UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 “බෝ මැඩ විප්ලවයේ නැණ – ගුණ උකහා ගැනීම බෝධි පූජාවේ යථාර්ථය යි”

යම් යම් දේ සංකල්පනා මඟින් සලකා බලන විට විසඳීමට අසීරු ගැටලු වලට මැදි වීමට සිදු වෙයි. යමෙක් ආරම්භ කරන්නේ සත්‍යයෙන් නම් එහි පරස්පර විරෝධතා හමුවීමට අවකාශයක් ඇති නොවේ. ප්‍රඥාව හෙවත් සම්‍යක් දර්ශනය යනු, හේතු ප්‍රත්‍ය පිළිබඳ නියාම සර්ව ප්‍රකාරයෙන් දැනීම විනා අන් කවරක් ද? සත්‍යය ඔප්පු කිරීම වස් මා හට ලබා ගතහැකි එකම සාක්ෂ්‍යය නම් ඒ සත්‍යය පිළිබඳ මගේ ම අත්දැකීම ය. එහෙත් ජීවන අත්දැකීම් සත්‍යය හා මුළුමනින් එකඟ වේ යැයි මුළාවට පත් නොවිය යුතු ය. යම් දෙයක් පිළිබඳ වැරැදි මතයක් හෝ ඇදහීමක් ඇති කර ගැනීමත් ජීවන අත්දැකීමකි. වැලි තලාවක් මත පතිත හිරු එළිය - ජලය සේ දැකීම ජීවන අත්දැකීමක් වූවද, එය සත්‍යයෙන් තොර ය. කෙසේ වුවද යමෙක් ආරම්භ කළේ සත්‍යයෙන් නම් ඔහුට විරෝධතා, බාධකයන්ගෙන් තොරව ඉදිරියටම යා හැකි වෙයි. සැබෑ අදහස් වනාහි අප විසින් ම ජීර්ණ කර ගත හැකි, එපරිද්දෙන්ම සත්‍ය බව ඔප්පු කළ හැකි ඒවා ය. සත්‍යයේ හා මිථ්‍යාවේ වෙනස තේරුම් ගැනීමට මේ ප්‍රමාණවත් ය. බෝධි වන්දනාවේ වර්තමාන ස්වරූපය හා එහි ක්‍රියාත්මක පිළිවෙළ මෙම ලිපියට අදාළ මාතෘකාවයි. බෝධි වෘක්‍ෂය වූ කලී තථාගත බුදුපියාණන්ගේ පරිහරණයට භාජනය වූ වස්තුවකි. උන්වහන්සේගේ ශාරීරික ධාතූන් හැරුණු විට බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාමානයට බඳුන් වන්නේ පාරිභෝගික වස්තූන් ය. අනෙක් පාර්ශ්වය උද්දේසික විෂයයෙහි ගැනෙන පිළිම වහන්සේ ය. මේ කවර පූජනීය වස්තුවක් බැතිමතාගේ වැඳුම් පිදුම් වලට ලක් වූවද එයින් අපේක්‍ෂිත අර්ථය වන්නේ ලෞකිකත්වය ඉක්මවා යන ලෝකෝත්තර පරමාර්ථයකි. පෘථග්ජන මනසෙහි අරක්ගෙන සිටින ලෝභ, ද්වේෂ, මෝහාදී අකුසලයන්ගෙන් මිදී කාම, දිට්ඨි, භව, අවිද්‍යා ආදී ආශ්‍රව දුරු කොට නිවන අවුරාලන පංච විධ බාධක වලින් වෙන්ව නිවී සැනසුණු ඉඳුරන් සහිතව නිර්වාණ ක්‍ෂාන්තිය සලසා ගැනීමේ ඒකාන්ත අභිප්‍රාය දෙසට මෙහෙයවන දැහැමි පිළිවෙත බුදු දහම හුදු ලෞකික ජීවිතයේ සැපයට වඩා ලෝකෝත්තර සුවය සලසා ගැනීම නම් වූ විපුල ඵලය පෙර දැරි කර ගන්නා හෙයින් එහිදී මෙ ලොව ක්‍ෂාන්තිය පිළිබඳ අමුතු පරිශ්‍රමයක් දැරිය යුතු නොවන බව වටහා ගත යුතු ය. බිමත්, වැපිරෙන බීජත් කදිම නම් ලබන අස්වැන්න පිළිබඳ කුමන කතා ද?

බුදුරජාණන් වහන්සේ අපරිමිත ඤාණ සම්භාරයක් කැටි කොට ගත් අසම සම ප්‍රාඥයෙකි. එබඳු උත්තමයෙකු සැදැහැවතුන්ගේ පූජනීයත්වයට භාජනය වන්නේ දෙවියකු, බඹකු වැනි සර්ව බලධාරී ලෙස සැලකෙන උතුමකු පුදන ආකාරයෙන් නොවේ. “ධම්මො භවේ රක්ඛති ධම්ම චාරී” යනාදී වශයෙන් දේශනා කර වදාළ පරිදි ධර්මය රකින්නා ධර්මය විසින්ම ආරක්‍ෂා කෙරේ යන උත්තම ධර්මානුශාසනයට අනුව අසම සම ප්‍රාඥයකු වූ බුදුන් වහන්සේ වන්දනා කිරීමෙන් අප බලාපොරොත්තු විය යුතු වන්නේ උන් වහන්සේ විෂයෙහි සුපිහිටි ප්‍රඥා මහිමයෙන් බිඳක් අප තුළ ද ජනිත වේවා යන උතුම් අදහස ය. බුදු දහම යනු කවරේදැයි තේරුම් ගත් යමෙකු වේ නම් එම පුද්ගලයාගේ, බෝධි වන්දනාව වර්තමානයේ බොහෝ දෙනෙකු කෙරෙන් දෘෂ්‍යමාන වන විලාසයට, බෙහෙවින් වෙනස් ස්වරූපයක් ගන්නා බව පෙන්වා දිය යුතු ය. අද එය හුදෙක් ලෞකිකත්වය පදනම් කොටගෙන පුද්ගලයන්ගේ ලෙඩ දුක් සුව කර ගැනීම අතුරුදන් වූවන් නිරුපද්‍රිතව නිවසට ගෙන්වා ගැනීම, විෂමාචාර තුරන් කර ගැනීම වැනි ලෞකික කාර්ය සංසිද්ධිය උදෙසා බෝධියට වැඳුම් පිදුම් කිරීමෙන් එම උත්තම කාර්යයේ ලෝකෝත්තර අගයට සිදුවන හානිය සුළුපටු නොවේ.

බෝධි වෘක්‍ෂය වූ කලී සිද්ධාර්ථ තවුසාණන්ට සම්බෝධි ඤාණය පහළ කරගන්නා අවස්ථාවේ දී එම අති ශ්‍රේෂ්ට වූ කර්තව්‍යය උදෙසා සෙවණ සැලසූ වෘක්‍ෂරාජයා ය. සම්බෝධි ඤාණය නම් ලොව පවත්නා සත්‍යය පිළිබඳ අවබෝධය යයි. සෑම දෙයක් කෙරෙහිම බලපවත්නා ලක්‍ෂණය වන අනිත්‍යතාව, තථාගතයන් වහන්සේ විසින් දක්නා ලදී. ඒ සමගම ප්‍රකටව පෙනී යා යුතු දුක ද අනාත්ම ලක්‍ෂණය ද යන ලොව ලෞකික පදාර්ථ සියල්ලක් කෙරෙහිම දැක්විය හැකි ත්‍රිලක්‍ෂණය බුදුපියාණන් විෂයෙහි දර්ශනය වූයේ බෝ මැඩ සෙවණේ ය. දුකට පත් ලෝක සත්ත්වයා දුකින් ගලවා ගැන්මට උපස්ථම්භක වූ ප්‍රඥාව පහළ වූ මේ අවස්ථාව, බෝ මැඬ විප්ලවය නමින් ද හැඳින්විය හැකි ය. අති දුෂ්කර වූ මේ මාර්ග ඤාණය (දුක්ඛ, සමුදය, නිරෝධ, මග්ග පිළිබඳ නුවණ) අනුමාණයක් නොව, ප්‍රකාශණයකි.

සත්‍යය, ලෙස පෙන්වීම පමණක් වූවද කළ හැකි තර්කයෙන් ද ඈත් වූවකි. එය, ඉන්ද්‍ර ජාලයක් ද නොවේ. ආකස්මික බලවේගයක් ද නොවෙයි. තථාගතයන් වහන්සේ විසින් ම ශත සහස්‍ර වූ භව ගමන් මඟෙහි දැරුවා වූ ඉමහත් පරිශ්‍රමයේ ප්‍රතිඵල වශයෙන් තමන් වහන්සේ විසින්ම අනාවරණය කොටගෙන, අන් අය කෙරෙහි කරුණාවෙන් ඔවුන්ගේ යහපත පිණිස දේශනා කර වදාළේ මෙම ඤාණ සම්භාරයයි.

බෞද්ධ සාහිත්‍යයෙන් අප ඉගෙනගත් බෝ මැඬ විප්ලවයේ යථාර්ථය එය නම්, අන්ධ භක්තියෙන් බුදු දහම වැළඳ ගෙන කටයුතු කරන බහුතරයක් වූ බෞද්ධ බැතිමතුන්ගේ වැරැදි ගමන් මඟ දෙසට අපගේ කරුණාව, මෙත් සිත යොමු කොට ඔවුන්ට නිවැරැදි මාර්ගය පෙන්වා දිය යුතු කාලය එළඹ ඇත. දේවාලයකට යන සැදැහැවතා තම දුක්ගැනවිලි කියාපාමින් පිහිට අයැදින මෙන් ද යාග හෝම කරමින් දෙවියනට කන්නලවු කරමින් ආයාචනය කරන මෙන් ද, යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල් පිදේනි ආදියකින් ආතුරයාට සෙත් පතන මෙන් ද, බෝධීන් වහන්සේ අබියස යාදිනි කන්නලව් සෙත් ශාන්ති යාතු කර්මාදිය කිරීමෙන් සහනය සලසා ගැනීමට ප්‍රයත්ත දරන බෞද්ධයා ස්වකීය අමනෝඥ ක්‍රියා කලාපය හේතු කොට ගෙන බුදු සසුනට සිදුවන හානිය පිළිබඳ කල්පනා කළ යුතුව ඇත. සෙත් ශාන්තිය ස්වකීය චිත්ත අභ්‍යාසය තුළින්ම සලසා ගැනීම, බෞද්ධ පිළිවෙතයි. එය බාහිර බලවේගයකින් හෝ අදෘෂ්‍යමාන පුද්ගලයකුගෙන් අයැද ලබාගත හැකි දෙයක් නොවේ. තමන් හිසට තම අතම ය සෙවණැල්ල යන ආප්තය මොහොතකට සිහිපත් කරන්න.

බෝධියට දේවත්වය ආරෝපණය කිරීම බෞද්ධ ප්‍රතිපත්තිය පිටුදැකීමකි. ජීවිතය පිළිබඳ සත්‍යය අවබෝධ කර ගැනීමේ පුර්ණ වගකීම බුදු දහම මගින් ඒ පුද්ගලයා කෙරෙහිම පවරා දී තිබේ. ජීවිතය පිළිබඳ සත්‍යතාව තමන් විසින්ම දැන ගන්නට උත්සාහ කළ යුතු බව පැවසීම එකී වගකීම පුද්ගලයා වෙතම පැවරීමකි. මෙහි පූජක බලපෑමක් හෝ යාඥා ක්‍රමයක් හෝ යාග හෝම බිලි පූජා ආදියක් හෝ බලය ඉදිරියෙහි වැඳ වැටෙන බිය මුල්කොට ගත් ආගමක් හෝ නැත. මෙහි ඇත්තේ අවබෝධය නම් වූ පරම ශක්තිය ලබා ගන්නා තමාගේම වීර්යයයි. යම් උපකාරයක් පිටතින් ලබා ගත යුතු නම් ඒ වූ කලී අවබෝධ ඤාණයෙන් පරිපූර්ණ වූ උත්තමයකුගේ උපදේශයක් පමණකි.

බෝධියට දේවත්වය ආරෝපණය කිරීම, තථාගතයන් වහන්සේට කරන බරපතල අපහාසයකි. බොදුනුවන් නොමඟ ගොස් ඇති තරම මෙයින් පැහැදිලි වෙයි. ලොව අනෙකුත් සියලු දාර්ශනික, විද්‍යාත්මක හෝ ආගමික දර්ශන පිළිබඳ නෙත් යොමු කළ ද මානසික සන්තුෂ්ටියේ උත්තරීතර භාවය, ශ්‍රේෂ්ඨත්වය සාක්‍ෂාත් කර ගත හැකි මෙවැනි මඟක් ඒ කිසි ස්ථානයක දී හෝ පුද්ගලයකු වෙත කැරෙන කන්නලව්, යාදිනි, පිදේනි, පූජා වට්ටි ආදී කිසිවකින් ඵලක් නොවන බවත් ස්වකීය බුද්ධියත් ධෛර්යයත් උපයෝගී කරගෙන තමන් විසින්ම විමුක්තිය මානසික සන්තුෂ්ටිය සාක්ෂාත් කරගත යුතු බවත් පවසන්නේ, බුදු දහමයි.

බුදු දහමට අනුව සෑම දෙයක් ම තමන් ඇසුරු කොට තමන්, විසින් ම, ප්‍රත්‍යක්‍ෂ කර ගත යුතු ය. ‘පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤුහීති’ යන්න, බුදු දහමෙහි ප්‍රධාන, ඉගැන්වීමකි. බුදු දහම සමාජගත ජීවිතයක් සඳහා වූ ධර්මයක් නොවේ ය යන්න ද බොහෝ දෙනෙකු තුළ පැන නැඟී තිබෙන දුර්මතයකි. අශෝක අධිරාජයාව රාජ්‍ය අනූනමයක් සමඟ සටන් වැද මිනිස් ජීවිත වනසා ලද දිග් විජයග්‍රහණයෙන් පසුව අසිපත ඉවත දමා ධර්ම විජය කෙරෙහි යොමු වීමට හිත දුන් ඉගැන්වීමක් ඒකාන්තයෙන්ම සමාජ ජීවිතය සාර්ථක කරන ඉගැන්වීමක් නොවේ ද? බුදු දහම විසින් නිර්මාණය කරන ලද සමාජය ආශා රැහැන් සිඳිමින් ඉදිරියට ගමන් කරන, කරුණාව හා මෛත්‍රීයයෙන් සිසිලස ලද සහනශීලී එකකි. පංච ශීලය, ඕනෑම සමාජයක් සදාචාරවත් වී ශිෂ්ට සම්පන්න ධාර්මික සමාජයක් කළ හැකි පිළිවෙතකි.

ත්‍රිවිධ පූජනීය වස්තු ඉදිරියෙහි වැඳ වැටෙන සැදැහැවතුන් මොහොතකට හෝ සිත එක් අරමුණක රඳවා බුදු ගුණ ගාථා ගයමින් ගත කරන ස්වල්ප කාලය නිරාමිස පී‍්‍රතියෙන් ගත කරන කාලයකි. රුක් සෙවණ ගතට සුවයකි. ගසේ පත්‍ර වලින් සැඩ හිරු රැස් ආවරණය වෙයි. විශේෂයෙන් ම බෝධි වෘක්‍ෂයේ පත්‍ර වලින් මිනිස් සිරුරට හිතකර කිරණ විශේෂයක් නිකුත් වන බව ඇතැම් විද්වතුන්ගේ මතය යි. නිතර නිතර බෝ රුක ඇසුරෙහි ගත කිරීමෙන් ඇතැම් රෝග වලින් සුවය ලැබෙන බව පැවසෙයි. එය සත්‍ය විය හැකි ය. නිරන්තර පූජාවට ලක් වන වෘක්‍ෂයක කිසියම් භෞතික නොවන ශක්ති විශේෂයක් නිර්මාණය වීමට හැකි ය. එහෙත් මේ සියල්ල බාහිර වශයෙන් අප ලබන ප්‍රතිඵලය. බෝධිය ඇසුරු කොට අපට ලද හැකිව තිබෙන මානසික සුවය හා ශක්තිය අන් සියල්ල අභිබවා යයි. එයට හේතුව තථාගතයන් වහන්සේ විෂයෙහි වූ ඉමහත් ගුණ සමුදාය හා ප්‍රඥාව කැටිකොට ගැනුණු, උත්තරීතර ශක්ති ප්‍රවාහයයි. එබැවින් බෝධි පුජාව වඩාත් ප්‍රඥාගෝචර ලෙස සිදු කිරීමෙන් අපට ලබාගත හැකි අර්ථ සිද්ධිය, අනූපමේය බව තේරුම් ගනු මැනවි.

උඳුවප් අව අටවක


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 19 වනදා සිකුරාදා පූර්වභාග 4.4 ට ලබයි.
20 වන දා සෙනසුරාදා
පූර්වභාග 4.6 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
19 වනදා සිකුරාදාය
 

මීළඟ පෝය දෙසැම්බර්
26 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]