UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

‘සිරිලක කාන්තාවට පැහැදිලි මඟක් ඇත’

ස්ත්‍රීත්වය පිළිබඳ සාකච්ඡා කරන බටහිර විද්වතුන් බුදුන් වහන්සේ වනිතාවට ලබා දුන් මෙම නිදහස් තත්ත්වය සිතා මතාම අමතක කර දැමීම හෝ නොදන්නා බව නිසා සාකච්ඡා නොකිරීම හෝ කනගාටුදායක තත්ත්වයකි. නූතන බටහිර කාන්තාව සම අයිතිය ඉල්ලා හඬන මෙවන් යුගයක පුරාණ භාරතීය වනිතාව බුදු දහම තුළින් ලැබූ අපමණ නිදහස්භාවය අධ්‍යයනය කිරීම ඉතා ප්‍රයෝජනවත් ය.

වර්තමානය වන විට ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්ව ඇත. මේ නිසා මුළු ලෝකය තුළ ම බොහෝ සංසිද්ධීන් පිළිබඳව සංස්කෘතික සාපේක්ෂතාවයකින් යුතුව සාකච්ඡා කිරීම ඇරැඹී තිබේ. විශේෂයෙන් ම නූතන වනිතාව සම්බන්ධයෙන් මුළු විශ්වය ම නව දැක්මකින් යුතුව යම් යම් කරුණු සාකච්ඡා කරමින් සිටී.

විශ්ව ගම්මානය තුළ වනිතාව ඉතා හොඳ කතිකාවක් බවට පත්ව තිබේ. වනිතාවගේ් කාර්ය භාරය ඇයට ලැබිය යුතු වරප්‍රසාද, ඇයට සිදුවන අකටයුතුකම් හා ඇය සමාජයේ ඉහළ ස්ථරයකට ගෙන ආ යුතු බව ආදී විවිධ මාතෘකා තුළ වනිතාව පිළිබඳ මෙම විචාරාක්ෂය යොමු ව තිබේ. මේ හැම මාතෘකාවකින් ම පෙන්වා දීමට උත්සුක වනුයේ නූතන වනිතාවට ලැබිය යුතු වරප්‍රසාද තවමත් හිමිව නැති බවකි. ඒ තත්ත්වය වනිතාව සම අයිතිය ඉල්ලා සිටීමේ ප්‍රයත්නය තුළින් විද්‍යමාන වේ. මෙවන් පසුබිමක් තුළ බෞද්ධ වනිතාවට හිමි ස්ථානය කුමක්ද යන්න විග්‍රහ කිරීම කාලෝචිත යැයි සිතෙයි. “බෞද්ධ වනිතාව“ යන සංකල්පය පිළිබඳ කරුණු සාකච්ඡා කරන විට, එය ආසියාතික හා යුරෝපීය සමාජය කේන්ද්‍ර කර ගනිමින් විග්‍රහ කළ හැකි ය. ඒ වර්තමානය වන විට එම සමාජවල බොදුනු කාන්තාවන් ජීවත්වන බැවිනි. එසේ වුවත් බෞද්ධ කාන්තාවගේ ප්‍රභවය සිදුවූයේ දකුණු ආසියාතික සමාජ සංස්කෘතික පරිසර රටාව තුළ ඉන්දියා සමාජය මූලික කර ගෙනය. ඒ මීට වර්ෂ දෙදහස් පන්සිය පනස් දෙකකට පමණ පෙර ය. මේ නිසා ඊට පෙර ඉන්දියා සමාජයේ කාන්තාව ලබා තිබූ වරප්‍රසාද මොනවාද යන්න ඉතා කෙටියෙන් වුවද සළකා බැලිය යුතුම ය.

බ්‍රාහ්මණ ආධිපත්‍යයට හසුව තිබූ පූර්ව බුද්ධ කාලීන ඉන්දියා සමාජය තුළ කාන්තාව ලබා තිබූ නිදහස ඉතා අල්ප විය. බාල කාලයේ පියා යටතේ ද විවාහ වූ පසු ස්වාමි පුරුෂයා යට‍ෙත්ද මහලු වියේ දී පුත්‍රයන් යටතේද වාසය කළ ඇයට කිසිවිටකත් ස්වාධීනත්වයක් හිමි නො විණි. එසේම ‘ද්වංගුල පඤ්ඤා’ යනුවෙන් ඇඟිලි දෙකේ නුවණකට එනම්, සීමිත බුද්ධියක් ඇති කෙනකු ලෙස කොටුකර සිටි ඇයට, ලෝකය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සීමාකර තිබිණි.

ස්වාමිපුරුෂයා කෙතරම් දරුණු,, නපුරු කෲර කෙනෙකු වුවද ඇය ඒ සියලු දුක් පීඩා විඳ දරා ගතයුතු විය. ඔහුට එරෙහිව කිසි අයුරකින් ක්‍රියාත්මක වීමට ඇයට නොහැකි විය. සැමියා මිය ගිය පසු බිරිය සැමියාගේ සිරුර දැවෙන දර සෑයට පැන සිය දිවි නසා ගත යුතු විය. එසේ නොහැකි නම් දිවි ඇති තෙක්ම කනවැන්දුම් ස්ත්‍රියක් ලෙසට දිවි ගෙවිය යුතු විය. ඒ ලෙසම කිසි අයුරකින් ධනය රැස් කිරීම කාන්තාවට තහනම් විය.

කෙසේ නමුත් මෙම බ්‍රාහ්මණ ආධිපත්‍යයේ අණසකට යටත්වී සිටි භාරතීය වනිතාවට කිසියම් සහනශීලී දිවියකට ඇතුළත් කර ගැනීමේ පළමු ක්‍රියාකාරකම සිදුවූයේ ශ්‍රමණ සම්ප්‍රදාය තුළින් බව භාරතීය ඉතිහාසය තුළින් පිළිබිඹු වෙයි. ප්‍රාග් බෞද්ධ යුගයට අයත් ශ්‍රමණයන් අතරින් කාන්තාවන් උදෙසා මානව දයාවෙන් හා කරුණාවෙන් යුක්තව අපක්ෂපාතීව ක්‍රියා කරන ලද ශ්‍රමණ සම්ප්‍රදාය වූයේ ජෛන හා පරිබ්‍රාජක සම්ප්‍රදාය ය. නමුත් ඔවුනගේ ක්‍රියා පිළිවෙළ සංවිධානාත්මක වූ එකක් නොවී ය.

බ්‍රාහ්මණ හා ශ්‍රමණ සම්ප්‍රදායික පසුබිමක් තුළ ආරම්භ වූ බදුු දහම වනිතාව වෙත ප්‍රවිෂ්ට වූයේ මීට හාත්පසින් ම වෙනස් වූ ස්වරූපයකිනි. ලෞකික හා ලෝකෝත්තර දියුණුව සලසා ගැනීම සඳහා පැහැදිලි මාවතක් එදා භාරතීය වනිතාව ඉදිරියේ විවර කර දීමට බුදුරදුන් සමත් විය. මේ නිසා මෙම ක්‍රියාදාමය එදවස සුවිශේෂී විප්ලවයක් විය. නිවසේ මුළුතැන් ගෙට සීමා කර තිබූ වනිතාව ඉන් බැහැරට ගෙන ලෝක සමාජය වෙත ප්‍රවිශ්ට කරලීමේ උදාර කාර්යයට අඩිතාලම දමා දුන්නේ ගෞතම බුදුරදුන් විසිනි. ඒ අනුව බුදු දහමේ ප්‍රභාව ලත් කාන්තාවට භූ®මිකා කිහිපයක් යටතේ ක්‍රියාකාරීවීමට අවස්ථාව සැලසිණි. 1. භික්ෂුණියක, 2. මවක, 3. ගෘහණියක, 4. උපාසිකාවක ලෙසිනි. මෙහිදී භික්ෂුණියක හා උපාසිකාවක ලෙස ක්‍රියාත්මක වීමෙන් ලෝකෝත්තර දියුණුවත්, මවක සහ ගෘහණියක ලෙස කටයුතු කිරීමෙන් ලෞකික ජීවිතයේ උසස් ලෙස ජීවත් වීමට අවශ්‍ය පසුබිමත් සැළසිණි.

භික්ෂුණියක හා උපාසිකාවක ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය පසුබිම සළසා දීමෙන් ගෘහ ජීවිතයක අනන්ත බාධක තුළ දෝලනය වෙමින්, නානා විධ අකටයුතුකම් වලට හසු වී තැලී පොඩිවී සිටි කාන්තාවන්ට නොමඳ අස්වැසිල්ලක් ලැබිණි. විශේෂයෙන් ම පුරුෂාධිපත්‍ය රාමුවකට කොටු වී සිටි කාන්තාවන්ට ඉන් මිදී ස්වාධීන ලෙස සිතන්නට හාා ක්‍රියාත්මක වන්නටත් අවස්ථාව ලැබුණේ මේ හේතු කොට ගෙනය.

එසේම භික්ෂුණියක හා උපාසිකාවක ලෙස ක්‍රියාත්මක වීමේ දී සමාජ උස් පහත් සාධක සැලකිල්ලට නොගත් අතර, කැපවීම, ධෛර්යය, අධිෂ්ඨානය වැනි සාධක මත තමා විසින්ම විමුක්ති සාධනය සඳහා යොමු විණි. ඒ නිසා විවිධ සමාජ ස්ථර වල ශ්‍රේණිගතව සිටි කාන්තාවන්ට එක හා සමානව සියලු වරප්‍රසාද ලබා ගැනීමේ අවස්ථාවක් උදාවිණ. එසේම ඔවුන් තමන්ට හිමි නිසිතැන ලබාගෙන සමාජයට අත්‍යුදාර සේවාවක්ද සිදු කළහ.

ස්ත්‍රීත්වය පිළිබඳ සාකච්ඡා කරන බටහිර විද්වතුන් බුදුන් වහන්සේ වනිතාවට ලබා දුන් මෙම නිදහස් තත්ත්වය සිතා මතාම අමතක කර දැමීම හෝ නොදන්නා බව නිසා සාකච්ඡා නොකිරීම හෝ කනගාටුදායක තත්ත්වයකි. නූතන බටහිර කාන්තාව සම අයිතිය ඉල්ලා හඬන මෙවන් යුගයක පුරාණ භාරතීය වනිතාව බුදු දහම තුළින් ලැබූ අපමණ නිදහස්භාවය අධ්‍යයනය කිරීම ඉතා ප්‍රයෝජනවත් ය. ගිහි ගෙයින් විනිර්මුක්තව ලෝකෝත්තර තත්ත්වයක් තුළ පමණක් කාන්තාව රඳවා තැබීමට සූදානම් නොවූ බුදු හිමියෝ භාරත වනිතාවගේ ගෘහ ජීවිතය තුළ ඇයට සුවදායිව දිවි ගෙවීමට සුදුසු පරිසරයක් ද නිර්මාණය කර දුන්හ. පිරිමින්ගේ අතකොළු බවට පත්වීම පමණක් නොව, ගැහැණු උපත පවා පිළිකුල් කළ සමාජයක කාන්තාව යනු පිරිමියා මෙන්ම එක සේ දක්ෂ, මැනවින් කටයුතු කළ හැකි බුද්ධිමත් තැනැත්තියක බව ලොවට ම ප්‍රකාශ කර සිටියහ.

මූලිකව ම ඒ සඳහා පවුල තුළ ඇයට සුදුසු තත්ත්වයක් ලබාදීම සිදුවිය. ස්වාමි - භාර්යා අන්‍යෝන්‍ය යුතුකම් වලින් බුදුරදුන් පෙන්වා දුන්නේ එයයි. එහිදී භාර්යාව ස්වාමියාට ගරුකළ යුතු බව නොව, ස්වාමියා භාර්යාවට ගරුකළ යුතු බවයි. බුදුරජාණන් වහන්සේගේ් අදහස වූයේ, එසේම භාර්යාවක ලෙස තමා ක්‍රියා කළ යුතු අන්දම ද, තම ගෞරවය හා උසස් බව රැකගෙන ක්‍රියාකළ වන්නේ කෙසේද? යන්න සත්ත භාර්යා, චතු සංවාද ආදී සූත්‍ර පැහැදිලිව දක්වා තිබේ. එයින් කාන්තාව සමාජයට පිළිලයක් නොව, අගැයීමට හා සම්භාවනාවට පත්වන අයුරින් ක්‍රියාකාරී විය යුතු අන්දම පෙන්වා දෙයි.

බුදුදහමේ ආභාෂය නිසා මවක වශයෙන් වනිතාව ලැබූ තත්ත්වයද ඉතා ඉහළ විය. මව බ්‍රහ්මයාට සමාන කිරීමත්, පූර්චාර්ය, අහුණෙය්‍ය ආදී පදවලින් ඇමතීමත් ඇය ලද තත්ත්වයේ වටිනාකම කියාපායි. පෙරදී පියාගේ ස්වාමියාගේ හා පුතුන්ගේ අණසකට යටත්ව සිටි ඇය බුදු දහමේ බලපෑම නිසා නිවසේ මිතුරියක බවට පරිවර්තනය වූවාය. (මාතාමිත්තං සකේ ඝරෙ) එමෙන් ම දරුවන් විසින් පුද සත්කාරයට, සම්මානයට ලක් කළ යුතුª තැනැත්තියක ලෙස ද නම් කැරිණි. මේ ආකාරයට ස්ත්‍රීත්වය නිසා විවිධාකාර පීඩාවට ලක් වී සිටි භාරතීය වනිතාව ඉන් මුදවා සමාජශීලි හා වටිනා තැනැත්තියක බවට පත්කළේ බුදුරදුන්ගේ් ධර්මය යි.

මහින්දාගමනයත් සමඟ ලාංකික වනිතාවට ද බුදු දහමේ ආභාෂය තුළින් භාරතීය වනිතාව ලද සියලු වරප්‍රසාද ලබා ගැනීමේ හැකියාව උදාවිණි. මේ තත්ත්වය වඩාත් ස්ථාවර වූයේ බු.ව. 237 වැන්නේදී සිදු වූ සංඝමිත්තා ගමනයත් සමඟිනි. සංඝමිත්තාවන් මෙරටට වැඩම කිරීමත් සමඟ මෙරට වනිතා සමාජය තුළ බිහිවූයේ ‘සඟමිත් සංස්කෘතියකි’ එකී සංස්කෘතිය වර්තමානයේ පවා මුළු ලෝකය තුළම කැපී පෙනෙන සංස්කෘතියක් සේ අවිවාදයෙන් සඳහන් කළ හැකිය. එම නිසා ජාතික, ආගමික, සමාජීය මෙහෙවරෙහි ලාංකීය බෞද්ධ කාන්තාව අන් කාන්තාවන්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බව පෙන්වා දිය හැකිය. එසේම ලාංකීය වනිතාවට රුචි ලෙස ස්වාධීනව කටයුතු කරන්නට සුදුසු අපූර්ව පරිසරයක් ලාංකික සමාජය තුළ මැනවින් නිර්මාණය වී තිබීම ද සැලකිය යුතු වැදගත් කරුණකි. රටේ ව්‍යවස්ථාදායකය ඇතුළු විවිධ වූ ක්ෂේත්‍ර පුරා ඇගේ දායකත්වය ලැබී තිබේ. මේ නිසා පටු අරමුණුවල සිර කරමින් ලාංකීය බෞද්ධ වනිතාවගේ නිදහස බාධා කිරීමට ලක් බොදුනු සමාජය සැහැසි වී නොමැති බව සඳහන් කළ හැකි ය.

ලාංකීය බෞද්ධ සමාජය තුළ නිර්මාණය වී ඇති ඉතා ජනපි‍්‍රය ආගමික ක්‍රියාකාරකම් පසුපස බෞද්ධ වනිතාවගේ කැපවීම බෙහෙවින්ම දැකගත හැකි ය. සංඝමිත්තාවන් නිසා අප ලද බෝධි සංස්කෘතියත්, හේමමාලාවන් නිසා ලද දළදා සංස්කෘතියත් මෙරට ආගමික විඥානය තුළට කෙතරම් කිඳා බැස ඇද්දයි සලකා බැලීම යුක්ති යුක්ත ය.

බෝධිය හා දළදාව තුළින් වියුක්තව කථා කළ හැකි ආගමික සංස්කෘතියක් ඇතිදැයි විමසා බැලීම ඉතා වැදගත්ය. ඒ තුළ ගොඩ නැගී ඇති ජන විශ්වාසය, වත්පිළිවෙත්, පුද පූජා කෙරෙහි බෞද්ධ සමාජය කොතරම් නැඹුරු වී සිටීදැයි විමසීම සුදුසු ය. මේ නිසා ලාංකීය බෞද්ධ සමාජය තුළ නිර්මාණය වී තිබෙන ආගමික පුද පිළිවෙත්, අභිචාර, විශ්වාස ආදී සියලු කාරණා සමඟ බෞද්ධ වනිතාවගේ සබැඳියාව අතිශයින් ම ඉහළ අගයකින් යුතුය.

එසේ වුවත් සියවස් කිහිපයක් බටහිර ආධිපත්‍යයේ බලපෑමට ලක්ව සිටීමට සිදුවීමත්, නූතන තාක්ෂණකරණය ඉතා වේගයෙන් රටවල් ආක්‍රමණය කිරීමේ හේතුවත් නිසා වර්තමානය වනවිට ලාංකේය බොදු වනිතාව කිසියම් වෙනස්වීමේ ප්‍රවාහයකට හසුව සිටින අයුරු දැකගත හැකි ය.

විශේෂයෙන් ම නාගරිකරණයට හා බටහිරකරණයට නතු වීම මත පැරැණි බොදු වනිතාව තුළ තිබූ සංයම බව නූතන වනිතාව තුළින් බිඳවැටී සංකර තත්ත්වයකට පරිවර්තනය වෙමින් පවතින බව පෙන්වා දීමට සිදුව තිබේ.

වේගයෙන් වෙනස් වන සමාජයක තමා වෙනස් නොවී සිටීමෙන් හුදකලා වේය යන අනියත බිය නිසාදෝ බටහිරින් එන බොහෝ දේ ඉතා ඉක්මණින් වැළඳ ගැනීමට ඇය දැඩි කැමැත්තක් දක්වන බව පෙනෙයි. එහෙත් පැරැණි වනිතාව සතුව, බුදුදහමින් පෝෂණය වී තිබූ දූරදර්ශීභාවය, අනතුරක සේයාව දැක ගැනීමේ විභවතාව, දක්ෂ බව, අනලස් බව ආදී ගුණාංග නූතන බෞද්ධ වනිතාව තුළින් ගිලිහී යන්නේ කවරකු නිසාදැයි ගැඹුරින් සිතා බැලිය යුතුව ඇත.

තම කුසින් බිහි කළ ආදරණීය දරුවන් සමඟ සිය දිවි නසා ගන්නා මවුවරුන් දරුවන් මහ මඟ දමා යන මවුවරුන් සල්ලාලයනට කිසිදු හේතුවක් නොමැතිව බිළිවන නැගණියන්, අනියම් ඇසුරට ලොල් කරනා ස්වාමි දියණියන්, ඉතා ලාබාල වියේදීම ගබ්සාවන්ට ලක්වන පාසල් සොයුරියන්, තම පෙම්වතුන්ට නිර්ලෝභීව තමන් සතු වටිනාම දේ දන් දී අවසානයේ සිය දිවි නසා ගන්නා පේ‍්‍රමවන්තියන් මේ බොදු වනිතා සමාජය තුළ නිර්මාණය වී ඇත්තේ, කුමක් හෙයින් දැයි විමසා බැලිය යුතු ය.

පැරැණි බොදු වනිතාව බුදු දහමින් උකහා ගත් අධ්‍යාත්මික ශක්තිය, පෞරුෂ ලක්ෂණ, ඉවසා දරා ගැනීමේ හැකියා නූතන වනිතාව තුළින් ගිලිහී යන්නට ආරම්භ වී තිබීම මූලික කරුණක් සේ මෙහිදී පෙන්වා දිය හැකි ය.

අද වනිතාව බෞද්ධ පෞරුෂ සාධක වෙනුවට බටහිර සංස්කෘතික සාධක උකහා ගනිමින් සිටින්නීය. බෞද්ධ පදනම වෙනුවට බටහිර සංකර වූ හරසුන් සාධක පදනම ලෙස දමා ගනිමින් සිටින්නීය. ඒ අනුව ඔවුන් බොහෝ දෙනා ‘සගමිත් සංස්කෘතිය’ අමතක කර දමා ඒ සංස්කෘතියෙන් වියුක්ත වී සිටින්නීය. සංඝමිත්තාවන් අපට දුන් සංස්කෘතියක පාඩම් අමතක කර දමා සිටින්නීය. මේ නිසා වර්තමාන බොදු වනිතාවට නැවතත් සඟමිත් සංස්කෘතිය සමඟ බද්ධ වීමේ කාලය පැමිණ තිබේ.

සඟමිත් තෙරණිය බොදු වනිතාවට කියාදුන් පාඩම්, පෙන්වා දුන් ආදර්ශ යළි සිහිපත් කර ගත යුතුව තිබේ.

ස්වාමි දියණියක ලෙස මවක ලෙස කොතරම් කැප කිරීම් කළයුතු ද යන්න අවබෝධ කර ගත යුතුව ඇත. ඉවසීමෙන්, උපේක්ෂා සහගතව, සාර දේ හා අසාර දේ පිළිබඳ ඉතා හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථා සලසා ගතයුතුව ඇත.

පවුල හා පවුලේ සමාජිකයන් සමඟ ඉතා සුහද සබඳතා වර්ධනය කර ගැනීමටත්, ගැටලු පැන නැගි විට එම ගැටලු පිළිබඳ අවබෝධයකින් යුතුව සාකච්ඡා කර බුදු දහමට අනුව විසඳා ගැනීමටත් හුරුපුරුදු විය යුතුය. සුවිශේෂවම බෞද්ධ වනිතාව යනු, අන්ධානුකරණයෙන් හැඟීම් වලට වහල් වී අදූරදර්ශී තීරණ ගන්නා තැනැත්තියක නොව, බුද්ධිමත්, වැටහීමෙන් යුතු වගකීමෙන් කටයුතු කරන ඉතා ඉහළ පෞරුෂ සාධක වලින් යුතු තැනැත්තියක බව මුළු ලොවටම පෙන්වා දීමට කටයුතු කළ යුතුය.

උඳුවප් අව අටවක


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 19 වනදා සිකුරාදා පූර්වභාග 4.4 ට ලබයි.
20 වන දා සෙනසුරාදා
පූර්වභාග 4.6 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
19 වනදා සිකුරාදාය
 

මීළඟ පෝය දෙසැම්බර්
26 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]