රාජතාන්ත්‍රික තර්ජන
මහින්දාගමනය ශ්‍රී ලාංකේය ඉතිහාසයට කෙ තරම් වැදගත් දැයි
අමුතුවෙන් කිව යුතු නැත.එහෙත් එය හුදු ආගමික සිදුවීමක් ලෙස
පමණක් අගය කිරීම තවමත් දක්නට ලැබෙන වරදකි. එම වරද ඉන්දීය
ඉතිහාසය ඇසුරෙන් ම තේරුම් ගැනීම වඩා පහසු ය. 1956 දී ප්‍රකාශයට
පත් කළ බෞද්ධ තොරතුරු පරීක්‍ෂක සභා වාර්තාවේ ඡේදයක් ඒ සඳහා අපි
මෙහි බහාලමු.
“බරණැස ඉසිපතානාරාමයෙහි දී ඇසළ මස පුනු පෝ දින පස්වග මහණුන්ට
දම්සක් දෙසීමෙන් බුද්ධ ශාසනය ලොව උදා විය. බුද්ධ ශාසනය ඒ යම්
සුද්ධ භූමියක දී උදා වී ලොව පුරා පැතිරී ගියේ ද, දඹදිවින්
අවසාන වරට අතුරුදන් වී ගියේ ද ඒ උතුම් භූමියේදී ම ය.
සාරානාත්හි ඉසිපතනයෙහි අවසානය ගැන පුරාවිද්‍යාඥයන් සඳහන්
කරන්නේ මෙ සේ ය. ‘මේ විහාරස්ථානය විනාශ වූයේ හදිසියෙන් කිසි ම
බලාපොරොත්තුවක් නැති අවස්ථාවක බවට සාධක තිබේ. එහි එක් ශාලාවක
තිබී පිටිවලින් සෑදූ කෑම වර්ගයක් හමු වී තිබේ. එයින් පෙනීයන්නේ
ආහාරය සඳහා ගත් කෑම වර්ග පවා හදිසිය නිසා ඉවත වැටී ඇති බව ය.
තවත් තැනක බිම තිබී ඉවීමට සූදානම් කැරෙමින් තිබුණු අමු ආහාර
ද්‍රව්‍ය හමු වී ඇත. මෙයින් පෙනී යන්නේ මේවා හදිසියක් නිසා දමා
ගොස් ඇති බවකි. මේ විහාරය හදිසියේ ම ගින්නෙන් දවා අළු කැර දමා
ඇති බව, ඉහත සඳහන් කළ ද්‍රව්‍ය උඩ ඇති, උණු වී ගිය ලෝහ
භාජනවලින් ද, වහලවල කොටස්වලින් හා උළුවලින් ද, කඩා හැලුණු
බිත්තිවලින් ද හෙළි වෙයි. ඒ හැර, මේ ස්ථානය විනාශ කිරීමේ
අදහසින් ම හතර වටින් එක වරට ම ගිනි අවුළුවා ඇති බව ද පෙනී යයි.
ඒ නිසා මේ ගින්න හිතා මතා කළ විනාශකාරී ක්‍රියාවකින් සිදු
වූවක් බව කිව හැකි ය.”
‘මෙ සේ බුද්ධ ශාසනය එහි ජන්ම භූමියෙහි අවුරුදු 1793 ක් කල්
මුළුල්ලේ පැවැතීමෙන් පසු ව ක්‍රි.ව. 1205 වර්ෂයේ දී අතුරුදන්
විය.’
‘මුස්ලිම් භක්තිකයන් ගේ භාරත ආක්‍රමණය තෙක්, නඟින හා බසින
දියුණුවකින් යුක්ත ව එහෙත් නො බසින ධෛර්යයකින් සමන්විත ව බුද්ධ
ශාසනය දඹදිව ජීවමාන ව පැවැත්තේ ය. බුද්ධ ශාසනයට අවසාන මරු පහර
ගැසුවෝ මුස්ලිම්වරුන් ය.’
මේ අනුව බලන කල, බුදු දහමෙහි ව්‍යාප්තිය සඳහා දේශපාලන
අනුග්‍රහය තීරණාත්මක සාධකයක් වූ බව තේරුම් ගැනීමට පුළුවන. මෙහි
දී දේශපාලන අනුග්‍රහය යනුවෙන් අදහස් කැරෙනුයේ ශාසනික කටයුතු
සඳහා ලබාදෙන සෘජු රාජ්‍ය අනුග්‍රහය පමණක් ම නො වේ. රට බාහිර
සතුරන් ගෙන් ආරක්‍ෂා කිරීම ද එයින් අදහස් කැරේ. එම අර්ථයෙන්
ගත් කල, ශ්‍රී ලංකාව පිළීබඳ ව සාකච්ඡා කිරීම සඳහා පසුගිය 26 හා
27 යන දිනයන්හි ජිනිවා නුවර දී පැවැති එක්සත් ජාතීන් ගේ මානව
හිමිකම් කවුන්සලයේ විශේෂ සැසිවාරය අප ගේ අවධානයට යොමු විය යුතු
ව තිබේ. මන්ද යත්, ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටක මානව හිමිකම්
උල්ලංඝනය වන බවට චෝදනා කිරීම අතිශයින් බරපතළ කරුණක් වන බැවිනි.
කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය අනුගමනය කළ
ක්‍රියාමාර්ග වලදී මානව හිමිකම් උල්ලංඝනය වූයේ යැයි
ස්විට්සර්ලන්තයේ මූලිකත්වයෙන් මානව හිමිකම් කවුන්සිලය වෙත
යෝජනාවක් ඉදිරිපත් කැර තිබිණ. මේ ආකාරයේ යෝජනාවක් පිළිබඳ ව
සාකච්ඡා කිරීමට එහි සාමාජික රටවල් හතළිස් හතෙන් දාහතක්
ඉල්ලීමක් කළ යුතු ය. මෙයට පෙර මෙ බඳු විශේෂ සැසිවාර දහයක්
පවත්වා ඇත. එයින් පහක් ම ඊශ්‍රායලය ගැන සාකච්ඡා කිරීම පිණිස
පැවැත් වූ ඒවා වීම ද අවධානයට යොමු විය යුතු කරුණකි.”
කෙ සේ වූව ද අවසානයේ දී ශ්‍රී ලංකාවට පක්‍ෂ ව රටවල් විසිනවයක්
ද, රටවල් දොළහක් විරුද්ධව ද ඡන්දය පාවිච්චි කැර තිබිණ. ඡන්දය
දීමෙන් වැළැකී සිටි රටවල් ගණන හයකි. ශ්‍රී ලංකාවේ යුද අපරාධ,
ගැටුම් පැවැති කලාපයේ හා ඉන් පිටත සිදු වී ඇති මානව හිමිකම්
උල්ලංඝනය කිරීම් ආදිය පරීක්‍ෂා කිරීමට ස්වාධීන පරීක්‍ෂණ
කොමිසමක් පත් කරන ලෙස ලාංකිකයකු වන සුනන්ද දේශපි‍්‍රය මහතා
ඉල්ලා සිටීම විශේෂත්වයකි. ඔහු එහි දී, ෆ්‍රැන්සිස්කන්ස්
ඉන්ටර්නැෂනල්, පැක්ස් රොමානා සහ ඩොමිනිකන්ස් ෆොර් ජස්ටිස්
ඇන්ඩ් පීස් යන රාජ්‍ය නො වන කතෝලික සංවිධාන තුන නියෝජනය කැර
ඇත. එහෙත්, අවසානයේ දී එම සියලු බලවේග පරාජය කිරීමට ශ්‍රී
ලංකාවට හැකි විය.
මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ පැවැත්ම සඳහාත් , ශ්‍රී ලංකාව නමැති
රාජ්‍ය ගොඩනැඟීම සඳහා පදනම සැපැයූ බුදු දහමේ අනාගතය කෙරෙහිත්
විශේෂයෙන් බලපානු ලැබේ. එ බැවින් ශ්‍රී ලංකාව මේ කඩඉම ජයගනු
ලැබුව ද මුහුණ පා තිබෙන බරපතළ අනතුර ගැන අවදියෙන් සිටීම අවශ්‍ය
යැයි සිතමු. |