ධර්ම දේශනාව
මහරගම සිරි වජිරඤාණ
ධර්මායතනවාසී
අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත
මහා නිකායේ අනු නායක
ත්‍රිකුණාමලයේ ආනන්ද අනු නා හිමි
බණ ඇසුවත්
අප්‍රමාදය පිළිබඳව බොහෝ දෙනා ගේ
අවධානය ඉතා අඩුයි. ඊට හේතුව බොහෝ විට අප කටයුතු කරන්නේ ප්‍රමාදීව
නිසාය. කුමක් ද මේ
ප්‍රමාදය? ප්‍රමාදයෙහි අර්ථ තේරුම් ගත් විට ඊට විරුද්ධ වූ අප්‍රමාදයෙහි
අගය වටහාගන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ වදාළ ආකාරයට කාය
දුශ්චරිතාදි තුන් දුසිරිතේ ද,
පඤ්චකාම වස්තුවල ද සිත් සතන් විහිදුවා
සිහියෙන් තොරව කල් යැවීම ‘ප්‍රමාදය’ යි. ඒ වාගේම කුසල් දහම්හි
උනන්දුවක්, සැලැකිල්ලක්, යෙදීමක් නැතිව වාසය
කිරීමත් ප්‍රමාදය කියා හැඳින්වෙනවා.
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
යෝච පුබ්බේ පමජ්ජිත්වා
පච්ඡා සෝ නප්පමජ්ජති
සෝ ඉමං ලෝකං පභාසේති
අබ්භා මුත්තෝ ව චන්දිමා
සැදැහැවත් පින්වත්නි,
අද බක් පුන් පෝදා ධර්ම දේශනයෙහි මාතෘකා පාඨය වශයෙන් යොදා ගත්තේ ධම්ම
පදය කියන ශ්‍රේෂ්ඨ ධර්ම ග්‍රන්ථයෙහි සඳහන් වන වටිනා ගාථා ධර්මයක්.
මේ ගාථාවේ අදහස මෙයයි. ‘යමෙක් පෙර ප්‍රමාදී ව කටයුතු කර පසු ව නොපමා
ගුණයෙන් යුක්ත ව ක්‍රියා කරයි ද හෙතෙම වලාකුළින් මිදුණු සඳ මෙන් මුළු
ලොව එළිය කරයි. මේක තමයි ඒ ගාථාවේ කෙටි තේරුම.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අකාලික ධර්මයක්. හැම කාලයටම පොදු වූ
ධර්මයක්. දෙවි මිනිසුන් සහිත මුළු ලොවට ම පොදු වූ ඉගැන්වීමක්. කාල -
දේශ පුද්ගල වශයෙන් බෙදීමක් ගන්නේ් නැති සනාතන ධර්මයක්. එය ජරා මරණ
ව්‍යාධි ආදි සංසාරගත අනේකවිධ දුක් වලින් එතෙර වීමට මඟ කියා දෙන ශාන්ති
මාර්ගයක්. බුද්ධ දේශනාවේ එක ම ගාථාවක් ගෙන බැලුවත් මේ කියූ කරුණු අපට
හොඳින් තේරුම් ගන්න පුළුවන්. මේ මාතෘකා ගාථාව ම ඊට නිදසුනක්.
මේ ගාථාවෙන් අපට උගන්වන වැදගත් ධර්ම සංකල්ප දෙකක් තිබෙනවා. ඒ තමයි
ප්‍රමාදය හා අප්‍රමාදය. නිතර නිතර මේ කරුණු ගැන සාකච්ඡා කළත් බණ ඇසුවත්
අප්‍රමාදය පිළිබඳව බොහෝ දෙනා ගේ අවධානය ඉතා අඩුයි. ඊට හේතුව බොහෝ විට
අප කටයුතු කරන්නේ ප්‍රමාදීව නිසා.
කුමක් ද මේ ප්‍රමාදය? ප්‍රමාදයෙහි අර්ථ තේරුම් ගත්තාම ඊට විරුද්ධ වූ
අප්‍රමාදයෙහි අගය වටහාගන්න පුළුවන්.
සාමාන්‍ය ව්‍යවහාරයෙහි ප්‍රමාදය කියන්නේ කල්පසු කිරීමට. පරක්කු වීමට.
අප්‍රමාදය කියන්නේ යමක් ඉක්මනින් කිරීම. වහවහා කිරීම. එහෙත් ධර්මයෙහි
උගන්වන අර්ථය මීට වඩා පුළුල් මීට වඩා ගැඹුරු යි.
බුදු පියාණන් වහන්සේ වදාළ ආකාරයට කාය දුශ්චරිතාදි තුන් දුසිරිතේ ද,
පඤ්චකාම වස්තුවල ද සිත් සතන් විහිදුවා සිහියෙන් තොරව කල් යැවීම
‘ප්‍රමාදය’ යි’ ඒ වාගේම කුසල් දහම්හි උනන්දුවක්, සැලැකිල්ලක්, යෙදීමක්
නැතිව වාසය කිරීමත් ප්‍රමාදය කියා හැඳින්වෙනවා. මේ සම්බන්ධයෙන් කරුණු
පැහැදිලි කිරීමේදී වචන කිහිපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා.
1. අසක්කච්චකිරියතා - කරන යම් ම කුසලයක් වෙයි නම් එය සකසා කිරීමක්,
පිළිවෙළට කිරීමක් නැතුව කිරීමයි. ඕනෑවට එපාවට කිරීමයි.
2. අසාතච්චකිරියතා - සතතයෙන් නිරතුරුව දිගින් දිගට පින් නොකිරීම යි.
කඩින් කඩ පින්කම් කිරීමෙහිදී පවට සිත වැඩි බරක් ගන්නා බව බුදුපියාණන්
වහන්සේ දේශනා කළා.
3. අනිට්ඨිතකිරියතා - කටුස්සා මඳ දුරක් ගොස් නතරව සිටිනවා වාගේ දෙන
දානයක් වේවා, රකින ශීලයක් වේවා, වඩන භාවනාවක් වේවා, එක්තරා දුරකට ගොස්
නතරව අතහැර දැමීමයි.
4. ඕලීනවුත්තිතා - පින් දහම් කිරීමෙහි හැකුළුණු බව යි. හැකුළුණු අලස
සිත් පැවැතුම් ඇතුව පින් දහම් කරන කොට එය කුසලයට හානි කරයි.
5. නික්ඛිත්තඡන්දතා - පින් දහම් කිරීමෙහි කැමැත්ත අත් හැරීමයි.
6. නික්ඛිත්තධූරතා - පින් දහම් කිරීමෙහි උත්සාහය, වීර්ය අත්හැරීමයි
7. අනාසේවනා - කුසලයට උදවු වන කළණ මිතුරන් ඇසුරු නොකිරීම,
8. අභාවනා - ඒ ඒ පින් දහම් පින්කම් පිළිබඳව නැවැත නැවැත සිත පුහුණු
නොකිරීමයි, නොවැඩීම යි.
9. අබහුලීකම්මං - කුසල් දහම් බහුල වශයෙන් නොකිරීමයි. කුසල් සිත් බහුල
වශයෙන් නොවැඩීමයි.
10. අනධිට්ඨානං - කුසලයෙහි සිත නො පිහිටන බවයි. කුසලයෙහි සිත අදිටන්
කොට පිහිටුවා නොගැනී ම යි.
11. අනනුයෝගෝ - කුසල් සිත අනුව සිතිවිලි නැවැත නැවැත දිගින් දිගට
පවත්වා ගැනීම යි. යොදා ගැනීම යි.
12. පමාදෝ - පින් කිරීමෙහි සිත් නැති ව මත් ව, මුළා ව, සිහි නැති ව
වාසය කිරීම යි.
මෙහි සඳහන් කළ කරුණු දොළහ ම ‘ප්‍රමාදය’ කියන අකුසල ස්වභාවය හඳුන්වා දෙන
ලක්ෂණ ය. මීට ප්‍රතිවිරුද්ධ වූ කුසල් පිළිවෙත් දොළහ ‘අප්‍රමාදයේ’ ලක්ෂණ
බව සැදැහැවතුන් මතක තබාගත යුතු වෙනවා.
බුදුපියාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයෙහි වැඩහුන් අවස්ථාවෙහි පවා
අප්පමාදේන සම්පාදේථ කියන බුදු වදනින් ශ්‍රාවක පිරිසට ඉස්මතු කොට පෙන්වා
වදාළේ ‘අප්‍රමාද’ ධර්මයෙහි තිබෙන උතුම්කම යි. මරණාසන්න අවස්ථාවෙහි
සෙනෙහැති මවු කෙනක, පිය කෙනෙකු සිය දරුවන් ළඟට කැඳවා ඔවුන්ගේ මුළු
ජීවිතයටම මතක හිටින වැඩදායි අවවාදයක් කරනවා වගේ බුදුපියාණන් වහන්සේ අපට
දුන් ඒ අවවාද රත්නය කොතරම් වටිනවාද? බුදුරජාණන් වහන්සේ අවුරුදු හතළිස්
පහක් මුළුල්ලේ දේශනා කළ මුළු ත්‍රිපිටක බුද්ධ ධර්මය ම මේ ‘අප්පමාද’
කියන එක ම වචනයට ඇතුළත් කළ හැකි බව අටුවා ලියූ ආචාර්යන් වහන්සේලා සඳහන්
කර තියෙන්නෙත් ඒ නිසයි.
‘ප්‍රමාද’ කියන වචනය විග්‍රහ කිරීමේදී සංස්කෘත ආචාර්යවරුන් පවා බුදු
දහමේ ආභාසය ලබාගෙන තිබෙනවා. ආචාර්ය ශ්‍රී තාරානාථ තර්කවාචස්පතීන්
‘ප්‍රමාද’ ශබ්දය තෝරන්නේ මෙහෙමයි. ‘කර්තව්‍යෙ අකර්තව්‍යත්වධියා තතො
නිවෘත්තෞ අකර්තව්‍යෙ කර්තව්‍යත්වධියා තත්‍ර ප්‍රවෘත්තෞ වා අනවධානතායම්’
(කටයුතු දෑ විෂයයෙහි නොකටයුතු ය යන හැඟීමෙන් එයින් වැළැකීම හෝ නොකටයුතු
දෑ විෂයෙහි කටයුතු ය යන හැඟීමෙන් එහි යෙදීම හෝ සිත් සතින් නිසි මඟෙහි
නොයෙදීමෙහි විමසීමක් පරීක්ෂාකාරී බවක් නැති කම ප්‍රමාද ශබ්දයෙන් ගම්‍ය
වේ.)
සැකෙවින් සලකා බැලුවොත් සිහි සැලැකිල්ලක් නැතිකම, එසේ ක්‍රියා කිරීම
‘ප්‍රමාදයෙන්’ යුක්ත වීම යි. එසේ නැතුව අප්‍රමාදීව කටයුතු කිරීම මෙලොව
- පරලොව දෙලොව දියුණුවට ම හේතු වන බව ‘අප්පමත්තෝ උභෝ අත්ථෙ -
අධිගණ්හාති පණ්ඩිතෝ’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
අද පෙරට වඩා සමාජය ප්‍රමාදී බව පිළිබඳව නැඹුරුවක් තිබෙන බව කලිනුත්
සඳහන් කළා. ලජ්ජාවක් භයක් (හිරි - ඔත්තප්ප) කියන ගුණ දෙක සමාජයෙන් ඈත්
වෙන්න ඈත් වෙන්න මිනිසාගේ ගුණාත්මක පිරිහීම වැඩි වෙනවා. කුසලයට යොමු
නොවන සිත්තුළ නීවරණ ධර්ම වැඩෙන්නට පටන් ගන්නවා. ලෝභයත් ද්වේෂයත්
එකිනෙකට නොපරදින්නට සිත් තුළ පෝෂණය වෙනවා. ආත්මාර්ථකාමීව අගතිගාමී ව
මිනිස් කම් අභිබවා නොමිනිස්කම් බලවත් වන්නේ මේවායේ අනිෂ්ට ඵල විපාක
වශයෙන්. අද ඇතැම් මාධ්‍යය, විශේෂයෙන් ම ඇතැම් විද්‍යුත් මාධ්‍යය මේ
වාගේ් කාරණාවලට දෙන සහයෝගය වැඩි යි. ඇතැම් වැඩ සටහන් මඟින් අපේ සාර
ධර්මවලට, සභ්‍යත්වයට සිරිත් විරිත්වලට අභියෝග කරන විදියක් පේන්න
තියෙනවා. මේ සියල්ල ම අප්‍රමාද චර්යාවට පටහැනි ව සියුම් ලෙස අපේ දැහැමි
මනස දූෂණය කිරීමක් කරන්නේ. ඒ නිසා බණ පොතේ උගන්වන අප්‍රමාදය වගේ ම එහි
පුද්ගල උපයෝගිතාවක් චර්යාත්මක ප්‍රගුණතාවත් පිළිබඳව අප කාගේත් අවධානය
යොමු විය යුතුයි. බුද්ධ ධර්මයේ උගන්වන ශ්‍රේෂ්ඨ චරණ ධර්ම පුද්ගල චරිත
තුළින්, හැසිරීම්වලින් ප්‍රකට වන්නේ ඉතා ම අඩුවෙන්. දහමේ ශ්‍රේෂ්ඨත්වය
තරමට දැහැමි සමාජයක් පිළිබඳ උදානය නඟන්නට අපට බැරිව තිබෙන්නේ ප්‍රමාදී
ආකල්ප හා චර්යාවලින් උඩු දිවීමක් සමාජය තුළ පෙනෙන්නට තිබෙන නිසා.
මේ අවාසනාවන්ත තත්ත්වය තවත් උත්සන්න වන්නට ඉඩ නො දී ධර්මයේ නාමයෙන් අප
කවුරුනුත් එකතු වී යෝනිසෝමනසිකාරයෙන් අප්‍රමාදය සක්‍රිය සබල කළ යුතු
යි.
වරදට නැඹුරු වූ ඇතැම් අය කල්පනා කරනවා ‘අපට අපේ වැරැදිවලින් මිදෙන්න
බැහැ. මේක අපේ අවාසනාව. අප කරගත් පව්වලින් ආයෙත් අපට ගැලවීමක් නැහැ’ මේ
විදියට හිතනවා. එහෙම හිතන අයට ඒ මෝඩ කල්පනා දුරු කර ගැනීමට මෙහි මාතෘකා
ගාථාව හොඳ ශාන්ති මන්ත්‍රයක්.
බුදුදහමට අනුව වරදක් කළ කෙනෙකු සදාතන වැරැදිකරුවකු වන්නේ නැහැ.
ප්‍රමාදී ව වරදක් කළ කෙනෙකු අප්‍රමාදීව නිවැරැදි වූ තැන්සිට ඒ පුද්ගලයා
යහපත් පුද්ගලයෙක්. මිනීමරුවකු අපරාධකාරයකු වූ අංගුලිමාල අද පවා ශාන්තිය
සැලසිය හැකි බලසම්පන්න රහත් උතුමකු බවට පත් වූයේ ඒ ශ්‍රේෂ්ඨ ධර්ම
මාර්ගය නිසා.
බෞද්ධ විනයෙහි ඉගැන්වෙන ‘ආයති සංවරය’ මේ පිළිබඳව නිර්දේශිත උතුම්
ශික්ෂා මාර්ගයක්. එයින් අදහස් කරන්නේ වරදක් කළ කෙනෙකු ඒ වරද වරද වශයෙන්
පිළිගෙන නැවැත එවැනි දෙයක් නොකරන්නට වගබලා ගැනීමයි. සංවර වීම යි. එය
ආර්ය විනයෙහි උතුම් දියුණුවක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා.
මෙය තමයි අප්‍රමාදයේ ඉෂ්ටාර්ථ සිද්ධිය.
මීට ම අදාළ වන උතුම් ගාථා ධර්මයක් ධම්මපදයෙහි සඳහන් වෙනවා.
යස්ස පාපං කතං කම්මං
කුසලේන පිථීයති
සෝ ඉමං ලෝකං පභාසේති
අබ්භා මුත්තෝව චන්දිමා
යමෙක් කළ පව්කම කුශලයෙන් වසාලත් ද, කුසල් දහම්හි නියලුනෝද නැවැත
පව්කම්හි නො ගැලෙත් ද හෙතෙමේ වලාකුළින් මිදුණු සඳ මඬල මෙන් මුළු ලොව
බබුළුවති.
ඒ නිසා පව් කළ කෙනා එහි විපාකයෙන් මිදිය නොහැකියැයි සිතා පසුතැවීමත්,
එහෙයින් පවෙහි ම යෙදී ඉදිරි ජීවිත කාලය ගත කිරීමත් ප්‍රමාදී චින්තනයේ ම
දුෂ්ට ආදීනවක්. නිවැරැදි ධර්ම මාර්ගය ඉගැනීමෙන් අපේ ජීවිත කොතරම් නම්
ආලෝකවත් කරගන්න පුළුවන් ද කියා ඔබ හැම නිතර සිතා බැලිය යුතු යි.
මේ කරුණු පිළිබඳව නුවණින් කල්පනා කර බලා තව වසර දෙකකින්, 2011 වසරෙහි
දී උදාවන සම්බුදු පියාණන් වහන්සේගේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය ඉතා
උත්කර්ෂවත් ලෙස සමරන්නට මෙහි සඳහන් කළ ප්‍රමාද විහරණයෙන් ඈත්ව
අප්‍රමාදී විහරණයෙන් පිළිවෙත් සරු ගුණයෙන් යුතුව පෙළ ගැසෙන්නට පින්වත්
ඔබ හැම දෙනාට කරුණාවෙන් ආරාධනය කරනවා.
පරම පූජ්‍ය පැළෑණේ සිරි වජිරඥාණ මහානායක මාහිමියන් ලියූ මේ අගනා
සිලෝවත් ඔබගේ ධර්ම චින්තාවන්ට එකතු කර ගන්න.
“මාගේ නොයෙක් වැරැදි හා අඩුකම් තිබෙද්දී කාගේ කොතෙක් වරදවත් නො සොයම්
නොදක්වම් දොස්නෙන් මිදෙන්නට ගුණෙන් නුවණින් වැඩෙන්ටත් වෑයම් කරමි.
දිනපතා සිහියෙන් යෙදී මම්” සබ්බේ භද්‍රානි පස්සන්තු |