UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ජීවිතය පිළිබඳ බෞද්ධ දෘෂ්ටිය

වචනයේ පරිසමාප්ත අර්ථයට ම සුදුසු බෞද්ධයෙක් ප්‍රාණඝාතය නොකරයි, සොරකම් නොකරයි, පණ ඇති සියලු සත්වයනට පීඩාව සහ දුක එළවන ක්‍රියා වලින් වැළකී සිටියි. එහෙත් ඔහු ඒ සියලු දුර්ගුණ වලින් වළකින්නේ ඒවා නොකළ යුතු යැ යි දෙවියන් වහන්සේ කෙනෙකු කී නිසා නොවේ

එක් එක් භවයකට (උපතකට) පසු ඊළඟ භවයක් ඇත. දුකින් මුක්තව පරම විමුක්තිය ලබන්නට ඔබට වුවමනා නම්, ඔබ විසින් කුසල් රැස් කළ යුතුව තිබේ. එය හුදෙක් ඔබේ මිතුරා වනු ඇත. “මෙසේ අපි හොඳ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් හොඳ ක්‍රියා හෙවත් පුණ්‍ය ක්‍රියා කරමු.

තමන් ඉක්මනින් හෝ පමාවී මැරෙතී යි කවරදාකවත් නොසිතන මිනිස්සු සිටිති. ඔවුහු සෑම ආකාරයකම අකුසල් රැස් කරති. එසේ කරමින් ඔවුහු තමන් ජය ගත්හ යි සතුටු වෙති. ඔවුන්ගේ ලොකුම සතුට අනෙක් අයට කරදර කිරීමයි. අපි මෙසේ සිතමු. බලු රැළක් සමග අසරණ සහ අහිංසක සිවුපාවකු ලුහුබැඳ හුදෙක් දඩයම් සතුටක් සඳහා ඌ මරා දැමීම කෙතරම් දුරට මිනිස්කමට ගැළපේ ද? එය කෙතරම් අමානුෂික ද? මට හිතෙන හැටියට නම්, හුදෙක් මස් පිණිස දඩයම් කිරීමට වඩා විනෝදය පිණිස සත්ත්ව ඝාතනය බරපතල මිලේච්ඡ කාර්යයකි. මිලේච්ඡත්වය ලෙස හැඳින්වෙන ක්‍රියාවෝ වෙත් නම් මෙයත් ඒ ගණයට වැටෙන්නකි. සැබවින් ම පීඩා විඳින්නට කැමති කිසිවෙක් මෙලොව සිටිත් ද? එසේ ම තමන්ගේ සම්පත් අහිමිවීම, තමන්ගේ පි‍්‍රයයන් අහිමිවීම, තමන්ගේ ස්වාධීනත්වය අහිමි කිරීම ආදිය දරාගත හැකි කිසිවෙක් වෙත් ද? අප අප ම උපමාවට ගෙන අනුන්ගේ සතුට ගැන සිතිය යුතු ය. සැබෑ මනුෂ්‍යත්වය එයයි. එය වනාහි ශිෂ්ට සම්පන්න මිනිසුන්ගේ අසාමාන්‍ය හැසිරීම යි.

කොසොල් රජු හා මල්ලිකා බිසව අතර ඇති වූ සංවාදයක් මම යළිත් උපුටා දක්වමි. වරක් කොසොල් රජ මල්ලිකා බිසවගෙන් මෙසේ ඇසී ය. ‘මල්ලිකාවෙනි, දැන් මෙතැන ඔබට, ඔබ විසින් තමාට වඩා ආදරය කරනු ලබන්නෙක් සිටීද? “නැත ස්වාමිනි, මට මා ම මිස ඊට වඩා මා ආදරය කරනු ලබන්නෙක් නැත. ඉතින් ස්වාමිනි, ඔබට තමන් හැර ඔබ විසින් ආදරය කරනු ලබන්නෙක් සිටී ද? මල්ලිකාවෝ ඇසූහ. “ නැත මල්ලිකාවෙනි, මටත් නැත. මා ම මිස ඊට වැඩියෙන් මට ආදරය කරන අන් කෙනෙක් නැත.” ඉක්බිති බුදුන් වහන්සේ වෙත ගිය රජ තෙමේ මේ පුවත උන්වහන්සේට සැල කළේ ය. එහිදී බුදුහු එක්තරා ගාථාවකින් තමන්ගේ අදහස දැක්වූහ. “මේ සිතිවිල්ලෙන් විමසිලිමත්ව අප ලොව පුරා ඇවිද ගියත්, තමාට තමා ම මිස ඊට වැඩියෙන් ආදරය කරන්නකු සොයා ගත නොහැකි ය. මෙසේ හැම කෙනකුම අන් කිසිවකුට වඩා තමාට තමා ආදරය කරන හෙයින් එසේ තමාට ආදරය කරන්නා අනෙකකුට හිංසාවක් නොකෙරේවා.”

හේතුඵල න්‍යාය හෝ පාලියෙන් කියැවෙන ‘කම්මඵල’ (කර්මඵල) විශ්වාස කිරීම යනු බුදුදහමේ ප්‍රධාන ලක්‍ෂණය යි. බුදුන් වහන්සේගේ සමස්ත ඉගැන්වීම මේ විශ්වාසය පදනම් කොට පවතී. එයින් තොර බුදුදහම නිෂ්ඵල ය. අපි පුනර්භව න්‍යාය විශ්වාස කරන කල්හි හේතුපල න්‍යාය ද විශ්වාස කරමු. පුනර්භව න්‍යාය සහ හේතුපල න්‍යාය අතර පරස්පරයක් නැත. දෙකින් ම අදහස් කැරෙන්නේ එකකි.

වාසෙට්ඨ සූත්‍රයේදී බුදුහු මෙසේ වදාරති. “සමස්ත ලෝකය ම කර්මය විසින් මෙහෙයවනු ලැබේ. ඒරියාකඳ විසින් ගැල මෙහෙයවන්නා සේ කර්මය විසින් සජීවී සියල්ල පාලනය කැරෙයි

මෙසේ බෞද්ධයෝ තමන්ගේ ජීවිතය පිළිබඳ සියලු වගකීම කර්මයට පවරති. අපි සතුටින් සිටින මිනිසුන් දෙස බලා ඔවුන් සතුටුව සිටිති යි අපිත් සතුටු වෙමු. අප කාටත් එසේ සතුටු වන්නට ලැබෙන්නේ ඔවුන්ගේ අතීත භව පරම්පරාව පුරා කුසල කර්මයන්හි යෙදුණු නිසා ය. දැන් අපි එහි අනෙක් පැත්තට හැරෙමු. නොයෙක් දුක් කම්කටොලු වලින් පෙළෙමින් , පීඩා විඳිමින් නොසතුටින් සිටින මිනිසුන් දකින අපි, ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් ඔවුන් දුක් විඳින්නේ තමන් අතීත භවයන්හි කරන ලද අකුසල් නිසා යැ යි සිතමු. මෙය අන්‍යෝන්‍ය වශයෙන් අප කාටත් පොදු ධර්මතාව යි. ඉදින් ඔවුහු කිසියම් දෙවියකු විසින් මවන ලද නම් ඔවුන් අතර මේ විෂමතාව සහ ඔවුන්ගේ ජීවන තත්ත්වයේ විපරීතතාව නොවිය හැක්කක් ලෙස නොසිතිය හැකි ද? මේ නිසා පුද්ගලයින්ගේ ඉපදීමේ හේතුවත්, ඔවුන්ගේ ඉරණමත් තම තමන්ගේ කර්මය මත රඳා පවතින බව තහවුරු කරන්නට සිදුවෙයි. මානවයාගේ ඉරණම විෂයයෙහි වන විෂමතාව පිළිබඳ පැහැදිලි කිරීමත් පූජ්‍ය නාගසේන හිමියෝ ධර්ම ග්‍රන්ථාගත පාඨයකින් මෙසේ දක්වති.

“ එක් එක් පුද්ගලයාට ඔහු සතු කර්මයක් ඇත. ඒ ඒ පුද්ගලයා ඔහු සතු කර්මයේ උරුමක්කාරයා ය. එක් එක් පුද්ගලයෙක් ඔහුගේ කර්මයේ ප්‍රතිඵලයයි, එසේ ම ඥාතියා යි.එක් එක් පුද්ගලයකුට ඔහුගේ කර්මය ම ඔහුගේ අධීශ්වරයා ද, ආරක්ෂකයා ද වෙයි. පුද්ගලයන් නොයෙක් ආකාරයෙන් බෙදනු ලබන්නේ ඔවුන් එකෙකාගේ කර්මය විසිනි. ඒ අනුව ඔවුහු උස් පහත් විසින් බෙදනු ලබති .”

ඉතින් කුසලකර්ම සහ අකුසලකර්ම යනු මොනවා ද? එනම් තමාට හෝ අනුනට හෝ ඒ දෙපිරිසටම හෝ සතුට ගෙනෙන යම් ක්‍රියා වේ ද, ඒවා කුසලකර්ම යි. තමාට හෝ අනුනට හෝ ඒ දෙපිරිසට ම හෝ දුකක්, පීඩාවක් හෝ නපුරක් ගෙනෙන යම් ක්‍රියා වේ ද ඒවා අකුසල කර්ම යි.

බුදුහු, රාහුල හිමියනට මෙසේ අවවාද කරති.”රාහුල, ඔබට යම් කාරියක් කරන්නට වුවමනා වූ විට පළමුවෙන් එයින් ඔබට හෝ අනුනට යම්කිසි හිරිහැරයක් වේ දැ යි මෙනෙහි කළ යුතු ය. එවිට ඒ ක්‍රියාව අනුන් හෝ තමන් කෙරෙහි විපතක් ගෙන එන්නේ නම් , සහතික වශයෙන් ම ඔබ විසින් එය නොකළ යුතු යි. රාහුලයෙනි, අතීතයේ සිටි පැවිද්දෝ ද, බමුණෝ ද කයින්, වචනයෙන් හෝ සිතින් පිරිසිදු වූවාහු අඛණ්ඩ යෝනිසෝමනසිකාරයෙන් පාරිශුද්ධියට පත් වූවෝ ය. එසේ ම අනාගතයේ දී ඔවුන්ගේ අනුගාමිකයෝත්, අද සිටින කෙලෙස් සතුරා ජයගත්තාක් මෙන් විමුක්තිය ලබා ගන්නෝ ය.”

කුසල් හා අකුසල් වශයෙන් කර්මය බෙදා දක්වන මඟ එය යි. සමස්ත මානව සංහතිය වෙත බුදුදහම විසින් සුවසෙත උදා කරන මෙහෙයුම් සලකුණ එය යි. සැබවින් ම අකුසල කර්මයන්ගේ නම් වට්ටෝරුවක් නියම බෞද්ධයකුට ඉදිරිපත් කරන්නට වුවමනා නැත. බුදුන් වහන්සේගේ සියලු ආකාර සදාචාර සම්පන්න ඉගැන්වීම් කර්ම සංකල්පය තුළ ඇතුළත්ව ඇති හෙයින්, කවර ආකාරයකින් හෝ අපි තම තමාට හෝ අනුනට කරදර නොවන පරිදි කටයුතු කරන්නට වග බලා ගනිමු නම්, එය ප්‍රමාණවත්ය. ඒ නිසා ම කුසලකර්ම වට්ටෝරුවක් ද වුවමනා නැත. ඇයි ද යත්, තමන්ගේ හෝ අනුන්ගේ සතුට පිණිස හේතුවන ඕනෑ ම ක්‍රියාවක් කුසල් සහිත බව අප දන්නා හෙයිනි. කිසියම් ක්‍රියාවක් නරක වන්නේ දෙවියකු හෝ වෙනත් කවුරුන් හෝ කියන නිසා නොවේ. එයින් දුකක් හෝ පීඩාවක් ම සැලසෙන හෙයිනි.කුසලකර්ම සම්බන්ධයෙන් මෙය අදාළ වන්නේ සතුටක් , නිවීමක් හෝ සැනසීමක් සැලසෙන අර්ථයෙනි.

වචනයේ පරිසමාප්ත අර්ථයට ම සුදුසු බෞද්ධයෙක් ප්‍රාණඝාතය නොකරයි, සොරකම් නොකරයි, අපවාදයෙන් ගැරහුම් බිණීමෙන්, මත්ද්‍රව්‍ය හා මත්කුඩු භාවිතයෙන් සහ පණ ඇති සියලු සත්ත්වයනට පීඩාව සහ දුක එළවන ක්‍රියා වලින් වළකී. එහෙත් ඔහු ඒ සියලු දුර්ගුණ වලින් වළකින්නේ ඒවා නොකළ යුතු යැ යි ඔහුගේ දෙවියන් වහන්සේ කෙනෙකු කී නිසා නොවේ. එහෙත් ඒ නුසුදුසු ක්‍රියාවලින් අහිතකර ප්‍රතිඵල ගෙන දෙන හෙයිනි. එසේ ම ඔහු දන් දෙන්නේ, ලෙඩුනට උපස්ථාන කරන්නේ, නැති බැරි අයට පිහිට වන්නේ සහ එවන් කාර්ය සාධනයන්ගේ යහපත් ප්‍රතිඵල අත්දැකීමෙනි.

බුදු දහමට අනුව ජීවත්වීම බෙහෙවින් අපහසු කාරියකි යි ඇතැම්මු කියති. එසේ ම බුදුන් වහන්සේ දැඩි නීති පනවා ඇතැ යි යනු ඔවුන්ගේ අදහස යි. ඇතැම් විට නිතර පවිටු හැඟීමෙන් යුතු මිනිසුන් එසේ කීමේ පුදුමයක් නැත. බුදු දහම පිළිපැදීමට නොහැකි නීතිරීති වලින් පිරී ගිය ජීවන මාර්ගයක් සේ පෙනෙන්නට පුළුවන. එහෙත් සතුටින් හා සාමයෙන් දිවි ගෙවන්නට කැමැත්තවුනට ගැළපෙන එක ම ආගම බුදු දහම යි. එය පානාතිපාතිකයන් සාත්තුවරයන් ලෙස නොසලකන බව ඇත්ත ය. බුදුදහමට අනුව බියකරු තිරිසන් සතකු ඝාතනය පවා අධ්‍යාත්මික පාරිශුද්ධියට හේතු වන්නක් නොවේ.

අශෝක අධිරාජයා ඔහුගේ එක් සෙල්ලිපියක මෙසේ සඳහන් කරයි. නියම, මානව හිතවාදී ආගමක ලක්ෂණ වන්නේ, හොඳ හිත , ආදරය, සත්‍යවාදිත්වය, පවිත්‍රතාව, උදාරත්වය සහ යහපත්කම යි .” ලෝකය විසින් සදහට ම බිහි කරනු ලැබූ ශ්‍රේෂ්ඨතම පුරුෂයන්ගෙන් කෙනකු වන අශෝක අධිරාජයා ගැන ඔබ අසා ඇතැ යි මම සිතමි. බුදු දහම වැලඳ ගන්නට පෙර ඔහු සැඬපරුෂ පුද්ගලයකු වූ බව අප අසා ඇත. එබැවින් ජනතාව විසින් පළමුවෙන් ඔහු හැඳින්වෙන්නේ චණ්ඩාශෝක නමිනි. එහෙත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමෙන් පසු බෞද්ධයකු වීමෙන් දැහැමි බවට පත්ව ධර්මශෝක නමින් පිළිගැනිණ. මෙයින් පැහැදිලි වන්නේ පුද්ගලයකුගේ ජීවිතය යහමඟට ගෙන ඒම කෙරෙහි බුදුදහමේ ශ්‍රේෂ්ඨ බලපෑමයි.

රණකාමි ජීවිතයකට බුදුදහමින් අනුකූලතාවයක් ලැබෙන්නේ නැත. ඇතැම් ආගම්හි රණකාමි දෙවිවරු සිටිති. එහෙත් බුදුරජාණන් වහන්සේ රණකාමී දෙවියෙක් නොවන සේක. උන්වහන්සේ සාම දූතයෙකි. සෙබළ වෘත්තියේ සිට සිය ශ්‍රාවකයන් වන්නට එන්නවුන් උන්වහන්සේ අනුමත කළේ නැත. යුද්ධයේ පීඩිකත්වය සහ රෞද්‍රත්වය අමුතුවෙන් කිය යුත්තක් නොවේ. අපි එය අත්දැකීමෙන් ම දනිමු. උන්නතිකාමය, වෛරය , සහ අකාරුණ්‍යය මිනිසා සටනට මෙහෙය විය. එබැවින් අපරදිග මහ ජාතීන් යැ යි කියා ගන්නා අයට තෘෂ්ණාව, වෛරය , හා මෝහයේ අනිටු විපාක ගැන කියා දෙන්නට හැකි ආගමක් වුවමනා ය. එනම් අනුකම්පාව , ආදරය , සහ කරුණාවේ යහගුණ කියා දෙන දහමකි.

“ගිනි පෙණෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරියාටත් බය යි “ යන ආප්තෝපදේශයක් අප අතර ඇත. අපරදිග විදග්ධ ජනයා අතර එවන් හැඟීමක් ඇතැ යි මට සිතේ. ඔවුහු නිදහසට කැමැත්තෝ ය. ඔවුහු ස්වෛරීත්වය ගරු කරන්නෝ ය. ඔවුහු කිසිදු පාලකයකුගේ අත්තනෝමතිකත්වය නුරුස්සති. ඒ අනුව කොහෙත්ම මානව ස්වාධීනත්වයක් බලාපොරොත්තු නොවිය හැකි හෙයින් ඔවුහු දේවාවදී ආගම් වලින් වෙහෙසට පත්ව හෙම්බත්ව සිටිති. ඔවුන් සිතන්නේ සියලු ආගම් දෙවියන්ගෙන් ලැබුණු ඒවා බව යි. එබැවින් අපරදිග බුද්ධිමත් මිනිස්සු තමන්ගේ ආගම හැර අන් කිසිත් ආගමක් ගැන නොදන්නාහු ඒ සියලු ආගම් වලට ද බියැත්තෝ ය. එබැවින් අපි ඔවුනට නිදහස සොයා යා හැකි ආගමක් නිර්දේශ කරන්නට කැමැත්තෙමු. එනම් බුදුදහම යි.

බුදුදහම වනාහි නිදහස, ස්වාධීනත්වය හෝ ස්වෛරීත්වයට ඇලුම් කරන්නවුනට සුදුසු එක ම දහම යි. බුදු දහම තුළ අණපනත් නැත. බුදුන් වහන්සේ සිය ශ්‍රාවක භික්ෂූන් සදහා නම් දැඩි විනය නීති පනවා ඇත. ඒවා වෙනම සංවාදයට යොමු කළ යුත්තකි. බුදුන් වහන්සේ තමන් පරිපූර්ණත්වයට පත්වීමට උපකාර කර ගත් අසීමිත කරුණාවෙන් මිනිසාට ධර්මාවබෝධයට මඟ පෙන්වා ඇත. එමඟින් ස්වාත්මාවබෝධය ලබා, ලෞකික දුකින් මිදීමට වුවමනා නම් එය ද පැහැදිලි කළ සේක. ඒ මඟ අනුගමනය කිරීම හෝ නොකිරීම තමන් විසින් ම කැරෙන්නක් හෙයින් එය ඔවුනට බාර ය. එහිලා කිසිවකුගේ තෝරා ගැනීම ගැන උන්වහන්සේට කළ හැකි දෙයක් නැත. වාසනාවකට මෙන් බුදුරජාණන් වහන්සේ අකාරුණික දෙවි කෙනෙකු බඳු කෙනෙක් නොවෙති.

අප මිනිසත් බවක් ලබා ගත්තේ කෙසේ ද? අප ජීවත්ව සිටින්නේ කෙසේ ද? අප යහපත කළ යුත්තේ ඇයි? මිනිසුන් විසින් කළ යුත්තේ කුමක් ද? මිනිසුන් විසින් නොකළ යුත්තේ කුමක් ද? මේ සියලු දේ ගැන බුදුදහම අපට උගන්වයි. එසේ ම දරුවනට අධ්‍යාපනයක් ලබා දෙන්නේ කෙසේ ද? දරුවන් විසින් මවුපියනට යුතුකම් ඉටු කරන්නේ කෙසේ ද? මේ ආදිය සහ ආදරය හා මිත්‍රත්වය පදනම කොට පවුල් ජීවිතය ගොඩනඟා ගත යුත්තේ කෙසේ ද? සිය සේවකයන් විෂයයෙහි සේව්‍යයාගේ යුතුකම් මොනවා ද? සේව්‍යයා කෙරෙහි සේවකයාගේ යුතුකම් මොනවා ද? ආදි ජීවිතය පිළිබඳ අපමණක් දේ ගැනත් බුදුදහමින් ඉගැන්වෙයි. භෞතික සම්පත් බාහුල්‍යය ගැන සලකන විට වීර්යය, අධිෂ්ඨානය , ඉවසීම, අරපිරිමැස්ම , අල්පේච්ඡතාව ආදි ගුණදහම් පුරුදු කළ යුත්තේ ඇයි ද යනුත් බුදුදහම අපට කියාදෙයි.

මිනිසා සහ මිනිසා අතර යුදගැටුම් සහ කාකොටා ගැනීම් වලින් තොරව ජීවත් විය හැකි ආකාරය ද බුදුදහම අපට කියා දෙයි. තව දුරටත් ආධ්‍යාත්මික අවබෝධය සඳහා අපේ දැනුම දියුණු කර ගත යුතු හැටි ද උගන්වනු ලැබේ. එය බුදුදහමේ මූලික ලක්‍ෂණයකි. ප්‍රඥා පෝෂණය සඳහා ඥාන වර්ධනය අත්පත් කර ගැනීමට යත්න දැරීම බෞද්ධයාගේ ශ්‍රේෂ්ඨතම ඉලක්කය විය යුතුය. නූතන යුගයේ අපරදිග චින්තකයන් විසින් සොයා ගෙන ඇති සියලු අමූර්ත හෙවත් වියුක්ත විදෘ බුදුන් වහන්සේ විසින් සියවස් විසිපහකට ඉහත්තේදී පෙරදිග ලෝකයට උගන්වා ඇත. වසර හතළිහකට වැඩි කලක් විද්‍යාත්මක ක්‍රම පිළිබඳ වෘත්තිය අත්දැකීම් ලැබූ ඖෂධවේදි වෛද්‍යවරයෙක් මෙසේ කියයි. “ බුදුදහම සහ විද්‍යාව යනු දෙකක් නොවේ, එකකි “ යනුයි.

කෙටියෙන් කියතොත් බුදුදහම ඕනෑ ම කෙනකුට මේ ආත්ම භාවයේ දී සතුටින්, අවබෝධයෙන් හා නිදහස්ව ජීවත් වන හැටි උගන්වනු සේ ම මරණින් මතු සතුටට පත්විය හැකි ක්‍රමය ද කියාදෙයි. ඉතින් ඊටත් වඩා මිනිසකුට තවත් වුවමනා කුමක් ද? එබැවින් පරම දුක්ඛයාගේ පරිසමාප්ත ප්‍රහාණය හෙවත් නිර්වාණ ප්‍රාප්තිය සාක්ෂාත්කරණය පිණිස හේතුඵලවාදි සත්‍යය පිළිබඳ ඉගැන්වීම අනුමගමනය කරනු මැනවි.

(මේ ලිපිය පූජ්‍ය ඩී.පඤ්ඤාසාර මාහිමියන්ගේ The Buddhist Conception of Life මැයෙන් වූ ප්‍රබන්ධයේ පරිවර්තනයකි. උපුටා ගැනුණේ Mahabodhi Centenary Commemorative Volume – SAMBHASHA කලාපයෙනි.)

මැදින් පුර අටවක

මැදින් පුර අටවක පෝය මාර්තු 4 වනදා බදාදා පූර්ව භාග 2.13ට ලබයි. 5 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 00.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 4 වනදා බදාදාය.

මීළඟ පෝය
මාර්තු 10 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 4

Full Moonපසෙලාස්වක

මාර්තු 10

Second Quarterඅව අටවක

මාර්තු 18

New Moonඅමාවක

මාර්තු 26

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]