සටහන සහ ඡායාරූප
- මහින්ද ආරියවංශ
දෙමටගොඩ සමූහ
සියලු සැදැහැති දනන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ විහාරස්ථානයක් ලෙස කොළඹ,
දෙමටගොඩ වේළුවනාරාමය හැඳින්වීමට පුළුවන. අවිවේකී වටාපිටාවක වෙසෙන
ජනතාවගේ සිත් සතන් වලට නිරාමිස සුවය ගෙන දෙන බව වේළුවනාරාමයට යන කාට
වූවද හොඳින් දැනේ.
මෙරට විසූ කීර්තිමත් බෞද්ධ ජනනායකයෙකු වූ ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා
මැතිතුමාගේ මෑණියන් වන ඒ.ඊ.ද සිල්වා මැතිනිය විසින් 1920 ජන 15 දා
සඟසතු කර පූජා කළ අක්කර 02 ක පමණ භූමි ප්‍රමාණයක ඇති විහාරස්ථානය සියලු
විහාරාංගයන්ගෙන් සමන්විත වේ.
විහාර මන්දිරයේ සැතපෙන බුදු පිළිම වහන්සේ |
පරිත්‍යාගශීලී දානපතියකු වූ අර්නස් ද සිල්වා මැතිතුමා කිසිවකුගේ
ආධාරයෙන් තොරව විහාරයේ සියලු දේ නිමවා ඇත. මෙහි ප්‍රථම විහාරාධීපතින්
වහන්සේ වූයේ එකල චිර ප්‍රසිද්ධ ධර්ම කථිකයාණන් වහන්සේ නමක් වූ කරපුටුගල
ශ්‍රී ධම්මාලෝක නාහිමිපාණන් වහන්සේ ය. 1944 උන්වහන්සේ අපවත්වීමෙන්
අනතුරුව කරපුටුගල ශ්‍රී ධර්මවංශ නාහිමියෝ විහාරාධීපති බවට පත් වුහ.
එම කාලයේ ප්‍රදේශයේ දූ දරුවන් වෙනුවෙන් ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා
මැතිතුමාගේ අනුග්‍රහය මත දෙමටගොඩ වේළුවන විද්‍යාලය ආරම්භ කිරීම මතු
පරපුර වෙනුවෙන් කළ වැදගත් මෙහෙවරකි. දහම් අධ්‍යාපනය සඳහා වේළුවන දහම්
පාසල ද එම කාලයේ ආරම්භ කොට ඇත.
තුන්වන විහාරාධිපතින් වහන්සේ වනුයේ වර්තමාන විහාරාධිපති කරපුටුගල
රතනාලෝක නාහිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේ ප්‍රදේශයේ ජාතික ආගමික කටයුතු
වලදී පෙරමුණ ගෙන ක්‍රියා කරති .
විශේෂයෙන් බෝධි පූජා කටයුතු සඳහා වේළුවනාරාමයට පැමිණෙන සැදැහැවතුන්ගෙන්
විහාරස්ථානය පිරී පවතියි. සෑම වසරකම දෙසැම්බර් මාසයට යෙදෙන සංඝමිත්තා
දිනය නිමිත්තෙන් පවත්වනු ලබන සංඝමිත්තා පෙරහැර දේශීය සංස්කෘතික
වටිනාකම් මැනවින් පිළිබිඹු කරන්නකි.
බෝධීන් වහන්සේ |
විහාරාධිපති
කරපුටුගල රතනාලෝක නා හිමි. |
දෙමටගොඩ වැනි ජනාකීර්ණ ප්‍රදේශයක මෙවැනි දර්ශනීය විහාරස්ථානයක පැවැත්ම
කාගේ වූවද නෙත් සිත් නිරන්තරයෙන්ම පහන කරන්නකි.
විහාරස්ථානයේ ඉදිරිපස දර්ශනයක් |
|