UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රේමය නමැති උතූමි මිනිස් ගූණය

ප්‍රේමය, උතුම් මානුෂික ගුණාංගයකි. බුදුසමයේ එය හුදෙක් ස්ත්‍රී - පුරුෂ පේ‍්‍රමයෙන් ඔබ්බට ගිය උත්තරීතර සංකල්පයකි. බුද්ධ දේශනයට අනුව ලොවෙහි ස්ත්‍රිය දැකීමට ආසා කරන එකම රූපයක් වෙතොත් එය පුරුෂ රූපය යි. පුරුෂයාට ද මෙලෙසින්ම ස්ත්‍රී රූපය වේ. එය දැක්වෙන්නේ

‘මහණෙනි, යම් රූපයක් මේ අන්දමට මේ පුරුෂ රූපය මෙන් ස්ත්‍රියගේ සිත ඇඳ බැඳගෙන සිටීනම්, එසේ වන එවැනි වෙනත් එකම රූපයක් මම නොදකිමි’ යනුවෙනි.

ස්ත්‍රියක විසින් පුරුෂයකුගේ පේ‍්‍රමය ද පුරුෂයා විසින් ස්ත්‍රියකගේ පේ‍්‍රමයද දිනා ගැනීම සඳහා ඔවුනොවුන් භාවිතා කරන ක්‍රම අටක් බුදුහිමියෝ ගෙනහැර දක්වති.

01. හසිතේන - සිනහව මගින්
02. භණිතේන - කතාවෙන්
03. රුක්ණේන - හැඬීමෙන්
04. ගීතේන - ගායනයෙන්
05. වන බන්ධෙන - වන ඵල කඩාදීමෙන් (බුදුන් දවස ඉන්දියානු සමාජයේ පැවති චාරිත්‍රයකි.
06. ආකප්පේන -ඔමරි ඉරියව් මගින්
07. රූපේන - පෙනුමෙන්, රූපයෙන්
08. ඵස්සේන - ස්පර්ශය මගින්

මේ අතරින් වඩාත් ප්‍රබල වන්නේ ‘ඵස්සේන’ හෙවත් ස්පර්ශය බව බුදුරජාණන් වහන්සේ විසින් තවදුරටත් පෙන්වා දී ඇත.

බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන පරිදි සිදුහත් යශෝදරා පේ‍්‍රම වෘත්තාන්තය අතිරමණීය ය. සිදුහත් කුමාරයා තමන් හා රාහුල පුතු තනිකර ගිහිගෙය හැරදමා ගිය විට එනම් අභිනිෂ්ක්‍රමණය කළ විට යසෝදරා ඔහුට වෛර කරන්නේ නැත. ඔහුගේ සැපම ඇය එදා ප්‍රාර්ථනා කළේ මෙලෙසිනි.

කැලේ තිබෙන කොයි දේවත් රස වේවා
මලේ බඹරු මෙන් පිරිවර ඇතිවේවා
අව්වේ තිබෙන රැස් මාලා අඩුවේවා
ගව්වෙන් ගව්ව දිව මාළිග සෑදේවා

මෙම සිදුහත් යසෝදරා පේ‍්‍රමය සසර බොහෝ කලක සිට පැවැති එකකි. පෙරුම් පිරූ සමයේ, වෙස්සන්තර ජාතකයේ දැක්වෙන පරිදි වෙස්සන්තර රජු හා මන්ත්‍රී දේවියද, කුස ජාතකයේ කුස රජු හා පබාවතී චරිතයද සඳකිඳුරු ජාතකයේ යුවළ ඊට උදාහරණය ය. වෙස්සන්තර ජාතකයේ වෙස්සන්තර රජු තම දරුවන් ජූජක බමුණාට දන් දුන් පසු යශෝදරාව ඒ ගැන ඇතිවෙන්නේ මහත් කම්පාවකි. නමුත් එය ඇය විසින් විඳ දරා ගන්නේ මතු බුදුවන බෝසතුන්ගේ දාන පාරමිතාව එයින් සම්පූර්ණ වන බැවිනි. මෙසේ කිසි කලෙක යසෝදරා චරිතය බෝසතුන් දෙස ද්වේෂයෙන් බලා නැති බව පෙනේ.

වරක් බුදුරජාණන් වහන්සේ වෙත එළැඹුණ නකුල මාතා හා නකුල පිතා යන වියපත් අඹුසැමි යුවළ උන්වහන්සේගෙන් විමසන්නේ මේ භවයේදී මෙන් සසර පුරා ද තමන්ට පේ‍්‍රමයෙන් හමු වී කල් ගෙවිය හැකි ද යන්න යි. එහිදී උන් වහන්සේ පවසන්නේ, ශ්‍රද්ධා , සීල ත්‍යාග ප්‍රඥා යන ගුණාංග සතර ඔවුන් දෙදෙනා තුළ සමාන ලෙස වැඩී ඇත්නම් තම පැතුම මතු සසරෙහි ද අඹුසැමියන් ලෙස පේ‍්‍රමයෙන් හමුවීමට ඔවුනට හැකිවන බවයි.

පුළුල් අර්ථයෙන් විග්‍රහකළ විට පේ‍්‍රම කිරීම හා මෛත්‍රී කිරීම යනු දෙකක් නොව එකක් හැටියට සැලකිය හැකි ය. ඒ අනුව මුළු විශ්වයටම පේ‍්‍රම කිරීම, මෛත්‍රී භාවනාවෙන් ඉගැන්වෙයි. එය තවදුරටත් විග්‍රහ කර දැක්වෙන්නේ කරණීය මෙත්ත සූත්‍රයෙනි.

උද්ධං අධෝව තිරියංච

අසම්බාධං අවේරං අසපත්තං’ යනුවෙන් එම සූත්‍රයේ මෛත්‍රීය වඩන අයුරු දැක්වෙයි. තමන් ජීවත්වන පරිසරය දෙස වෛර සහගත සිතිවිල්ලෙන් නොබලන්නට මෙයින් ඉගැන්වෙයි. දිග, මහත, කෙටි, දෘශ්‍යමාන- අදෘශ්‍යමාන, උපන් - නූපන්, වංචල ස්ථාවර, ළඟ - දුර යන මෙකී නොකී සකල ජීව වර්ගයාට ම මෙත් වැඩීමට මෙත්ත සූත්‍රය මගින් ඉඩ ප්‍රස්ථාව ලබා දෙයි. බුදු සමයෙන් ඉගැන්වෙන පේ‍්‍රමය, සමාජ සදාචාරය හා සෘජුව සම්බන්ධ වන ඉගැන්වීමකි. එහිදී ‘හිරි ඔතප්’ යන ලෝක පාලක ධර්මතා දෙක වැදගත් තැනක් ගනියි. ‘හිරි’ යනු පව් කිරීමට ඇති ලැජ්ජාවයි. පව් කිරීමට ඇති බිය ‘ඔතප්’ ලෙස සැලකෙයි. පුද්ගලයකුගේ හික්මීම හෙවත් ශීලය කෙරෙහි මෙම ධර්මතා දෙක බලපාන බව පෙනෙයි.

බුදු දහමේ ඒවා දේව ධර්ම නමින් හැඳින්වෙයි. බුදු සමයෙන් හෙළි කැරෙන පේ‍්‍රමය සදාචාරවත් ලෝකයකට පුද්ගලයා රැගෙන යනු ලබන්නේ ‘හිරි - ඔතප්’ යන දේව ධර්ම ද හේතුකොට ;ගන ය.

මේ අනුව පැහැදිලි වන්නේ බුදු සමය මගින් පේ‍්‍රමය නමැති සංකල්පයට නව අරුතක් එක් කර ඇති බවයි. එය සමාජයේ එකිනෙකා අතර පැවතිය යුතු දෙයකි. එහෙත් ධම්ම පදයේ එන

පේමතෝ ජායති සෝකෝ
පේමතෝ ජායති භයං
පේමතෝ විප්පමුත්තස්ස
නත්ථි සෝකෝ කුතෝ භයං’

යන ගාථාවෙන් “ පේ‍්‍රමයෙන් ශෝකය ඇති වන බවත්, බිය ඇති වන බවත් පේ‍්‍රමයෙන් වෙන්වූ විට ශෝකයක් හෝ බියක් හට නොගන්නා බවත් දේශනා කොට ඇත.

ඒ අනුව ධර්මසිරි ගමගේ ශූරීන් විසින් ‘හුලවාලි’ චිත්‍රපටය සඳහා රචිත පදමාලාවක් මෙහිදී සිහිපත් කිරීම සුදුසු ය. එයින් කියැවෙන්නේ බුදු සමයෙන් හෙළි කෙරෙන පේ‍්‍රමයේ ස්වභාවය ගැන යි.

ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකි

රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි

ආලෙ බිඳුන දා කුමකට කඳුළු සලනු සකි

ආලවඩන යන තේරුම බෝසත්කම සකි

නිකිණි පුර පසළොස්වක පොහොය


අගෝස්තු 16 වනදා සෙනසුරාදා පූර්ව භාග 2.17 ට ලබයි.
18 වන දා ඉරිදා පූර්ව භාග 2.46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 16 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 24 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]