UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දැහැමි මඟ තුළ ලොවම සනසන සිතක අසිරිය

මේ බඹයක් පමණ වූ ශරීරය තුළම දුකත්, එහි සමුදයත්, (හට ගැනීමත් , එහි නැතිවීමත්, දුකින් නිදහස් වීමේ මාර්ගයත් යන චතුරාර්ය සත්‍යම පවතින්නේ යැයි මම පෙන්වා දෙමි යනු එහි අර්ථය යි. චතුරාර්ය සත්‍ය පවතින්නේ අපේ ශරීරය තුළමයි. අප සත්‍යය සොයා ලෝකය පුරා ගමන් කරනවා. නමුත් ඒ සෑම දෙයක්ම පවතින්නේ අප ළඟයි. සිත නිවැරැදි කරගන්නා තරමට අප තුළ මේ අවබෝධය මතු කරගත හැකිය.

බුදු දහම පදනම් වී තිබෙන්නේ සිත මතයි. මෙය සිත හඳුනා ගැනීමට යන්නා වූ ගමනක්. ධම්ම පදයේ එක් ගාථාවක සඳහන් වන ආකාරයට, ගොවියෙක් තමන් බලාපොරොත්තු වන ස්ථානයකට වතුර ගෙන යන්නා සේ ප්‍රඥාවන්තයාට හැකි විය යුතුයි. තමාව හඳුනාගෙන තමන්ගේ සිත උවමනා පරිදි සකස් කර ගැනීමට බුදු දහමෙන් නිරතුරුව පෙන්වා දී ඇත්තේ සිත දැකීමේ වැඩපිළිවෙළක්. මජ්ඣිම නිකායේ සතිපට්ඨාන සූත්‍රයේ සිත පවත්වාගත යුතු ආකාරය, බුදුරජාණන් වහන්සේ විග්‍රහ කර ඇත. භාග්‍යවතුන් වහන්සේ සතිය යනුවෙන් පෙන්වා දී ඇත්තේ සිහිය යි. පට්ඨානය යනු පිහිටුවීමයි. අප බොහෝ දෙනෙක් සිතන්නේ භාවනාව යනු ඉඳගෙන අත් උකුළ මත තබා ගෙන කළ යුත්තක් බවයි. එය එහෙම දෙයක් නොවන බව, අපට බුද්ධ දේශනාව කියවන විට පැහැදිලි වෙයි.

යථා යථා මා පනස්ස
තයෝ පණිහිතෝ හෝති
තථා තථා නං පජානාති

ඔබ යම් ක්‍රියාවක් කරයිද, එය අවධානයෙන් යුතුව කරන්න. එවිටයි, සිහිය පවතිනුයේ. අප ලියන විට අවධානයෙන් ලියනවා. කතා කරන විට සිහියෙන් කතා කරනවා. මෙසේ කතා කරන හැම මොහොතකම, සිහියෙන් කටයුතු කරන සෑම අවස්ථාවකදීම සිත සකස් වනවා. නිවැරැදි වනවා. මිනිස් සිත නිරවුල් වීම, නිවැරැදි වීම මුළු ලෝකයම නිවැරැදි වීමකි.

සිත නිවැරැදි ලෙස සකස් කර ගැනීමට බුදු දහමේ ඉගැන්වූ ධර්ම මාර්ගය අනුගමනය කළ යුතුයි. ඒ මගින් සිත හඳුනා ගත හැකි යි. ඒ පිළිබඳ සෙත් දහමේ කථාවක් තිබෙනවා. ස්වාමීන්වහන්සේ කිහිප නමක් කොඩියක් සිටුවූහ. මේ කොඩිය සෙලවෙන විට එක් ස්වාමීන් වහන්සේ නමක් කියනවා, ‘කොඩිය සෙලවෙනවා’ කියා. තවත් නමක් කියනවා ‘කොඩිය නොවේ. සෙලවෙන්නේ සුළඟයි කියා. මේ ප්‍රකාශ දෙකම අසා සිටි තවත් ස්වාමීන් වහන්සේ නමක් පවසන්නේ සෙලවෙන්නේ කොඩියත් නොව, සුළඟත් නොව, ඔබලාගේ සිත් ය කියාය. මෙයින් කිසියම් ගැඹුරු ධර්ම විග්‍රහයක් ප්‍රකාශ වන බව පෙනෙයි.

මෙහි අර්ථය සලකා බලන විට සියලු දේ අප සිතින් දකින ආකාරය වැනි ගැඹුරු අර්ථයක් එයින් කියැවෙන බව පෙනෙයි. මෑත ඉතිහාසයේ නාගර්ජුන් හිමිගේ ලියූ වටිනාම ග්‍රන්ථයක් වන ‘මූල මාධ්‍යමික කාරිකාව‘ පොතේ විස්තර වනුයේ මේ ප්‍රතිපදාව දහම ගැඹුරින් දැකීමේ වැඩපිළිවෙළක් බවයි. පටිච්චසමුප්පාදය දකින වැඩපිළිවෙළක් බවයි. එනිසා අප උත්සුක විය යුත්තේ, සිත අවබෝධ කර ගැනීමටයි. ලෝකයේ සිත දුටුව පුද්ගලයින් ජීවිතය අවසන් කරනුයේ අවබෝධයෙන්මයි. ජීවිතාවබෝධය ලබන්නේ විමුක්තියට පත් වන්නේ සිත තේරුම් ගත් විට ය.

බුදුදහමේ උගන්වන අවසාන විමුක්තිය නිර්වාණය යි. නිවන යනු, සියලු බැඳීම් වලින් නිදහස් වීම යි. එය මේ ලෝකය වැනි තැනක්නොව, අවබෝධ කරගත යුතු තත්ත්වයකි. නිවන පවතින්නේ මනුෂ්‍යයාගේ ඇතුළතය. එනම් අධ්‍යාත්මයේ ය. බුදුරජාණන් වහන්සේ මේ ගැන සංයුක්ත නිකායේ අනමතග්ග සංයුක්තයේ දී පැහැදිලි විග්‍රහයක් කරති.

ඉමස්මිංච බ්‍යාම මත්තේ කලේබරේ
දුක්ඛංච පඤ්ඤාපේමි,
දුක්ඛ සමුදායංච පඤ්ඤා පේමි
දුක්ඛ නිරෝධංච පඤ්ඤා පේමි
දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය පඤ්ඤා පේමි

මේ බඹයක් පමණ වූ ශරීරය තුළම දුකත්, එහි සමුදයත්, (හට ගැනීමත් , එහි නැතිවීමත්, දුකින් නිදහස් වීමේ මාර්ගයත් යන චතුරාර්ය සත්‍යම පවතින්නේ යැයි මම පෙන්වා දෙමි යනු එහි අර්ථය යි. චතුරාර්ය සත්‍ය පවතින්නේ අපේ ශරීරය තුළමයි. අප සත්‍යය සොයා ලෝකය පුරා ගමන් කරනවා. නමුත් ඒ සෑම දෙයක්ම පවතින්නේ් අප ළඟයි. සිත නිවැරැදි කරගන්නා තරමට අප තුළ මේ අවබෝධය මතු කරගත හැකිය. සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ සර සූත්‍රයේ දේවතා වෙක් මෙසේ ප්‍රශ්න කරන බව සඳහන් වෙයි. සසර සැඬ පහර නවතින්නේ කොහේද? සසර වැසි නොව සින්නේ කොහේ ද? නාම රූප සහ මුලින්ම නැත්තේ කොහේද? මෙයට පිළිතුරු දෙන භාග්‍යවතුන් වහන්සේ පඨවි, ආපෝ

තේජෝ, වායෝ, ධාතු නොමැති තැන සසර සැඩ පහර නවතින බව පවසති. සසර වැසි එහි නොවසින බව පවසති. එහි නාම රූප සහමුලින්ම නැති වන බව පවසති. මෙය නිවනයි. නිවන විස්තර කිරීමේදී ඇත යන වචනය භාවිතා නොකැරේ. තැන යන වචනයම භාවිතා කරනු ලබයි. සූත්‍ර පිටකයේ ස්ථාන කිහිපයකම ලෝභය නැතිකිරීම නිර්වාණය යි. ද්වේශය නැති කිරීම නිර්වාණ ය යි. මෝහය නැති කිරීම, නිර්වාණය යි යනුවෙන් දක්වා තිබේ.

මෙසේ සකස් වූ සිතකට ලෝකයේ නොකළ හැකි දෙයක් නැත. බුදුරජාණන් වහන්සේ එක් තැනක සඳහන් කරනවා ‘මහණෙනි, මට ඕනෑනම් ඉර හඳ අතින් ස්පර්ශ කළ හැකියි. එතැනට ගොසින් බැලීමටත් හැකියි කියා.

සංයුක්ත නිකායේ අයෝගුල වග්ගයේ අයෝගුල සූත්‍රයේ මෙසේ සඳහන් වෙනවා. ආනන්ද හාමුදුරුවෝ ප්‍රශ්නයක් අසනවා. ‘ඔබ වහන්සේ බ්‍රහ්ම ලෝකයට යන විට යන්නේ මනෝමය ශරීරයෙන් ද? මාංශමය ශරීරයෙන්ද? කියා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙමින් ‘ආනන්ද තථාගතයන් වහන්සේට අවශ්‍යනම් මනෝමය සිරුරෙන් යන්නත් පුළුවන්, මාංශ ශරීරයෙන් යන්නත් පුළුවන් යනුවෙන් පවසනවා.

රහතන් වහන්සේ යම් තැනකට සෘද්ධියෙන් වඩිනවානම් වඩින්නේ මනෝමය ශරීරයෙන්. නමුත් බුදුරදුන්ට හැකියාව තිබෙනවා මනෝමය ශරීරයෙන් හෝ මාංශමය ශරීරයෙන් හෝ බ්‍රහ්ම ලෝකයට හෝ යන්න.

මෙම සාකච්ඡාවෙන් අපට පෙන්වා දෙනු ලබන්නේ සිත දියුණු කර ගැනීමේ වටිනාකම යි.

රහතන් වහන්සේ නමක් සිටියා ඛදිරවතිය රේවත මහ රහතන් වහන්සේ නමින්.

උන්වහන්සේ වැඩ සිටියේ කිහිරි වනයක. කිහිරි වනයක් යනු කටුක කැළෑවකි.

දවසක් බුදුරජාණන් වහන්සේ මෙම රහත් නමට දන්වනවා අසවල් දිනයේ තවත් භික්ෂූන් වහන්සේ සමගි කිහිරි වනයට තමන් වහන්සේ වඩින බව. මෙම රහතන් වහන්සේට බුදුරදුන් ප්‍රමුඛ සංඝයාට නවාතැන් දීමට තැනක් නොතිබූ හෙයින් උන්වහන්සේ තමන් සතුව තිබු සෘද්ධි හැකියාවෙන් ලස්සන පන්සලක් මැවූහ.

බුදුරදුන් ප්‍රමුඛ රහතන් වහන්සේ සහ අනෙකුත් භික්ෂූන් වහන්සේ වැඩම කළහ.

මෙසේ පැමිණි පෘථග්ජන භික්ෂූන් වහන්සේ ප්‍රකාශ කරනවා. ‘පේනවා නේද, කැලේ ඉන්නවා කීවාට ඉන්න පන්සලේ ලස්සන.

ජේතවනාරාමයටත් වඩා ලස්සනයි’ කියා බුදුරජාණන් වහන්සේ සත්‍යය දැන ගත්තත්, එය ප්‍රකාශ කළේ නැහැ.

දවසකින් දෙකකින්, මේ අය ආපසු යද්දී, රේවත තෙරුන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් අර පෘථග්ජන භික්ෂුන්ගේ් යම් යම් දේ අමතක කර දැමුවා.

ඇතැම් භික්ෂූන්ගේ පාත්තර අමතක කරවූවා. තවත් අයගේ හැරමිටිය අමතක කරවූවා. මේ දේවල් අමතක වූ භික්ෂූන් වහන්සේ නැවත පන්සල තිබූ තැනට පැමිණෙන විට, පාත්තර ගල් උඩ හැරමිටි ගස්වලට හේත්තු කොටත් තිබුණා.

නමුත් එතන පන්සල තිබුණේ නැත. එයින් ඔවුන්ට සිදුවූ දේ අවබෝධ වුණා.

මෙයින් පෙන්නුම් කරනුයේ බාහිර පරිසරයේ තිබෙන දේ යොදාගෙන සෘද්ධිමය හැකියාවක් තිබෙන කෙනකුට ඒවා වෙනස් කර පෙන්වීමට පුළුවන් බව යි.

මේ සෑම දෙයක්ම සිදු කරනුයේ සිත නමැති බලවේගය යි. එය මෙසේ ක්‍රියාත්මක කළ හැකි වන්නේ, ධර්මය මගිනුයි.

එසේ නම් අප සිත හඳුනා ගැනීමට උත්සාහවන්න විය යුතු යි.

සිත පිළිබඳ සොයා එය අවබෝධ කරගත් උතුමන් අතීතයේත් සිටියා. වර්තමානයේත් ජීවත් වනවා.

අනාගතයේත් පහළ වනවා. එසේ පහළ වෙත්නම් ඒ සියලු දෙනා ශ්‍රී සද්ධර්මය සරණ ගිය අයයි. එවන් පිරිස් අතර අපිත් මොහොතින් මොහොත අධ්‍යාත්මක දියුණුව වෙත ගමන් කළයුතු යැයි අධිෂ්ඨානයක් ඇති කර ගත යුතු යි. ලෝකයේ කුමක් තේරුම් ගත්තත් සිත නමැති බලවේගය තේරුම් ගැනීම යි අපහසුම කාර්ය ය. ඔබ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවා!

බක් අමාවක පෝය
 අප්‍රේල් 24 වන දා සිකුරාදා පූර්ව භාග 10.48 ට ලබයි.
25 වන දා සෙනසුරාදා පූර්වභාග 08.52 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 24 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය මැයි මස 1 වන දා ය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 24

First Quarterපුර අටවක

මැයි 01

Full Moonපසෙලාස්වක

මැයි 08

Second Quarterඅව අටවක

මැයි 17

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]