UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

හෙළදිව බොදු පුද සිරිත්

ලංකාවේ බෞද්ධ පූජා - චාරිත්‍ර ප්‍රභවය සම්බන්ධයෙන් ඉන්දීය පරිසරය තදින් බලපා තිබේ. මහාචාර්ය වල්පොල රාහුල හිමියන් ලංකාවේ පොදු වතාවත් උත්සව හා ඇදහිලි සියල්ලම පාහේ ආදිකාලීන බෞද්ධ ධර්ම දූතයන් මෙරටට ඇබ්බැහි කළ ඉන්දීය වත්පිළිවෙත්ය. මේ රටේදී ඒවා සුළු සුළු වශයෙන් පෙරළී අමුතු මුහුණුවරක් ගත් බව පමණක් වෙනසක් හැටියට පෙනේ යැයි පවසා ඇත.

සිංහල බෞද්ධ ආදිකාලීන වත් පිළිවෙත් හා පුද පූජා ක්‍රම ලෞකික අවශ්‍යතා සපුරා ගැනීමට නව මුහුණුවරක් දෙමින් බෞද්ධ පුද පූජා කර්ම ලෙස පවත්වා ගෙන යන්නට ජනතාව පුරුදු වී සිටිති. විශේෂයෙන්ම මෙරට ථෙරවාදී බෞද්ධයන් අතර විවිධ පුද පූජා ක්‍රම ජනප්‍රිය වීමට තුඩු දුන් හේතුවක් වන්නේ පසුකාලීනව ඇති වූ මහායාන හා හින්දු බලපෑම්ය.

වලගම්බා රජු දවස උපන් ශාසනික අර්බුදයෙහි ප්‍රතිඵල වශයෙන් අභයගිරි විහාරය ද ධර්මරුචි සම්ප්‍රදාය ද ඇති විය. ඉන් පෙර පැවැති ථෙරවාදය, පිළිවෙත් පිරීම හා විනය ගරුකත්වයම උසස් කොට සැලකූ ආමිස පූජා ඇතුළු සංස්කෘතික විකල්ප දෙස උදාසීනව බැලූ සම්ප්‍රදායකි. වඩාත් සමාජශීලී වූ ද නව ප්‍රවණතා වන්ට සුහද ප්‍රතිචාර දක්වන්නා වූ ද අභයගිරි සම්ප්‍රදාය මහායාන අදහස් කෙරේ නැඹුරු විය. වෛතුල්‍ය වාදය, ධර්ම ධාතුව ආදී වශයෙන් මූලාශ්‍රය දක්වන විටින් විට පැමිණි මහායාන අදහස් වලට පසුව උපන් ජේතවනය ද යොමුව තිබේ. ඔවුහු පොදු ජනයාගේ බුද්ධි මට්ටමට මෙන්ම මෙලොව අපේක්ෂාවන්ට උචිත පරිදි හැඩ ගැසුනහ. අනේකවිධ පුද පූජා වත් පිළිවෙත්, උත්සව ශාන්ති කර්මාදි ජනප්‍රිය බෞද්ධ සංස්කෘතික අභිචාර විධි මෙරට වඩාත් පුළුල් ලෙස පැතිර වීමට මුල් වූයේ මෙම මහා විහාර විරෝධී භික්ෂූන් ය. වළගම්බා රජු දවස අච්චගල්ල විහාරයේදී නැටුම්, ගැයුම්, වැයුම් සහිතව පවත්වන ලද බුද්ධ පූජා උත්සවය එහි සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

වට්ටගාමිණි රජු මහා බුද්ධ පූජා උත්සවයක් නෘත්‍ය ගීත වාදන සහිතව පවත්වා ඇත. බුදුන් දවස බුදුන් බැහැ දැකීමට පැමිණි අය සුවඳ මල් වර්ග රැගෙන විත් තිබේ. මහා පදුම හිමියන්ගේ උපකාරයෙන් බෙහෙතක් දැනගෙන සුවය ලැබූ රජ බිසවක් උන් වහන්සේට සිවුරු තුන්සියයක් ද යවමින් මුදල් මල් පූජාවට යොදවන ලෙස ඉල්ලා සිට ඇත.

බුද්ධ පූජාවේ ම විකාශනයක් වන උද්දේශික හෙවත් පිළිම පූජාව ද වැදගත්ය. කුෂාණ යුගයට පෙර බුද්ධ රූපය වෙනුවට භාවිතා කරන ලද්දේ ධර්ම චක්‍රය, හිස් වූ සිංහාසනය, ශ්‍රී පාදය, බෝගස වැනි සංකේතය. ජනප්‍රවාදයට අනුව කොසොල් රජු බුද්ධ ධරමාන කාලයේදීම සදුන් ලීයෙන් පිළිමයක් කර තිබේ. අශෝක රජු බුදු පිළිමයකට පුදු පූජා පවත්වමින් සතියක් මුළුල්ලේ වනේත්‍ර පූජෝත්සවය ද පවත්වා ඇත.

ලංකාවේදී බුද්ධ ප්‍රතිමාවක් පිළිබඳව මුලින්ම අසන්නට ලැබෙන්නේ වසභ රජ (ක්‍රි. ව. 127 – 171) කාලයේදීය. ඒ රජු රම්‍ය වූ බුද්ධ ප්‍රතිමා හතරක් කරවා ඒවාට පිළිම ගෙයක් ද බෝධි කරවා ඇත. ලක්දිව ව්‍යාප්තව ඇති නානමුර මංගල්‍යය පිළිම පූජා විකාශනයේ අවස්ථාවකි. එහිදී පිළිම වහන්සේලා නැහැවීම සිදු විය. භාතිකාභය රජු (ක්‍රි. පූ. 19 ක්‍රි. ව. 9) විසින් රුවන්වැලි සෑයට පවත්වන ලද විශාල නැහැවීමේ උත්සවයක් ගැන මහාවංශයේ සඳහන් වේ.

ප්‍රථමයෙන්ම ලංකාවේ පූජනීය ස්ථානවලට සීමා වූ පිළිම වහන්සේ අනතුරුව ගිහි ගෙදරට ද වැඩම කර ඇත. ‘ධර්ම දේශනාව හා භාවනාව පමණක් අනුමත කළ බුදුන් වහන්සේගේ ශාසනයට පිළිම පූජාව එකතුවීම දුර්භාග්‍යකැයි’ සර් චාල්ස් එලියට් ප්‍රකාශ කරයි. හර්මන් කීසලිං ගේ අදහස මෙබඳුය. ‘බටහිර ජාතීන් විසින් තවමත් අත්පත් කර ගැනීමට නොහැකි දෙයක් පෙරදිග ජාතීන් විසින් අත්පත් කර ගෙන තිබේ. එනම් දේවත්වයෙහි දෘශ්‍යමාන නිරූපණය යි. ඒ අතින් බුදුරදුන්ගේ පිළිමයට වඩා ප්‍රතාපවත් දෙයක් නම් ලෝකයෙහි මම නොදනිමි. එය දෘශ්‍යමාන ලෝකයෙහි දක්නට ඇති ආධ්‍යාත්මිකත්වය පිළිබඳ පරිපූර්ණ ප්‍රතිමූර්තියකි’.

බෞද්ධයන් බුදුන් වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන බෝධි පූජා ඉතිහාසය මොහෙන්දොජාරෝ හරප්පා දක්වා ඈත අතීතයට විහිදෙයි. වෘක්ෂ දේවත්වයෙහිලා සලකා පුද පූජා කර තිබේ. පුරාණයේදී වෘක්ෂ අශ්වත්ව නමින් දක්වා ඇත. වෛදික යුගයේදී වෘක්ෂ වන්දනාවට විශේෂ තැනක් ලැබී ඇත. එසේ වුවත් බෞද්ධ බෝධි පුජාව හුදු වෘක්ෂ පූජාවක් නොවේ.

මහානිද්දේශස පාලියට අනුව බෝධි යනු චතුරාර්ය සත්‍යය යි. බෞද්ධ ඉතිහාසය අනුව පළමු බෝධි පූජාව කරන ලද්දේ බුදුන් වහන්සේ විසිනි. එය අනිමිස ලෝචන පූජාවයි. බුදුන් වහන්සේ වැඩ සිටියදීම බෝධිය පූජාර්භ බවට පත් විය. ආනන්ද හිමියන්ගේ මැදිහත් වීමෙන් ජේතවනාරාමයේදී ශ්‍රී මහා බෝධි අංකුරය පිහිටුවීම පිළිබඳ විමසීමෙන් පසු බුදුන් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ ‘දැන් ජේතවනාරාමයේ මාගේ නිරන්තර වාසය සිදුවන්නේය’ යන්නයි.

ලංකා ඉතිහාසයේ සිදු වූ වැදගත් සිදුවීමක් ලෙස ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩමවීම දැක්විය හැකිය. එය දඹකොල පටුනේ සිට අනුරාධපුරයට වැඩම කරවූයේ අලංකාර පෙරහැරකිනි. දෙවනපෑතිස් රජ ශ්‍රී මහා බෝධියට තෙවරක් ලක්දිව පිදීය. එහි ගෞරවය සඳහා දින තුනක් දොරටුපාලක තනතුරද දරා ඇත. ලංකාවට බෝධිය වැඩම කරද්දී දහ අට කුලයකින් ;ස්නාව පැමිණියේ බෝධි පූජාව හා ආරක්ෂාව පිණිසය.

ක්‍රි. පූ. 161 – 137 රජ පැමිණි දුටුගැමුණු රාජ්‍ය යුගයේ ථුස්සදේව නම් යෝධයා චිත්තල පබ්බත ස්ථානයේ බෝධිය ලග මහා හඬින් සංඛයක් පිඹි බව දැක්වේ.

මේ සංඛ පිඹීම පූජාවක් සේ සිදු කොට ඇත. ථුස්සදේව කළ එම පුජාවේ මහත්වය නිසාම උම්මාද ථුස්සදේව යැයි අන්වර්ථ නාමයක් ලැබූ බව ද දැක්වේ. අනතුරුව දුටුගැමුණු මහ රජ විසින්ද බෝධි පූජාව කර තිබේ.

බෝධියට පුදපූජා පැවැත්විය යුතු ආකාරය ගැන කියවෙන කාලිංග බෝධි ජාතකයේ අන්තර්ගතය තදනුබද්ධ සංස්කෘතියේ සංවර්ධිත අවස්ථාවකි. ඒ අනුව,

i. සුවඳ පැනින් බෝධිය නැහැවීම,

ii. මල් පහන් සුවඳ දුම් පිදීම,

iii. මල්දම් එල්ලීම,

iv. ධජපතාක වලින් බෝධිය සැරසීම,

v. පුන්කලස් තැබීම,

vi. ප්‍රාකාර, දොරටු හා වේදිකා ඉදිකිරීම,

vii. බෝමළුවේ රන්වන්, රිදීවන් වැලි ඉසීම,

viii. තූර්යවාදනය,

ix. ප්‍රදක්ෂිණා කිරීම,

x. සාධුකාර දීම හා වන්දනා කිරීම කළ යුතුය.

දේවපුරාණයෙහි අශ්වත්ථය පිළිබඳ කෙරෙන වර්ණනයේද බෞද්ධ බෝධි පුජා සංකල්පය බෙහෙවින් දක්නා ලැබේ. වර්තමානය දක්වා ශ්‍රී මහා බෝධියට වාර්ෂිතව අනිවාර්යයෙන් කෙරෙන පූජා හතරකි.

i. දුරුතු මංගල්‍යය

ii. පරණ මංගල්‍යය

iii. නානුමුර මංගල්‍යය

iv. කාර්තික මංගල්‍යය යනු ඒවාය

බෝධියට සිංහලයා කෙතෙක් ගරු කළේ ද යත් ඊට ඔවුන් භාවිතා කළේ බෝ රජජුරුවෝ, සිරිමා හාමුදුරුවෝ, ජයසිරිමා හාමුදුරුවෝ, උඩමළුවේ බෝධිසාමි වැනි නම් ය. මළුවට ඇතුලු වන භික්ෂූන් බුදුන් වහන්සේ ඉදිරියෙහි මෙන් බෝධිය ඉදිරියෙහි හැසිරිය යුතු යැයි සම්මෝහවිනෝදනියේ සඳහන් කර තිබේ. බෝධිය කපා දැමීම පාපයක් සේ සැලකිණ. ධාතු තැන්පත් සෑයකට හෝ පිළිමයකට හානි වන අවස්ථාවන්හිදී එය කපා දැමීමට හැකියාව තිබේ. බෝධිය රෝගී වූ අවස්ථාවන්හි ප්‍රතිකාර කිරීම පින්කමක් සේ සැලකිණි. කාලයාගේ ඇවෑමෙන් බෝධි පූජාව කෙතෙක් දුර විකාශනදය වීද යත්, අස්වැන්න ලබා ගැනීම, දරුවන් ලබා ගැනීම, ග්‍රහ අපල දුරුකර ගැනීම, වැසි ලබා ගැනීම, ආදී අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස ද බෝධි පුජා පැවැත්විණි.

චෛත්‍යය පිළිබඳ ඉතිහාසය ද දීර්ඝය. සම්බන්ධ වේ. ධාතු සහිත වූ සෑ ස්තුප නමින් ද රහිත නම් චෛත්‍යය නමින් ද හඳුන්වා ඇත. මහාපරිනිබ්බාන සූත්‍රයේ ‘රමණීයං උදේන චෙතියං රමණීයං ගොතමකං චේතියං රමණීයං සත්තම්බං චේතියං’ ලෙස දක්වා ඇත්තේ ස්වභාවික වන ලැහැබ් හා පර්වත මිස අද පවතින ආකාරයේ චෛත්‍යය පිළිබඳව නොවේ. වෙතිය ජන සම්මත පූජ්‍ය වස්තුවකි. ඊට ගසක් හෝ ගලක් තෝරාගත් අතර මලින් සැරසීම වැනි සරල පූජාක්‍රම සිදු විය. පෙර’පර දෙදිගම දක්නට ඇති ස්තුප ඉන්දියානු, හින්දු, ජෛන, හා බෞද්ධ සම්ප්‍රදායන් විසින් සංවර්ධනය කර ඇත. ස්තුපය ස්මාරකයක් ලෙස හඳුන්වා තිබේ.

ඉන්දීය සමාජය තුළද යම් සරල පූජා චාරිත්‍ර විධියක් හෝ පවතින්නට ඇතැයි අනුමාන කළ හැකි සාධක දාඨාවංශයේ දක්නට ලැබේ. ක්‍රි. ව. 360 දී කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ දවස මෙහි වැඩම වූ දන්ත ධාතුන් වහන්සේ ඓතිහාසික ජාතික වස්තුවකි. දළදා වහන්සේ රැගෙන ඒමෙන් පසුව එය ධම්මචක්ක නම් අභයගිරි විහාරයට අයත්වූ මන්දිරයක තැන්පත් කොට වාර්ෂික උත්සවයක් කළ යුතු යැයි නියම කර ඇත. පසුව දළදා වහන්සේ මුල්කරගෙන පෙරහර ආරම්භ විය. වීථි සරසා දළදා වහන්සේ පෙරහැරින් අභයගිරියට වැඩමවා තැන්පත් කිරීමෙන් අනතුරුව ගිහි පැවිදි දෙපක්ෂයම එයට සුවඳ දුම් පහන් පූජා කර තිබේ.

දිවා රෑ දෙකෙහි දින අනූවක් පුදා නැවැත අභයගිරියට ම ගෙන ආහ. මෙම පෙරහර කලක් අභාවයට ගොස් නැවත ක්‍රි. ව. 1775 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් අරඹා තිබේ.

දළදා පෙරහරට දේව විශ්වාස ඇඳා ගැනීමක් දක්නට ලැබේ. දළදා වහන්සේ සඳහා මාලිගා තැනවීම බොහෝ රජවරුන්ගෙන් සිදු වූවකි. පළමුවන මහා පරාක්‍රමබාහු රජතුමා වෙනුවෙන් මහේන්ද නම් ඇමැතියා මනහර පහයක් නිර්මාණය කර ඇත.

බෞද්ධ පුදපූජා විකාශනයේ එක් අවස්ථාවක් ලෙස දළදා මාලිගාවේ පැවැත්වෙන පූජා දැක්විය හැකිය. මහරන්පාත්‍රය, කුඩා රන්පාත්‍ර තුන, රිදී පාත්‍ර දෙක හා පිත්තල පාත්‍රය යන පාත්‍ර හත පූජා කරන්නේ රජතුමාගේ සිට හක්ගෙඩි රාළ දක්වා දළදා පූජාවට හා ආරක්ෂාවට කැප වූ පිරිස විසිනි.

පිරිත් දේශනදය ආශිර්වාදය හා ආරක්ෂාව පිණිස තුනුරුවන් විෂයෙහි පවත්වන්නකි. පිරිතේ ප්‍රභවය බුද්ධ කාලය දක්වාම ගමන් කරයි. බොජ්ක්‍ධංග සූත්‍ර තුන, ගිරිමානන්ද සූත්‍රය, වැනි සුත්‍ර වලින් පිරිත උපචාර ෂණන්ගෙන් සංකීර්ණත්වයට පත් නොවූ අර්ථයට මූලිකත්වය දෙන ස්වරූපයක් එම සූත්‍ර තුළ පවතී.

පිරිත පූජා චාරිත්‍රයක් ලෙස දක්නට ලැබෙන්නේ ක්‍රි. ව. පළමුවන සියවසේදීය. මිලිදු නාගසේන සංවාදයේදී පිරිත පුජා චාරිත්‍රමය ලක්ෂණ ගෙන තිබේ.

ජනප්‍රිය බුදුදහමෙහි පිරිත වැදගත් පුණ්‍ය කර්මයකි. මහායාන බලපෑම නිසා භක්තිවාදයට නැඹුරුවීමෙන් පසු ආරක්ෂක බලවේගයක් ලෙස පිරිත ප්‍රභවය වී විශේෂ සූත්‍ර කීපයක් චතුභාණවාරපාළි නමින් ථෙරවාදීන් පිළිගෙන තිබේ.

මහායානික බෞද්ධයින් පිරිසිදු වාක්‍ය හඳුන්වා ඇත්තේ මන්ත්‍ර හෙවත් ධාරණී යනුවෙනි. ගිනි පිරිතේ ධාරණි යන වචනය වරක් යෙදී ඇති අතර මෝර පිරිත මහායාන මහාමයුරි ධාරණියට සමානය. තන්ත්‍රයානයේ බලපෑම් මත පිරිත මන්ත්‍ර තත්ත්වයට පත්ව තිබේ.

පිරිතේ ප්‍රභේද ලෙස වරු පිරිත, තිස් පෑ පිරිත, තුන් තිස් පෑ පිරිත, සති පිරිත, සෙත් පිරිත දැක්විය හැකිය. ආගමික වතාවත් ඉතා ඉහළ මට්ටමකින් උත්සවාකාරයෙන් සැමරීම මහායාන සම්ප්‍රදායකි. මේ තත්ත්වය වර්තමාන බෞද්ධ චාරිත්‍රවල ඉතා ඉහළින් දැකිය හැකිය.

විසිතුරු පිරිත් මණ්ඩපය එයට නිදසුනකි. මේ සඳහා පහන්, හඳුන්කූරු, පිනිදිය, මල්, ඊතණ, විළඳ, හුනුසහල්, ඵලඅඹ, සමන් කැකුළු (ලද පස්මල්), දැහැත් වට්ටියක්, තුන් නූල් කරන ලද නූල් පන්දු දෙකක්, පුන් කලස් මෙන්ම ධාතු කරඬුව, පිරිත් පොත, පිරිත් හූය, හා රාජගහ යන ශ්‍රද්ධ වස්තු ද යොදා ගනී.

ආදිම මිනිසාගේ ආගමේ සාරය මළවුන් පිදීමය. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් හරප්පාවෙහි මැටි බදුන්වල මිනී වැළලීම සිදු විය. ආදි යුගයෙහි පැවති මළවුන් පිදීම බුදුසමය තුළ මළවුන්ට පිං අනුමෝදන් කිරීම බවට පත් විය. මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිළිබඳ ප්‍රවෘත්ති ත්‍රිපිටකය තුළ දක්නට ලැබේ. දිනක් සිය ඥාති මිත්‍රාදීන් විරූපීව සිහිනෙන් දුටු බිම්සර රජු එය බුදුන් වහන්සේට දැන්වීමේදී දන්දී පින් අනුමෝදන් කරන්නැයි දේශනා කර ඇත.

වෛදික යුගයේදී ගින්නට ආහාරාදිය දමා ඉන් ජනදිත දුමින් පීතෲදානය (යඥය) පැවැත්වූ අතර බෞද්ධ යුගය වන විට පින්කම් කොට පින් අනුමෝදන් කිරීම දක්වා එය දියුණු වී තිබේ.

මීට අමතරව තවත් පුද පූජා පිළිවෙත් බෞද්ධයන් අතර පවතී. සිරිපාද වන්දනාව එබන්දකි. සුමන දෙවියන්ගේ ඇරයුම පරිදි බුදුන් වහන්සේ සමනලකන්ද මුදුනෙහි සිරිපා පිහිටුවා ඇත. නිශ්ශංකමල්ල රජතුමා එහි ගමනාගමනයට පහසු සේ මාර්ගය සකස් කොට වන්දනාකරුවන් උදෙසා දන්වැට තබා ඇත. දෙවෙන පරාක්‍රමබාහු රජතුමා වෙනුවෙන් දේවප්‍රතිරාජ ඇමැති සිරිපා වන්දනා කළ බව මහාවංසයේ දැක්වේ.

ගිරිභාණ්ඩ පුජාව ද මෙරට පැවැති තවත් පූජා විදියකි’ මෙය මහාදාඨිය මහානදාග රජතුමා දවස පැවැති ප්‍රබල පූජාවකි. මහාචාර්ය හෙට්ටිආරච්චි මහතාගේ අදහසට අනුව මෙය සියලු ආගමිකයන් සතුටු කිරීම සඳහා පවත්වන ලද්දකි. කැකුලාවල මහතාගේ අදහස අනුව මෙය මහායාන පුද පූජා ක්‍රමයට සම්බන්ධ වූවකි. මෙයට පහන් පූජාව, මහාදානයක් දීම, නෘත්‍යගීතවාදිත පැවැත්වීම, සිරකරුවන් නිදහස් කිරීම වැනි අංග අයත් වී තිබේ.

බෞද්ධ පුද පූජා පිළිබඳ කතා කීමේදී අටමහ පින්කම් පිළිබඳව ද සඳහන් කළ යුතුය.

කඨින, අටපිරිකර, ආවාස කරදීම, බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන්දීම, දහම් පොත් ලිවීම, සංඝයාට කෙත්වතු පූජා කිරීම, බුද්ධ ප්‍රතිමා නෙළීම, වැසිකිලි සකස් කරවීම මෙයට අයත් වේ. වනරෝපා සූත්‍රයේ දිවා රෑ පින් වැඩෙන ක්‍රියාවන් පිළිබඳව දක්වා ඇත.

භාරත දේශයෙන් පිටතට බුදුදහම පැතිරීමේදී එයට ඇදහිලි හා විශ්වාසයන් එකතුවීම හේතු කොටගෙන පුද පූජා පිළිටවත් වල වැඩීම ද සිදු වී තිබේ.

පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 6 වන දා සෙනසුරාදා අපර භාග 9.58 ට ලබයි.
ජුනි 7 වන දා ඉරිදා අපරභාග 11.45 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජුනි 7 වනදා
ඉරිදාය. මීළඟ පෝය ජුනි 15 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]