පෙරදිග චින්තනය
ශ්‍රී ලාංකික ජන විඥානය මැනවින් හඳුනා ගැනීම සඳහා උපයෝගී කැර
යත හැකි අවස්ථා කිහිපයක් පසුගිය දින දහයක පමණ කාල පරාසය තුළ
අපට අත්විඳින්නට ලැබිණ. බීජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙහි මීටර්
දෙසීය කාන්තා ධාවන ඉසව්වේ අවසාන පූර්ව තරගයක දී සුසන්තිකා
ජයසිංහ තරග වැදුණු අවස්ථාව එක් දුලබ අත්දැකීමකි. අගෝස්තු මස 20
වන දා පැවැති එම තරග ඉසව්වට සහභාගි වූ අට දෙනකු අතුරින් ඇය
හත්වන ස්ථානයට පත්වීම නිසා ශ්‍රී ලාංකිකයන් ගේ ඔලිම්පික්
පදක්කම් බලාපොරොත්තු බොඳ වී ගියේ ය. එ සේ බලාපොරොත්තු සුන් වූව
ද සුසන්තිකා කෙරෙහි පැවැති ගෞරවනීය ආකල්පය වෙනස් වූ බවක් නො
පෙනේ. එය අවබෝධ කැර ගැනීමට සාමාන්‍ය ජනතාව දැක් වූ ප්‍රතිචාර
මෙන් ම ජාතික පුවත්පත්වල ඇය පිළිබඳ ව තබා තිබූ සටහන්
ප්‍රමාණවත් යැයි සිතමු.
අගෝස්තු මස 20 වන දා හා 24 වන දා ඉන්දියාව සමඟ පැවැති එක්දින
ක්‍රිකට් තරග දෙකෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජය හමුවේ
ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් ගේ විනීත හැසිරීම ද වර්තමාන
ක්‍රීඩා ලෝකයට දුලබ අත්දැකීමකි. අති විශාල ප්‍රේක්‍ෂක පිරිසක්
පැමිණ සිටි කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩා පිටියේ දී අගෝස්තු මස 24 වන
දා පැවැති එක්දින ක්‍රිකට් තරගය ගැන විශේෂයෙන් ම සඳහන් කළ යුතු
ය.
මේ අවස්ථාවන් පිළිබඳ ව අප මෙහි සටහන් කිරීමට හේතුව ශ්‍රී
ලාංකික ක්‍රීඩා ලෝලීන්ට ගෞරව දැක්වීම නො වේ. මෙ බඳු සමාජයීය
හැසිරීම් මඟින් ප්‍රකට කැරෙන ශ්‍රී ලාංකිකයන් ගේ චින්තන විධිය
හා ඒ සඳහා බුදු දහම කැර තිබෙන බලපෑම වෙත පාඨක අවධානය යොමු
කිරීම ය.
අප මෙහි දි අවධානය යොමු කළ ක්‍ෂේත්‍රය පිළිබඳ ව මෙ රට කිසිවකු
විසින් නිසි අධ්‍යයනයක් කැර ඇතැයි නො සිතමු. එහෙත්, ජපන් ජාතික
මහාචාර්ය හජිමෙ නකුමුර (1912 – 1999) විසින් භාරතය, චීනය,
තිබ්බතය හා ජපානය, ගැන කළ අධ්‍යයනය විද්වතුන් ගේ ඇගැයීමට
පාත්‍ර වී තිබේ. පෙරදිග මිනිසුන් ගේ චින්තන විධි යනුවෙන්
මහාචාර්ය පී.බී. මීගස්කුඹුර මහතා එය සිංහල භාෂාවට පරිවර්තනය
කැර ඇත. චින්තන විධි යන යෙදුම ඔහු එහි දී අරුත් ගන්වා ඇත්තේ මෙ
සේ ය.
“චින්තන විධි යන යෙදුමෙන් ඇඟ වෙනුයේ කෙනකු ගේ චින්තනයෙන් ඔහු
අයත් වන සංස්කෘතියේ චින්තන ඇබ්බැහිකම්වල නෛසර්ගික ලක්‍ෂණ
ප්‍රකට වීම යි. චින්තන විධි යන්න මෙහි යොදා තිබෙන ආකාරයෙන්
අදහස් වන්නේ විශේෂයෙන් ම සංයුක්ත, ආනුභවික ගැටලු ගැන ප්‍රශ්න
නඟන බොහෝ විට ආචාරධර්ම, ආගම, සෞන්දර්යය හා තවත් එ බඳු මානුෂීය
කාර්යයන්හි ගුණාගුණ විනිශ්චය හා ඇගයුම් පිළිබඳ ව ප්‍රශ්න නැඟීම
යි. චින්තනයේ ක්‍රියාකාරීත්වය ගැන ගවේෂණය කරන චින්තකයා කිසියම්
චින්තන විධියක් ගැන දැන සිටිම අවශ්‍ය නැත. එ සේ වෙතත් ඔහු සිය
අදහස් ප්‍රකාශ කරන අවස්ථාවෙහි ඔහු ගේ චින්තන විධිය ස්වකීය
සංස්කෘතියේ පරිචයන් හා ආකල්පයන් විසින් සකස් කරනු ලැබෙයි.”
චින්තන විදි හා භාෂාව අතර ඇති සබඳතාව එහි මෙ ලෙස විස්තර කැර
තිබේ. “කිසියම් ජන කොටසක චින්තන විධි හැදෑරීමේ දී එයට අදාළ
මූලික ඉඟි අතුරින් එකක් දැකිය හැක්කේ භාෂාවෙහි ය. භාෂාව
ජනතාවකගේ සංස්කෘතික ජීවිතයට මූලික වෙයි. ඒ කෙ තරම් මූලික ද යත්
භාෂා පද්ධතියක පහළ වීම ජන කොටසක පහළ වීමක් වෙයි. ජන කොටසක්
හඳුනා ගැනීමෙහි ලා පොදු භාෂාවක් හා සංස්කෘතියක පැවැත්ම
නිර්ණායකයක් වෙයි. භාෂාමය ක්‍රියාදාමය සකල මානව සංහතියට ම පොදු
නමුත් විශ්වීය වූ භාෂාවන් සියලු ම මිනිසුන් විසින් භාවිතයට ගනු
ලැබ නොමැති හෙයින් විශ්වව්‍යාපී භාෂා සමාජයක් නොවූ විරූ ය.
අන්තර්ජාතික භාෂා කිහිපයක් සැකසී ඇති අතර ඉන් සමහරක්
අන්තර්ජාතික සන්නිවේදනය සඳහා සැබවින් ම භාවිත වෙයි. කෙ සේ
වෙතත් මේවා භාවිත කැරෙනුයේ එකිනෙක හා ගැටුම් සහිත ව භාවිත වන
භාෂා ඇති සත්‍ය පරිසරවල ය. එ බඳු අර්බුදකාරී තත්ත්වයන් සමනය
කරනු සඳහා ය. ප්‍රායෝගික වශයෙන් සලකන කල මෙ බඳු භාෂා එක්
අතකින් බලන විට විශේෂ මෙවලම් පමණි.”
මෙය, ශ්‍රී ලාංකිකයන් ගේ චින්තන විධිය හා බුදු දහම අතර ඇති
සබඳතාව අවබෝධ කැර ගැනීම සඳහා ද යොදාගත හැකි අධ්‍යයනයකි. අප ගේ
දේශපාලන හා සංස්කෘතික කටයුතු වලදී පමණක් නො ව ආර්ථික
ප්‍රතිපත්ති සකස් කිරීමේ දී ද මෙ සේ ලාංකික චින්තන විධිය හඳුනා
ගැනීම කෙ තරම් වැදගත් දැයි බලධාරීන් අවබෝධ කැර ගන්නේ නම්
මැනවි. |