එක චක්ඛු වාදය
ලොව සුපිරි බලවතා වන ඇමරිකාව අද මුහුණ දී ඇති ආර්ථික අර්බුදය
අප සියලු දෙනා ගේ අවධානයට යොමු විය යුතු කරුණකි. එම ආර්ථික
අර්බුදය වෙත අප ගේ අවධානය යොමු විය යුත්තේ, එහි බලපෑම ශ්‍රී
ලංකාවට දැනෙන නිසා හෝ ඇමරිකාව ලෝක ආර්ථිකය හසුරුවන බලවතා නිසා
හෝ ඇමරිකානු විරෝධය නිසා හෝ නො වේ. එ මෙන් ම 1929 සිට 1935
දක්වා පැවැති ලෝක ආර්ථික අවපාතය විසින් ආඥාදායක ඇඩොල්ෆ්
හිට්ලර් බිහි කළ බව අප දන්නා නිසා ද නො වේ. අප ඒ පිළිබඳ ව
අවධානය යොමු කිරීමට හේතුව මේ සියල්ලට වඩා වැදගත් ය. මේ අර්බුදය
ප්‍රකාශ වූ ආකාරය හඳුනා ගැනීමට දැන් අපි උත්සාහ දරමු.
ඇමරිකාවේ නිවාස හා දේපළ ක්‍ෂේත්‍රයේ කළ ආයෝජන සඳහා ප්‍රමාණවත්
ඉල්ලුමක් නො ලැබීම මේ අර්බුදය මතුවීමට හේතුව යි. නිවාස හා දේපළ
ක්‍ෂේත්‍රයේ විශාල වශයෙන් ආයෝජනය කළ සමාගම් මුහුණ දුන් මූල්‍ය
අර්බුදය නිසා බැංකු ණය ගෙවා ගත නො හැකි විය. එ මඟින් ඇමරිකානු
බැංකු ද මේ අර්බුදයේ කොටස් කරුවන් බවට පත් වී තිබේ. ලෝකයේ උකස්
වෙළෙඳපොළෙන් අඩකට හිමිකම් කියන ෆ්‍රෙඩී මැක් හා ෆැනී යන සමාගම්
දෙක විශාල මූල්‍ය අර්බුදයකට ගොදුරු වීමත් සමඟ ඇමරිකාවේ කොටස්
වෙළෙඳපොළ ද කඩා වැටිණ. මේ මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඩොලර්
බිලියන 700 ක මුදල් ප්‍රදානයක් කිරීමට බුෂ් පරිපාලනය කටයුතු
යොදා තිබේ. එහෙත්, ඇමරිකාව ගොදුරු වී ඇති අර්බුදයෙන් මිඳීමට එය
ප්‍රමාණවත් ද යන්න සැකයකි.
අප මෙහි සඳහන් කළ කරුණු ඇමරිකානු ආර්ථික අර්බුදයේ සැබෑ කතාව නො
ව එය ප්‍රකාශ වූ ආකාරය යි. මෙහි දී අප ගේ අවධානය යොමු විය යුතු
තවත් කරුණු රාශියක් තිබේ.
ඇමරිකාව වසරකට අපතේ හරින ආහාර ප්‍රමාණයෙහි වටිනාකම ඩොලර්
බිලියන 69 ක් යැයි ගණන් බලා ඇත. 2005 වසරේ ශ්‍රී ලංකාවේ දළ
ජාතික ආදායම ඩොලර් බිලියන 22.8 ක් බව සලකා බැලූ විට මෙය කෙ
තරම් බරපතළ ප්‍රශ්නයක් ද යන්න වටහා ගැනීමට පුළුවන. අධි
පරිභෝජනවාදී අවශ්‍යතා සඳහා ඇමරිකාව විසින් අනුගමනය කැරෙන
දේශපාලන ප්‍රතිපත්ති හා යුදවාදී උපාය මාර්ග නිසා ලෝකයට අත් වී
ඇති ඉරණමට ඉරාකය හා ඇෆ්ගනිස්ථානය හොඳ උදාහරණ වේ. ඉරානය ද
ඇමරිකාවේ ප්‍රහාරයකට ලක් වීමේ තර්ජනයට මුහුණ පා සිටින රටකි.
කියුබාව සම්බන්ධයෙන් ඇමරිකාව අනුගමනය කැරෙන පිළිවෙත ද ඉතා දැඩි
ය. වෙනිසියුලාවේ ඇමරිකානු තානාපතිවරයාට එ රටින් පිට වී යන ලෙස
ජනාධිපති හියුගෝ චාවේස් නියම කිරීම, ඇමරිකාවේ විදේශ
ප්‍රතිපත්තිය ලැබූ පරාජයක් වශයෙන් සැලැකීම වරදක් නො වේ.
අධි පරිභෝජනවාදී ජීවන රටාවේ සිට අනම්‍ය රාජතාන්ත්‍රික සබඳතා
දක්වා විහිදී ගිය ඇමරිකානු සමාජ මානසිකත්වය මේ සියලු අර්බුද
සමඟ බැඳී පවතී.
ඇමරිකාව මුහුණ පා සිටින මේ අර්බුදය තේරුම් ගැනීමට දේශපාලන
විද්‍යාව හෝ ආර්ථික විද්‍යාව ප්‍රමාණවත් නැත. මෙය, බුදු දහම
අනුව තේරුම් ගැනීම ඉතා පහසු බව අප ගේ හැඟීමයි.
අංගුත්තර නිකායේ තික නිපාතයේ පුග්ගල වග්ගයෙහි එන ද්වි චක්ඛු
සූත්‍රය මෙහි දී අපට කදිම මඟ පෙන්වීමකි. එම සූත්‍රය අනුව
පුද්ගලයෝ ති දෙනෙක් විද්‍යමාන වෙති. එකෙක් ඇස් දෙක ම නැත්තා ය.
(අන්ධෝ) එකෙක් එක් ඇසක් ඇත්තෙකි. (එක චක්ඛු) අනෙක් තැනැත්තා
දෑස ම ඇත්තා ය. (ද්වි චක්ඛු)
බුදු රදුන් ගේ අවවාදය අනුව, අන්ධයා ද එකැස් ඇත්තා ද දුරින්
දුරු කළ යුතු ය. දෑස් ඇත්තා ශ්‍රේෂ්ඨ පුද්ගලයා ය. ඔහු ඇසුරු කළ
යුතු ය.
භෝග ඉපයීම, වැඩි දියුණු කැර ගැනීම යනු භෞතික, ආර්ථික දියුණුව
සලසා ගැනීම ය. එය එක් ඇසක් ඇති බව ය. කුසල්, අකුසල්, හීන
ප්‍රණීත දහම්, කළු සුදු දහම් දැනීම නම් අධ්‍යාත්මික දියුණුව
ලබා ගැනීමයි. එය අනෙක් ඇස ය. මෙහි දී ඇස් දෙක ම නැතිවීම මෙන් ම
එක් ඇසක් පමණක් තිබීම ද ප්‍රමාණවත් නැතැයි පෙන්වා දී තිබේ. එක්
ඇසක් ඇති තැනැත්තා දුරින් දුරු කළ යුතු වන්නේ මේ නිසා ය.
එක් ඇසක් ඇති තැනැත්තකු වැනි ඇමරිකාව මේ ආර්ථික අර්බුදය නොමැති
වූව ද අර්බුදයට ගොදුරු වූ රටකි. එහෙත්, ඇතැම් ශ්‍රී ලාංකික
බෞද්ධයන් ද පරමාදර්ශී රාජ්‍යය ලෙස තෝරාගෙන ඇත්තේ ඇමරිකාව ය. එම
ප්‍රතිපත්තිය, අන්ධයා, එකැස් ඇත්තකු තෝරා ගැනීම වැනි ය. |