මානව හිමිකම් හා යුතුකම්
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1948 දෙසැම්බර් මස 10 වන දා
සම්මත කළ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයෙහි හැටවන
සංවත්සරය පසුගිය සතියට යෙදී තිබිණ. වගන්ති තිහකින් සමන්විත එම
ප්‍රකාශනයේ පළමු වගන්තිය අනුව, සියලු මනුෂ්‍යයන් නිදහස් ව උපත
ලබා ඇත. ඔවුහු ගරුත්වයෙන් හා අයිතිවාසිකම් වලින් සමාන වෙති.
යුක්ති අයුක්ති, පිළිබඳ හැඟීමෙන් හා හෘද සාක්‍ෂියෙන් යුත්
ඔවුන්, ඔවුනොවුන්ට සැලැකිය යුත්තේ සහෝදරත්වය පිළිබඳ හැ¼ගීමෙනි.
මානව හිතවාදී මේ නව දර්ශනය පිළිගැනීම සඳහා නූතන කාර්මික
ශිෂ්ටාචාරය පෙළඹ වූයේ දෙ වන ලෝක යුද්ධය නිසා විඳි අමිහිරි
අත්දැකීම් බව ද අප අමතක නො කළ යුතු ය. එ පමණක් නො ව මානව
අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයෙහි ගැබ් ව ඇත්තේ
යුරෝපීයයන් මෑත ඉතිහාසය පුරා ලද දේශපාලන ජයග්‍රහණ රාශියක හරය
යි. බ්‍රිතාන්‍යයේ ජෝන් රජු හා එ රට රදළයන් අතර ඇති වූ ගැටුමක
ප්‍රතිඵලයක් වන මැග්නාකාටා ගිවිසුම (ක්‍රි.ව. 1215 දී) එහි
ආරම්භය සේ සැලැකේ. අත්අඩංගුවට පත්වන අය ගේ අයිතිවාසිකම් තහවුරු
කිරීම සඳහා 1679 දී බිහි වූ හබයාස්කෝපස් ගිවිසුම මෙන් ම නිදහස
හා සමානාත්මතාව උදෙසා 1789 දී ප්‍රංශ ජනතාව කළ නැඟිටීම වන
ප්‍රංශ විප්ලවයේ සෙවණැල්ල ද මේ මත වැටී තිබේ.
එහෙත්, මිනිස් අයිතිවාසිකම් නමැති සංකල්පය සමඟ ආගමික මතවාද
බැඳී පවතින බව ද නො රහසකි. මිසරයේ පාරාවෝ රජ සමයේ දී මෝසේස්
විසින් හඳුන්වා දෙන ලද දෙවියන් ගේ නීතිය නමැති දශ පනත මෙහි දී
සිහිපත් කළ යුතු ය.
මෙ බඳු පසු බිමෙක උපන් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව
ප්‍රකාශනයෙහි පූර්විකාවෙන් එම පසුබිම නිරූපණය කැරේ. දැන් අපි
එම පූර්විකාව දෙසට හැරෙමු.
“ලෝකයේ පවත්නා නිදහස, යුක්තිය සහ සාමය යන්නෙහි පදනම මිනිස්
පවුලේ සියලු දෙනා ගේ ම සහජ ගරුත්වය හා අන්සතු කළ නො හැකි වූ සම
අයිතිවාසිකම් පිළිගැනීම වන හෙයින් ද, මානව අයිතිවාසිකම් නො
තැකීමේ හා අවඥාවට ලක් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මිනිස් වර්ගයා
ගේ හෘදය සාක්‍ෂිය සාහසික පීඩනයට භාජන කැරෙන මිලේච්ඡ කෲරකම්
සිදු වී ඇති හෙයින් ද මිනිස් වර්ගයාට අදහස් ප්‍රකාශ කිරීමේ හා
විශ්වාස ඇදහිලි දැරීමේ නිදහසත්, බියෙන් හා අඟ හිඟමින් තොරවීමේ
නිදහසත් භුක්ති විඳීමට හැකි ප්‍රජාවක් ඇරැඹීම පොදු ජනතාව ගේ
ශ්‍රේෂ්ඨතම අපේක්‍ෂාව ලෙස ප්‍රකාශයට පත් වී ඇති හෙයින් ද”
“දූෂ්ට පාලනයන්ට හා පරිපීඩනයන්ට විරුද්ධ ව අන්තිම
ක්‍රියාමාර්ගයක් වශයෙන් කැරලි කෝලාහල ඇති කිරීමට මිනිසා
පෙළඹවීම වැළැක්වීමට නම් නීති මඟින් මානව අයිතිවාසිකම් ආරක්‍ෂා
කැර දීම අත්‍යවශ්‍ය වන හෙයින් ද,”
‘ජාතීන් අතර මිත්‍ර සම්බන්ධතා තව දුරටත් වර්ධනය කිරීම
අත්‍යවශ්‍ය වන හෙයින් ද, මූලික මානව අයිතිවාසිකම් කෙරෙහිත්,
මිනිසා ගේ ගරුත්වය හා අගය කෙරෙහිත්, ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂයේ
සමාන අයිතිවාසිකම් කෙරෙහිත්, තම විශ්වාසය හා භක්තිය එක්සත්
ජාතීන්ගේ සාමාජික ජාතීන් විසින් ප්‍රඥප්තියෙහි ස්ථිර ලෙස නැවත
පිළිගෙන ඇති හෙයින් ද, සමාජ ප්‍රගතිය හා වඩා යහපත් ජීවන
තත්ත්වයක් වඩා පුළුල් ලෙස වර්ධනය කිරීමට අධිෂ්ඨානය කැර ඇති
හෙයින් ද, මානව අයිතිවාසිකම් හා මූලික ස්වාධීන්තවයන් කෙරෙහි
විශ්ව ගරුත්වයත්, ඒවා රැක දීමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ
සහයෝගීත්වයෙන් වර්ධනය කිරීමට සාමාජික රාජ්‍ය ප්‍රතිඥා දී ඇති
හෙයින් ද, ඒ ප්‍රතිඥාව පරිපූර්ණ ව සාක්‍ෂාත් කැර ගැනීම සඳහා මේ
අයිතිවාසිකම් හා ස්වාධීනතා පිළිබඳ ව පොදු අවබෝධය ලබා ගැනීම
අතිශයින් වැදගත් වන හෙයින් ද, මානව අයිතිවාසිකම් පිළිබඳ මේ
විශ්ව ප්‍රකාශනය, සෑම පුද්ගලයකු හා සංවිධානයක් විසින්
නිරන්තරයෙන් ම සිහිපත් කැරෙමින් සකල ජනතාවට හා සියලු ජාතීන්ට
සාක්ෂාත් කැරගත යුතු පොදු තත්ත්වයක් වශයෙන් අධ්‍යාපනයෙන් හා
අධ්‍යයනයෙන් මේ අයිතිවාසිකම් හා ස්වාධීනත්වයන් ගරු කළ යුතු
යැයි ද, ජාතික වූත්, ජාත්‍යන්තර වූත්, ප්‍රගතිශීලී විධිවිධාන
මඟින් මේ හිමිකම් සාමාජික රටවල මෙන් ම ඒවා යේ බලයට අවනත සෙසු
රටවල ජනතාව අතර ද අගය කිරීමට සැලැස්වීමෙන් ලෝකය මුළුල්ලේ ම ඒ
පිළිබඳ ගරුත්වය හා ක්‍රියාකාරීත්වය සැලැසිය යුතු යැයි ද
ප්‍රකාශ කැර සිටී.’
මේ අනුව මානව අයිතියාසිකම් පිළිබඳ අන්තර්ජාතික පිළිගැනීම කෙ
බඳු දැයි අපට වටහා ගැනීමට පුළුවන. එහෙත්, බුදු දහම ගැන මනා
වැටහීමක් ඇති කිසිවකු මානව අයිතිවාසිකම් පිළිබඳ මේ විශ්ව
ප්‍රකාශනය මහා ඉදිරි පිම්මක් ලෙස නො සලකනු ඇත. බුදුන් වහන්සේ
ගිහියන් උදෙසා හඳුන්වා දුන් ආචාර ධර්ම පද්ධතිය වන පරපණ නැසීම,
සොරකම, ලිංගික අපචාර, බොරු කීම හා මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම
යන වැරැදි වලින් වැළැකීම යන පන්සිල් සුරැකින සමාජයක මිස මානව
වටිනාකම් ආරක්‍ෂා නො වේ. එය ප්‍රායෝගික යථාර්ථයක් බව ධර්මාශෝක
රාජ්‍ය පාලනය මඟින් ලොවට ඔප්පු කැර ඇත. එ සේ වූව ද අන්තර්ජාතික
දේශපාලනය වෙත බුදු දහම රැගෙන යෑමට කිසිදු බෞද්ධ රාජ්‍යයක්
මෙතෙක් උත්සාහ දරා නොමැත. |