ගිහියන් ඉදිරියේ
භික්ෂූන් වහන්සේ නැගී සිටිය යුතු නෑ
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
හේනේගෙදර හේමසිරි හිමි
මෙරට නිතර කතා කෙරෙන මාතෘකාවක් මේ දිනවල වඩාත් ආන්දෝලනයට ලක්ව ඇත.
එනම් භික්ෂුව ගිහියන් ඉදිරියේ නැගී සිටිය යුතු ද නැද්ද යන්න යි. මේ
පිළිබඳ වැඩි විස්තරවලට නො ගොස් අපෝ රාජ්‍ය ඉතිහාසයේ නුවර යුගය ගැන
සිහි කරවීම සුදුසු ය.
මෙරට යළි භික්ෂූ උපසම්පදාව ඇති කිරීමට ක්‍රියා කළ කීර්ති ශ්‍රී රාජසිංහ
රජුගේ එක්තරා අත්දැකීමක් ගැන සරණංකර සංඝරාජ සමය ග්‍රන්ථයේ එයි. ගිහි කල
රජු එන විට නැගිට ආචාර කොට පුරුදු එක්තරා භික්ෂුවක් රජු දැක නැගී
සිටියහ. මෙම අවස්ථාවේ රජු මහත් කම්පාවට පත්වූයේ ය. හේතුව එය බුදු සසුනට
මහත් අපහාසයක් වීමයි. ‘රජු වුවත් ගිහියකු ඉදිරියේ භික්ෂුව නො නැගිටිය
යුතුය’ යනු එ රජුගේ අදහස විය. ධර්මාශෝක රජු මහා අධිරාජයෙකි. දැනට ඇති
ඉන්දියාවට වඩා විශාල ප්‍රදේශයක් එකල ඔහු යටතේ පැවතිණි.
එතරම් ප්‍රබලයකු පවා බෞද්ධ භික්ෂුවක් ඉදිරියේ ක්‍රියාකළ ආකාරය අපගේ
වංස කතාවල සඳහන් වේ. සත් වයස් නිග්‍රෝධ සාමණේරයෝ ධර්මාශෝක රජුගේ
මාලිගයට වැඩියහ. සුදුසු අසුනක් බලා වැඩ සිටින්න යැයි රජු උන්වහන්සේගෙන්
ඉල්ලා සිටියේ ය. වෙනත් භික්ෂුවක් එහි නො සිටි හෙයින් රජුගේ අතට
පාත්‍රය දීඋන්වහන්සේ සිංහාසනයේ වාඩි වූහ. මුළු මහත් අධිරාජ්‍යයක
අධිපතියා සත් වයසේ සාමණේරයන්ගේ පාත්‍රය තම අතට ගත්තේ ය. රජු එම
අවස්ථාවේ සාමණේරයන් රජ මාලිගයෙන් එලවා දැම්මේ නැත. ඔහු අධිරාජ්‍යයකු
වුවත් භික්ෂුවට වඩා පහත් අයකු බව දැන සිටියේ ය. මෙරට සිටි දෙවන පෑතිස්
රජ ඔටුනු පැළැන්දේ ධර්මාශෝක රජුගේ උපදෙස් අනුව බව වංසකතාවෙන් අනාවරණය
වේ. එසේනම් ධර්මාශෝක රජුටත් වඩාත් බල සම්පන්න අයෙක් අද මෙරට සිටිද්ද?
මේ කරුණු තේරුම් ගැනීමට නො හැකි ඇතැම් අය සුද්දාගේ දේ හිසින්
පිළිගනිති. ඇමරිකා කොඩිය හිසට තබා ගනිති. දිනපතා එංගලන්තය දෙසට දන නමා
වඳිති. සමහරු ලෙනින්ගේ රූපයට මල් පුදති. රුසියාවේ මිනිස්සු ලෙනින්ගේ
පිළිරුව කඩා දමා මඩ වළකට දැමූහ. මෙරට සිංහලයෝ කලිසම් කෝට් ඇඳ මඟුල්
පෝරුවට නගිති. ඇතැම් විදේශිකයෝ සිංහලයාගේ ජාතික ඇඳුම ඇඳ මෙරට දී මගුල්
පෝරුවේ සිට කසාද බඳිති. මෙරට ඇතැම් දෙනා ඉවත දමන මෙරට සංස්කෘතික හර
පද්ධතීන් ඇතැම් විදේශියන් මහත් කොට අගේ කරන බවට බොහෝ උදාහරණ ඇත.
එසේ ම මෙරට ඇතැම් ඉහළ තනතුරුවල සිටින පුද්ගලයෝ භික්ෂුව ගිහියන් ඉදිරියේ
අපහාසයට ලක් කිරීමට විවිධ රෙගුලාසි සොයති. එබැවින් භික්ෂුව ද තමා කවුද
යන්න තේරුම් ගත යුතුය. භික්ෂුව නැගී සිටින්නේ තෙරුවන ඉදිරියේ පමණි.
නමුත් රජයේ නීතිය අනුව ක්‍රියා කිරීමටද භික්ෂුව බැඳී සිටියි.
‘අනුජානාමි භික්ඛවේ රාජානං අනුවත්තිතුං’ මෙය ප්‍රසිද්ධ පාඨයකි. නමුත්
‘ගිහියන් ඉදිරියේ භික්ෂුව නැගී සිටිය යුතු යැයි’ ඉන් නො කියවේ. ඉන්
කියවෙන්නේ රටෙහි පවතින සාමාන්‍ය නීතියට ගරු කිරීමකි. ගරු කිරීම යනු
අනුගමනය කිරීමයි. උදාහරණ වශයෙන් ගස් කැපීම පිළිබඳ නීති මාර්ග නීති
භික්ෂුව විසින්ද අනුගමනය කළ යුතු ය.
දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවම් ලැබිය හැකි වරද නො කිරීම ආදිය නීතියට
ගරු කිරීමයි. එකී නො කී සියලු නීති අනුගමනය කළ ද භික්ෂුව ගිහියන්
ඉදිරියේ නැගී සිටිය යුතු යැයි ඉන් නො කිය වේ. ගිහියන් ඉදිරියේ නැගී
සිටිය හොත් එය භික්ෂූත්වයට නිග්‍රහයකි. යම් ගිහියකු ඉදිරියේ ‘භික්ෂුව
නැගී සිටිය යුතු යැයි’ යම් රාජ්‍ය නීතියක් ඇති නම් භික්ෂුව එම ස්ථානයට
යා යුතු ම නම් සුදුසු අවස්ථාවේ පමණක් යා යුතුය. භික්ෂුව තමාට වඩා උසස්
වන්නේ තෙරුවන් පමණක් බව තේරුම් ගත යුතුය. භික්ෂුව තමාට වඩා
උපසම්පදාවෙන් බාල වූ රහතන් වහන්සේටවත් වන්දනා කරන්නේ් නැත. භික්ෂුත්වය
රහත් බවටත් වඩා උසස් වූවකි.
ශාසනය පවතින්නේ භික්ෂූත්වය මතවීම එයට හේතුවයි. භික්ෂූත්වයේ ඇති එම
ප්‍රෞඪබව ආරක්ෂා කළ යුත්තේ ද භික්ෂූවම ය. (එසේනම් භික්ෂුව විසින් මේ
මේ අවස්ථාවල භික්ෂුත්වයේ ඇති එම ප්‍රෞඪබව ආරක්ෂා කර ඇද්ද ආදී වශයෙන්
ප්‍රශ්න නගමින් ප්‍රස්තුතය වෙන අතකට හැරවීමත් මෙහිලා මෙයට අදාල නො
වන්නා වූ කරුණු ඉදිරිපත් කිරීමත් අනවශ්‍ය වේ.)
ඇතැම් වාමාංශික යැයි කියා ගන්නා දේශපාලන රැස්වීම්වල දී විවිධ වුවමනා
සඳහා ඇතැම් භික්ෂූන් නැගිට සිටිනු අප දැක ඇත. ඊට හේතුව ඔවුන් තමන්
භික්ෂූන් නො වන බව තමන්ම දන්නා බැවිනි. ඔවුන් බුදු රදුන්ට නො ව ලෙනින්ට
මල් පූජා කරන පිරිසකි. ඔවුන් තුළ ඇත්තේ මිසදිටු අදහස් ය.
ගිහියන් ඉදිරියේ භික්ෂුව නැගී සිටිය යුතු යැ යි යමෙක් කියන්නේ නම් ඔහු
ධර්මාශෝක රජුගේ් ක්‍රියාව හෙළා දකින්නෙකි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු
මෝඩයකු ලෙස සිතන්නෙකි. මහාවංස කතුවරයා වරදකරුවකු ලෙස දකින්නෙකි.
ධර්මාශෝක රජු සත් වියැති සාමණේරයන්ගේ පාත්‍රය තම අතට ගෙන උන් වහන්සේ
තමාගේ (රජුගේ) සිංහාසනයට නගින දෙස බලා සිටියේ යැයි සමන්ත පාසාදිකා විනය
අටුවාවේ බාහිර නිදාන කතාවෙහි ලියූ නිසා බුද්ධඝෝස තෙරණුවෝ ද බොරු
කාරයෙක් යැයි කියනු ඇත.
මේ පිළිබඳව කිසිදු භික්ෂුවක් වෙනත් අයකුගේ අදහස් සෙවිය යුතු නො වේ. ඉහළ
තැන්වලින් උපදෙස් ගැනීමක් අවශ්‍ය නැත.
තමාගේ තත්ත්වය තමා තේරුම් ගත යුතුය. ධර්මාශෝක රජු ඉදිරියේ සත් වියේ
භික්ෂුවක් කළ වීර ක්‍රියාවෙන් ද කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ මෙහි සඳහන්
කළ ක්‍රියාවෙන් ද උපදෙස් ලබා ගත යුතුය. (කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ
භික්ෂූන් හා සම්බන්ධ වෙනත් තීරණ හෝ ක්‍රියාවන් මෙහිලා අදාළ නොවේ) අපට
උපදෙස් ලබා ගැනීමට වෙනත් නායකයෙක් නැත.
එබැවින් කිසි භික්ෂුවක් කිසි ගිහියකු ඉදිරියේ නැගී සිටීම අවශ්‍ය නැත.
මුළු මහත් ඉන්දියාවට ම එක රජ වූ ධර්මාශෝකටත් වඩා උසස් අයෙක් මෙකල මෙරට
සිටිය නො හැකිය.
විදේශයක සිට මෙරටට පැමිණි මිහිඳු මිහියන් මෙරට රජුට කථා කළේ ‘තිස්ස’
කියාය. රජුගේ නම කියා ඇමතීමට වෙනත් අයෙක් මෙරට නො සිටියේ ය. රජු
පුදුමයට පත් විය. එම අවස්ථාවේ මිහිඳු හිමියන්ට රටින් පිටව යන ලෙස නියම
කළේ නැත. රජ දුනු ඊතල පසෙක දමා දණ නමා උන්වහන්සේට වැන්දේය. පෙර රජුන්
ක්‍රියා කර ඇත්තේ එසේ ය. රජු යනු එකල ව්‍යවස්ථාදායකයේ ද විධායකයේ ද
අධිකරණයේ ද ප්‍රධානියා ය. අද එබඳු බලයක් ඇත්තෙක් මෙරට හෝ වෙනත් කිසිදු
රටක සිටියි ද? නැත. එසේම මෙකල ඇතැම් බලවතුන් ඉදිරියේ ඇතැම් භික්ෂූන්
නිවටුන් වී තිබේ.
තමා ඉදිරියේ එන වැඩිමහලු භික්ෂූන් උදෙසා පවා තමුසේ ආදී ආමන්ත්‍රණ පද
යොදා කථා කරන ඇතැම් භික්ෂූන් ගිහියන් උදෙසා අතිගරු ආදී විශේෂණ පද
යොදමින් භික්ෂූත්වය හෑල්ලුවට ලක් කරන අවස්ථා ඇත. මීට වර්ෂ 15 කට පමණ
පෙර කොළඹ විසූ ඇතැම් ප්‍රධාන භික්ෂූන් පවා ගිහියන් උදෙසා ශ්‍රීමත්
ශ්‍රීමතී යන විශේෂණ පද යෙදූ බව බොහෝ දෙනාට මතක ඇත. එම වන්දි භට්ටකම්
භික්ෂූත්වයට නො ගැලපෙන බව විසුද්ධි මාර්ගයේ ශීල නිද්දේශය කියවා තේරුම්
ගත යුතුය. |