UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දිසි රූ පෙළහර

බොදු හැඟුම' වර්ණ රේඛාවෙන්........

ශ්‍රී දළදා මාලිගාව සහ ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය මෙහෙයවන චිත්‍ර ප්‍රදර්ශනය සහ වාර්තාමය චිත්‍රපටය මහනුවර රැජින හෝටලයෙහි දී ( Queens Hotel)  අගෝස්තු 10 සිට 17 දක්වා .


කලාකෙත අස්වැද්දීමට ඵලදායක පිටුබලයක්

හෙළ සිතුවම් කලාව තුළින් ලෝකයා මවිත කිරීමට හෙළ සිත්තරා සතු වූ කලා කෞශල්‍යයේ මහිමය පිළිබඳ අප වඩාත් ගැඹුරින් විමර්ශනය කළ යුතුය. මන්ද මේ සියලු කලා නිර්මාණ තුළින් ගම්‍යවන්නේ හුදු භෞතික සෞන්දර්යාත්මක ප්‍රකාශන පමණක්ම නොව ගැඹුරු අධ්‍යාත්මික ගුණධර්ම සහ සංකල්පයන් ද වන නිසාය.

එවන් අදහස් සහ හැඟීම් උද්දීපනය කිරීම උදෙසා මෙම හෙළ සිතුවම් සමුදාය නන් අයුරින් ප්‍රදර්ශනය කිරීම වර්තමානයේදී අතිශය වැදගත් වූ කර්තව්‍යයක් ලෙස මම දකිමි.

මෙවන් ප්‍රදර්ශනයක් සහ වාර්තාමය චිත්‍රපටයක් තිරගත කිරීමට සංවිධානය කිරීම පිළිබඳව ජනාධිපති උපදේශක ආචාර්ය දයා හේවාපතිරණ මැතිතුමාටත්, මෙය මහනුවර ඇසළ පෙරහර උත්සවයට සමගාමීව පැවැත්වීමට අනුග්‍රහය ලබාදෙන ශ්‍රී දළදා මාලිගයේ දියවඩන නිළමේ තැන්පත් නිලංග දෑල මැතිතුමාටත් මාගේ ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. මෙම කටයුත්ත සංවිධානය කිරීමට නන් අයුරින් දායක වූ සියලු දෙනාටත් කෘතඥ වෙමි.

මෙවන් මහඟු ක්‍රියා තුළින් හෙළ සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ අනාගත පරපුර වෙත ලබාදෙන්නා වූ සුවිශාල අවබෝධය සහ අභිමානවත් හැඟීම් සමුදාය අප රට කලා කෙත අස්වැද්දවීමට ඵලදායක වූ පිටුබලයක් වනු ඇත.

හෙළ හැදියාවේ කලාත්මක ප්‍රකාශනයක්

අප රට විහාරශි‍්‍රත සිතුවම් කලාව යනු වර්ෂ 2200 ඉක්මවන ඉතිහාසයක් ඇති දේශීය සංස්කෘතියෙහි මෙන්ම හෙළ හැදියාවේ කලාත්මක ප්‍රකාශනයකි.

දේශභිමානය සියුම්ව දැනවීමට සමත් මාධ්‍යයකි. වඩාත් අර්ථවත් වූ දේශයක් බිහි කිරීමට මෙය ඉවහල් කරගත හැකිය.

මේ සඳහා ඇවැසි යහපත් වූ සමාජ සංකලනයක් ඇතිකිරීමේ අරමුණින් මෙම සිතුවම් පෙළහර අප ඉදිරිපත් කරමු. මහින්ද චින්තනයෙහි කලා සහ සංස්කෘතික පෝෂණය යනුවෙන් දක්වා ඇති අරමුණු ඉටුකර ගැනීමට මෙම කටයුත්ත ඉවහල් වනු ඇත.

අප ජනාධිපතිතුමාගේ පදිවි ප්‍රාප්තිය සමග අප රට තුළ වර්ධනය වෙමින් පවත්නා වූ ජාතික ප්‍රබෝධය මධ්‍යයෙහි මෙම චිත්‍ර ප්‍රදර්ශනය සහ වර්තාමය චිත්‍රපටයෙහි තේමාව සහ අරමුණ ඉතා කාලෝචිත බව අපගේ අදහසයි.

අප විචිත්‍රවත් වූ දේශීය සංස්කෘතික සම්ප්‍රදායෙහි අසීමිත වූ වටිනාකම ගෙනහැර පෑමට ගත් පියවරක් ලෙස මෙම කටයුත්ත හඳුන්වමු. අප රට පුරා බිහිව ඇති විහාරස්ථානයන්හි සිහල කලාකරුවා කර ඇත්තේ තමන්ගේ හදවතෙහි ගැඹුරුම තැනින් නැඟී ආ දාර්ශනික සංකල්ප එක්කොට බුදුරදුන් ගේ ජීවිතයේ සහ බුදු දහමේ මූලික හරය ඔප් නංවමින්, විචිත්‍රවත් වූ වර්ණ සහ රේඛාවන් මගින් මනස්කාන්ත අයුරින් බොදු තතු නිරූපණය කිරීමයි.

ප්‍රසන්න වූ නිර්මල බුදු දහමේ අරුත්බර සංකල්පයන්ගෙන් අප ජාතික විඤ්ඤාණය දියුණු කිරීම ද මෙම චිත්‍රපටයෙන් අපේක්ෂා කෙරේ. මෙවන් අරමුණු දිනා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම චිත්‍ර ප්‍රදර්ශනය සහ වර්තාමය චිත්‍රපටයේ අන්තර්ගතය ඉතා සූක්ෂම ලෙස සකසා ඇත. අප රටතුළ බිහි වූ අපටම ආවේණික වූ සංස්කෘතියෙහි සුවිශේෂ ලක්ෂණයන් පදනම් කරගත් මෙම ප්‍රදර්ශනය සහ චිත්‍රපටය මෙතෙක් නැරඹූ සෑම දෙනාගේම වාගේ ප්‍රතිචාරය වී ඇත්තේ මෙමඟින් තමන් තුළ මහත් වූ දේශාභිමානයක් ඇති වූ බවයි.

සිතුවම් වල විශේෂත්වය

ශ්‍රී ලංකාව පුරා දහස් සංඛ්‍යාත බෞද්ධ විහාරයන්හි දක්නට ලැබෙන බෞද්ධ සිතුවම් වසර දෙදහස් දෙසියකට වැඩි දීර්ඝ කාලයක් තුළ නිර්මාණ වෙමින් ආ ඒවාය. මෙම සිත් ගන්නා කලාකෘතින්හි අනන්‍යතා වශයෙන් පැහැදිලිව පෙනෙනුයේ සෞන්දර්ය විද්‍යාත්මක ගුණයෙන් හා අධ්‍යාත්මික ගුණයේ පුදුමාකාර ඒකාබද්ධතාවයකි. මෙම කලාත්මක සම්ප්‍රදායේ අද්විතීය බව හා මනස්කාන්ත ලාලිත්‍ය නිසාම මෙම මාහැඟි බෞද්ධ සිතුවම් රැගත් ස්ථාන කිහිපයක්ම යුනෙස්කෝ සංවිධානය විසින් ‘ ලෝක උරුමයන්’ වශයෙන් නම්කොට තිබේ.

සෞන්දර්ය රසාස්වාදය

අප රට දෘෂ්‍ය කලා සම්ප්‍රදායන්හි ප්‍රධාන අංගය වශයෙන් සැලකිය හැක්කේ බෞද්ධ සිතුවම් ය. මෙම සිතුවම් අතර බහුලව ඇත්තේ මෘදු ගුණයෙන් සහ උත්කෘෂ්ඨ බවින් සපිරි කලා නිර්මාණයන් ය. එයින් සමහරක්, දකුණු ආසියාවේ තිබෙන බෙහෙවින්ම පැරණි බෞද්ධ කලා නිර්මාණයන් ය. මෙම ඉපැරණි බෞද්ධ සිතුවම් මෙන්ම පසුකල අප රට බිහි වූ සමහර බෞද්ධ සිතුවම් රාශියක්ම නරඹන්නන්ගේ සිත් සතන් තුළ තීව්‍ර මානසික සුවයක් හා භාවයන් දනවන්නට සමත් වේ. මෙම නිර්මාණයන් කලාත්මක හා සෞන්දර්යාත්මක රසාස්වාදය ඉක්වමින්, නරඹන්නන්ගේ වින්දනය ගැඹුරු තලයකට යොමු කිරීමට පොහොසත් වේ.

බාල පරපුරට බලපෑම

මෙමඟින් අතිශය මනස්කාන්ත වූ ප්‍රබල අභිමානවත් සංස්කෘතික උරුමය විශේෂයෙන්ම අප දරුවන්ට සහ තරුණ පරපුරට හඳුන්වාදීම කාලීන අවශ්‍යතාවයක් ලෙස අපි දකිමු. මෙම චිත්‍රපටය ත්‍රිවිධ හමුදා කඳවුරුවල මෙන්ම විශ්වවිද්‍යාල සහ පාසල් දරුවන්ගේ ආශ්වාදය පිණිසද රටපුරා ප්‍රදර්ශනය කිරීම අරඹා තිබේ. අප රට ආරක්ෂාව පිළිබඳව කැපවී සිටින ත්‍රිවිධ හමුදාවේ චිත්ත ධෛර්යය ප්‍රගුණ කිරීමට මෙම චිත්‍රපටය ඉවහල් වූ බව ඔවුන්ගේ ප්‍රතිචාරයන් තුලින්ම පැහැදිලි වේ.

අප බාල පරපුරෙහි යහපත සඳහා මෙවැනි චිත්‍ර ප්‍රදර්ශනයක් සහ වර්තාමය චිත්‍රපටයක් ඉදිරිපත් කිරීමට ලැබීම අර්ථවත් වූ ජාතික සේවයක් ලෙස අප දකිමු. මෙම බෞද්ධ සිතුවම් මගින් අප පැරණි කලා උරුමයේ ගැඹුරු ඔදවත්බව විදහා දක්වන සදාතනික බෞද්ධ සිතුවම් වස්තු සම්භාරය ඇගයීමට සහ ආශ්වාදනය කිරීමට දොරටුවක් විවෘත වනු ඇතැයි අප බලාපොරොත්තු වේ. මෙම කලාත්මක ධන සම්භාරය අන් අය සමඟ විශේෂයෙන් නව ළමා සහ තරුණ පරපුරත් සමඟ බෙදා හදා ගැනීම අපට මහත් ආත්ම තෘප්තියක් ගෙන දෙන්නකි. අප සංස්කෘතික දයාදයේ සාරවත්භාවය ගැන ඔවුන් තුළ වැඩි දැනුවත් බවක් ඇති කිරීමෙන් මෙම මාහැඟි දායාදය මතු පරම්පරාවන් සඳහා සංරක්ෂණය කොට තැබීමට ඔවුන් තුළ වැඩි උනන්දුවක් ඇති කරවීමට මෙම ප්‍රයත්නයන් හේතුවේයැයි අපගේ් බලාපොරොත්තුවයි.

සංදර්ශන සහ චිත්‍රපට දර්ශනයන්

ශ්‍රී ලංකාව තුළ මෙම චිත්‍ර ප්‍රදර්ශනය සහ වාර්තාමය චිත්‍රපට දර්ශනයන් ආරම්භ වූයේ 2007 වර්ෂයේ ‘දැයට කිරුළ’ ජාතික දින උත්සවයේදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ද, වෙසක් උත්සවය කාලයේදී කොළඹ ජාතික කලාභවනේදී සහ පොසොන් පොහොය නිමිත්තෙන් ඓතිහාසික අළුවිහාරයේදීය.

එතැන් සිට මෙම වාර්තාමය චිත්‍රපටය ත්‍රිවිධ හමුදා කඳවුරු ගණනාවකද පොලිස් ස්ථානයන්හිද, විශ්වවිද්‍යාලයන්හිදී, ජාතික සහ වෙනත් පාඨශාලා කිහිපයකද පිරිවෙන් හා විහාර කිහිපයකද, ආබාධිත නිවාසයන්, අනාථ නිවාසයන්ද සහ බන්ධනාගාර යනාදී ආයතනයන් ගණනාවක සුවිශාල පිරිසකගේ ආශ්වාදය සඳහා මෙම චිත්‍රපටය ඉදිරිපත් කර ඇත.

අභියෝග සහ බලපෑම්

මෙකල ජනතාවට විශේෂයෙන්ම තරුණ පරපුරට සහ අප දේශීය සංස්කෘතියට එල්ල වන්නාවූ නානාවිධි අභියෝගයන් සහ අසුබවාදී බලපෑම් මධ්‍යයේ මම චිත්‍ර ප්‍රදර්ශනය සහ වාර්තාමය චිත්‍රපටයේ තේමාව ඉතා කාලෝචිත බව බොහෝ දෙනා අප වෙත ලිඛිතව දක්වා ඇති ප්‍රතිචාරයන්ගෙන් පැහැදිලි වේ. අප රට තරුණ බාල පරපුරහට මෙය විශේෂයෙන් වැදගත් වන බව සැම දෙනාම පාහේ අවධාරණයෙන් දක්වා ඇත.

නිකිණි පුර පසළොස්වක පොහොය


අගෝස්තු 16 වනදා සෙනසුරාදා පූර්ව භාග 2.17 ට ලබයි.
18 වන දා ඉරිදා පූර්ව භාග 2.46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 16 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 24 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]