බුදුරදුන් අනුදත්
මවුපිය උවටැන
මහනුවර පි‍්‍රම්රෝස් උයන වජිරාරාමවාසී,
මාතර සමිතධම්ම හිමි
තමන්ට අනන්ත උපකාර කළා වූ මවුපියන්ට ප්‍රත්‍යුපකාර කිරීම දුෂ්කර වූවත්
තමාට හැකි අයුරින් හෝ මවුපියන් සතුටු නොකෙරේ නම් එය බරපතල පාපයකි.
මවුපියන්ගෙන් යම් වරදක් ඇතිවුවහොත් ඒවා ඉවසීමෙන් යුතුව බලා දරුවන්
ආදරණීය මවුපියන්ට සත්කාර කළ යුතුම ය.
දියුණු යැයි කියා ගන්නා යාන්ත්‍රික සමාජයක් තුළ මවුපිය උපස්ථාන ආදී
ගුණධර්ම යටපත් වී ගොස් ඇති බවක් සමහර විටෙක පෙනේ. නමුත් බුදුරජාණන්
වහන්සේ අනුදත් මෙවැනි ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් දෙස බොදු ඇසින් බලා මවුපියන්
ආරක්‍ෂා කර ගැනීම බෝසත් දරුවන්ගේ පරම යුතුකමකි.
මවුපියන්ට උපස්ථාන, කිරීම උතුම් වූ මංගල කාරණාවන් තිස් අටෙන් (38 )එකක්
බව මංගල සූත්‍රයේදී ද දෙමවුපියන්ට යටහත් පහත් පැවතුම් ඇති බව, යසස්
ලැබීමේ මඟක් බව සිඟාලෝවාද සූත්‍රයේ දී ද දක්වා තිබේ. මීට අමතරව යමෙක්
උපස්ථාන කිරීමට පුළුවන් කම තිබියදීත් මවුපියන්ට උපස්ථාන නොකෙරේ නම් ඔහු
වසලයෙක් බව වසල සූත්‍රයේ දී ද, එසේ නොකිරීම දෙලෝ පරිහානියට හේතුවක්
යැයි පරාභව සූත්‍රයේ දී ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සේක.
ඛුද්දක නිකායේ සබ්‍රහ්මක සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ විසින්
මවුපියන්ට විශේෂිත වූ ගෞරව නාමයන් සතරකින් ඔවුන් පහත ආකාරයට හඳුන්වා
දුන් සේක. ‘මහණෙනි, යම් දරුවෙකු විසින් මවුපිය දෙදෙනා හොඳින් රැක බලා
ගනී නම් ඒ නිවස තුළ ඔවුන් බ්‍රහ්මයන් වේ. පූර්ව දේවතාවන් වේ. පූර්ව
ආචාරයයන් වේ. ආහුනෙය්‍යයෝ වේ.’ ‘මහණෙනි,’ ‘බ්‍රහ්ම’ යන නම මවුපියන්ට
නමෙකි. පූර්ව දෙවියන් යන නම මවුපියන්ට නමෙකි. පූර්ව ආචාර්යයන් යන නම සහ
ආහුනෙය්‍ය යන නම මවුපියන්ට නමෙකි’. එසේ හැඳින්වීමට හේතුව නම් ‘මහණෙනි.
මවුපිය දෙදෙනා දරුවන්ට බෙහෙවින් උදවු උපකාර ඇත්තෝ වෙති. ජීවිතාරක්‍ෂකයෝ
වෙයි. පෝෂණය කරන්නෝ වෙයි. මේ ලෝකය පෙන්වා දෙන්නෝ වෙයි.’ මේ අර්ථය
උන්වහන්සේ පහත ආකාරයට ගාථා වශයෙන් දේශනා කරන ලදී.
‘බ්‍රහ්මාති මාතාපිතරො, පුබ්බාචරියාතී චුච්චරේ ආහුනෙය්‍යා ච පුත්තානං,
පජාය අනුකම්පකා’
මවුපිය දෙදෙනා දරුවන්ට බ්‍රහ්මයන් ලෙස ද, පූර්ව ආචාර්යයන් නැතහොත් මුල්
ගුරුවරු ලෙස ද, රහතන් වහන්සේ පුදන ලද ආහුනෙය්‍ය (තමන් වෙහෙස මහන්සි වී
ලබාගත් දෙයින් පිදීමට සුදුසු) ගුණයෙන් ද යුක්ත වේ.
නුවණැති පුද්ගලයා මවුපියන්ට නමස්කාර කරයි. ආහාරයෙන් ද පානයෙන් ද
වස්ත්‍රයෙන් ද සයනයෙන් ද ඇඟ ඉලීමෙන් ද නැහැවීමෙන් ද පා දෙවීමෙන් ද
සත්කාර කරයි.
‘තාය නං පාරිචරියාය, මාතාපිතුසු පණ්ඩිතා ඉධෙච නං පසංසන්ති, පෙච්ච
සග්ගෙච මෝදති’
පණ්ඩිතයන් ඒ ආකාරයෙන් මවුපියන්ට උපස්ථාන කිරීම නිසා මේ ජීවිතයේදීත්
ඔවුන් සතුටු වෙයි. ප්‍රසංශා ලබයි. මරණින් මතු ද දෙව්ලොව ඉපිද අතිශයින්
සතුටු වෙයි.
යම් සේ බ්‍රහ්මයන් ලෝකයා කෙරෙහි මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්‍ෂා යන
ධර්මතා පතුරුවන්නේ ද ඒ ආකාරයෙන් මවුපියන් ද තම දරුවන්ට එම ධර්මතා සතර
පතුරුවයි. මවුකුස තුළදීත් දරුවාට ආරක්‍ෂාව සපයන අතර අපගේ දරුවා කවදානම්
දකින්නේ දැයි සිතමින් දරුවා කෙරෙහි මෙත් සිත පතුරුවයි. මවු කුසින් බිහි
වූ දා සිට මැසි මදුරුවන්ගෙන් පවා ආරක්‍ෂා කරමින් හඬන කල එය ඇසූ
මෑණියන්ගේ රුධිරය කිරට හැරෙන්නේ ඉතාමත් කරුණාවකිනි. කුඩා කාලයේ දී
මෙන්ම අධ්‍යාපන කාලයේ දී දරුවාගේ දක්‍ෂතා දැක මවුපියන් ඒ ගැන මහත් සේ
සතුටු වී මුදිතාව පහළ වෙයි. වැඩිවියට පත්වන දරුවාගේ අනාගත කටයුතු ඉටු
කිරීමෙන් ඔවුන්ගේ ස්ථාවරය දැක ඔවුන් කෙරෙහි මධ්‍යස්ථභාවය වූ උපේක්‍ෂාව
පහළ කරයි.
නමුත් අද අප සමාජයේ ඇතැම් විට සමහර දෙමාපියන් බොහෝ දුකින් කල් ගෙවනුයේ
නැති බැරිකම නිසාම නොවේ. තමන් උගන්වා හැදූ වැඩූ සිය යුතුකම් ඉටුකළ
දරුවන් තමන්ට කීකරු නොවීම ගැන මෙන්ම කළ උපකාර වලට ප්‍රත්‍යුපකාර නැතත්
එම උපකාර මතක නැතිව වැඩ කිරීම ගැන ය.
මෙවැනි තත්ත්වයක පසුවන දෙමවුපියන් මේ කරුණු නිසා ජීවිතය ගැන කළකිරීමත්
දුක්වීමත් එතරම් සුබදායක නොවේ. සතර බ්‍රහ්ම විහරණ වන උපේක්‍ෂාව මැනවින්
මවුපියන් සතුවන නිසා ඉතාමත් උපේක්‍ෂාවෙන් නැතහොත් මැදහත් සිතින් දරුවන්
දෙස බලා තම සිත සකස් කර ගත යුතු ය. තවත් කරුණක් මෙහිදී සිහිපත් කළ යුතු
ය. එනම් බුද්ධ ධර්මයේ සඳහන් වන කර්ම ශක්තියයි. මෙවැනි තත්ත්වයකට තමන්
මුහුණදෙනුයේ පූර්වකර්ම විපාකයක් නැතිනම් මේ භවයේදීම කරන ලද කර්ම
විපාකයක් විය හැකි බව අවබෝධ කරගෙන ඉතිරි කාලයේ සතුටින් සිටිය යුතු ය.
දරුවන් විශේෂයෙන් මේ ගැන සැළකිලිමත් විය යුතු ය. තමන්ට අනන්ත උපකාර කළා
වූ මවුපියන්ට ප්‍රත්‍යුපකාර කිරීම දුෂ්කර වූවත් තමාට හැකි අයුරින් හෝ
මවුපියන් සතුටු නොකෙරේ නම් එය බරපතල පාපයකි. මවුපියන්ගෙන් යම් වරදක්
ඇතිවුවහොත් ඒවා ඉවසීමෙන් යුතුව බලා දරුවන් ආදරණීය මවුපියන්ට සත්කාර කළ
යුතුම ය. එසේම තමන්ට සමාජය තුළ හොඳින් ජීවත් වීමට මඟ සැලසූ දයාබර
දෙමවුපියන්ට තමන් විසින් දෙනු ලබන මේ දුක දරුවන් මහලු අවදියේදීත් තමා
කරා පැමිණීම නොනැවැත්විය හැකි ධර්මතාවක් බවත් තදින් සිතට ගත යුතු ය.
|