බුල්ජන්ස් හඳුනා ගැනීම
අදට යෙදී තිබෙන ලෝක කම්කරු දිනය පිළිබඳ ව කතා කිරීම සුදුසු
යැයි සිතමු. එහෙත් මෙය කම්කරු ව්‍යාපාරය හෝ කම්කරු සටන් ගැන
කියැවෙන ලියවිල්ලක් නො වේ. මෙය සැබවින් ම මෙ රට වෘත්තීය සමිති
ව්‍යාපාරයේ පුරෝගාමියා වන ඇල්ප්‍රඩ් එර්නස්ට් බුල්ජන්ස් මහතා
(1865 – 1916 ) ඉටු කළ මෙහෙවර අප පාඨකයන් ගේ අවධානයට යොමු
කිරීමකි. ජාතිකවාදී නැඹුරුවක් සහිත ඔහු ගේ ආගමික දේශපාලනය ගැන
හැදෑරීම අප සමාජයට ඉතා වැදගත් වනු ඇත.කුමාරි ජයවර්ධන මහත්මිය
විසින් ලියන ලද ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැඟීම නමැති
කෘතියෙහි සඳහන් කැරණු පදනම් කොට ගන අපි එය සාකච්ඡා කරමු.
බුල්ජන්ස් මහතා ලංකා විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යත්වයක් මත 1883 දී
බ්‍රිතාන්‍යයට ගොස් කේම්බ්‍රිජ් සරසවියෙන් උපාධියක් ලැබූවෙකි.
සුප්‍රකට ආර්ථික විශේෂඥයකු වූ මහාචාර්ය ඇල්ප්‍රඩ් මාර්ෂල් යටතේ
දේශපාලන අර්ථ ශාස්ත්‍රය හැදෑරූ ඔහු එ රට කාර්මික ප්‍රදේශ වෙත
ගොස් කම්කරු පන්නිය පිළිබඳ ව අවබෝධයක් ලබාගෙන තිබේ. ඔහු
බ්‍රිතාන්‍යයේ ගත කළ කාලය දැඩි ආර්ථික පරිහානී යුගයක් වූ අතර
වෘත්තීය සමිතිවාදය, සමාජවාදය හා මාක්ස් වාදය කෙරෙහි විශාල
සමාජයීය නැඹුරුවක් පැවැති බව කියනු ලැබේ.
උපතින් ක්‍රිස්තු භක්තිකයකු වූව ද කේම්බ්‍රිජ් සරසවියේ සිටිය
දී එය අතහැර ඔහු නිදහස් මතධාරියකු වී තිබේ. අනතුරු ව ලංකාවට
පැමිණි ඔහු 1888 දී බුදු දහම වැලැඳ ගත්තේ ය. ‘මා බෞද්ධයකු වූයේ
මන් ද’ යනුවෙන් 1889 දී ඔහු කළ දේශනයක කොටසක් මෙහි උපුටා
දැක්වීම වැදගත් යැයි සිතමු.
‘ක්‍රිස්තියානි රටවල ක්‍රිස්තු භක්තිකයන් අතර ක්‍රිස්තියානි
ආගමේ ප්‍රායෝගික ප්‍රතිඵල සෑහෙන පමණ දුටිමි. ලන්ඩනයේ නැගෙනහිර
පෙදෙසේ තුච්ඡ පිරිහීම, දරිද්‍රතාව සහ දුක්ඛිත භාවය සමඟ එක
ළඟින් අන්තත ධනවත්කම පැවැති අන්දම ගැන දිගින් දිගට කථා කිරීම
අනවශ්‍යය. හැම දා රාත්‍රියේ කැරෙන අධික කාම සේවනය, ප්‍රසිද්ධ
මත්පැන් හල්වල වෙරි මරගාතේ දැඟලීම, ගෙයක් දොරක් නැතිව හා
නිරාහාරයෙන් පසුවන දහස් ගණන් ජනයා ආණ්ඩුවට කරන දුක්මුසු ආයාචනා
සහ අසන්තුෂ්ටියට පත් සමාජවාදීන් ගේ පෙළපාලි යන මේවා පිළිබඳ
පින්තූරය හා ඒවායින් විදහාපාන පාඩම, මට කිසිදාක අමතක කළ නො
හැකි ය. දහස් ගණන් ගැහැනු - පිරිමි ළමයින් රාත්‍රී කාලයේ දී
නිවහනක් නැති ව ආවරණයක් නැති ව කිසිවකු ගේ පිළිසරණක් නැති ව
හිමෙන් වැසුණු තෘණ රහිත නග්න මහ පොළව මත එකට ගුලි වී නින්දට
යන්නා හ. ක්‍රිස්තියානි එංගලන්තයෙහි එ බඳු දේ සිදු විය හැකි
ද?’
අනුකාරවාදී දේශපාලනඥයන්ට බුල්ජන්ස් මහතා ගේ මේ නිරීක්‍ෂණ හරි
මඟ කියා දෙන්නකි. මන්ද යත්, මෙ බඳු සමාජ පසුබිමෙක උපන් දේශපාලන
මතයක් අනුකාරකවාදී ලෙස සමාජගත කිරීමට උත්සාහ දැරීමේ බොළඳ
ක්‍රියාව මේ අනුකාරකයන්ගෙන් සිදු වන බැවිනි. එහෙත් ශ්‍රී
ලංකාවේ කම්කරු ව්‍යාපාරය තෝරා ගත්තේ එම අනුකාරකවාදී මඟ මිස
බුල්ජන්ස් මහතා පෙන්වා දුන් ජාතිකවාදී මඟ නො වේ. එවකට යටත්
විජිතයක් වූ ලංකාව තෝරාගත යුතු ව තිබූ මඟ පිළිබඳ ව ඔහු 1889 දී
පළ කළ මේ අදහස අදටත් වලංගු ය.
‘මට පෙනුනේ ප්‍රායෝගික ක්‍රිස්තියානි ආගම රැවටිල්ලක් බව යි.
මක් නිසා ද යත්, මිෂනාරීවරුන් හා බයිබල් රට රටවලට යවනු ලැබූ
අතර, ඊට වඩා විශාල සංඛ්‍යාවක් බෝතල් හා වෙඩි උණ්ඩ ද ඒ සමඟ යවනු
ලැබූ බැවිනි. බෝතල් හිත මැරීම සඳහා විය. වෙඩි උණ්ඩ කය මැරීම
සඳහා විය.’
බුල්ජන්ස් මහතා පෙන්වා දුන් මේ යථාර්ථය අදටත් බොහෝ දෙනා අවබෝධ
කැරගෙන ඇති බවක් නො පෙනේ. අප රටවල ජනතාව ගේ හිත් මැරීම සඳහා
එවූ බෝතලයට තවමත් විශාල ඉල්ලුමක් පැවතීමට හේතුව එය නො වේ ද?
ක්‍රිස්තියානි බර්ගර් පවුලකට අයත් බුල්ජන්ස් බුදු දහම වැලැඳ
ගැනීම සමාජ අපරාධයක් ලෙස සලකා ඔහු ඉගෙනුම ලැබූ ශාන්ත තෝමස්
විදුහලේ ගෞරවනීය නම් ලැයිස්තුවෙන් ඔහු ගේ නම කපා දැමී ය.
මෙය සියවසට පෙර සිදු වූවක් බව ඇත්ත ය. එහෙත්, මේ ආගමික
දේශපාලනය අදටත් එ සේ ම සිදුවෙමින් පවතී. අප එය යළි සඳහන්
කැරෙනුයේ ආගමික විවේචනයක් වශයෙන් නො ව දේශපාලන වුවමනාවක්
වෙනුවෙන් ආගම යොදා ගන්නා අයුරු පෙන්වාදීම පිණිස ය.
මේ තත්ත්වය අවබෝධ කැර ගැනීම ඇල්ප්‍රඩ් එර්නස්ට් බුල්ජන්ස්
මහතාට කැරෙන උපහාරයක් මෙන් ම ලෝක කම්කරු දිනය සැබෑ අරුතින්
සැමරීමක් ද වනු ඇත. |