‘ජය මංගල ගාථා ගායනා කළ යුතු
කරදර ඇති වූ විටයි’
අහුන්ගල්ලේ, දේ.සු.ද. සොයිසා
ජය මංගල ගාථාවල අසුබ ගණ යෙදී ඇති නිසා ඒවා කියවීමෙන් ශාන්තියක් ලබා
ගැනීමට අපහසු බව දයා අංහෙට්ටිගම මහතා විසින් ‘බුදුසරණ’ට ලියන ලද
ලිපියක් මුල්කරගෙන ගොම්බද්දල නන්දාරාම ප්‍රධාන අධිකරණ සංඝනායක මා
හිමියන් සමඟ ඇතිවූ ශාස්ත්‍රිය, වාදය පාඨකයාගේ දැනුම නුවණ පුළුල්වීමට
හේතු වූ බව ගෞරව පූර්වකව සඳහන් කිරීමට කැමැති වෙමි.
මෙම සංවාදයට යළිත් කිසිවක් නොලියන බව ගරු අධිකරණ නාහිමියන් සඳහන් කර
අවසාන වශයෙන් ලියන ලද ලිපිය 2008 දෙසැම්බර් 19 වන දින ‘බුදුසරණ’ පුවත්
පතේ පළවිය. එයට පිළිතුරු සපයමින් දයා අංහෙට්ටිගම මහතා ලියන ලද ලිපිය
2009 ජනවාරි 10 වන දා ‘බුදුසරණ’ පුවත්පතේ පළ වී තිබි කියවුයෙමි. එම
ලිපියෙ අවසානයට සඳහන් වී තිබුණේ ‘නා හිමිපාණන් වහන්සේ මේ පිළිබඳ කරුණු
දැක්වීම අවසන් කරන බව සඳහන් කොට ඇති හෙයින් වගකිවයුතු විද්වතුන් ජයමංගල
ගාථා ගැන සාකච්ඡා කොට නිගමනයකට එළඹෙන්නේ නම් ඉතා මැනවි’ යනුවෙනි. එම
ලිපිය ලියැවී මාස දෙකක් ගෙවී ගිය ද ගිහි පැවිදි කිසිවෙකු යමක් ඒ
සම්බන්ධයෙන් ලියා නොතිබුණු බැවින් මම මෙය ලියන්නට අදහස් කළෙමි.
වයස අවුරුදු 87 ක් ගෙවී ගියද ගොම්බද්දල අධිකරණ නා හිමියන් ශාස්ත්‍රිය
සංවාදයකට පිවිසීම ඉතා අගය කළ යුතු ය. එය හරියට හික්කඩුවේ ශ්‍රී සුමංගල
නා හිමියන් ඉතා වයසට ගිය පසුව රුසියන් භාෂාව ඉගෙන ගන්නට ගත් උත්සහය බඳු
ය. නිසි විභාග ආදියට ලියා සමත්ව පොත පත කියා ලියා උගතුන් වූ අපේ මහ
තෙරවරුන් වහන්සේට උසස් ශාස්ත්‍රීය සංවාදයකට සම්බන්ධවීමට වයස බල නොපාන
අතර විවිධ පදනම් සංවිධාන හරහා සද්ධර්ම, කීර්ති, පණ්ඩිත, විශාරද, ආදී
සම්මාන ලබාගත් නාම මාත්‍රික උගතුන්ට නම් ශාස්ත්‍රීය සංවාද ලිපි ලේඛන
ආදිය ගෝත්‍රිකයන්ට ගී‍්‍රක් ඉගෙන ගන්නවාට වඩා අමාරු විය හැක.
දයා අංහෙට්ටිගම වැනි ත්‍රිපිටකවේදී, ශාස්ත්‍රාචාර්ය වරුන් ගිහි සමාජය
නියෝජනය කිරිම නිසා අපේ ගෙවී ගිය 19වන ශත වර්ෂයේ අගභාගයේ සහ 20වන
සියවසේ මුල් කාර්තුවේ ගිහි සමාජය නියෝජනය කළ බටුවන්තුඩාවේ, ධර්මරත්න
ආදි පඬිවරුන් මෑත යුගයේ ද සිටිනවා සේ අපට දැනේ. එය අපේ ගිහි සමාජයට ද
ආඩම්බරයකි.
ජයමංගල ගාථා ගායනා කර ආශිර්වාද කිරීමේ දී ඉටු, නිටු, ගණ, අකුරු කෙසේ
වෙතත් කියන කාරණ වලින්ම සුබ සිද්ධියක් වේද? යන්න විමසා බැලිය යුතු ය. ඒ
මන්දයත් ජයමංගල ගාථා වලින් කියාපාන්නේ බුදුරජාණන් වහන්සේට සිදු වූ
විවිධ, කරදර, බාධක, හිරිහැර, පිළිබඳවය. ඒවා බුදු බලයෙන් වළක්වා ගත්
නිසා, ඒ බලයෙන් සෙත් පතන්නාට ජයමංගලයක් වේවා! යන්නයි.
බුදුරජාණන් වහන්සේ බෝසත් අවධියේදී සිදු වූ අකුසල කර්ම එකොළහක් ගැන ද
කියවේ. බුදුබව ලබා දිවිගෙවෙන විට සිදු වූ අකුසල විපාක පලදීම් මෙම
ජයමංගල ගාථාවලට අන්තර්ගත වී ඇත.
ඒවා වැළැක්වූයේ බුදු බලය මගින් චිංචි මානවිකාවගේ වංචනික ස්වරූපය හෙළි
කරන්නට සක් දෙවියෝ මී වෙසක් මවාගෙන ඉදිරිපත් වුහ. පොදුවේ ගත් කළ
බුදුරජාණන් වහන්සේ සම්බන්ධව ඉතාම සුබ කාරණා රාශියක් බුද්ධ චරිතය තුළ
අපමණව තිබියදී සුබ අවස්ථාවලදී බුදුපියාණන්ට සිදු වූ අසුබ දේවල් ගායනා
කර ඒ බුදු බලයෙන් අපට ද සුබ වෙන්නට ප්‍රාර්ථනා කිරීම කොතරම් විදුහුරු ද
යන්න සැබවින්ම ප්‍රශ්නයකි.
මේ පිළිබඳව කරුණු කාරණා රාශියක් අපට ඉදිරිපත් කළ හැක. ජාතික උත්සව,
විවාහ මඟුල්, විවෘත කිරීම් මුල්ගල් තැබීම් ආදියෙහි ද ජයමඟුල් ගාථා
ගායනා කිරීම සිරිතකි. නිදහස් උත්සව සමාරම්භයේ දී ද මේවා සිදු කර මේ
වැනි ඉතා සුබ අවස්ථාවලදී ජය මංගල ගාථා ගායනා කිරීමෙන් අප නිතරම කරනුයේ
බුදුපියාණන් වහන්සේට සිදු වූ අවහිර බාධක, සිහිපත් කර ඒවා ජයගත් බලයෙන්
සුබ පැතීමයි. නමුත් මෙය විය යුත්තේ සුබ දේවල් සිදු කරන විට නොව එවැනි
දේවල් ආරම්භකර යම් යම් අසිරුතා බාධක හිරිහැර කම්කටොළු ඇති වූ
අවස්ථාවකය. ඒ අනුව ජයමංගල ගාථා කිය යුත්තේ බාධක පැමිණි විටකදී මිස බාධක
නැති විටෙක බාධක ප්‍රාර්ථනා කරගෙන නොවන බව සඳහන් කළ යුතු ය.
එසේ නම්, සුබ කටයුතු වලදී ගායනා කළ යුතු බුදුගුණ, දහම් ගුණ සඟ ගුණ යන
තෙරුවන් ගුණ මිස තෙරුවනට සිදුවූ බාධක නොවේ. මේ පිළිබඳ විද්වතුන්ගේ හා
අපේ උගත් ආගමික නායක හිමිපාණන් වහන්සේලාගේ අවධානය යොමුවිය යුතු ය. මා
මෙසේ සඳහන් කළේ ජයමඟුල් ගාථා අර්ථවත් සුබ කටයුතු වලට නොවේය. යන අදහසින්
ය. ත්‍රිපිටකාචාර්ය දයා අංහෙට්ටිගම මහතා මෙතෙක් කියන්නේ ජයමංගල ගාථා
සුදුසු නොවන්නේ එහි ගණ පිහිටුවීමෙහිලා ඇතිවී තිබෙන දෝෂයන් ගැනය. අපේ
ගොම්බද්දල නායක පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ දෙසනුයේ ගණ පිහිටීම් පිළිබඳ
එහි ප්‍රශ්නයක් නොවන බවයි.
ඒ පිළිබඳව මෙතැන් සිට ලියමි. අමරපුර භික්‍ෂු වංශය ආරම්භවීමෙන් පසු
වැලිතර ඤාණවිමල තිස්ස මහ ධම්ම රාජාධිරාජ ගුරු මහ හිමිපාණන් වහන්සේගේ
අපවත්වීමෙන් පසු දෙවන වරට මහ නායක පදවියට පත්වූ බෝපාගොඩ සිරි සුමන
ඤාණලංකාර මාහිමිපාණන් වහන්සේගේ සමයේ දී උඩරට පාතරට මුදලි මුහන්දිරම්
වරුන්ගේ ආරාධනයෙන් 1842 වර්ෂයේ දී එනම් මීට වසර 167 ක් පෙරදී සකස් කළ
කතිකාවතේ මෙසේ සඳහන් කර ඇත. එනම් දෝෂ පෙනෙන බැවින් විහාර අස්නද, දොරකඩ
අස්න ද නොකියවිය යුතු බවය. මා එම කතිකාවතේ ඒ පිළිබඳව සඳහන් කොටස මෙම
ලිපියට ඇතුළත් කරමි.
“දුරාව්හානෙ ගානෙ තථෙව රොදනෙ පිච පලුතාති මන්තිකා වුත්තා සබ්බෙ නෙව
ගය්හරෙයි යත්තකාහි මත්තාහි අක්කර පරිපුණ්ණං හොති. තතොප්පාදි මන්තං
යුත්තං කත්වා කථනං විකාර කථනං ගාමාති” යි.
ගුරු ලඝු සම්පූර්ණ මාත්‍රා වලට වඩා අධිමාත්‍රාව ඇද ඇද කීම විකාර
කියමනකයි අටුවා, ටීකා වල දැක් වූ බැවින් එබඳු විකාර කියමනට ඇතුළත්ව
ප්ලූතට නගා ආයතගීත ස්වර පතුරුව පතුරුවා ත්‍රි මාත්‍රයක් හෝ ඊට වැඩිම හෝ
ඇද නොකිය යුතු ය. දැනට දෝස පෙනෙන බැවින් විහාර අස්න හා දොරකඩ අස්න ද
නොකිය විය යුතු යි. වුවමනාවක් තිබෙනවා නම් දූතයෙකු ලවා දේවාල තල්පත්
ඇරිය යුතු යි. අනුශාසනා අස්න කියා දෙවියන්ට පින්දිය යුතු යි.’ ආදී
වශයෙනි.
මේ අනුව පෙනී යන්නේ අතීතයේ සිටි දැන උගත් මහ තෙරවරුන් ද මෙම ගණ දෝෂ
ආදිය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ක්‍රියා කර ඇති බවයි. ජයමංගල ගාථා
පමණක් නොව අද ද විශාල විය හියදම් ද ගරු ගාම්භීරව කියන දොරකඩඅස්නද නොකිය
යුතු බවට අමරපුර කතිකාවතෙන් ප්‍රකාශ කරන්නේ ඒවායේ ඇති දොස් නිසා ය.
මේවා සුළුකොට බැහැර කිරීමට අපහසු බව මෙම කාරණා වලින් අවබෝධ වේ.
කාව්‍ය ශාස්ත්‍රයෙදී ගණ පිහිටුවා පද බන්ධනය කිරීම පුරාණයේ සිට පැවත එන
ක්‍රමයයි. එයින් සිදුවන සුබ අසුබ පිළිබඳ සඳහන් වන්නේ මෙසේයි.
සුබ -
බුම් ගණය ගුරු හිමිවෙයි රෝග නසයි මගණේ
දේව ගණය බුදහු හිමියි ආයුෂ දෙයි නගණේ
සෝම ගණය සඳු හිමිවෙයි සිරි සලසයි බහණේ
මෙජලගණය සිකුරු හිමියි යසකිත් දෙයි යගණේ
අසුබ -
ධානු ගණය ඉරු හිමිවෙයි තැවුල් කරයි ජගණේ
මෙගිනි ගණය කුජ හිමිවෙයි මරණ කරයි රගණේ
වායු ගණය සනි හිමිවෙයි දේස යවයි සගණේ
අහස් ගණය රාහු හිමියි දිලිදු කරයි තගණේ
මෙහි අසුබ ගණ පිළිබඳ සඳහන් වන කවියෙහි තුන්වන පදයෙහි සඳහන් වනුයේ ‘වායු
ගණය සනි හිමිවෙයි දේස යවයි සගණේ’ යනුවෙනි. මේ අනුව සගණයෙන් කවි ලියුවිට
ඔහුට උපන් ගමින් සිටින තැනින් බැහැරව යන්නට සිදුවන බවයි. ‘දේස යවයි
සගණේ’ යනුවෙන් කියැවෙන්නේ මේ අනුව වෑත්තෑවේ හිමියන් ලියු ගතෙහි ‘සිය
පින් සිරින් සරු’ යන මුල් කවිපදයම ‘ස’ ගණයෙන් ඇරැඹුණු නිසා ස්වකීය
ස්ථානයෙන් යන්නට සිදු වුණා. විනා ‘ස’ ගණයෙන් කවි ලියන හැමටම විදේශ
ගතවීමට හැකියාවක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. අතීතයේ ‘සිංහලේ
යනවා’ ‘දේසේ ගියා’ ආදි වශයෙන් පැවසුවේ ඌවේ බිබිල වැනි ප්‍රදේශයට යනවා
කියන එක මිස විදේශගත වුනා යැයි පැවසීම නොවන බව ගම්පෙරළිය නවකතාවේ එන
තොරතුරු වලින් ද දැනගත හැක.
යම් කවියක ගණ විතරක් නොව මිත්‍රා මිත්‍ර ලක්‍ෂණද, අෂ්ට යෝනි ද සලකා බලා
ලියන්නේ නම් වැඩ සැදෙන බව ගඟ සිරිපුරයේ සිටි ‘කාව්‍යගජ කේශර’ පඬිතුමා
‘කාව්‍ය ලක්‍ෂණ මිණිමාලා’ ග්‍රන්ථයේ සඳහන් කර ඇත්තේ කරුණු කාරණා සහිතව
මිස ආවාට ගියාට නොවන බව වටහා ගැනීම වටින්නේ ය.
මිත්‍රා මිත්‍ර ලක්‍ෂණ වලදී,
මගන – නගන දෙක මිත්‍ර වන අතර
බගන – යගන දෙක දාසයෝ වෙත්
ජගණ – රගණ දෙක මධ්‍යස්ථ වන අතර
තගණ - සගණ දෙක සතුරු වේ.
අනුව
1. මිත්‍ර ගණයෙන් මිත්‍ර ගණය ඇති විට ධනයේ වැඩීම ද
2. මිත්‍ර ගණයෙන් – දාස ගණය ඇති කළ ජය ගැනීමද
3. දාස ගණයෙන් - සතුරු ගණය ඇති වූ විට හිතවතුන්ගෙන් ඈත්වීම හා පීඩාවද
4. දාග ගණයෙන් – දාස ගණය යෙදූවිට ධෛර්යයද අධිකලාභද
5. දාස ගණයෙන් – මිත්‍රගණය ඇති වූ විට දිරිමත් බවද
6. දාස ගණයෙන් - සතුරු ගණය ඇති වූ විට ශෝකයද
7. උදාසීනයෙන් – මිත්‍ර ගණය ඇති වූ විට දුක ද
8. උදාසීනයෙන් – දාසගණය ඇති වූ විට දුකද
ආදී වශයෙන් ඵල විපාක හිමිවෙන බව කියා ඇත. මේවා කාව්‍ය කලාවේ දී අත
නොහැරිය යුතු ගුරු උපදේශයන් වන අතර සෙත් කවියෙහි දී අනිවාර්යෙන් යොදාගත
යුතු වේ.
කාව්‍ය ශාස්ත්‍රය පුළුල් විෂයක් වන අතර හිතු මනාපයට නොකළ යුත්තකි. ගාථා
බන්ධනයද එසේමය. සියලුම පිරිත් හා ගාථා රහතන් වහන්සේලාට ලියන ලද ඒවා
නොවෙනු ඇත. උදාහරණයක් වශයෙන් ගත් කළ බෝධි වන්දනා කිරීමේ දී කියනු ලබන
‘ඉන්දනීල වණ්ණ පත්ත’ ගාථාව යොදා ගත්තේ වැලිගම අග්‍රබෝධි මහා විහාරයේ
බෝධිය වදින්නට මිසක් සියලුම බෝධි වන්දනාවට නොවේ. එය සකසා ඇත්තේ අතීතයේ
අග්‍රබෝධි විහාරයේ වැඩ සිටි නායක හිමි නමකි.
එම ගාථාවේ එන ‘අග්‍රබෝධි නාම’ කියන පදයෙන් එය සක් සුදක් සේ පැහැදිලි ය.
නමුත් එය හැම බෝධියක්ම වන්දනා කිරීමේ දී යොදාගෙන ඇත.
වැලිතර ඤාණතිලක මහ නාහිමියන්ද රේරුකානේ චන්දවිමල මහනා හිමියන් ද
ගල්වෙහෙර අමරඤාණ මහ නා හිමියන් ද කොටුගොඩ ධම්මාවාස අනු නාහිමියන් ද
ලියා ඇති වන්දනා ගාථා අදත් විවිධ පූජා පින්කම් වලදී සජ්ඣායනා කරති.
හොරණ ජයබිම අරමේ අනගාරික නාරදතුමා ලියූ ‘සුගත හිමි නාමය’ යන ප්‍රාර්ථනා
කවිය නොකියු බෞද්ධයෙක් අප රටේ නොමැති තරම් ය. එමෙන්ම එතුමන් ලියූ
පානදුරේ අරියධම්ම හිමියන් කියූ ‘බුදුරැස් මාලා කවි’ හැම බොදුවෙකුටම
වාගේ එකක් දෙකක්වත් පාඩම් ය.
අමුතුවෙන් පාලි ගාථා බන්ධනය කර දහම් දෙසන්නට දක්‍ෂ ධර්ම දේශකයාණන්
වහන්සේලා එදා ලක්දිව වැඩ විසූහ. කැලණිය විද්‍යාලංකාර පිරිවෙන් නිර්මාතෘ
රත්මලානේ ධර්මාලෝක නා හිමියන් අපවත් වීමෙන් පසු සත් දිනයේ දහම් දෙසුමට
වැඩම කළේ වැලිතර ඤාණතිලක අමරපුර චූලගණ්ඨි මහ නිකායේ මහ නා හිමිපාණන්
වහන්සේ ය. පැය ගණනක් පැවැත් වූ ධර්මදේශනය අවසන් කර ලැගුම්ගෙට වැඩම කළ
මහ නාහිමියන්ගෙන් රත්මලානේ ධර්මාරාම මා හිමියන් විමසුවේ, අපේ මහනායක
හාමුදුරුවන් වහන්සේ ධර්ම දේශණය පැවැත්තුවේ ත්‍රිපිටකයෙ එන ගාථාවකින්
නොවෙයි නේද? කියා ය. එවිට වැලිතර නා හිමියන් පවසා ඇත්තේ ‘ඒක ඇත්ත මම
ගාථාවක් හදලයි ධර්මය දේශනා කළේ එක නොවෙයි හපන්කම ඒ ගාථාව ත්‍රිපිටකයෙ
එන ගාථාවක් නොවන බව අපේ පණ්ඩිත හාමුදුරුවෝ දැන ගැනීමයි.’ යනුවෙනි ඒ
තරම් ත්‍රිපිටක දැනුමක් තිබුණු මහ යතිවරයන් වහන්සේලා මෑත අතීතයේ
වැඩසිටි බවට මෙය කොතරම් වටිනා නිදසුනක්ද?
මේ අනුව හැම ගාථාවක්ම හැම පිරිතක්ම රහතන් වහන්සේලා විසින්ම දේශනා
කරපුවා යැයි ලියපුවා යැයි කියන්නට අපහසු ය. මේ දිනවල එක්තරා ගුවන්
විදුලි නාලිකාවක උදේ කාලයේ ගිහි මහත්මයෙකු ‘දිය පිරිත’ කියා සිහිල් ජලය
පානය කරන ලෙස ඉල්ලීමක් කරයි. අද ගිහි අය පමණක් නොව ඇතැම් ස්වාමීන්
වහන්සේලා ද ‘දිය පිරිත’ සොයමින් පිරිත් පොතේ පිටු පෙරළින අතර සමහර ගිහි
අය පොත් කඩවලින් ද දිය පිරිත තිබෙන පිරිත් පොත් සොයන අයුරු දැක ඇත.
නමුත් එය බුදු හිමියන් දේශනා කළ හෝ පැවිදි හිමිනමක් වත් දේශනා කළ
පිරිත් සූත්‍රයක් ද යන්න ප්‍රශ්නයකි.
බුදුරජාණන් වහන්සේ හෝ මහරහතන් වහන්සේලා විසින් දේශනා කරන ලද ගාථා හෝ
සූත්‍රවල ඉටු අනිටු ගණ පිළිබඳ කිසිම ප්‍රශ්නයක් ;නානගින්නේ උන්වහන්සේලා
මේ විශ්ව ශක්තිය ඉක්මවා ගිය උතුම් ශ්‍රේෂ්ඨයන් නිසා ය. ඒ ගැන වාදයක් හෝ
ප්‍රශ්නයක් ඇත්තේම නැත.
ආනන්ද සමරකෝන් මහතා විසින් ලියන ලද ‘නමෝ නමෝ මාතා’ ගීතය 1951 නොවැම්බර්
22 වන දින ජාතික ගීය ලෙස පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පසු ඒ සම්බන්ධව
විශාල වශයෙන් උගත් වියත් පිරිසගෙන් විරෝධතා එල්ලවිය. ඒ මන්දයත් ගීතයේ
ආරම්භක අක්ෂරය අපායක් පුරයක් වීම නිසා (ජගනය) රටටත් රටේ නායකයාටත්
ජනතාවට අපලදායක අවැඩදායක බව පෙන්වා දුනි. මෙයට ගිහි පැවිදි බේදයක්
නොවිණ. නමුත් ගීතයේ වෙනසක් නොවිණ. එයින් පසු සිදු වූ රටේ පරිපාලන අවුල්
වියවුල් සිහිපත් කරනවා නම් 1. ඩී.ඇස්. සේනානායක මහතාගේ හදිසි අභාවය, 2.
ඩඩ්ලි සේනානායක මහතාගේ හදිසි ඉල්ලා අස්වීම, 3. සර් ජෝන් කොතලාවල මහතා
අන්ත පරාජයකට පත්වීම, 4. අගමැති බණ්ඩාරනායකතුමාගේ ඝාතනය, 5. සී.පී. ද
සිල්වා මහතාට අගමැති ධූරය නොලැබී යාම, 6. දහනායක මහතාගේ ආණ්ඩු වියවුලට
පත්වීම, 7. ඩඩ්ලි සේනානායක මහතාගේ රජය කඩාගෙන වැටීම, 8. යළිත් සී.පී. ද
සිල්වා මහතාට අගමැති ධූරය නොදීම ආදී විශාල දේශපාලන පෙරළි ඇතිවීම
සිදුවිය.
මේ සියල්ල සලකා බැලූ බණ්ඩාරනායක මැතිනිය ජාතික ගීයේ පද මාරුවකට අවසර
දුන් අතර සිදු වූයේ කුමක්ද? ගීත රචක ආනන්ද සමරකෝන් මහතා නිදිපෙති පානය
කොට සිත් තැවුලෙන් මිය යෑමයි. සැබවින්ම ජනනයෙන් පාදන කවි පිළිබඳව සඳහන්
වන්නේ කෙසේද?
බානු ගණය ගුරු හිමිවෙයි තැවුල් කරයි ජගණේ යනුවෙනි. මෙය කොතරම් දුරට
සත්‍ය ද යන්න. අපට සිතා ගන්නට ඉහත කරුණු ඉවහල් වේ. එබැවින් ජයමංගල ගාථා
පිළිබඳව යළි යළිත් සලකා බැලීම වටිනු ඇත. |