සැපත පිළිබඳ වගකීම මිනිසාට පැවරුණු දහම
නාරාවිල පැට්රික්
සදාචාරය යන වචනය විග්‍රහ කරතොත් එහි අදහස වන්නේ් සත් ආචාරය යනු යි.
වඩාත් සරල බසින් ගතහොත්, යහපැවැත්ම වෙතියි කිව හැකි ය. සමාජ
විද්‍යානුකූල සංකල්පයක් ලෙස ගළපා ගත්විට, එය සමාජයක යහපැවැත්ම සේ
සලකන්නට බැරිකමක් නැත.
මානව ඉතිහාසයේ අනාදිමත්කලක සිට යහපැවැත්ම සම්බන්ධයෙන් මානවයා තුළ
විවිධාකාර ව්‍යවහාර පැවැති බව පෙනෙයි. එනම් හොඳ- නරක, පින් - පව්,
චාරිත්‍ර - වාරිත්‍ර, කුසල් - අකුසල්, ශිෂ්ට - අශිෂ්ට, සදාචාර -
දුරාචාර , සුදන - දුදන ආදී වශයෙනි.
මානව ඉතිහාසයේ කවර තරාතිරමක ආගමික විශ්වාසයක් තුළ වුවත්, මෙකී හොඳ -
නරක ආදී චර්යා පිළිබඳ හැඟීම පැවැති බව පෙනෙ යි. දේවවාදී ආගම්වල පමණක්
නොව, යක්ෂ පේ‍්‍රතාදීන් ඇදහූ ආගම්වල පවා හොඳ - නරක පිළිබඳ විශ්වාසය
පැවැතිණි. දෙවියනට පුද පූජා පැවැත්වූ අතර යකුනට දොළ පිදේනි දුන්නේ ද
එබැවිනි. පිදේනිය යනුත් පූජා අර්ථයෙන් දෙන ලද්දේ ය. මිනිසා විසින් මේ
සියලු දෑ කැරුණේ් තමන්ගේ යහපැවැත්ම පිණිස, සියලු පව් දුරුකර පින් ලබා
ගන්නට ය. යහපැවැත්ම හෙවත් සුවදායක දිවියක් ගත කරන්නට කවර ජීවියකුට
වුවත් සදහට ම ජීවන අරගලයක යෙදෙන්නට සිදුවන බව පෙනේ. ඇතැම් විට එය සනාතන
අරගලය ලෙස ද හඳුන්වා ඇත.
මිනිස් ඉතිහාසයේ නොයෙක් ලෙස හැඳින්වෙන යුග ගැන සලකන විට පෙනෙන්නේ, ඒවා
නම් කර ඇත්තේ සුව පහසු දිවියක් ගත කරන්නට හැකි වන බව සිතා තෝරා ගැනුණු
වෘත්තීන් අනුව වන බව යි. දඩයම් යුගය, එඬේර යුගය, ගොවි යුගය යැ යි කීවත්
ශිලා යුගය, තඹ යුගය, ලෝකඩ යුගය, යකඩ යුගය යැ යි කීවත් ඒ කවරකින් වුවත්
පෙනෙන්නේ සුව පහසු ජීවිතයක් වෙත පිය නැඟූ ගමන්මඟ යැ යි කීම සාධාරණ ය.
එහෙත් කිසි දාක මානවයා ඒ එකකින්වත් තෘප්තිමත් වූයේ නැත. ඉන්
කියැවෙන්නේ් කිසි දාක මානවයා නිවී සැනසීමක් ලබා නැති බව යි.
ජීවත්වීම පිණිස පහසු යැ යි සැලකෙන නව මං පෙත් සොයත් සොයත් ම සොබාදහම
විසින් එයට සමානුපාතිකව විවිධ බාධක පමුණුවන ලදී. වරෙක මහ වනයේ හටගත්
ළැව් ගින්නක් මානවයාට යැපෙන්නට තිබුණු සියලු සම්පත් දවා හළු කළේ ය.
වරෙක සිය දහස් ගණනකින් යුතු ගව, එළු, බැටළු රැළ මහ ගංවතුරකින් ගසාගෙන
ගියේ ය. නැතහොත් මැනවින් පැසී රන්වන් කරලින් බර වූ කෙත්යාය යටකර දැමිණ.
විටෙක මේ සියල්ල සුන්නද්දූලි වී ගියේ මිනිසා ද සමඟ ය.
එවන් කටුත අත්දැකීම් වලින් වෙහෙසට පත් මානවයා සිතුවේ කිසියම් අදිසි
බලවේගයක් විසින් තමාට දඬුවම් දෙන්නට එවන් දෑ කරන බව යි. සොබාදහමේ
ශක්තිය තේරුම් ගන්නට ඔහුට හැකි වූයේ නැත. වරෙක මේ ශක්තිය අධිබලැති
සංවේතනීකරණයක් හෙවත් පුරුෂත්වාරෝපණයක් කර ඇති බව සෘග් වේදයේ පුරුෂ
සූක්තයෙන් මැනවින් ගම්‍ය වෙයි. අන්තිමට ඒ මහා පුරුෂයා දේවත්වයට පත්ව
සිටී. ඒ තවත් දෙවියකු බිහි වූ එක් ආකාරයකි.
දේවවාදී ආගම්වල, යහපත් බවේ හෝ සාධාරණත්වයේ උල්පත දෙවියන් වහන්සේ ය.
මිනිසාට යහපැවැත්ම ප්‍රදානය කරන්නේ, උන්වහන්සේ විසිනි. ඒ ප්‍රදානය
ලැබෙන්නේ දෙවියන් වහන්සේට කීකරු වීමෙනි. ඇතැම් විට බැතිමතා තුළ එයට
අදාළ කීකරුකම තිබේ දැයි උරගා බලන්නට දෙවියන් වහන්සේ පරීක්ෂණ පවත්වා ඇත.
මෙවන් සිදුවීමක් බයිබලයේ පරණ ගිවිසුමේ සඳහන් වෙයි. ආබ්‍රහම්, යේසුස්
වහන්සේගේ පිය පරපුරේ ආදි හතළිස් වැනි මුත්තා ය. තමා කෙරෙහි ආබ්‍රහම්ගේ
කීකරුගම මඟින් ඔහුගේ් යහපත්බව පරීක්ෂා කරන්නට දෙවිඩන් වහන්සේට වුවමනා
විය. ඒ අනුව උන්වහන්සේ ආබ්‍රහම්ගේ පුතා වන ඊසාක් දර සෑයක් මත නංවා ගිනි
මොළවා බිලි පූජාවක් කරන ලෙස ඔහුට නියෝග කළහ. ඉක්බිති අත් පා බඳීනු ලැබූ
ඊසාක්, දර සෑය මත තැබූ ආබ්‍රහම් ඔහුට ඇන මරන්නට පිහිය එසැවී ය. එහෙත්
එයින් දෙවියන් කෙරෙහි ආබ්‍රහම්ගේ කීකරුකම ඔප්පු වූයෙන්, උන්වහන්සේ දේව
දූතයකු මගින් ආබ්‍රහම් නතර කරනු ලැබී ය.
දේවවාදී ආගම්වල මූලිකතම සිද්ධාන්තය වන්නේ මානවයාගේ පැවැත්ම පිළිබඳ
සමස්ත වගකීම හා අයිතිය රඳා පවත්නේ දෙවියන් වහන්සේ අත බව යි. ඒ දෙවියන්
වහන්සේ විසින් මානවයා මවන ලදැ යි සිතන හෙයිනි. එබැවින් මිනිසා
නිරන්තරයෙන් දෙවියන් සතුටු කරන්නට ඉවරයක් නැති දේ කරති. එවිට යහපැවැත්ම
හෙවත් සදාචාරය වන්නේ එය වෙති යි මිනිස්සු සිතන්නට පුරුදු වී සිටිති.
එබැවින් අපි දෙවියන් වැඩ වසති යි කියන තැන් සොය සොයා යමු. පුද පූජා
පවත්වමු. යාතිකා කරමු. යකඩ කොකුවල එල්ලී වද විඳිමු. බලි අරිමු. තොවිල්
කරමු. සිය බිරියකට දරුවන් ලබා දෙන ලෙස දෙවියන් යදිමු. ලිංග පූජාව පවා
බිහි වූයේ එමඟිනි. අපේ සතුරන් වනසා දමන ලෙසට පළි ගසමු. ඉතින් දෙවියෝ
සිටිත්නම්, මේ කියන දේවල් ඉටු කරන්නේ කෙසේ දැයි අන්දමන්දව, මේ
කරදරකාරයන් මවා තමන් කර ගත්තේ් මොන තරම් වින්නැහියක් දැ යි සිතා කම්පා
වනු ඇත.
මේ කවර දැයිනුත් පෙනී යන්නේ තමන්ගේ් යහපැවැත්ම හෙවත් සදාචාරය පිළිබඳ
වගකීම දෙවියකු , බ්‍රහ්මයකු, යමයකු හෝ වෙනත් එවන් කිසියම් අදිසි
බලවේගයක් විසින් මෙහෙයවනු ලබතැ ය සිතු මානවයා එහිලා තමන් විසින් කළ
යුතු යමක් නැතැයි සලකා සිය ඉරණම දෙවියන් පිට පටවා කර ඇරීම යි.
එහෙත් හැම කෙනෙකු ම එසේ කර හරින්නට සූදානම් වූයේ නැත. කාලයාගේ් ඇවෑමෙන්
ඉඳහිට මිනිසෙක් යථාර්ථ ගවේෂණයට සිත යොමු කළේ ය. මානව ඉතිහාසයේ අන්හැම
පරදවා එසේ නැගී සිටි පුද්ගලයෙක් අපට හමුවෙයි. එනම් සිද්ධාර්ථ ගෞතමයෝ ය.
උන්වහන්සේ ඉදිරිපත් කළ ධර්ම මාර්ගය සදාචාරය හෙවත් යහපැවැත්ම පදනම් කර
ගත්තකි යි සිතේ.
උන්වහන්සේ විසින් යහපැවැත්ම සඳහා ශික්ෂණ මාර්ගයක් හඳුන්වා දී ඇත. එය
සීල, සමාධි, ප්‍රඥා නමින් දැක්වෙන ත්‍රිශික්ෂාව යි. එනම් සිද්ධාන්තය
යි. ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙස විවරණය කර දැක්වෙන්නේ ද එය යි. එය
ප්‍රතිපදාව යි, එනම් පිළිවෙත් මඟයි.
ශීල ශික්ෂණය සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව ලෙසත්, සමාධි
ශික්ෂණය සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ලෙසත් ප්‍රඥා ශික්ෂණය
සම්මා දිට්ඨි, සම්මා සංකල්ප ලෙසත් හඳුන්වා දී ඇති බව අපි දනිමු. මේ
සමස්ත ශික්ෂණය කායික, වාචසික හා මානසික ක්‍රියාවලිය සමග බද්ධ වූවකි.
එනම් කාය කර්ම, වාග් කර්ම හා මනෝ කර්ම විසිනි. මේ ක්‍රියාවලියෙහි කවර
ආකාරයකින්වත් පාරලෞකික හෙවත් ලෝකෝත්තර අන්තර්ගතයක් නැත. හුදෙන් ඓහලෞකික
ය, පුද්ගලබද්ධ ය, එනම් මානුෂිය ද වෙයි.
බ්‍රහ්මයා හෝ වෙනත් දෙවියකු විසින් මවනු ලැබ ආධිපත්‍යය පැවැත්විණැයි යන
සම්මතයෙහි අරටු බැසගත් ලෝකයෙහි, මිනිසකු නැඟී සිට ‘අග්ගෝහමස්මි ලෝකස්ස’
යැයි නඟන ලද හඬෙහි ගම්භීරාර්ථය, විස්මය දනවයි ‘දුල්ලහඤ්ච මනුස්සත්තං’
යැ යි ඒ හඬින් ම කියා ඇති කල්හි, එහි විශේෂත්වය තේරුම් ගැනීමට අපට හැකි
විය යුතු ය. ඇයි ද යත්, ඒ මනුෂ්‍යත්වයේ මහිමය හඳුනා ගන්නට ඕනෑ ම
මිනිසකුට හැකි වනු පිණිස ඒවා ප්‍රකාශ වී ඇති බැවිනි.
බෝ මැඩ විප්ලවය මඟින් මෙයින් වසර 2600 කට පමණ පෙර සිද්ධාර්ථ ගෞතමයන්
වහන්සේ විසින් ලෞකිකත්වය හෙවත් ලෝක ස්වභාවයත්, එතුළ මානවයාගේ
අනන්‍යතාවයත් විවරණය කර දක්වා ඇත. එදා මෙදාතුර මානවයා විසින් අත්පත්
කරගෙන ඇති ඥාන සම්භාරය මෙතෙකැ යි කියා නැත. ලෝකයත්, තමාත් විෂයයෙහි ඔහු
ලබා ඇති අත්දැකීම් සුනිශිත ය. එනම්, දියුණු තියුණු ය.
ත්‍රිශික්ෂා පදනමෙහි තබා ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඇසුරින් බුදුන් වහන්සේ
ඉදිරිපත් කර ඇත්තේ, මිනිසා විසින් සිය ජීවන ගමන පිණිස අනුගමනය කළ යුත
අඛණ්ඩ කාර්යාවලියකි. කර්ම පටිපාටියකි.
එය උන්වහන්සේ විසින් අත්දුටුවකි. උන්වහන්සේ දෙවියෙක්, බ්‍රහ්මයෙක් හෝ
වෙනත් අදිසි අමනුෂ්‍යයෙක් නොවේ. උන්වහන්සේ ඉදිරිපත් කළ කර්ම මාර්ගය,
මිනිස් ආත්මයක් ලද්දකුට මිය අන් කවර ජීවියකුටවත් ප්‍රායෝගික කළ හැකි
දෙයක් නොවන බව පෙනේ. ඇයි ද යත්, ‘මනං උස්සතීති මනුස්ස’ වන හෙයිනි.
එය පැහැදිලි ලෙස ම චුල්ලකම්ම විභංග සූත්‍රයේ බුද්ධ භාෂිතයෙන් ම මෙසේ
දැක්වෙයි.
‘කම්මස්සකා මානව සත්තා, කම්ම දායාදා, කම්ම යෝනි, කම්ම බන්ධු, කම්ම
පටිසරණා, කම්මං සත්තේ විභජති යදිදං හීනප්පණීතතාය’
‘මානව සත්ත්වයෝ කර්මය ධනය කොට ඇත්තෝ ය. කර්මය සිය උරුමට කොට ඇත්තෝ ය.
කර්මය උත්පත්ති මූලය කොට ඇත්තෝ ය. කර්මය සිය නෑයා කොට ඇත්තෝ ය. කර්මය
එක ම පිළිසරණ කොට ඇත්තෝ ය. තවද කර්මය තෙමේ සත්ත්වයන් උස් පහත් කොට
බෙදන්නේ ය.
සැබවින්ම මේ බුද්ධ භාෂිතයේ ඇත්තේ ලෝකෝත්තර අර්ථයක් නොවෙයි. එය හුදෙක්
ඓහලෞකික ය. එනම් නාමරූප කර්මකාරිත්වය හා ප්‍රතිබද්ධ ය. වඩාත් විවරණය
කළහොත් මනෝ විඥානය හා චක්ඛු, සෝත ඝාණ, ජිව්හා, කාය ආදි ෂඩ් ඉන්ද්‍රිය
වින්දනය සමඟ බැඳුණේ්ය. එය ද, කුසල කර්මය හා අකුසල කර්ම විසිනි. එය නැවත
ත්‍රිද්වාර භාවිතයෙන්, කායික කුසලකර්ම, වාචසික කුසල කර්ම, මනෝ කුසල
කර්ම හා කායික අකුසල කර්ම, වාචසික අකුසල කර්ම, මනෝ අකුසල කර්ම ලෙස
ප්‍රායෝගික වන්නේ ය.
ඒ කෙසේ ද යත්, මෙසේ ය.
ඉන්ද්‍රියානි මනුස්සානං
හිතාය අහිතාය ච
අරක්ඛිතානි අභිතාය
රක්ඛිතානි හිතාය ච
ඉන්ද්‍රියයෝ මිනිසාට හිත පිණිසත්, අහිත පිණිසත් වෙත්. මැනවින්
නොහික්මවන ලද ඉන්ද්‍රියයෝ ඔහුගේ අයහපත පිණිස වෙත්. හික්මවන ලද්දාහු
යහපත පිණිස වෙත්.
සිද්ධාන්තයම වශයෙන් ගත් කළ බුදුදහම විරාගි දර්ශනයකි. එය ප්‍රායෝගික
කැරෙන්නේ විරාගි චරණය මඟිනි. ඒ චරණය ශික්ෂණය කොට සත් ආචාරයක් බවට පත්
කැරෙන්නේ ශීල, සමාධි, ප්‍රඥා නම් වූ ත්‍රිශික්ෂණ භාවිතයෙනි.
මේ අනුව බුදු දහම කර්මවාදය තුළ සදාචාර ධර්ම මාර්ගයක් වන බව පෙනේ. එනම්
මානවයාගේ යහපැවැත්ම පිළිබඳ ආචාර ධර්ම පද්ධතියකි.
කාය, වාග්, මනෝ කුසල කර්මය ම, සදාචාර ධර්ම මාර්ගයක් වන බවට පැහැදිලි
සාධක බුද්ධ භාෂිතයේ අපමණක් තැන් වලින් උපුටා දැක්විය හැකි ය.
චේතනාහං භික්ඛවේ කම්මං වදාමි
චේතයිත්වා කම්මං කරෝති
කායේන වාචාය මනසා
මහණෙනි, මම චේතනාව කර්මය යැ යි කියමි. සිතින් සිතා, කයින් වචනයෙන් හා
මනසින් කර්ම කරනු ලැබේ.
චිත්තේන නීයති ලෝකෝ
චිත්තස්ස පරිකස්සති
චිත්තස්ස ඒක ධම්මස්ස
සබ්බේව වසමන්වගු
ලෝකය සිතින් මෙහෙයවනු ලැබේ. ලෝකය සිතට ම ඇදගනු ලබයි. එක ම ධර්මය වූ
සිතට මුළු ලොව වසග වන්නේ ය.
‘චරථ භික්ඛවේ චාරිකං, බහුජන හිතාය, බහුජන සුඛාය, ලෝකානුකම්පාය, අත්ථාය,
හිතාය, සුඛාය, දේව මනුස්සානං..... ආදී විසින් ප්‍රථම සැට නමක් වූ
භික්ෂූ පිරිසට දුන් අවවාදයෙනුත් එය මොනවට සාධනය වෙයි. |