UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු දහමේ සඳහන් මූල්‍ය කළමනාකරණය

කලි යුගයේ සියල්ල තීරණය වන්නේ ‘මුදල’ මත ය. ‘බල්ලන් මරා හෝ මුදල් උපයන්න’ යනු වත්මන් මිනිසාගේ ජීවන පාඨය යි. මිනිස් කම් මුදලට යට වී නොපනත්කම් ඉස්මතු වී ඇත. නොයෙක් අන්දමින් සමාජය තුළ සිදුවන්නා වූ ශ්‍රම සූරා කෑම, ලිංගික අපචාර, ගණිකා වෘත්තිය, විළි බිය වල් වැදී ගිය සමාජ සංස්කෘතිය, පහත් රුචිකත්වයෙන් යුක්ත මිනිස් සිත් සතන් වලින් පිරුණු ජන සමාජ මේ වන විට ලොව පුරා බිහිව ඇත. මේ සියල්ලටම හේතු කාරකය වී ඇත්තේ පවතින්නා වූ අධි තරගකාරී වාණිජවාදී අර්ථ ක්‍රමය බව නොරහසකි. මෙම අධි තරගකාරී ආර්ථික රටාව තුළ වත්මන් මිනිසා මුලා වූ සත්වයෙකු බවට පත්වී ඇත. කාම වස්තූන් කෙරෙහි ඇලී ගැලී දැඩි තෘෂ්ණාවෙන් යුතුව වැඩි වැඩියන් ගොඩ ගසා ගන්නට යෑමෙන් මිනිසා සමාජය තුළ හුදෙකලා බවට පත්ව ඇත. අධි සුඛෝපභෝගී ජීවන රටා අනුගමනය කිරීමට යෑම නිසා ණය බරින් ජීවත් වීමටත්, සදාචාර සීමා ඉක්මවා යෑම නිසා විකෘති ආශාවන්ගෙන් පෙළෙන මානසික රෝගීන් බවටත් නූතන මිනිසා පත්ව ඇත. ඔවුනොවුන් පරයා නැගී සිටීමට උත්සාහ ගන්නා සමාජය තුළ තෘෂ්ණාවෙන් වෙලුණු මිනිසා තම උගත්කම, පොහොසත් කම, බලවත්කම, වංශවත්කම ආදිය අන් අයට පෙන්වීමට ගන්නා උත්සාහය නිසාම අල්පේච්ඡතා ගුණයෙන් ඈත් වී ඇත. කොතරම් අවශ්‍යතා සපුරා ගත්තද නැවත නැවත ඉස්මතු වන විවිධ අවශ්‍යතා නිසා කිසි විටෙක තෘප්තිමත් කළ නොහැකි පුහුදුන් සිතේ යථා ස්වභාවය නුවණින් වටහා ගත් අය සමාජය තුළ දැකීම දුෂ්කරය. කරත්තයක ඉදිරියෙහි රැඳවූ කැරට් අලයක් අල්ලා ගැනීම සඳහා දිව යන අශ්වයෙකු මෙන් මිනිසා ද කිසි කලෙක සපුරා ගත නොහැකි තෘප්තිය පසුපස දිවයන බව බටහිර ඇතැම් දාර්ශනිකයෝ පවසති. මේ නිරර්ථක ගමනේ අවසානය කෙදිනකවත් ඉටුකර ගත නොහැකි දෙයක් වෙනුවෙන් වෙහෙසී අතෘප්තියෙන් මිය යාම නොවේද ? ළඟා කර ගත නොහැකි දෙයක් වෙනුවෙන් වෙහෙසී මිය යෑම වෙනුවට පී‍්‍රතියෙන් තෘප්තියෙන් යුතුව ජීවත් වී සොම්නස් හැඟීමෙන් යුතුව ජීවිතයේ අවසන් සුසුම වා තලයට මුසු කරන්නට ලැබෙන්නේ නම් එය කෙතරම් භාග්‍යයක්ද ? ඒ සඳහා වූ එකම මාර්ගය පෙන්වා දුන්නේ බුදුන් වහන්සේය. කරුණාව, දයාව වැනි සදාචාර සම්පන්න ගුණ ධර්ම පිළිබඳවත්, කුසලාකුසල ධර්ම පිළිබඳවත් නොසිතන, ලාබ අලාභ ගැන පමණක්ම සිතන ආර්ථික විද්‍යාඥයන් අතර සාර ධර්ම කුසලාකුසල ධර්ම පිළිබඳ මහත් සේ උනන්දු වෙමින් සිය ආර්ථික චින්තනය හඳුන්වා දුන් එකම ආර්ථික විද්‍යාඥයා බුදුන් වහන්සේ ය.

බුදු සමය ජීවිතයේ සියලු අංශ ධනය මත පවරන්නේ නැත. ධනය යනු ජීවිතයේ එක් කොටසක් පමණකි. බුදුන් වහන්සේ සිය සුත්‍ර දේශනා තුළින් මුදල් උපයන ආකාරයත්, එසේ උපයා ගත් මුදල් මනාව කළමනාකරණය කරගත යුතු ආකාරයත් පැහැදිලිව පෙන්වා දී ඇත. බුදු දහමට අනුව තෘප්තිමත් ලෞකික ජීවිතයක් ගත කිරීමට නම් ධාර්මිකව ධනය රැස් කිරීමද එසේ රැස් කර ගත් ධනය සාධාරණ ලෙසින් පරිභෝජනය කිරීමද අතිශයින් වැදගත් කොට පෙන්වා දී ඇත. ලෝභ, දෝෂ, මෝහ තුළින් මුලාවට පත් වූ වත්මන් මිනිසා තමාගේත් අනුන්ගේත් හිත සුව පිණිස නොව, තමාගේත් අනුන්ගේත් විනාශය පිණිසම හේතු කාරක වන ජීවනෝපාය මගින් ධනය රැස් කිරීමට උත්සාහ ගන්නා ආකාරය දැක ගත හැකිය. එහෙත් බුදු සමය අනුමත කරනුයේ සමාජයටත් රට වැසියාටත් කරදරයක් නොවන ලෙස ධනය උපයාගත හැකි ජීවනෝපාය මාර්ග ය. අසාධාරණ ව්‍යාපාර එනම්

1. මත් පැන් වෙළෙඳාම
2. විෂ වෙළෙඳාම
3. මස් වෙළෙඳාම
4. ආයුධ වෙළෙඳාම
5. සතුන් වෙළෙඳාම

නූතන සමාජයට අනුව ගණිකා ව්‍යාපාරය, සදාචාර විරෝධී සමාජ ශාලා පවත්වා ගෙන යාම ආදිය නොකළ යුතු බවත් ඒවා සමාජ පරිහානිය උදෙසා හේතු කාරක වන බවත්, බුදුන් වහන්සේ පෙන්වා දුන්හ. කෘෂි කර්මාන්තය, ධාර්මික ලෙස වෙළ හෙළඳාම් කිරීම බුදුන් වහන්සේ අගය කොට තිබෙන අතර එවැනි පුද්ගලයා සමාජය තුළ ශ්‍රේෂ්ඨත්වයට ද පත්වන බව වදාළහ.

‘උට්ඨානවතො සතිමතො
සුචිකම්මස්ස නිසම්ම කාරිනො
සඤ්ඤ තස්ස ච ධම්ම ජිවිනො
අප්පමත්තස්ස යසෝභි වඩ්ඪති’

‘නොපසු බස්නා උත්සාහයක් ඇති, සිහියෙන් යුක්ත, නිදොස් ක්‍රියා ඇති, පරීක්ෂාවෙන් කටයුතු කරන කය මනස දෙකින් හික්මුණා වූ දැහැමි දිවි පෙවෙතක් ඇති පුද්ගලයාට නොපමාව කීර්තිය වැඩෙන්නේය’.

ධම්ම පදයෙහි අප්පමාද වග්ගයට අයත් මෙම ගාථාව තුළින් පැහැදිළි වන්නේ ධාර්මිකව උත්සාහයෙන් යුක්තව, යහපත් කර්මාන්තයන්හි නියැළෙන පුද්ගලයා සැබැවින්ම දියුණු යහපත් ධනවත් පුද්ගලයකු බවට පත්වනවා පමණක් නොව, ඔහුගේ ගුණරාවය ද දස දෙස පැතිර යන බවකි. බුදු දහමෙහි උගන්වන්නේ උට්ඨාන වීර්යයෙන් යුතුව, දෑත දෙපය වෙහෙසා, ශ්‍රමය යොදවා, ධාර්මිකව ධනය උපයා ගත යුතු බවයි.

‘බාහු බල පරිවිතෙනි
සේදා වක්ඛිත්තෙනි
ධම්මිකේහි,, ධම්ම ලද්දේහි..”

කාය බලය යොදවා, අත පය වෙහෙසවා, දහදිය වගුරුවා, ධාර්මිකව හරිහම්බ කිරීම ලෞකික හා ලෝකෝත්තර අභිවෘද්ධිය සඳහා හේතුවන බව, බුදු දහම පෙන්වා දී ඇත. බඹරකු මල නොතලා රොන් ගන්නාක් මෙන් වේයා හීන් සැරේ තුඹස බදින්නාක් මෙන්. මී මැස්සා බොහෝ මහන්සි වී ක්‍රමානුකූලව පැණි රැස් කරන්නාක් මෙන්. සමාජය නොපෙළා ධනය රැස් කළ යුතු යැයි බුදුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ දී දේශනා කළේ ඉක්මනින් පොහොසත් වන්නට යැයි සිතා අධාර්මික ජීවනෝපායන්හි නිරතවන පුද්ගලයන් හට නිවැරැදි මාර්ගය පෙන්වා දීම උදෙසා ය. ධාර්මිකව උපයන මුදල් නිසි ලෙස පරිහරණය නොකරන්නේ නම් එයද ගැටලු රාශියකට හේතු කාරක වන්නේ ය. එහෙයින් ධන පරිභෝජනයේදී තමා දෛනිකව හා මාසිකව උපයන්නා වූ ධනය කොටස් වශයෙන් බෙදා පරිහරණය කරන්නේ කෙසේදැයි බුදුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ වැඩි දුරටත් පෙන්වා දී ඇත.

“එකේන භෝගේ භුංජෙය්‍ය

ද්වීහි කම්මං පයෝජයේ

චතුත්ථං ච නිධාපෙය්‍ය

ආපදාසු භවිස්සති”

උපයන ධනයෙන් එක් කොටසක් තමන්ගේ පෞද්ගලික හා පොදු අවශ්‍යතා සඳහා ද , කොටස් දෙකක් තම ව්‍යාපාරයන් හි අභිවෘද්ධිය උදෙසා ද, අනෙක් කොටස අනාගතයේ දී එළඹිය හැකි ආපදාවන්හි දී ප්‍රයෝජනයට ගැනීම සඳහා ද, සුරක්ෂිතව තැන්පත් කොට තැබිය යුතු බව මෙයින් අවධාරණය ;කාට ඇත. මෙම විශ්ව සාධාරණ වූ කළමනාකරණය පිළිබඳ ඉගැන්වීම සර්වකාලීන වූවක්බව ඕනෑම අයෙකුට විචාර පූර්වකව පිලිගත හැකිය. නිවැරැදි ලෙස ධනය උපයා පරිභෝජනය කරන පුද්ගලයා මෙලොව පමණක් නොව පරලොවද අභිවෘද්ධිය ද සලසා ගනියි. ධාර්මිකව ධනය රැස් කිරීම තුළින් මිනිසෙකු ලබන්නා වූ මානසික සුවය පිළිබඳ සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් කොට ඇත්තෙත් මේ අයුරිනි.

1.අත්ථි සුඛය - තමා ගේ ජීවිතයට ප්‍රමාණවත් ධනයක් ඇතැයි සිතා සතුටු වීම

2.භෝග සුඛය - තමා ළඟ ඇති ධනය නිසි ලෙස කළමනාකරණය කොට භාවිතා කිරීම පිළිබඳ සුවය

3.අනන සුඛය - මනා ධන කළමණාකරණය හේතුවෙන් කිසිවෙකුටත් ණය නොවී ජීවත් වීමෙන් ලබන සතුට.

4.අනවජ්ජ සුඛය - නිවැරැදි කර්මාන්තයේ යෙදී ලබන්නා වූ සතුට. (තමා ධාර්මික ලෙස ජීවත් වූවා යැයි සිතා ලබන සතුට)

මෙයින් පළමුවන, දෙවන, හා තුන්වන සැප මෙලොව සඳහාත් සිවුවන සැපය පරලොව සඳහාත් වැදගත් වේ. සිඟාලෝවාද සූත්‍රය මෙන්ම ආර්ථික අංශයෙන් පරමාදර්ශි බෞද්ධ සූත්‍ර දේශනාවක් ලෙස ව්‍යග්ඝ පජ්ජ සූත්‍රය පෙන්වා දිය හැකිය. එම සූත්‍රයට අනුව මෙලොව ජීවිතය සාර්ථක කරගනු පිණිස උපකාරිවන කරුණු හතරක් එහි සඳහන් කොට ඇත. එඒවා නම්,

1.උට්ඨාන සම්පදා - උත්සාහ සම්පත්තිය

2.ආරක්ඛ සම්පදා - උත්සාහයෙන් උපයා ගත් වස්තුව ආරක්ෂා කොට ගැනීම

3.කල්‍යාණ මිත්තතා - කලණ මිතුරන් ඇසුරු කිරීම

4.සමජීවිකතා - අය වැය පමණ දැන ධනය භාවිතා කිරීම

උත්සාහයෙන් යුතුව සිය උපරිම ශක්තියෙන් යුක්තව ධනය ඉපැයීම, මෙයින් ගම්‍ය වේ. එසේ ස්වකීය ශ්‍රමය කාලය වැය කොට උපයා සපයා ගත්තා වූ වස්තුව ආරක්ෂා කර ගැනීම ද සිදු විය යුත්තකි. එසේ නොවුණහොත් තමා විසින් ඒ සඳහා වැය කළ ශ්‍රමය හා කාලය නිරර්ථ වනු ඇත. උත්සාහයෙන් ධාර්මිකව උපයා ගත් ධනය මනාව සුරක්ෂිත කොට පරිභෝජනය සඳහා ගැනීමට කලණ මිතුරන්ගෙන් ලැබෙනුයේ අගනා පිටුබලයකි.

ඔවුන්ගෙන් ලැබෙන අවවාද අනුශාසනා. සීලාදි ගුණයන්ගෙන් සමන්විත පුද්ගලයෙකුට සිය ජීවිතය තුලනාත්මකව ගත කිරීමට උපකාරි වේ. බුදු සමය අපට හඳුන්වා දෙන්නේ මධ්‍යස්ථ ජීවන ප්‍රතිපදාවකි. එයට අනුව අය පක්ෂයෙන් හෝ වැය පක්ෂයෙන් අගතියට යෑමක් සිදු නොවේ. සමජීවිකතාව නම් අය වැය දෙපක්ෂයම සමානව තුලනාත්මකව තබා ගෙන ජීවත් වීමයි. නොකා, නොබී, නොහැඳ , නොපැළඳ ධනය එක් රැස් කිරීම බුදු දහම අනුමත නොකරයි. හැම ෂටම අරපරෙස්සමෙන් පමණ දැන වියදම් කළ යුතුය. මෙහිදී “අරපරෙස්සමෙන්” යනු ලෝභ කමින්. මසුරු කමින් යුතුව නොව, කළ යුතු දේ කුමක්ද? නොකළ යුතු දේ කුමක්ද? යන්න මනාව විමසා බලා මුදල් වියපැහැදම් කිරීමයි. එසේ නොමැති වුවහොත් දිය පිරි පොකුණක දිය පිටවන දොරටු හැරදැමුවාක් මෙන් ඉතා ඉක්මනින් වස්තු භංගත්වයට පත්වන්නේ ය. ස්ත්‍රී ධූර්තයකු වීම, සුරා ධූර්තයකු වීම, දූ කෙළියෙහි ධූර්ත වීම, පාප මිත්‍ර සේවනය ඕනෑම පුද්ගලයකු පරිහානිය කරා රැගෙන යන කරුණු ලෙස ව්‍යග්ඝ පජ්ජ සූත්‍රයෙහි වැඩිදුරටත් සඳහන් කොට ඇත.

දනය එක් රැස් කර ගත් පසු සමාජීය යුතුකම් සහ වගකීම් ඉටු නොකිරීම ද පිරිහීමට කරුණක් වන බව, පරාභව සූත්‍රයේ දී බුදුන් වහන්සේ දේශනා කොට ඇත.

“යෝ මාතරංවා පිතරංවා

ජින්න කං ගත යොබ්බනං

පහු සන්තො න භරති

තං පරාභවතෝ මුඛං”

මුදල් හරිහම්බ කොට ගේ දොර, ඉඩ කඩම්, යාන වාහන රැගෙන සමාජයේ ඉතා සුඛෝපභෝගී ලෙස ජීවත් වන ඇතැම් දරුවෝ තම මහලු මවු පියන් වැඩිහිටි නිවාස වලට ගාල් කරන ආකාරය, නූතන සමාජයේ බහුලව දැක ගත හැකි ය. නමුත් පෝෂණය කිරීමට හැකියාව තිබියදීත් තම මහලු මවු පියන් පෝෂණය නොකිරීම පිරිහීමට හේතුවන බව ඉහත සඳහන් ගාථාවෙන් සනාථ වේ. කොතරම් මුදල් හරිහම්බ කළද තමාගේ මෙන්ම සමාජයේ ද සුභ සිද්ධිය උදෙසා එම මුදල් නොයොදා ආකාර්යක්ෂමව පරිශීලනය කිරීම නිසා එවන් පුද්ගලයන් සීඝ්‍ර ලෙස පරිහානියට පත්වන ආකාරය පිළිබඳ පරාභව සූත්‍රයේ වැඩි දුරටත් කරුණු ගෙනහැර දක්වා ඇත.

ආර්ථික දියුණුව ලෞකික මිනිසාට අත්‍යවශ්‍ය කරුණකි. දිළිඳකම දුකක් බව බුදු දහම ද පිළිගනියි. ඒ නිසාම ධාර්මිකව මහන්සි වී මිල මුදල් උපයා ගන්නට බුදු දහම පුද්ගලයා දිරි ගන්වන ආකාරය යථෝක්ත කරුණු තුළින් සනාථ වේ. එහෙත් ධනය නිසා මෝහයෙන් මුලා වී මේ සරුව පිත්තල ලෝකය තුළ අතරමං නොවිය යුතුය.

තමා සතු ගුණ දහම් මුදලින් වැසී යන්නට ද කිසි විටෙකත් ඉඩ නොදිය යුතුය. ධනයට දාස වන්නා තෘෂ්ණාවේ ද දාසයකු වේ. තෘෂ්ණාවට දාස වීමෙන් ජීවිතයේ කිසි කලෙක තෘප්තියක් නොලැබේ. පින්, පව්, කුසල්,අකුසල්, යුතු අයුතුකම් නොතකන, බෞද්ධ සමාජ සාර ධර්ම ගිලිහී ගිය සමාජ ක්‍රමයක් බිහි වූයේ අධිතරඟකාරී වාණිජවාදී අර්ථ ක්‍රමය හේතුවෙනි. එකෙක් අනෙකා පරයා නැගී සිටීමට වෙර නොදරා ජය පරාජය අතහැර දමා සුපහන් සිතින් යුතුව යථාර්ථවාදී ජීවන දෘෂ්ටියකින් ඹ්ෂතය දෙස බලන්නට වත්මන් මිනිස් පරපුර උත්සාහ කරන්නේ නම් , නැවත වරක් යහපත් සමාජයක අරුණළු උදා වනු ඇත.

නිකිණි පුර පසළොස්වක පොහොය


අගෝස්තු 16 වනදා සෙනසුරාදා පූර්ව භාග 2.17 ට ලබයි.
18 වන දා ඉරිදා පූර්ව භාග 2.46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 16 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 24 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]