උන්මාද චිත්‍රා හා නයෝමි
පසුගිය අගෝස්තු මස 08 වන දා සිට සිනමාශාලා 38 ක
ප්‍රදර්ශනය ඇරැඹි ජැක්සන් ඇන්තනි ගේ අබා චිත්‍රපටය දින 42 ක්
තුළ නරඹා ඇති සංඛ්‍යාව 948, 674 ක් වන අතර, එම කාලය තුළ උපයා
ඇති ආදායම රුපියල් ලක්‍ෂ 882 ක් යැයි සැප්තැම්බර් මස 22 වන දා
දිනමිණ වාර්තා කැර තිබිණ. මෙය, සිංහල සිනමාපටයක් ලැබූ විශාල
ජයග්‍රහණයක් බව ඇත්ත ය. එහෙත් අපට අබා වැදගත් වනුයේ ඒ අර්ථයෙන්
නො ව වත්මන් සමාජය කියැවීමට ලැබුණු මහඟු අවස්ථාවක් වශයෙනි. අබා
කතා පුවත අනුව මවුවරුන් දෙදෙනකුට ම තම දරුවා තිඹිරිගෙය තුළ දී
අහිමි වේ. සිය මාමාවරුන් දස දෙනකු මරා අනාගතයේ දී රජවනු ඇතැයි
අනාවැකි පළ වී තිබීම නිසා උන්මාද චිත්‍රාවන් ගේ දරුවා වන අබා
කුමරු රැක ගැනීම පිණිස වෙනත් ගැහැනු දරුවකුට ඔහු මාරු කිරීම ඊට
හේතුවයි. උන්මාද චිත්‍රාවන් බිහි කළ අනාගත ඔටුන්න හිමි කුමාරයා
ගේ පියා දීඝගාමිණී නො ව චිත්‍රරාජ නමැති යක්‍ෂ ගෝත්‍රික
ආරක්‍ෂක නිලධාරියා බව ද චිත්‍රපටයෙන් කියැ වේ. අබා කුමරු යනු
යක්‍ෂ ගෝත්‍රිකයන් ගේ අවසාන ලේ ධාතුව යැයි කීමට තරම් එම සබඳතාව
විවෘත ය. එ සේ නම් මෙය ක්‍රි.පූ. යුගයේ මෙ රට පැවැති ලිංගික
සබඳතා හෙළි කැරෙන චිත්‍රපටයකි.
අපි දැන් අබා වැලඳ ගත් වත්මත් සමාජය දෙසට හැරෙමු. බිලිඳු
දැරියක් මුදලට විකිණීම පිළිබඳ කතා පුවතක් සති අන්ත පුවත්පත්
කිහිපයක ම ප්‍රමුඛ ස්ථානයක් දී පළ කැර තිබිණ. ‘සිළුමිණ’ එය පළ
කැර තිබුණේ මෙ සේ ය.
“නයෝමි දැඩි ආර්ථික ප්‍රශ්න මධ්‍යයේ ජීවත් වූ ගැහැනියකි. ඇය
ජීවිතේ එක් තැනක ගත කළ තැනැත්තියක ද නො වූවා ය. කුඩා කල සිට ම
දුක් කම්කටොලුවලින් පිරි ජීවිතයක් ගත කළ ඇය සැමියා ද සමඟ
සැමියා ගේ කුඩම්මා පදිංචි පුංචි කටුමැටි ගෙදරට ආවේ කලින් හිටිය
ගේ කඩා වැටීම නිසා ය.”
‘කුඩම්මා ද දරුවන් හය දෙනකුගේ මවකි. නයෝමිත් සැමියාත් පදිංචියට
ගියේ ඒ ගෙදරට ය. හරිහැටි අතපය දිග හැර නිදා ගන්නටවත් ඒ පුංචි
ගෙදරේ ඉඩකඩක් නැත. සමහර දාට කුලී වැඩක්වත් නැත. සැමියාගෙන් ද
ඇයට එ තරම් සතුටක් ලැබුණේ නැත. දවස් දෙක තුන ගෙදර නෑවිත් මඩමක
නැතහොත් හිතවතියක ගේ නිවසෙක ඇය නවාතැන් ගත්තා ය.’
‘සැමියාට දාව හැදුණු පුංචි පුතාට තවමත් වයස අවුරුදු තුනකි.
දරුවා හදා වඩා ගන්නට තරම් ශක්තියක් ඇයට නො වී ය. ඒ බර කරට
ගත්තේ ද ඇගේ ම පුංචි අම්මා කෙනෙකි. පුංචි අම්මා නයෝමි ගේ පුතා
හදා වඩා ගත්තේ තමන්ගේ ම ලෙයින් උපන් දරුවකු විලසිනි.’
“ඉඳහිට නයෝමි ගේ දුක සැප බලන්නට එන පුංචිට දැන ගන්නට ලැබුණේ
නයෝමි නැවත දරුවකු ලැබෙන්නට සිටින බව ය. ලැබෙන්නට ඉන්නා දරුවා
ගැන නයෝමි ගේ සැමියා එ තරම් සතුටක් දැක් වූයේ නැත. මෙය නයෝමි
ගේ සිතට මහත් වදයක් විය.”
“දරුවා ලැබෙන්නට මාසයකට පෙර ඇය මොරටුව පැත්තේ මඩමක නතර වූවා ය.
ඇය දරුවා බිහි කළේ කළුබෝවිල රෝහලේ දී ය. ඒ දෙදහස් අටේ ජූනි
විසිනව වන දා ය. ලැබුණු දරුවා ලස්සන කෙලි පැටික්කියකි. රෝහලේ
හෙදියන් පවා දරුවාට දැඩි ආදරයක් දැක් වූහ. දරුවාට මංජලී ලෙසින්
නමක් තිබ්බේ ද නයෝමි ය.”
එම දැරිය රුපියල් හැටපන්දහසකට විකිණීමේ චෝදනාව යටතේ මව
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කැර තිබේ. ඒ පිළිබඳ ව
සිළුමිණ කළ විමසීමකට පිළිතුරු වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයයේ
සමාජ විද්‍යා අංශයේ ආචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා මෙ සේ පවසා
ඇත.
‘මවක දරුවකු විකිණීම නරක, චර්යාධර්මයනට පටහැනි සහ බෞද්ධාගමට
පවා විරුද්ධ දෙයක් යැයි සමාජ සම්මතයක් පවතිනවා. එ නමුත් සමාජ
විද්‍යාත්මක ව මේ දෙස බැලීමේ දී අපට පෙනෙන්නේ මේ අය තම බඩවියත
රැක ගැනීම සඳහා අර චර්යා ධර්ම පවා යටපත් කැර සමාජ ව්‍යුහයේ
බලකිරීම මත මෙවන් දේට පෙළඹෙන බවයි.’
යළිත් අපි අබා චිත්‍රපටය දෙසට හැරෙමු. උන්මාද චිත්‍රාවන් හා
නයෝමිලා අතර වෙනසක් තිබේ ද? අබා කුමරු වෙනුවට තම දියණිය මාරු
කිරීමට දුන් එම මව හා නයෝමි අතර වෙනසක් තිබේ ද?
කෙ සේ වූව ද නයෝමිලාට සාධාරණය ඉටු කිරීම පිණිස උන්මාද
චිත්‍රාවන් සාක්කි කාරියක කළ අබා චිත්‍රපටයට ජාතිය ම ණය ගෙවයි.
දැන් ඉතින් තෙ වන සිල්පදය ගැන කතා කිරීම අවශ්‍ය නැති තරම් ය. |