නිසාම ලෝකයට කාලයක් තිස්සේ උපදෙස් සැපයූ සියලු ආර්ථික ක්‍රම අද එක්
තැනක නැවතී ඇත. නූතන ආර්ථික විද්‍යාව, උගන්වන්නේ සීමිත සම්පත්වලින්
මිනිසාගේ අසීමිත ආශාවන් සපුරා ගන්නා අන්දමය. සීමිත සම්පත් වේගයෙන් ක්ෂය
වී යන නිසා ඔවුන් ඒ වෙනුවට ආදේශක හඳුන්වා දෙනු ලබයි. නමුත් ගැටලුව
වන්නේ ආදේශක යම් කලකදී ක්ෂය වී යාමයි. එසේනම් එය ද දීර්ඝකාලීන විසඳුමක්
නොවේ. නමුත් බුදුදහම උගන්වන්නේ මෙයට සපුරාම වෙනස් කාරණයකි. මිනිසාගේ
ආශාවන් අසීමිත බවත් ලෝකයේ පවතින සම්පත් සීමිත බවත් බුදුදහම පිළිගනී.
එසේනම් ;මයට විසඳුම කුමක් ද? මේ සඳහා බුදුදහම යෝජනා කරන්නේ ලෝකයේ පවතින
සම්පත් සීමිත නම් අවශ්‍යතාවයන් ද සීමිත කරගත යුතු බවයි. මේ සඳහා
බුදුදහම නිර්දේශ කරන්නේ සරල අල්පේච්ඡ ජීවිතයයි.
මිනිසාට මූලික වශයෙන් ජීවත් වීමට අවශ්‍ය කරන කාරණා කිහිපයක් ඇත.
භික්ෂූන් වහන්සේලාට නම් අවශ්‍ය වන්නේ සිවුපසයයි. එනම් චීවර, (ඇඳුම්)
පිණ්ඩපාත( ආහාර) සේනාසන (නිවාස) හා ගිලානපච්චය (බෙහෙත්) යන කරුණු 4
පමණි. එහෙත් ගිහියාට මේ සිවුකරුණෙන් පමණක් සතුටුවිය නොහැක්කේ ඔහු
විසිතුරු ජීවිතයක් ගතකරන නිසාය. නමුත් බුදුදහම ගිහියාගේ මේ විසිතුරු
ජීවිතයේ ද සීමා නිර්ණායක දක්වයි. උපයාගන්නා ධනයෙන් වුවමනාවන් සපුරාගත
හැකි වුවද කිසිකලෙකත් ආශාවන් සපුරාගෙන කෙළවර විය නොහැකි ය. මන්ද යත්
ආශාවන් දිනෙන් දිනම මොහොතින් මොහොත අලුත් වෙමින් අලුත් වෙමින් පැමිණෙන
නිසාවෙනි. උදාහරණයක් ලෙස ඔබ ගිය අවුරුද්දේ ගත් ඇඳුමට අද කැමති නැත. අද
ගන්නා ඇඳුමට තව අවුරුද්දකින් කැමති නැති විය හැකිය. මෙයට හේතූව
විලාසිතා අලුත්වෙන පමණටම ආශාවන් ද අලුත්වීමය. අද ලෝකය ගෝලියකරණයට ලක්
වී ඇති නිසා කාලය හා අවකාශය අඩු වී ඇත. එනිසා ඇමරිකාවේ අද පෙන්වන
විලාසිතා හෙට ලංකාවට පැමිණේ. මේ පසුපස හඹායෑම මිරිඟුවක් පසුපස හඹායාම
බඳුය. මන්ද කිසිදිනෙක ඉන් තෘප්තියට පැමිණිය නොහැකි බැවිනි.
මේ නිසා ආශාවන් අඩුකරගෙන පාලනය කරගෙන ජීවත්වීම කෙරතම් සුවදායක දැයි ඔබට
දැන් වැටහෙනු ඇත. එසේම එය තම ආදායමට කෙතරම් සරිලන්නේදැයි ඔබට පැහැදිලි
වනු ඇත. පෘථග්ජනයන්ගේ තවත් ස්වභාවයක් වන්නේ සන්සන්දනය කිරීමයි. එනම්
අනෙකා දෙස බලා ඔහුට වඩා භෞතික දේවල් ලබා ගෙන ඔහු ඉක්මවා යාමට උත්සාහ
කිරීමයි. අප අපගේ ආර්ථිකය ගොඩනගා ගත යුත්තේ අල්ලපු ගෙදර දෙස බලා නොව තම
ආදායම දෙස බලාගෙනය. එසේ නොවුවහොත් දිගින් දිගටම ණය වීමට සිදුවේ. අනෙකාට
තම ව්‍යාජ වත්පොහොසත්කම් පෙන්වීමට යාමෙන් සිදුවන්නේ ණය වී දුකසේ කාලය
ගත කිරීමටයි. එමනිසා ඔබ සැබෑ තත්ත්වය අවබෝධ කරගෙන නිර්ව්‍යාජ මිනිසකු
සේ ජීවත්විය යුතුය. අනෙකා සමග තරගයේ දිවීමෙන් සිදුවන්නේ ඔබගේ ආර්ථිකය
කඩාවැටීමට ලක්වීමයි.
එමනිසා ඔබ මෙතෙක් කල් දුවන ලද තරගය නැවැත්වීමට දැන් කාලය එළඹ ඇත.
තරගකාරීව සිදුකළ දැවැන්ත සංවර්ධන නිසා අද සිදුවී ඇත්තේ කුමක් ද? විශාල
ලෙස වැසි වනාන්තර, ගස්කොළන් කපා දමා ඒමත කොන්ක්‍රීට් වනාන්තර
ඉදිකිරීමෙහි ප්‍රතිඵල අප අද භූක්ති විඳිමින් සිටී. අවශ්‍යතාවයටත් වඩා
රථවාහන පරිහරණය කිරීම නිසා වායුගෝලය ඉතා අපිරිසිදු වී ඇත. එමෙන්ම
පරිසරය පිළිබඳව කල්පනා නොකර තම මුදල පිළිබඳව පමණ කල්පනා කළ නිසා ඕසෝන්
වියන සිදුරුවන තරමට ම වායුගෝලය දුමෙන් පිරී ඇත. තව කාලයක් වායුගෝලයේ
උෂ්ණත්වය මෙලෙස පැවතිය හොත් උත්තර ධ්‍රැවයේ අයිස් තට්ටු දියවී ගොස්
දූපත් ජලයට ගොදුරු වීමේ තර්ජනයක් ද ඇත.
එසේනම් අප මේ තරගකාරී ජීවන ක්‍රමයෙන් මදකට ඉවත් වී මේ පිළිබඳව කල්පනා
කළ යුතුය. මේ ගෙන යන තරගකාරී ජීවන රටාව මිනිසාට මෙන්ම පරිසරයට ද
ඔරොත්තු දෙන්නේ නැත මෙයට විසඳුමක් ලෙස බුදුදහම පෙන්වා දෙන්නේ
අධ්‍යාත්මික සංවර්ධනයත් සමග ඇති කර ගන්නා භෞතික සංවර්ධනයයි.
අධ්‍යාත්මික සංවර්ධනයක් නොමැති පුද්ගලයාට භෞතික පහසුකම් නිසි පරිදි
භුක්ති විඳීමට අවබෝධයක් නැත. එවැනි පුද්ගලයන් නිසා මිනිසාත් එමෙන්ම
පරිසරයත් විනාශයට ලක්වේ. එමනිසා හැකි පමණ සරල, අල්පේච්ඡ ජීවිතයකට
යොමුවිය යුතුය. තරගකාරී එමෙන්ම අනෙකා මත යැපෙන වහල් මානසිකත්වයෙන් මිදී
ස්වාධීන මිනිසෙකු ලෙස ගොඩනැගිය යුතුය.
මේ නිසා බුදුදහම තමා පිළිබඳව මෙන්ම අනෙකා පිළිබඳව සිතීමට ද අපව උනන්දු
කරවයි. පුද්ගලයකුට සැබෑ ලෙසම දියුණුවිය හැක්කේ ඔහු අනෙකා ගැන ද සිතන්නේ
නම් පමණකි. එමෙන්ම රටක් ලෙස ගොඩනැගිය හැකිවන්නේ ද අනෙකා පිළිබඳව සිතා
සහජීවනයෙන් කටයුතු කළහොත් පමණි. එවැනි සමාජයක තරගයක් නැත. තරගයක්
ඇතිවිට එකෙකු දිනන විට අනෙකා පරදියි. නමුත් බුදුදහම උගන්වන සහජීවනයෙන්
යුක්ත සමාජය තුළ එවැනි තරගයක් නැත.
නූතන ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් මෙතෙක් කල් අප අනුගමනය කළ වැරැදි
ආර්ථික ප්‍රතිපත්ති අත්හළ යුතුය. අනවශ්‍ය ලෙස මුදල් වියදම් කරන කටයුතු
වලින් අත්මිදී තම ආදායමට සරිලන ලෙස වියදම සකස් කරගත යුතුය. එමෙන්ම
අනෙකා නසන, පරිසරය විනාශ කරන ව්‍යාජ සංවර්ධනයන්ගෙන් ඉවත් වී
අධ්‍යාත්මික දියුණුවත් සමග ගමන් කරන සංවර්ධන ක්‍රියාදාමයකට යොමුවිය
යුතුය. තව ද අනෙකා මත යැපීමේ ක්‍රමයෙන් ඉවත්ව මිනිසා මිනිසෙකු ලෙස
ස්වාධීන විය යුතුය.
|