ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති
ගල්කිස්සේ ශ්‍රී ධර්මපාලාරාමාධිපති අග්ග මහා පණ්ඩිත
කොටුගොඩ ධම්මාවාස අනු නා හිමි
ලෝකය විවිධාකාරය,
එසේම විෂම ය,
වැඩිදෙනා භින්නරුචික වූ අදහස් ඇත්තෝය.
ඒ ලෝකයේ සදාතනිකව පවත්නා වූ ස්වභාවයයි.
එවන් ලෝකය
සදාචාරාත්මක මඟට යොමු කොට
එමඟින්
සාමකාමී සහනශීලි ලෝකයක්
ඇති කර ගැනීමට
බුදුදහමට වඩා උතුම් දහමක්
නැතැයි නිබයව ම
කිව හැකිව තිබේ
“නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස”
ධම්ම පීති සුඛං සේති විප්පසන්නේන චෙතසා
අරියප්ප වෙදිතෙ ධම්මෙ සදා රමති පණ්ඩිතො
පින්වත්නි,
ලෝකය විවිධාකාරය, එසේම විෂම ය, වැඩිදෙනා භින්නරුචික වූ අදහස් ඇත්තෝය. ඒ
ලෝකයේ සදාතනිකව පවත්නා වූ ස්වභාවයයි. එවන් ලෝකය සදාචාරාත්මක මඟට යොමු
කොට එමඟින් සාමකාමී සහනශීලි ලෝකයක් ඇති කර ගැනීමට බුදුදහමට වඩා උතුම්
දහමක් නැතැයි නිබයව ම කිව හැකිව තිබේ. දහමට ගරු කරන සමාජය ප්‍රාණඝාතාදී
පංචවිධ අකටයුතුකම් වලින් වැළකෙයි. එනිසා ඒ සමාජය තුළ පංචවිධ
පාපක්‍රියාවන් ඈත්වන විට ම උණුවන හදවතක් ඇති බව එනම් කරුණාව ඒ එක්කම
කාටත් සැපතක්ම වේවා යන පැතීම ඒ සමාජය තුළ ඇතිවීම නිතැතින්ම සිදුවන්නකි.
එවිට කා අතරත් කා තුළත් ඇතිවන්නේ ක්‍රෝධ කෝපාදීයෙන් තොර සිතිවිලිය. ගති
පැවතුම්ය. එය ජන සමාජයේ ආර්ථික දියුණුවට බෙහෙවින්ම බලපාන්නකි.
ඉහත සඳහන් කරුණු අනුව අපට පැහැදිලි වන්නේ සදාචාරය නිසා සාමකාමී බවත් ඒ
සාමකාමී බව පිහිට කොට ගෙන ජන සමාජය නිවැරැදිව ජීවත්වන බවත්ය. එයින්
ලැබෙන ප්‍රතිඵලය සශ්‍රීකත්වයයි. සමෘද්ධිමත් බවයි. එයට හේතුව ? ජන සමාජය
සාමකාමී වන විට කිසිවෙක් කිසිවෙකුටත් බියක් සැකක් නැතිව “ මගේ දේ
පැහැරගනු ඇත. මට නින්දාවක් අපහාසයක් කරනු ඇත. මගේ දරුවාට විපතක් කරනු
ඇත. මගේ දේ සොරකම් කරනු ඇත යන සැකයක් හෝ බියක් සදාචාරවත් බව නිසා
සාමකාමී බවට සහනශීලි බවට පත්වූ සමාජයෙහි දක්නට නොලැබෙන්නේය. එනිසා
සියල්ලෝම තම තමන්ගේ කටයුතු නිසි පරිදි ඉටුකරගනු ඇත. සමෘද්ධිමත් බව යනු
එයයි. ලැබෙන දේ සම සමව බෙදා හදා ගැනීම එක්කෙනෙක්ම පමණක් රැස් කර
ගැනීමෙන් වැළකීම නම් වූ බුදුරදුන් වදාළ සාංඝික ක්‍රමය හිස ඔසවනු ඇත.
සමාජ සංවර්ධනයට ප්‍රමුඛ පිටිවහල එයම බව සැලකිය යුතුය.
“ධම්ම පීති සුඛං සේති “ යන ගාථාවෙන් බුදුරදුන් විසින් පැහැදිලි කොට
ඇත්තේද එයමැයි. දහම් රසය විඳින පුද්ගලයා සැපසේ නිදන්නේය. එයට හේතුව ඔහු
තුළ අධර්මවාදී අකටයුතුකම් නොමැති වීමයි. බුද්ධිමත් පුද්ගලයා
නිරන්තරයෙන්ම පැහැදිලි සිතින් යුතුව නියම අවබෝධයක් ඇතිව බුදුපියාණන්
වහන්සේ වදාළ ධර්මයෙහි ධර්මයට අනුව වරදින් වැළකී, කුසලයන්හි යෙදී
සන්සුන් සිතින් සිය ජීවිතය පැහැපත් කර ගන්නේය. ඒ තත්ත්වයට පත්විය
හැක්කේ දැහැමි ජිවිතයක් ගත කරන පුද්ගලයාට පමණි.
දඹදිව කුක්කුටවතී රාජධානිය සුවිශාල ප්‍රදේශයක් පුරා එදා පැතිර
පැවැත්තේය. එහි රාජ්‍ය විචාලෝ මහා කප්පින රජ්ජුරුවෝය. එතුමාගේ බිසව පංච
කල්‍යාණයෙන් යුක්ත ගුණ සම්පන්න අනෝජා දේවිය යි. මේ දෙදෙනාම සම අදහස්
ඇති පිනට දහමට කැමැති රට වැසියා කෙරෙහි ඉමහත් දයාවකින් ඇප කැප වී
ක්‍රියා කළ රජ පවුලක් වුයේය. රට වැසියෝද රජ පවුල කෙරෙහි දක්වන ලද්දේ
අසීමිත ලැදිකමකි. බැඳීමකි. සදාචාර සම්පන්න බව රැකීම රජතුමා තමා සතු පරම
පවිත්‍ර රාජකීය වගකීම වශයෙන් සැලකුවේය. ඒ නිසා පර පණ නසන්නෝ - සොරකම්
කරන්නෝ - වැරැදි ලෙස හැසිරෙන්නෝ බොරු කේලාම් කියන්නෝ ඒ සමාජයෙහි දක්නට
නොමැති විය. එසේම, මත් ද්‍රව්‍ය බීමක් තබා කථාබහක්ද මහා කප්පින රාජයාගේ
රටෙහි අසන්නට හෝ දකින්නට හෝ නොලැබුණි.
මේ සදාචාර සම්පන්න බව නිසාම ඔවුනොවුන්ට සලකන, නිවැරැදි ජීවිත ගත කරන
ධාර්මික රැකියාවන් කර කියාගෙන ජීවත් වන්නෝ එරට සෞභාග්‍ය සම්පන්න බවට
පත් කළහ. කෑම බීම අගහිඟකම් නැති බැරිකම් “ කුක්කුටවතී “ රාජධානියට අයත්
කවර දේශයක හෝ ගමක හෝ දක්නට නොවීය. රජ පවුල ඇතුළු මැති ඇමැතිවරුන් රට
වැසියෝත් ගුණ සම්පන්න පිරිසක්ම වූහ. එනිසාම කලට නිසි පරිදි වැසි
ලැබුණේය. ඉඩෝරයක් , දුර්භික්ෂයක් , සියවස් ගණනාවක් තුළදීවත් මේ
රාජධානියට ඇති නොවූයේ මහා කප්පින රාජයාගේ පිය මුතු රාජකීය පරපුරද
දැහැමි අයුරින්ම රට රැකීම නිසාය. අග හිඟකම් වලින් තොර සෞභාග්‍ය සම්පන්න
මේ මහා රාජයාට ඉතා හිතවත් ලැදි මැති ඇමැති සේනාපති ප්‍රදේශාධිපති, ආදී
වශයෙන් බලවත් පුරුෂයෝ දහසක් සිටියහ. ඔවුහුද මැනවින් තම තමනට අයත්
රාජකාරී ඉටුකරන්නන් වූ බැවින් රට සකලවිධ අයුරින්ම සමෘද්ධිමත් බවට පත්
වුයේය.
දැන් රජතුමාට අවශ්‍ය වන්නේ නිවැරැදි දහමකි. එදා දඹදිව බුදුදහම නොපැවති
බැවින් තථාගත ධර්මයක් පිළිබඳව ආරංචියක් වත් නොතිබුණි. සියල්ල බ්‍රහ්මයා
විසින් මවන ලදැයි යන ඒ බ්‍රහ්මයාගේ කැමැත්තට අනුව සියල්ල සිදුවේය යන
විශ්වාසයෙන් යුත් බ්‍රහ්ම ආගමද , සියල්ල දෙවියන්ගේ කැමැත්ත අනුවම
සිදුවේය යන විශ්වාසයෙන් තිස්තුන් කෝටියක් දෙවියන් විසින් ලොව රකිනු
ලබති යන මූලික විශ්වාසය පදනම් කරගත් දේව ආගමද පරම අවිහිංසාව පදනම්
කරගත් ජෛන ආගම නමින් හැඳින්වෙන නිගණ්ඨ ආගමද එදා දඹදිව පැවැති ආගම්
අතුරින් මුල් තන්හි වැජඹුණි. මහා කප්පින රජතුමාට මේ දහම් පිළිබඳව එතරම්
විශ්වාසයක් ඇති නොවීය. නියම දහම කුමක්දැයි සිත සිතා සිටි රජතුමාට ගැල්
දහසකින් විවිධ බඩු පටවාගෙන කුක්කුටවතී නුවරට පැමිණ වෙළෙඳ පිරිසක්
හමුවීය. එතුමා වෙළෙඳ නායකයාණන් ඇතුළු ප්‍රමුඛ වාණිජයන් කිහිප දෙනෙකු
සමඟ කථා බස් කොට ලෝකයෙහි බුදු කෙනෙකුන් පහළ වී ඇති බවත් උන්වහන්සේ
අනිත්‍ය, දුක්, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය පදනම් කර වදාරණ දහමක් ඇති බවත්
ඒ මඟ ගමන් කරන සුපේශල ශික්‍ෂාකාමී කෙලෙසුන් නැසූ ඍද්ධි බල ඇති සඟ
පිරිසක් පහළ වී ඇති බවත් දැනගන්නට ලැබුණි.
මේ ආරංචියෙන් මහත් සේ සතුටට පත් මහා කප්පින රජතුමා ඇතුළු පිරිස මේ සුබ
ආරංචිය ලබාදුන් වෙළෙඳුන්ට මහත් සේ සලකා තෑගි බෝග දී කහවනු ලක්‍ෂ ගණනක්
පිරිනමා බුදුරදුන් වෙත ගොස් බණ දහම් අසා “ ඒහි භික්‍ෂු” භාවයෙන්
පැවිද්දට පත්ව සියල්ලෝම ඍද්ධි බල සම්පන්නයන් බවටද පත්වූහ. දැන් මහා
කප්පින රජතුමාත් එතුමා සමඟ බුදුරදුන් වෙත පැමිණි දහසක් අනුගාමිකයෝත්
රහතන් වහන්සේලාය. මහා කප්පින රජු පැවිදි වී නොබෝ දිනකට පසු අනෝජා
දේවියද රජු සමඟ පැමිණි මැති ඇමැති නිලධාරීන්ගේ භාර්යාවන් සමඟ පැමිණ
උත්පලවණ්ණා රහත් මෙහෙණින් වහන්සේ ප්‍රමුඛ භික්‍ෂුණීන් වහන්සේලාගෙන්
පැවිද්ද ලබා රහත් බවට පත් වුවෝය. මහා කප්පින රජතුමා සහ අනෝජා දේවිය
ඇතුළු මේ ස්ත්‍රී පුරුෂ දෙදහසක් දෙනාම පෙර ආත්මවලදීද එකට එක්ව බලගතු
පුණ්‍ය ක්‍රියාවෝම සිදුකළ අය වෙති. මේ දෙදහසක් දෙනාම පෙර ආත්මවලදීද එකට
එක්ව බලගතු පුණ්‍ය ක්‍රියාවෝම සිදුකළ අය වෙති. මේ දෙදහසක් ස්ත්‍රී
පුරුෂ දෙපක්‍ෂය කලින් ආත්මවලදීත් පසේ බුදුවරුන් වස් සමාදන් කරවා
පින්කම් කොට කසුප් බුදුරදුන් දවසද උපත ලබා ඒ බුදුරදුන් සහ සංඝයා
වෙනුවෙන් සුවිශාල සංඝාරාමයක් කරවා පින්කම් සිදුකොට තව්තිසා දෙව්ලොවද “
ගණ දේව පුත්ත “ නමින් සාමූහිකවම දෙවියන් දෙවඟනන් බවට පත්ව සිට අප
බුදුරදුන් දවස කුක්කුටවතී රාජධානියෙහි උපත ලද්දෝ වෙති. සැමදා ඔවුහු එකට
පින්කම් කළහ. එකට උපත ලදහ. සම අදහස් ඇතිව එකට ජීවත් වූහ. සැමදා ගුණවත්
පිරිසක්ම වූහ.
මහා කප්පින රාජයා සමඟ එකට පැවිදි වූවෝම වූහ. භාර්යාවන් ද අනෝජා බිසව
සමඟම එකට මෙහෙණි සස්නට ඇතුළත් වූහ. සියල්ලෝම අප බුදුරදුන් දවසේදී නිවන්
දුටහ. පැවිද්දට පත් මහා කප්පින තෙරණුවෝ නිරන්තරයෙන්ම අහෝ සුඛං , අහෝ
සුඛං යනුවෙන් පී‍්‍රති වාක්‍ය ප්‍රකාශ කරති. මේ පිළිබඳව භික්‍ෂූන්
වහන්සේලා විමසිල්ලෙන් මාස කිහිපයක් අසා සිට අනතුරුව බුදුරදුන්ට
“අලුතින් පැවිද්දට පත් රාජ්‍ය නායක මහා කප්පින තෙරුණුවෝ මෙසේ පවසති “
බුදුරදුන්ට සැලකොට සිටියහ. ඒ අවස්ථාවේදී සියලු සඟ පිරිස කැඳවා
බුදුරදුන් වදාරණ සේක්.
ඇවැත්නී මහණෙනි, මේ මහා කප්පින තෙරුණුවෝ අහෝ සුඛං, අහෝ සුඛං යනුවෙන්
කියනු ලබන්නෝ වික්ෂිප්ත සිතකින් නොවේ. සකලවිධ ක්ලේශ ධර්මයන් ප්‍රහීණ
කොට අමාමහ නිවනට පත්වීම නිසා අද උන්වහන්සේ ලබන කායික මානසික පී‍්‍රතිය
පිළිබඳව ම බලවත් පහන් සිතින් ප්‍රකාශ කරනු ලබන උදානයකැයි පවසා එතුමන්ගේ
ආදී කථා ප්‍රවෘත්තීන්ද දේශනා කරමින් අනුසන්ධි ගළපා මෙහි මුලින් සඳහන්
කළ ගාථාව වදාරමින් දම් දෙසු සේක. අන්‍ය බොහෝ දෙනා ඒ දේශනාවන්ද අසා මඟ
ඵල ලැබූහ.
මෙම කථා ප්‍රවෘත්තියෙන් පැහැදිලි වන්නේ දැහැමි බව නිසා තමා තුළ පිහිටි
ගුණ ධර්ම නිසා කෙනෙකුන් ලබන සතුට අනෙකුත් සම්පත්වලට වඩා වැඩියෙන්ම හිත
කය දෙක පිනවන නිරාමිස පී‍්‍රතියක් බවට පත්වන ආකාරයයි . ඒ උදාර ධර්මයෙන්
ලබන පී‍්‍රතිය නෙළාගැනීමට සියල්ලෝම උත්සාහ දරත්වා. |