ඝාතන සංස්කෘතියක අවසානය
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ
ප්‍රභාකරන් මරණයට පත් වූ පුවත ඇසූ ජනතාව රතිඤ්ඤා පත්තුකොට
සතුටු වන අයුරු අපි දුටුවෙමු. මේ සමාජ මානසිකත්වය නිවැරැදි ව
අවබෝධ කැර ගැනීම අප සියලු දෙනාට ම වැදගත් වනු ඇත. මෙහි දී අපට
සිහිපත් වනුයේ ඉන්දීය පුවත්පත් කලාවේදියකු වන ආර්. නරායන්
ස්වාමි විසින් ලියන ලද ‘ප්‍රභාකරන් - දුරවබෝධ මනසක ඇතුළාන්තය’
නමැති කෘතියයි. එහි පූර්විකාවේ මෙ සේ සඳහන් කැර තිබේ.
‘වසර ගණනාවක් තිස්සේ ගෙන යන ලද අරගලය ඔහු ගේ පෞද්ගලික
අහංකාරෝන්මාදයට හා බලය සඳහා වන උමතුවට යටත් වූවක් බවට පත් ව
තිබෙන බව පෙනෙන්නට තිබේ. ඔහු ගේ ජීවන වෘත්තිය තුළ යුදමය හා
ත්‍රස්තවාදී මූලෝපායයන් එක හා සමාන පහසුවකින් ඒකාබද්ධ කරන ඔහු
ප්‍රථමයෙන් කැරලිකරුවකු ලෙසත්, අනතුරු ව ඝාතන යන්ත්‍රයක
ප්‍රධානයා ලෙසත් ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාගණය තුළ සියලු
විමතිකයන් ක්‍රමානුකූල ව මර්දනය කැර තිබේ. ශ්‍රී ලංකාව තුළ හා
පිටත දිවි ගලවා ගෙන දැන් රැකවරණය ලබමින් දිවි ගෙවන පිරිස් තමන්
ඔහුට සොයාගත නො හැකි වේවා යැයි දෙවියන්ට යදිමින් හෝ ඔහු තමන්ට
සමාව දෙනු ඇතැයි යන අපේක්‍ෂාවෙන් පසුවෙති.’
දශක තුනක් සමාජය මත ආධිපත්‍යය පතුරුවා ගෙන සිටි ඝාතකයකු ඝාතනය
වීම නිසා අහෝසි වන ඝාතන සංස්කෘතිය පිළිබඳ හැඟීම අප සමාජය සතුටු
කිරීමට බලපෑ ප්‍රධාන සාධකය බව ඇත්ත ය. එහෙත්, ඔහුට එරෙහි ව
ඒකරාශීවීම සඳහා අප සමාජයේ ජාතිකවාදී හැඟීම බෙහෙවින් බලපා තිබේ.
එ බැවින් මේ පිළිබඳ ව අප ලියූ 2009/02/09 දිනැති කතු වැකිය
පාඨකයන් ගේ අවධානයට යළි යොමු කැරේ. එහි මෙ සේ සඳහන් විය.
ජාතික වාදය හා ජාතිභේද වාදය අතර ඇති වෙනස ද මෙහි දී අප ගේ
අවධානයට යොමු විය යුතු ය. ජාතික වාදය, ජාතිභේද වාදය මෙන්
සමාජයට අහිතකර සමාජ බලවේගයක් නො ව රටේ ප්‍රගතිය සඳහා උපයෝගී
කැර ගත හැකි තත්ත්වයකි. එ බැවින් මේ ජාතිකවාදී මානසිකත්වය රටේ
අනාගත අභිවෘද්ධිය උදෙසා උපයෝගී කැර ගැනීමේ බරපතළ වගකීම අප
සමාජය හමුවේ තිබේ. ඒ සඳහා රටේ බුද්ධිමතුන් වෙත පැවරෙන වගකීම
අති විශාල ය. එ බඳු උත්සාහයක දී ආදර්ශයට ගත හැකි අතීත වැඩ
පිළිවෙළක් පිළිබඳ ව මෙ රට බුද්ධිමතුන් ගේ අවධානය යොමු කිරීමට
කැමැත්තෙමු.
ආචාර්ය ආනන්ද කුමාරස්වාමි, ඩී.බී. ජයතිලක, ඩබ්ලිව්. ආතර් ද
සිල්වා, දොස්තර සී.ඒ. හේවාවිතාරණ, ජේම්ස් පීරිස් ආදී ලාංකික
ඉංගී‍්‍රසි උගතුන් පිරිසක් විසින් 1905 දී කොළඹ දී පිහිටුවන ලද
ලංකා සමාජ ප්‍රතිසංස්කරණ සංගමය සතු ව එ බඳු ජාතිකවාදී
ප්‍රතිපත්ති මාලාවක් තිබිණ. එහි අරමුණු මෙ සේ විය.
අ.ලාංකිකයන් අතර සමාජ චාරිත්‍ර ප්‍රතිසංස්කරණ අරඹා ඒවා
පිළිපැදීමට උනන්දු කැරවීම සහ යුරෝපීය පුරුදු හා චාරිත්‍ර
සිතිවිල්ලෙන් තොර ව අනුකරණය කිරීම අධෛර්යයට පත් කිරීම.
ආ.විවිධ ජාතීන්ට අයත් උදවිය අතර අන්‍යොන්‍ය සම්බන්ධතා හා
එකිනෙකාට ගෞරව කිරීම උනන්දු කැරවීම හා ලංකාවේ සිටින පෙරදිග
ජනතාවන් අතර ස්වභාවයෙන් ම ඇති බැඳීම අවධාරණය කිරීම.
ඇ. පාලි හා සංස්කෘත සාහිත්‍යයත් සිංහල හා දෙමළ සාහිත්‍යයත්
අධ්‍යයනයට අනුබල දීම.
ඈ. දේශීය කලා ශිල්ප පුනර්ජීවනයට අනුබල දීම.
ඉ. පෞරාණික ගොඩනැගිලි හා කලා නිර්මාණ සංරක්‍ෂණයට ආධාරක වීම.
වර්තමාන ජාතිකවාදී නැඹුරු ව පුළුල් වැඩ පිළිවෙළක් බවට පත් කැර
ගැනීම සියලු ශ්‍රී ලාංකිකයන් ගේ යුතුකම හා වගකීම ය.විදේශීය
මැදිහත්වීම්, සංස්කෘතික ආක්‍රමණය, අන්‍යාගම්කරණය, බෙදුම්වාදී
ප්‍රවණතා හා ආර්ථික පරාධීනත්වය පරාජය කළ හැක්කේ එ බඳු ජාතික
වැඩ පිළිවෙළකින් පමණි.
ශ්‍රී ලංකාව සතු මහඟු දායාදය වන මානව සම්පත කෙරෙහි අප මෙහි දී
විශ්වාසය තැබිය යුතු ව ඇත. ඊශ්‍රායලය බිහි කිරීම සඳහා
යුදෙව්වන් අනුගමනය කළ ක්‍රියා මාර්ග, තම ජානමය ශක්තිය පිළිබඳ ව
තැබූ විශ්වාසය හා ලෝක දේශපාලන බලතුලනය ඊශ්‍රායාලයේ පැවැත් ම
සඳහා උපයෝගී කැර ගත් ආකාරය අපට උදාහරණ වශයෙන් ගත හැකි කරුණු ය.
යුදෙව්වාදී පිළිවෙත් අප අනුමත නො කළ ද ලෝකය පුරා විසිරී සිටින
අප ගේ බුද්ධිමය ශ්‍රමය ආමන්ත්‍රණය කිරීම සඳහා යුදෙව්වන්
අනුගමනය කළ පිළිවෙත කෙරෙහි විශ්වාසය තැබීම වරදක් නො වේ යැයි
සිතමු. ලොව විසිරී සිටි යුදෙව්වන් ඒකරාශී කිරීම සඳහා මූලික
වූයේ තියඩෝර් හර්ෂල් නමැති හංගේරියානු ජාතික යුදෙව්වෙකි. ඔහු
සිදු කළ අයුරින් ම ශ්‍රී ලංකාව යළි ගොඩනඟීම සඳහා දායක වන ලෙස
ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික බුද්ධිමතුන්ට අප ආයාචනා කළ
යුතු ය. |