UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ජීවිතයේ අග්‍ර ඵලය දෙන ගනුදෙනුව සිදුවිය යුතු හැටි

බුදු සසුනෙහි බුද්ධ, ධම්ම, සංඝ යනුවෙන් රත්න තුනකි. දානාදී පාරමිතා පූරණය කර ලබාගත් ශක්තිමත් පදනම මත සිට සිල්වත්කම මත පිහිටා ඇතිවන චිත්ත සමාධිය තුළ රෝපණය කරන ප්‍රඥාව නමැති බීජයේ අග්‍රඵලය නිවන යි. එය ස්වශක්තියෙන් ලබාගත් පුද්ගලයා බුදුරජාණන්වහන්සේ යි.

ධර්ම රත්නය වනාහි තමන් ලැබුවා වූ විමුක්ති සැපය ලෝක සත්ත්වයාට ද ලබාදීමේ අරමුණෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ සඳහා වූ මාර්ගය අන්තර්ගත වූ ධර්මය යි. සංඝ රත්නය යනු, එම මාර්ගයෙහි යමින් අන් අයද එම මඟට යොමු කරමින්, ධර්මය රැක ගෙන ක්‍රියාකරන පිරිස යි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය හඳුනා ගැනීමේ අවස්ථාව, හැකියාව ලැබෙන්නේ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා මගිනි. බුදුරජාණන් වහන්සේ ද මුල්ම අවස්ථාවේදී අල්පෝත්සාහී වී පසුව ලෝක සත්ත්වයා කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දේශනාව ආරම්භ කර වසර හතළිස් පහක් පුරා දේශනා හා සාකච්ඡා මගින් නිවන ලබා ගන්නා ආකාරය නොයෙක් අයුරින් පෙන්වා දී ඇත.

පසේ බුදුරජාණන් වහන්සේ හැර අන් අයට නිවන් ලබා ගැනීමට පිහිටවන්නේ ධර්ම ශ්‍රවණය යි. මේ ආදී කරුණු දෙස අවධානය යොමුකරන විට පෙනී යන්නේ ධර්ම දේශනාව හා සාකච්ඡාවට ධර්මය අවබෝධ කර ගැනීමේදී ප්‍රධාන ස්ථානයක් හිමි වන බවයි.

ධර්මය අතුරුදහන් වීමට හේතුවන කාරණා කිහිපයක් ඇත.

1. නවාංග ශාස්තෘ ශාසනය ප්‍රගුණ නොකිරීම

2. ප්‍රගුණ කළ ධර්මය අනුන්ට දේශනා නොකිරීම

3. ප්‍රගුණ කළ ධර්මය විස්තර වශයෙන් අනුන්ට වාචිකව ප්‍රගුණ නොකිරීම ආදිය යි.

එමෙන්ම මංගල කාරණා දක්වන අවස්ථාවේදී සුදුසු කල්හි ධර්ම සාකච්ඡා (කාලෙන ධම්ම සාකච්ඡා) සුදුසු කල්හි දහම් ඇසීම (කාලෙන ධම්ම සවනං) පුද්ගලයාගෙ අභිවෘද්ධියට හේතුවන බව දක්වයි.

ලෝකයේ පිළිසඳර වර්ග දෙකකි. එනම් ආමිස පටිඝන්‍ථාර ධම්ම පටිඝන්‍ථාර වශයෙනි. පටිඝන්‍ථාර යනු මිත්‍රභාවයෙන් පිළිගෙන සංග්‍රහ කිරීමයි. ඒ අනුව ධර්ම පටිඝන්‍ථාරය යනු ධර්මයෙන් මිත්‍රයාට සංග්‍රහ කිරීමයි. ඒ අනුව ද අපට ධර්ම සාකච්ඡාවේ වැදගත්කම පෙනේ.

එසේම වරක් නන්දක හිමියන් පැවැත්වූ ධර්ම දේශනාවක් අවසානයේ බුදුරජාණන් වහන්සේ එයට ප්‍රශංසා කරමින් එක්රැස්වන පුද්ගලයන් කළ යුතුª වැඩ දෙකක් ගැන සඳහන් කරති. එනම් දැහැමි කථාව හෝ ආර්ය තුෂ්නිම්භාවය හෙවත් නිශ්ශබ්දතාවය යි. (සන්නිපතිතානං වො නන්දක ද්වයං කරණීයං ධම්මීවා කථා අරියොවා තුණ්හීභාවො)

ඉහත සඳහන් සියලු කාරණා වලින් ධර්ම දේශනයේ හා සාකච්ඡාවේ අගය වැටහෙනු ඇත. එසේම මෙහි ආනිශංස පහක්ද සඳහන් කර ඇත.

1. යම් අයෙක් යම් යම් අයුරින් මනාව ධර්මය දේශනා කරයිද, සාකච්ඡා කරයිද ඔවුහු බුදුරජාණන් වහන්සේට පි‍්‍රයමනාප වන අතර සම්භාවනාවටද පත්වෙයි.

2. ධර්මයෙහි අර්ථ ද පෙළ දහමද දැන ගැනීමට එය උපකාර වෙයි.

3. ධර්මයෙහි අවබෝධ කර ගැනීමට අපහසු තැන් විදර්ශනා ඥානය මඟින් විනිවිද දැක ගැනීමට හැකිවේ.

4. ඒකාන්තයෙන් මාර්ගඵල වලට පත්වූයේ හෝ පත්වන්නේ හෝ වන්නෝය.

5. රහත් බවට පත් නොවූ අය එය පතමින් වීර්යය කරන අතර රහත් බවට පත් වූවන් රහත් බවෙහි සුවය විඳිමින් වාසය කරයි.

ඉහත සඳහන් ආනිශංස ලබා ගැනීම සඳහා පුද්ගලයා විසින් දැන උගත් පුද්ගලයන් හා එක් වී විවෘත නොවූ ධර්මය විවෘත කරමින්, සැක මුසුතැන් ගැන ප්‍රශ්න විචාරා, ඒවා දුරුකරගත යුතුය.

ධර්ම දේශනයන්, සාකච්ඡාවන් අර්ථ සම්පන්න වීමට ශ්‍රාවකයා හා දේශකයා අතර අන්‍යොන්‍ය සම්බන්ධය ඉතා වැදගත් ය. මෙහිදී දෙදෙනාටම එය ප්‍රයෝජනවත් වීම සඳහා දෙදෙනා ආකල්ප වශයෙන් යහපත් විය යුතුය.

ධර්මය නිසි ලෙස දැන අනුන්ට දේශනා කළ යුතුය, කරුණාව පෙරදැරිව අනුන්ට දහම් දෙසිය යුතුය, දයාව පෙරදැරිව අනුන්ට දහම් දෙසිය යුතුය.

ඉහත සඳහන් කරන ලද චිත්ත පාරිශුද්ධිය පෙරදැරිව කිසිම ආමිස බලාපොරොත්තුවකින් තොරව ධර්මය දේශනා කළ යුතුය.

එසේම ධර්මය ශ්‍රවණය කරන පුද්ගලයා ද එහි ප්‍රතිඵලය ලබා ගැනීමට සකස්විය යුතුය. එසේ නොවන්නේ නම් දහම් ඇසීමෙහි කිසිම තේරුමක් නැත. නිවන් අරමුණු කරගෙන බණ අසන කෙනාට තිබිය යුතු සුදුසුකම් රාශියකි. ඒවා නම්,

1. ආනන්තර්ය ආදී පාප කර්මයක් නිසා නියත වශයෙන්ම අපායගාමි වන කෙනකු නොවීම

2. මිථ්‍යා දෘෂ්ටික අදහස්වලින් සිත පිරී නොතිබීම

3. ශ්‍රද්ධාවෙන් යුක්ත වීම

4. කුසල් කිරීමට කැමැත්තක් තිබීම

5. දහම් අසනු කැමැතිවීම

6. මැනවින් සවන් යොමු කිරීම

7. ධර්මය දැන ගැනීමට සිත යොමු කිරීම

8. අර්ථය බැහැර නොකර තේරුම් ගැනීම

9. ධර්ම කථාවට පරිභව නොකිරීම

10. ධර්ම කථිකයාට පරිභව නොකිරිම

11. තමන්ට බණ ඇසීමට වීම ගැන සතුටු වීම

12. එකඟ වූ නොවිසිරුණු සිතින් ධර්මය ඇසීම

13. නුවණින් දහම් ඇසීම

14. ගුණමකු සිතින් දහම් නො ඇසීම

15. වාද කිරීම සඳහා අවශ්‍ය කරුණු සොයා ගැනීමට දහම් නො ඇසීම

16. නොදත් කරුණෙහි ‘දනිමි’ යන මානයෙන් යුක්තව බණ නො ඇසීම

17. පැහැදුණු සිතින් සිත සකසා බණ ඇසීම

18. සිත සකසා ධර්මය පුහුණු කිරීම

19. ධර්මයෙහි අර්ථ පරීක්ෂා කිරීම

20. බණ අසා, අර්ථ දැන ඒ අනුව පිළිපැදීම

මේ කරුණු වලින් යුක්තව දහම් අසන පුද්ගලයාට බණ ඇසීම අර්ථ සම්පන්න වෙයි. එම නිසා යම් අයෙක් බණ අසන්නේ නම් ඉහත කරුණු තමන් තුළ පිහිටුවා ගෙන එම කටයුත්ත කළ යුතුය.

ඉහත කාරණා සියල්ල කෙරෙහි අවධානය යොමුකරන විට අපට පෙනී යන්නේ නිවන් ලබා ගැනීමේ අරමුණ ඇති පුද්ගලයාට ධර්ම දේශනාව හා සාකච්ඡාව ඉතා වැදගත් වන අතර එහිදී ශ්‍රාවකයා හා දේශකයා මනා හික්මීමකින් එම කටයුත්තෙහි යෙදිය යුතු ය.

හත දැක් වූ කාරණාවලින් දේශකයාගේ හා ශ්‍රාවකයාගේ අරමුණු මුදුන්පත්වන අතර, එහි ඵලය වන්නේ නිර්වාණ ප්‍රතිලාභය යි. එසේ නොමැති නම් නිවන් මාර්ගයෙහි ගමන් කිරීම සඳහා වූ ශක්තිය ලැබීමයි.

එම නිසා දහම් දේශකයාත්, එය ශ්‍රවණය කරන පුද්ගලයාත් ඉහත දැක් වූ ගුණාංග තමන් තුළ ඇතිකර ගත යුතුය. එය දෙදෙනාටම ප්‍රයෝජනවත් වන අතර, නිවන ලබා ගැනීමට හේතුවෙයි.

බිනර අමාවක පෝය


බිනර අමාවක පෝය සැප්තැම්බර් 28 වන දා ඉරිදා අපර භාග 1.50 ට ලබයි. 29 වන දා සඳුදා අපර භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් 28 වන දා ඉරිදා ය.

මී ළඟ පෝය ඔක්තෝබර් 7 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 14

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]