UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අපෙර-අපර පඬිවරු දුටු බුදු ගුණ-නැණ මහිම

අංගුත්තර නිකායේ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරා ඇත. මහණෙනි, මෙලොව එක් උතුමෙකුගේ පහළවීම වනාහි බොහෝ දෙනාගේ හිතසුව පිණිසම වේ. මේ උත්තමයා පහළ වනුයේ ලෝකයා කෙරෙහි උපන් මහා කරුණාවෙනි; අනුකම්පාවෙනි; දෙව් මිනිසුන් සහිත ලෝකයාගේ හිතසුව පිණිසද, සුවය (සැනසුම) පිණිසද, අර්ථය පිණිසද වේ.

මේ උතුමා කවරෙක්ද ? ඒ වනාහි තථාගත, අර්හත් සර්වඥයින් (සම්මා සම්බුදු) වහන්සේය. මහණෙනි, තථාගතයන් වහන්සේ කෙනකු ලොව පහළ නොවන තාක් කල් බලවත් ආලෝකයක ශ්‍රේෂ්ඨ ප්‍රභාවත රැස් විහිදීමක්, බැබළීමක් නොමැත්තේය. ඒ වෙනුවට දෘශ්‍යමාන වනුයේ පූර්ණ අන්ධකාරයකි; මෝහාන්ධකාරයකි.

එහෙත් මහණෙනි, තථාගතයින් වහන්සේ ලොව පහළ වත්ම බලවත් ආලෝකයක, ශ්‍රේෂ්ඨ ප්‍රභාවක රැස් විහිදීමක්, බැබළීමක් ඇති වන්නේය. ඒ සමගම පූර්ණ අන්ධකාරය මෝහාන්ධකාරය දුරු වන්නේය. සැබවින්ම මහණෙනි තථාගතයින් වහන්සේ වනාහි ලොව ආලෝකය (ප්‍රදීපය) වන්නේය.

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ චින්තකයන් හා මහා ප්‍රඥයින්ද විසින් බුදුරජාණන් වහන්සේ කෙරෙන් ප්‍රකට වූ මහා කරුණාවද, උන්වහන්සේ සතුව පැවති මහා ප්‍රඥාවද පිළිගත් අතර මොවුන්ගෙන් සමහරු තථාගතයින් වහන්සේ වනාහි මෙලොව උපන් ශ්‍රේෂ්ඨතම උත්තමයා ලෙස දක්වා ඇත.

ෂෝපන්හවර් තුමා තම නිදන කාමරයේ බුද්ධ ප්‍රතිමාවක් තබාගෙන සිටියේය. දෙවියන් වහන්සේ පොළව මත ගමන් කරන්නාක් මෙන් තමාට හැඟුණේ යැයි බුදුරුව දෙස බලා අත්‍රටෝල් භ්‍රන්ස් නමැති ප්‍රකට ලේඛකයා පවසා ඇත.

මණ්ඩලේ නුවර විහාරයක තිබී සොයා ගන්නා ලද බුදු පිළිමයක් වින්ස්ටන් චර්චිල් තුමාට පිළිගන්වමින් ඉයන් හැමිල්ටන් ජනරාල් තුමා මෙසේ පවසා ඇත. ‘ගෞතම බුදුරජාණන් වහන්සේ වනාහි ඉහළ පෙළේ ආධ්‍යාත්මික ගුණ වගාවකින්ද, සුචරිතමය ගුණ කදම්බයකින්ද, ශ්‍රේෂ්ඨතම ප්‍රඥාා මහිමයකින් හා බුද්ධි ප්‍රභාවකින්ද යුත් උතුමෙකි. එතුමා වනාහි මිනිසාට තමා සතුව පවත්නා ශ්‍රේෂ්ඨත්වය (දේවත්වය) පිළිබඳ අවබෝධයක් ලබාදුන් දුලබ ගණයේ උත්තමයන්ගෙන් කෙනෙකි.

තවද බලාපොරොත්තු සහිතව ලෝකය කරා මිනිසා ගමන් කරවීමේ අදහසින් එතුමා මිනිසාට ආධ්‍යාත්මික ජීවිතය සිත් ඇදගන්නා සුළුවූද එමෙන්ම අලුත් ;සායාගැනීම් වලින් යුක්ත දෙයක් ලෙසද දර්ශනය වීමට කටයුතු සලසන ලදී. බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව බුද්ධි මහිමය හේතුවෙන් උන්වහන්සේ ඉහළම සත්‍යය අවබෝධ කරගත් අතර බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව හේතුවෙන් උන්වහන්සේ දුක් විඳින සත්වයා එම දුකින් මුදාලීම සඳහා තමන් වහන්සේගේ ජීවිතය කැප කළ සේක.

මෙසේ නියම අන්දමින් අමරණීය වන උතුමෝ තමන් සතුව දිව්‍යමය ආත්මයක් තිබුණද සාමාන්‍ය මිනිසා පිළිබඳ කරුණු කෙරෙහිද සිත් යොමු කරන බව පළ කළ ඒ ශ්‍රේෂ්ඨ පෞරුෂත්වය හා මහා වීර්යය හේතුවෙන් උන් වහන්සේ හා සමග ආශ්‍රයට පැමිණි අය තුළ බලවත් හැඟීම් ඇති කරන ලද බව පෙනේ. තවද සැබෑ දේ ප්‍රකාශ කිරීමට ගන්නා උත්සාහයේදී පොදු මිනිසා ප්‍රයෝජනයට ගන්නා වූ හැඟීම් ප්‍රකට කරන මාර්ගයන් වන පැරණි කථා මේ හේතුවෙන් ඇති විය. මෙසේ සලකා බලත්ම බුදුරජාණන් වහන්සේ අන් අයට වඩා ශ්‍රේෂ්ඨ වේ. ආත්ම දමනය ප්‍රඥාව හා මෛත්‍රියේ මූර්තියක් වන ගෞතමයින් වහන්සේ සම්බුද්ධ වේ, සර්වඥ වේ, විමුක්ති දායකයාණන් වහන්සේ වේ. කාලයාගේ ඇවෑමත් සමග බුදුරජාණන් වහන්සේගේ නියම ශ්‍රේෂ්ඨත්වය වඩාත් පැහැදිලි හා දීප්තිමත් අන්දමින් කැපී පෙනෙන අතර විථ්‍යා මත දරන්නන් පවා වඩාත් පැහැදීමකින් වඩාත් ගැඹුරු ගෞරවයකින් හා වඩාත් සැබෑ භක්තියකින් යුතුව බුදුරජාණන් වහන්සේ දෙසට හැරෙනු දක්නට ඇත. තමන් ජීවිතය ගෙවන වත්මන් කාලය හා ඉදිරි කාලයටද සරිලන පණිවුඩයක් ලබාදීමෙන් මනුෂ්‍ය වර්ගයා පිළිබඳ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වීරයින් ස්වල්ප දෙනා අතුරින් උත්තම වීරයෙකි. මේ වනාහි ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූද ශ්‍රේෂ්ඨ චින්තකයෙකු වූද රාධක්‍රිෂ්ණන් තුමා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රකාශ කරන ලද්දකි.

ස්වාමි විවේකානන්ද තුමා බුදුරජාණන් වහන්සේ පිළිබඳව දක්වා ඇති අදහස් මෙසේය. ‘අනෙක් අයට වඩා මෙතරම් උසස් තත්ත්වයකට පත්වන ලද ඉතිහාසගත එක්චරිතයක් ගැන මට පෙන්වා දෙනු. සම්පූර්ණ මුළු මහත් මිනිස් වර්ගයා විසින් බිහි කොට ඇත්තේ එවැනි එක් පුරුෂයෙකි. එවැනි එක් ශ්‍රේෂ්ඨතම දර්ශනවාදියෙකි. එවැනි එක් පුළුල් අනුකම්පාවකි.

උසස්ම දර්ශනවාදියා දේශනා කරනු ලැබූ ඒ ශ්‍රේෂ්ඨතම දර්ශනවාදියා පහත්ම ගණයේ වූ තිරිසන් සතා කෙරෙහිද දැක්වූයේ මහා කරුණාවක්. ඒ ගැන උන්වහන්සේ කිසි විටෙකත් අයිතිවාසිකම් පළ නොකළ සේක. නිස්සරණධ්‍යාශයෙන් ක්‍රියා කළ උන්වහන්සේ වනාහි ආදර්ශමත් කර්මයෝගියෙකු වන අතර උන්වහන්සේ වනාහි මෙලොව ජන්ම ලාභය ලැබූ ශ්‍රේෂ්ඨතම අසමසම උතුමා ලෙසද ලොව පහළව සිත හා ප්‍රඥාාව පිළිබඳ ශ්‍රේෂ්ඨතම සංකලනය ලෙසද මිනිස් වර්ගයා පිළිබඳ ඉතිහාසයෙන් දැක්වේ.

මහාචාර්ය මැක්ස්මුලර් මහතා බුදුරජාණන් වහන්සේ පිළිබඳව මෙසේ අදහස් දක්වන්නේය. බුදුරජාණන් වහන්සේ වනාහි උන්වහන්සේ විසින් දේශනා කරන ලද ගුණ ධර්ම සියල්ලේම ප්‍රතිමූර්තියකි. පන්සාලිස් වසක් පුරා වූ උන්වහන්සේගේ සාර්ථක සේවා කාලය තුළ උන්වහන්සේ දේශනා කළ සෑම වදනක්ම ක්‍රියාත්මක කළ සේක. මිනිස් දුර්වලකම් වන කෝපයට හෝ හීන ආශාවනට උන්වහන්සේ තුළ කිසිම ඉඩක් නොතිබිණි. බුදුරජාණන් වහන්සේ දක්වා වදාරන ලද විනය මාලාව වනාහි ලෝකය දත් බෙහෙවින් සර්ව සම්පූර්ණ නීති මාලාව වේ.

බුදුරජාණන් වහන්සේ පිළිබඳව මහාචාර්ය ලක්‍ෂමී තරසු මහතා මෙසේ පවසන්නේය. ‘ලෝක ශාස්තෲවරුන් අතුරින් බාහිර ආධාරයක් නොමැතිව විමුක්තිය ලබාගැන්මෙහි ලා මිනිසා සතුව පවත්නා බලයේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව නියම අන්දමින් විනිශ්චයකට පැමිණි උතුමා බුදුරජාණන් වහන්සේ වේ. මනුෂ්‍ය වර්ගයාගේ වටිනාකම නගාලීමේ ප්‍රමාණය අනුව නියම ශ්‍රේෂ්ඨ පුරුෂයෙකුගේ අගය රඳා පවතිනුයේ නම් බුදුරජාණන් වහන්සේ හැරුණු විට අන් කවරෙකු නියම ශ්‍රේෂ්ඨත්වයෙහි ලා සැළකිය හැකිද ? මිනිසාට ඉහළින් තවත් කෙනෙකු තබා මිනිසාගේ තත්ත්වය පහළ හෙලනු වෙනුවට බුදුරජාණන් වහන්සේ විනිසා ප්‍රඥාව හා මෛත්‍රිය පිළිබඳ මුදුන් පෙත්ත දක්වා නගා ලූ සේක.’

බුදුරජාණන් වහන්සේගේ වනාහි අති මනෝහර රූපකායක් වන අතර ඒ වනාහි කෙනකුට ලබාගත හැකි බෙහෙවින් සර්ව සම්පූර්ණ රූපශ්‍රීයක් වේ.බුදුරජාණන් වහන්සේගේ වචනයටද උන්වහන්සේ අනුගමනය කරන ලද ක්‍රියා පිළිවෙලටද වඩා බලවත් වනුයේ උන්වහන්සේගේ පෞරුෂත්වය වේ. බුදුරජාණන් වහන්සේ යම් කෙනකු හා සමග කථා කරත්ම උන්වහන්සේ කෙරෙන් නික්මුණු සෞම්‍ය බැල්ම හේතුවෙන් ඒ තැනැත්තා උන්වහන්සේ වෙත ගෞරව සම්ප්‍රයුක්ත අවනතවීමකට යොමුවිය. බුදුරජාණන් වහන්සේගේ මධුර ස්වරය මිනිසුන් මවිතයට හා ප්‍රීති ප්‍රමෝදයට පත් කරන ලදී. අංගුලිමාල සොරදෙටුවා දමනය කිරීමෙහි ලා වචන පමණක් ප්‍රමාණවත් වේද ? බුදුරජාණන් වහන්සේගේ වසඟයට පත් තැනැත්තා සදහටම උන්වහන්සේ වෙතට වේ. බුදුරජාණන් වහන්සේ වනාහි අන් අයගේ සිත් සතන් දිනා ගැන්මේ සමත් වූ උත්තමයෙකි. බුදුරජාණන් වහන්සේට සවන් දුන් අය උන්වහන්සේගේ වදන් ඇදහීමට පසුබට නොවූයේ උන්වහන්සේ සත්‍යය දේශනා කළ බැවින්ම පමණක් නොවේ, උන්වහන්සේ ඔවුන්ගේ සිත් දිනාගෙන සිටි බැවින් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද දේ ඔවුනට සත්‍ය හා සුවදායක ලෙස පෙනුණි.

බුදුරජාණන් වහන්සේ පිළිබඳව ජවහර්ලාල් නේරු තුමා මෙසේ පවසා ඇත. ‘කම්කටොළු, වෛරය, හා හිංසාවෙන් පිරුණු මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවුඩය දීප්තිමත් සූර්යයා මෙන් බබළන්නේය. පරමාණු, ජලකර, බෝම්බ පරිහරණය කරනු ලබන ලෝකයට මීට වඩා මේ පණිවුඩය වඩාත් අවශ්‍ය අවස්ථාවක් නැත. වර්ෂ 2500 ක් ඉක්ම යෑම හේතුවෙන් එම පණිවුඩය පිළිබඳවූ සත්‍යය, ශක්තිය, තව තවත් වැඩි විය. අප විසින් එම අමරණීය පණිවුඩය සිහියට නගා ගත යුතු අතර අපගේ සිතුවිලි හා ක්‍රියා ඒ අනුව හැඩගස්වා ගැනීමට අප උත්සාහ ගත යුතු වේ. පරමාණු බෝම්බයෙන් ඇතිවන ඉමහත් බියට පවා අප උපේක්ෂාවෙන් මුහුණ දිය යුතු වන අතර යහපත් සිතීම හා යහපත් ක්‍රියා වගි කිරීමේ ලා සුළු වශයෙන් වුවද ආධාර දිය යුතුය.

මහාචාර්ය සෝන්ඩර්ස් මහතා මෙසේ පවසා ඇත. මිනිසුන් වසඟයට ගනු ලැබ ඇත්තේ තනි පුද්ගල බුදුරජාණන් වහන්සේ විසිනි. මිනිසා තුළ ප්‍රබෝධය (උද්යෝගය) ඇති කරන ලද්දේ උන්වහන්සේ කෙරෙන් නිකුත් වුණු ධර්මය වේ. රදළ පන්තිය විසින් උන්වහන්සේ පිළිගන්නා ලද්දේ උන්වහන්සේගේ තත්ත්වය රදළයෙකුගේ මෙන් වූ බැවිනි. බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ වැඳුම් පිදුම් ලබන්නෙකු වූයේ උන්වහන්සේ කෙරෙහි පැවති ආක්ෂිණය හේතුවෙනි. සෑම සිද්ධියකින්ම මේ ශාස්තෲන්වහන්සේගේ මේ මිනිස් සිත් දිනා ගත් උතුමාගේ ශක්තිමත් වූද මනනන්දනීය වූද පෞරුෂය කැපී පෙනේ.

ආචාර්ය බරුවා මහතා මෙසේ පවසන්නේය. ‘බුදු කෙනකු වශයෙන් උන්වහන්සේ කැළඹීමට පත් නොවේ. උන්වහන්සේ ගැඹුරු ජලාශයක් මෙන් නිශ්චල වේ. සන්සුන් වේ. උන්වහන්සේගේ ස්වරය පැහැදිලි වේ. කන්කළු වේ.

සිංහරාජයෙකුගේ සිංහ නාදයක් මෙන් ගාම්භීර වේ. තමන් වහන්සේගේ පරමාර්ථයට අනුව බුදු රජාණන් වහන්සේ සුළඟට නොසැලෙන මහා පර්වතයක් මෙන් විය.

කැපී පෙනෙන්නා වූද නැගී සිටින්නා වූද උන්වහන්සේගේ පෞරුෂය, හිමාලය පර්වතය මෙන (මේ පර්වත මූලයේදී උන්වහන්සේ උත්පත්තිය ලබන ලද්දේ වේ) බබළන ලදී. බුදුරජාණන් වහන්සේ සියල්ලන් කෙරේ දක්වන ලද්දේ අවිහිංසාව හා කරුණාව යි.

උන්වහන්සේගේ සිත මෛත්‍රීයෙන් හා කරුණාවෙන් පිරී පැවතුණි. බුදු රජාණන් වනාහි සියලු කෙලෙස් නැති කරන ලද උතුමෙකි, යථාවාදී තථාකාරී. තථාවාදී යථාකාරී විය. බුදුරජාණන් වහන්සේගේ පෞරුෂත්වය කෙතරම් අයස්කාන්ත වූයේද යත් උන්වහන්සේ දහම් දෙසත්ම මහජනකාය අතරේ පූර්ණ සන්සුන් බවක් පැවතුණි. සෑම දෙනා විසින්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය එකසේ පිළිගන්නා ලදී’.

ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් තුමා බුදුරජාණන් වහන්සේ පිළිබඳව මෙසේ පවසා ඇත. ‘බුදුරජාණන් වහන්සේගේ අකලංක ප්‍රතිමාවන් අබියස අප්‍රමාණ පුෂ්ප සංඛ්‍යාවක් දිනපතා පූජා කෙරෙන අතර ලක්ෂ සංඛ්‍යාත නොගිණිය හැකි ප්‍රමාණ දෙතොලින් ‘මම බුදු සරණ යමි’ යන පාඨය දිනපතා පිට වේ. එක්ව හා උත්කෘස්ඨ අන්දමින් පිහිටි ගුණ ධම්ම දෙකක් ඉතා උසස් අන්දමින් බුදුරජාණන් වහන්සේ තුළ සංකලනය වී පැවතුණි. එක් අතකින් උන්වහන්සේ තුළ මිනිසා කෙරෙහි මහා අනුකම්පාවක්ද තිබුණි.

සත්‍යය සෙවීමේ අදහසින් උන්වහන්සේ කරා පැමිණි සෑම දෙනාටම උන්වහන්සේ දක්වන ලද්දේ අසීමිත මිත්‍ර ස්වභාවයකි. මෙසේ උන්වහන්සේගේ අනුගාමිකයෝ පුදුමාකාර, බලාපොරොත්තු සහගත ග්‍රධා භක්තියක් උන්වහන්සේ කෙරෙහි දක්වන ලදී. මේ වනාහී ශ්‍රේෂ්ඨ නායකයින් පමණක් ලැබූ භක්ති ප්‍රණාමයකි. අනෙක් අතට බුදුරජාණන් වහන්සේ වනාහි අනභිභවනීය දාර්ශනික බලයක් තිබූ චින්තකයෙකි. මිනිස් ඉතිහාසයේ උන්වහන්සේ සතුව පැවතියේ ඒ ඒ දෑ විග්‍රහ කර බැලීමෙන් අසමසම අවබෝධයක් ලබා ගැන්මේ යොමුවූ මහා ප්‍රඥා මහිමයකි. බුදුරජාණන් වහන්සේ එකල පැවති දාර්ශනික ක්‍රම පිළිබඳ වූ සත්‍යය හා මිථ්‍යා දේවල පතුළට කිඳා බැස ඒවා පරීක්ෂා කළ සේත. මෙසේ පරීක්ෂා කිරීමෙන් පසු සුදුසු දේ උන්වහන්සේ පිළිගත් අතර නුසුදුසු දේ ප්‍රතික්ෂේප කළ සේක. එසේත් නැතහොත් සංස්කරණය කළ සේක. මේ අනුව සළකා බලත්ම ලෝකයේ අනෙක් ශ්‍රේෂ්ඨ දහම් අතුරින් ජීවිත ප්‍රශ්නය හා එය විසඳා ගැන්මේ මාර්ගය යථා අන්දමින් විග්‍රහ කිරීම මත ආයාසයෙන් විවෘත අන්දමින් ගොඩනගා ඇති එකම ආගම බුද්ධාගම වේ’.

බුදුරජාණන් වහන්සේ වනාහි මිනිසුන් ප්‍රිය කරනු ලැබූ කෙනෙකු වූ අතර දාර්ශනික ප්‍රඥායෙක් මෙන්ම වීර්යවන්ත වූද බලසම්පන්න වූ දීප්තිමත් පෞරුෂත්වය කැටි වූ උතුමෙකැයි මහාචාර්ය එඩ්වින් ඒ. බර්ට් මහතා පවසයි.

‘බුදුරජාණන් වහන්සේ වනාහි පැහැදිලි ලෙසම මනුෂ්‍යයෙකි. චාම් වූද ශ්‍රද්ධා සම්පන්න වූද, හුදකලා වම ආලෝකය වෙනුවෙන් සටන් කරන විසිතුරු මිනිස් පෞරුෂත්වයක් වන උන්වහන්සේටග් වනාහි මිථයා කථාවක් නොවේ. ආශ්චර්්‍යජනක උපමා කථා සියල්ල මධ්‍යයේ මෙවන් මිනිසකුද ඇති බව මට හැඟේ. එතුමා මිනිස් වර්ගයා වෙත මිනිස් ස්වරූපයෙන් විශ්ව ව්‍යාප්ති වූ පණිවුඩයක් ගෙන එන ලදී. අපගේ ඉතාමත් හොඳ නූතන අදහස් අතරි් බොහොමයක් එය හා ළඟින් සැසඳේ. ජීවිතය පිළිබඳ වූ සියලු දුක් කම් කටොළු වලට හේතුව ආත්මාර්ථකාමීත්වය බව උන්වහන්සේ උගන්වා වදාරා ඇත. ආත්මාර්ථකාමීත්වය ත්‍රිවිධාකාර වේ. ඉන් පළමු වැන්නවනුයේ ඉන්ද්‍රියයන් පිනවීමට ඇති ආශාව වේ. දෙවැන්න වනුයේ සදාකාලික පැවැත්ම වෙනුවෙන් ඇති ආශාව වේ. තුන්වැන්න වනුයේ ලෞකිකත්වය හා සමෘද්ධිය කෙරෙහි දක්වන ආශාව වේ. කෙනකු සැනසීමක් ලබා ගැන්මට පෙර, හෙතෙම ඉන්ද්‍රියයන් හෝ තමා වෙනුවෙන් ජීවත්වීම අත්හැර දැමිය යුතු වේ. එකල්හි ඔහු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුගේ තත්ත්වයට පත් වනු ඇත. ක්‍රිස්තුතුමාටත් වර්ෂ පන්සියයකට පෙර බුදුරජාණන් වහන්සේ වෙනත් භාෂාවකින් තම ආත්මය අමතක කිරීමට මිනිසාට අවවාද කරයි. යම් යම් දැයින් උන්වහන්සේ අපට හා අපේ අවශ්‍යතාවයනට ලංවේ යැයි එච්. ජී. වෙල්ස් මහතා පවසයි.

මහාචාර්ය රීස් ඩේවිඩ්ස් මහතා පවසන පරිදි මෙතරම් චාම් අන්දමකින් ඉදිරිපත් කරනු ලැබ ඇති, ඕනෑම උත්තර මානුෂික බලවේගයකින් මෙතරම් නිදහස් වූ මෙතරම් නිවහල් වූ (මැවුම්කරු) දෙව් දෙනකු කෙරෙහි පවතින විශ්වාසයට මෙතරම් විරුද්ධ විමුක්තිය පිළිබඳ ක්‍රියා මාර්ගයක් ලෝක ඉතිහාසයේ කවර කලෙකවත් නොතිබුණි. අතිශය උද්යෝගිමත් සුචරිතමය අරමුණක් ඇති, තත්කාලීන සියලු කලාශිල්පයන්හි පුහුණුවව ලත් සමාජ සංශෝධකයෙකු විසින් ආයාසයෙන් ඉදිරිපත් කරන ලද එමෙන්ම මේ ජීවිතයේදී මුණ ගැසෙන ප්‍රතිවිරුද්ධ මත පිළිබඳ දැනුමක් හා ආත්ම වර්ධනය හා ආත්ම දමනය පිළිබඳ ක්‍රියා මාර්ගයක් වෙර යොදා අනුගමනය කිරීමෙන් සිත පිළිබඳ ඇතිවන වෙනස ඇති කිරීමේ යොමු වූ මෙය ආගම් පිළිබඳ මිනිස් ඉතිහාසයේ වෙනසක් ඇති කළ දෙයකි’.

මෙසේ සළකා බලත්ම ආරම්භයේදී බුදු දහමේ ශීඝ්‍ර ව්‍යාප්තියට හේතු වූයේ ධර්මය පිළිබඳවූ තත්ත්වය හා එම ධර්මය දේශනා කරන ලද ශාස්තෲන් වහන්සේගෙන් ධර්මයට ලැබුණු බලවත් වඅනුබලය ද වේ. ධර්මය කෙරෙහි මිනිසුන්ගේ සිත් වසඟ කරන ලද්දේ බුදුරජාණන් වහන්සේ නමැති පුද්ගල උතුමා වේ. මිනිසා තුළ උද්යෝගය දනවන ලද්දේ බුදුරජාණන් වහන්සේ තුළින් නික්මුණු ධර්මය වේ. රදළ පන්තිය මගින් උන්වහන්සේ පිළිගන්නා ලද්දේ උන්වහන්සේද රදළ පන්තියට අයත්වීම හේතුවෙනි. මිනිසුන් අතර උන්වහන්සේ පුද පූජා ලැබීමට සුදුසු උතුමෙකු වූයේ උන්වහන්සේ සතුව පැවති ආකර්ෂණ ගතිය හේතුවෙනි. ධර්මය ඇතුළත් සෑම පිටුවක් පාසා මේ සිත් දිනා ගැන්මේ සමත් ශාස්තෘන් වහන්සේ පිළිබඳ නිසසල, මනෝනන්දනීය පෞරුෂත්වය කැපී පෙනේ.

දෙවියෙකු හා සමාන වූවද දේවත්වයක් ගැන විශ්වාසය නොතබා දේවත්වයක් ආරෝපණය කර නොගනිමින්ද අනාගත සුවය ගැන කලකිරීමක් නොමැතිව, එමෙන්ම බලාපොරොත්තු රහිත වූවාක් මෙන්ම බියද රහිත වූ චින්තන ක්‍රමයක ප්‍රධානියෙකු වුවද, ලෝක තත්ත්වය පිළිබඳ වූ අවිද්‍යාව හෙළා දක්නා ලද උසස් තත්ත්වයක වැජඹුණද ඉමහත් පුද සත්කාර ලබන ලද විශ්ව සහෝදරත්වයෙන් හෙබි මෙවැනි උතුමෙකු ලොව කවරදාක හෝ ජීවත් වූයේ නැත. උන්වහන්සේට විරුද්ධව නැගී සිටි අය මෘදු උපහාසයෙන් මැඩ පවත්වමින් ජනකායෙන් ජනකායට ශ්‍රේෂ්ඨ මිහිරි බවකින් දේශනා කරමින් සෑම දෙනාටම ශාස්තෲවරයෙකු වූ එමෙන්ම සැම දෙනාටම මිත්‍රයෙකු වූ බුදුරජාණන් වහන්සේ, මිනිසුන් අතර චාම් බවද සන්සුන් බවද ප්‍රතට කළ සේක. උන්වහන්සේ ගේ වනාහි රැව් පිළිරැව් දෙන ඒකීය චතුර මධුර ස්වරයකි. උන්වහන්සේගේ කථා විලාසය අසන්නන් සිත් ඇද ගන්නා ආකාර වූ අතර උන්වහන්සේගේ ශ්‍රී දේහය දකින්නන් ගෞරව සම්ප්‍රයුක්ත බියක් දනවීමෙහි සමත්විය. සිරිත් ප්‍රකාර සළකා බලත්ම බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ පෞරුෂත්වයේ මහිමයෙන්ම ස්වකීය අනුගාමිකයනට නායකයකු පමණක් නොව දෙවියකු ද විය. මෙවන් උතුමෙකු කථා කරත්ම අසන්නන් එතුමා කරා ඇදී එන්නේය. බුදුරජාණන් වහන්සේ කුමන දෙයක් ගැන කථා කළද එය සරල දෙයක් මෙන් අවබෝධ වේ. උන් වහන්සේගේ වදන් මාලාව අසන්නන්ගේ ආවේග කෙරෙහි බලපාන අතර ඔවුහු උන්වහන්සේගේ කැමැත්තට අවනත වෙත්. ඊට හේතුව බුදුරජාණන් වහන්සේගේ මේ වශී කරන සුළු පෞරුෂත්වය හැරුණු විට උන්වහන්සේ විසින් දේශනා කරනු ලබන දේ පිළිබඳව අසන්නා තුළ පැන නගින හැඟීම ද වේ.

මෙසේ උන්වහන්සේ විසින් දේශනා කරන ලද දේ සත්‍යය පමණක් නොව, ඒ වනාහී අසන්නාගේ විමුක්තිය පිළිබඳ බලාපොරොත්තු දනවන්නක් බවද, වහලුන් නිවහල් මිනිසුන් බවට පත් කරනු ලබන එමෙන්ම පන්තිවලට බෙදුණු ජනයා සහෝදරත්වයට පත් කරනු ලබන සත්‍යය, බුදුරජාණන් වහන්සේගේ වචන තුළින් ඔවුන් පළමු වරට අවබෝධ කරගනු ලබන්නේ නම් හදවතක් හදවතක් පාසා අකුණු සැරයක වේගයෙන් ගමන් ගන්නා විදුලිය බලය කොතැන්හි ඇත්දැයි දැක්ම ඔවුනට එතරම් අපහසු නොවේ.

බුදුරජාණන් වහන්සේ එවැනි උතුමෙකි. උන්වහන්සේගේ ධර්මය එවැනි ධර්මයකි. බෞද්ධ බලපෑම පැතිරයාමේ නොවැළැක්විය හැකි වේගය එසේ වේ.

තවද බෞද්ධයින්ගේ සුචරිතමය හැඟීම් වලට නව ධර්මය ගෙන දුන් කම්පනය පිළිබඳ ගැඹුරු බලපෑම එසේ වේ’ මෙසේ පවසනුයේ එඩ්වඩ් වෝෂ්බර්න් හොප්කින්ස් මහතා වේ.

නිකිණි පුර පසළොස්වක පොහොය


අගෝස්තු 16 වනදා සෙනසුරාදා පූර්ව භාග 2.17 ට ලබයි.
18 වන දා ඉරිදා පූර්ව භාග 2.46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 16 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 24 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]