UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඇසළ පෙරහර දළදා වහන්සේ වෙනුවෙන් පවත්වන ආගමික උත්සවයකි

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල

ඓතිහාසික සෙංකඩගල ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ ඇසළ පෙරහර මංගල්‍යය සමස්ත ලෝක වාසි ජනතාවගේ ගෞරව බහුමානයට පාත්‍රවෙමින් පැරැණි රජ දවස සිට මේ දක්වා අඛණ්ඩව පැවත එන්නකි. ශ්‍රී දළදා වහන්සේ උදෙසා වාර්ෂිකව සිදු කරන්නාවූ සතර මංගල්‍යයන් අතරින් ප්‍රධාන තැනක් ගනිමින් කාගෙත් අවධානයට පාත්‍රව පවතින්නාවූ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය පෞරාණික චාරිත්‍ර විධි රැක ගනිමින් සාර්ථකව පවත්වා අවසන් කිරීමේ වගකීම ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ තුමන් වෙත පැවරෙයි. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ගිහි භාර කාරත්වය මෙන්ම ශ්‍රී දළදා මාළිගාවේ කාර්ය මණ්ඩල ප්‍රධානීත්වයද වර්තමානයේ හොබවන දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ මෙවර ඇසළ පෙරහර සම්බන්ධව කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසුන ලිපියකි මේ.

ප්‍රශ්නය

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථකව පවත්වා අවසන් කිරීම සඳහා ඔබතුමන් වෙත සුවිශාල කාර්ය භාරයක් පැවරෙනවා. මෙහිදී ඔබට පැවරෙන කාර්යභාරය හා පෙරහරට වන සූදානම කෙබඳුද?

පිළිතුර

සාමුහික ප්‍රයත්නයක ඵලය ලෙස පෙරහරේ සාර්ථකත්වය පෙන්වා දිය හැකියි. පෙරහර පෞරාණික චාරිත්‍ර සුරැකෙන අයුරින් ගාම්භීරව පවත්වා අවසන් කිරීම දියවඩන නිළමේ ලෙස මගේ වගකීමයි. මහනුවර ඇසළ පෙරහරේ ඉදිරියෙන්ම ගමන් කරන්නේ ශ්‍රී දළදා මාලිගාවේ පෙරහරයි. ඊට පසු පිළිවෙළින් නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාළ පෙරහරේ පන්දම්කරුවාගේ සිට පෙරහර කරඩුව දක්වා වූ සියල්ල පිළිබඳව මා අවධානයෙන් පසුවිය යුතුයි. පෙරහරේ ගමන් කළත් මා ඒ පිළිබඳව නිරන්තරව සැලකිලිමත් වෙනවා. පෙරහරේ සංවිධාන කටයුතු මාස ගණනාවක් තිස්සේ සිදු කරනවා. පෙරහර පැවැත්වෙන දින වකවානු තීරණය කිරීම සඳහා නැකැත් බැලීම සිදු කරන්නේ දළදා මාලිගාවේ නැකැත් මොහොට්ටාල විසිනුයි. ඒ අනුව සතර මහ දේවාලයන්හි කප් සිටුවා දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වීමෙන් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ඇරැඹෙනවා. පෙරහර කරඬුව වැඩසිටින මාලිගාවෙන් පිටතට වැඩම කරවීම, පෙරහර පිටත්වීම, පෙරහර ගෙවදීම මේ සියල්ල සිදුකරන්නේ නැකැත් වේලා අනුවයි.

ප්‍රශ්නය

මහනුවර ඇසළ පෙරහර දේශීයව පමණක් නොව විදේශීය වශයෙන්ද විශේෂ අවධානයට පාත්‍රව තිබෙනවා. දළදා වහන්සේටත් සිව් මහා දෙවිවරුන්ටත් පූජෝපහාර පිණිස පවත්වන මෙම පෙරහර නැරැඹීමට දේශීය බැතිමතුන්ට අමතරව විදේශිකයින්ද විශාල ලෙස මෙරටට පැමිණෙනවා. මෙය සංචාරක කර්මාන්තයේ ප්‍රගමනයටද විශාල හේතූවක් වෙනවා නේද?

පිළිතුර

ඇත්තෙන්ම ඔව්. හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය මහනුවර ඇසළ පෙරහරයි. කලාකරුවන් දහසකට වැඩි පිරිසක් සමඟ අලි ඇතුන් සියයකට වැඩි සංඛ්‍යාවක් සහභාගිවන තවත් උත්සවයක් ලොව කිසිදු තැනක දකින්න ලැබෙන්නේ නැහැ. මේ නිසා විදේශිකයන්ගේ විශේෂ අවධානය මෙම පෙරහරට යොමු වෙනවා. අවසන් රන්දෝලි පෙරහර පසුගිය වසරේ අපි චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ රටවල් 90ක පමණ සජීවිව විකාශය කළා. මෙවර රටවල් 125 ක් පමණ ආවරණය වන පරිදි එම කටයුත්ත සිදු කිරීමට අපේක්ෂා කරනවා. මෙමඟින් තව තවත් මෙම විචිත්‍රවත් පෙරහර මංගල්‍යය විදේශයන් තුළ ප්‍රචලිත කිරීම අපේ අරමුණයි.

ප්‍රශ්නය

ඔබ කීවා පෙරහරට අලි ඇතුන් සියයක් පමණ සම්බන්ධ කරන බවත්, මෙරට දැනට ජීවත්ව සිටින හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව ඉතා අඩු අගයක් ගන්නා බව දැනගන්නට තිබෙනවා. හීලෑ අලි හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ලෙස ඔබ මෙම ප්‍රශ්නය විග්‍රහ කරන්නේ් කෙසේද?

පිළිතුර

අපේ හීලෑ අලි සම්පත සීඝ්‍රයෙන් අඩුවෙමින් තිබෙනවා. පසුගිය වසරේ පමණක් හීලෑ අලි පස් දෙනකු මියගියා. මේ විදිහට අපේ හීලෑ අලි සම්පත එන්න එන්නම අඩු වුණොත් අනාගතයේ පෙරහර පැවැත්වීමත් ගැටලුවක් වේවි. දළදා මාළිගාවට අලි ඇතුන් 13න් දෙනකුගෙන් යුත් ඇත් පන්තියක් සිටිනවා. මෙයට අමතරව දළදා පෙරහරට තමන්ගේ අලි ඇතුන් ලබා දෙන්න කවුරුත් කැමැතියි. මේ නිසා මෙතෙක් දළදා මාළිගාවේ පෙරහරට එම ගැටලුව තදින් දැනී නැහැ. ඒත් ඇතැම් පිටිසර දේවාල වල දේව අභරණ වැඩමවීමට අලි ඇතුන් නොමැතිව පෙරහර කල් දමන අවස්ථාත් තිබෙනවා. කතරගම, සබරගමුව, තිස්ස මහරාමය සීනිගම පෙරහර එකම කාලයේ නැකැත් අනුව යෙදුනොත් අලි ඇතුන් සොයා ගැනීම බරපතල ග ැටලුවක් වේවි.

ප්‍රශ්නය

අලි ඇතුන් පෙරහර වලට සම්බන්ධ කර ගැනීම පිළිබඳව සත්ව හිංසාවට එරෙහි ඇතැම් සංවිධාන ප්‍රශ්න මතුකරනවා නේද?

පිළිතුර

සමහර රාජ්‍ය නොවන සංවිධාන තමයි ඔය ප්‍රශ්නය මතු කරන්නේ. අන්‍යාගමික බලපෑම් මේ තුළ තිබෙනවා.ආසියානු අලියා තමයි ගෘහස්ථ වී ආගමික පරිසරයක් තුළ හැදී වැඩෙන්නේ. ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන්මාරය, ඉන්දියාව වැනි රටවල විශාල ලෙස අලියා ආගමික උත්සව වලට යොදා ගන්නවා. මේ බෞද්ධ පරිසරය තුළ සිදුවන බෞද්ධ පුනර්ජීවනයට හේතුවන ක්‍රියාදාමයට තමයි මේ අය පහර දෙන්නේ. තුරඟ තරඟ වලට සහභාගි වී තුවාල ලබන අශ්වයින්ට වෙඩි තබා මරා දමනවා. ප්‍රංශයේ අමානුෂික වධ දෙමින් ගවයන් වීදි දිගේ දුවන්නට සලස්වා මරා දමනවා. මේවාට විරුද්ධව මේ රාජ්‍ය නොවන සංවිධාන කටක් අරින්නේ නැහැ. මෙයින් පෙනෙනවා මේ අයගේ අරමුණ කුමක්ද? කියලා.

ප්‍රශ්නය

පසුගිය වසරේ ඔබ පෙරහරේ ගුණාත්මක බව ආරක්ෂා කර ගැනීමට කලාකරුවන් සහභාගි කර ගත්තේ විශේෂ සම්මුති පරීක්ෂණයකට භාජනය කරලයි. මෙවරත් එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මකද

පිළිතුර

මෙවරත් ඒ ආකාරයෙන්ම සම්මුඛ පරීක්ෂණයක් සිදු කරනවා. පෙරහර හැඩ කරන්නේ කලා ශිල්පීන් මෙරට නමගිය සුප්‍රසිද්ධ කලාකරුවන් මහනුවර පෙරහරට එකතු වෙනවා. මේ අය පරම්පරාවෙන් පරම්පරාවට ආරක්ෂා කරගෙන පැමිණි කුසලතා දළදා පූජෝපහාරය පිණිස පැවැත්වෙන පෙරහරේදී ඉදිරිපත් කරන්නේ ඉමහත් භක්තියකින් යුතුවයි. මේ අතර මුදල් පමණක් අපේක්ෂාවෙන් පෙරහරට එක්වන සුළු පිරිසකුත් සිටිනවා. සමහරු කුඩා ළමුන් පෙරහර සඳහා එක්කර ඔවුනට ලැබෙන මුදලින් කොටසක් සාක්කුවේ දමා ගන්නවා. මේ සියල්ලට ඉඩක් නොතබා දක්ෂතා ඇති අයට නිසි අවස්ථාව ලබාදීමේ අරමුණින් තමයි කලාකරුවන් සියලු දෙනා සම්මුඛ පරීක්ෂණයට භාජනය කරන්නේ.

ප්‍රශ්නය

ඇතැම් විට තරුණ පරපුර කලාවෙන් ඈත්ව යමින් තිබෙන ප්‍රවණතාවක් ඇතිවීම තුළ පාරම්පරික කලා ශිල්පක්‍රම අභාවයට යමින් තිබෙනවා නේද?

පිළිතුර

අද සමාජය තුළ කලාකරුවන්ට නිසි පිළිගැනීමක් නැහැ. මොකවත්ම කරන්න බැරි කෙනෙක් තමයි කලාවට යොමුවන්නේ කියන හැඟීම සමාජයේ තිබෙනවා.

මේ නිසා තරුණ පරපුර කලාවෙන් ඈත් වෙනවා වන්න පුළුවන්. මෙම පිරිස කලාව තුළ රඳවා ගැනීමට නම් මුලින්ම ඊට අවශ්‍යය නිසි ගෞරවය සමාජයෙන් ලබාදිය යුතුයි.

ඔවුන් දිරි ගැන්වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක වීම ඉතා වැදගත් වෙනවා.

ප්‍රශ්නය

පෙරහර සංවිධානය සඳහා අතිවිශාල මුදලක් වැයවනවා නේද

පිළිතුර

මෙවර පෙරහර සඳහා රුපියල් ලක්ෂ 200ක් පමණ වැය වෙතැයි අපේක්ෂා කරනවා. පසුගිය වසරේ ලක්ෂ 120ක පමණ මුදලක් පෙරහර සඳහා වැය වුණා. අලි ඇතුන් සඳහා පමණක් රුපියල් ලක්ෂ 50ක් වැය වෙනවා. පෙරහර සඳහා කොප්පරා ටොන් 15ක් අවශ්‍යයයි. මේ සඳහා වැයවන මුදල් පමණක් ලක්ෂ 15ක් වෙනවා. පෙරහරට සම්බන්ධ වන කලාකරුවන්ටද ගෙවීමක් කරනවා. මෙයට අමතරව මේ අයට ආහාරපානද ලබා දෙනවා. මේ සියල්ල සඳහා විශාල මුදලක් වැයවෙනවා.

ප්‍රශ්නය

පෙරහර සඳහා රාජ්‍ය අනුග්‍රහ ලැබෙන්නේ කවර ආකාරයටද?

පිළිතුර

මේක ජාතික උත්සවයක් ලෙස ගැසට් කැර තිබෙනවා. පෙරහරට අවශ්‍ය ආරක්ෂාව, පෙරහර නැරැඹීමට පැමිණෙන ජනතාවට අවශ්‍යය මූලික පහසුකම්, රාජ අනුග්‍රහයෙන් ලබා දෙනවා. මහනුවර නගර සභාවත්, දුම්රිය දෙපාර්තමේන්තුවත්, ශ්‍රී ලංගම හා මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියත් මෙහිදී වැදගත් කාර්යභාරයක් ඉටුකරනවා. මෙයට අමතරව රජයෙන් රුපියල් ලක්ෂ 05ක මුදලක් පෙරහර භාරය වෙත ලබා දෙනවා. එම මුදලට තවත් ලක්ෂ 05ක් එකතු කැර මා එය පිටිසර දේවාල පෙරහර සඳහා ඒ ඒ දේවාල වලට ලබා දෙනවා. දළදා මාලිගාවේ පෙරහර පැවැත්වෙන්නේ සම්පූර්ණයෙන්ම මාලිගාවේ අරමුදල් වලිනුයි.

ප්‍රශ්නය

ඔබ පෙරහර රැසක බස්නායක නිළමේ ලෙසත් දියවඩන නිළමේ ලෙසත් ගමන් ගෙන තිබෙනවා. මෙහිදී ඔබට අමතක නොවන අත්දැකීම් රැසක් ඇති නේද?

පිළිතුර

මම සමන් දේවාලයේ පෙරහර 42කටත් කතරගම දේවාලයේ පෙරහර 50කටත් දළදා මාලිගාවේ පෙරහර 40කටත් මේ වනවිට සහභාගි වී තිබෙනවා.

මේ සියල්ල ගත්තොත් පෙරහර 132 යි. මේ කිසිදු පෙරහරකට ස්වභාව ධර්මයෙන් හෝ කිසිදු හිරිහැරයක් සිදු නොවීම ඇත්තටම අමතක නොවන කාරණයක් .වැස්සක් වැස්සත් පෙරහර ආරම්භ කිරීමට ප්‍රථම පායනවා. මේක මා ලද භාග්‍යයක් ලෙස හිතනවා.

ප්‍රශ්නය

මෙවරත් පෙර පරිදි අති විශාල ජනතාවක් පෙරහර නැරැඹීමට පැමිණෙතැයි අපේක්ෂා කරනවා. එම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කළ හැකිද?

පිළිතුර

පොලිසිය ප්‍රමුඛව ආරක්ෂක අංශ ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ජනතාවට බියෙන් හා සැකයෙන් තොරව පෙරහර නැරැඹිය හැකියි. ආරක්ෂක අංශවල පරීක්ෂා කිරීම් වලට ජනතාව ලබාදෙන සහාය මත මෙම වැඩපිළිවෙළ තවත් ශක්තිමත් වෙනවා.

ප්‍රශ්නය

පෙරහර නැරැඹීම සඳහා පැමිණෙන ජනතාවට ඔබ ලබාදෙන පණිවුඩය කුමක්ද

පිළිතුර

ඇසළ පෙරහර සැණකෙලියක් නොව දළදා වහන්සේ වෙනුවෙන් පවත්වන ආගමික උත්සවයක්. මේ නිසා ඊට ගැලපෙන ඇඳුම් පැළදුම් භාවිත කරන ලෙස මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. අත්‍යවශ්‍ය දේම හැර සෙසු බඩු බාහිරාදිය ගෙන ඒමෙන් වලකින ලෙසත් ආරක්ෂක අංශවල පහසුව පිණිස හැකි තරම් වේලාසනින් පෙරහර මාර්ගයට ප්‍රවිෂ්ඨ වන ලෙසත් මම ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න කැමැතියි.

ප්‍රශ්නය

පෙරහර තුළ දක්ෂතා දක්වන ශිල්පින්ට ජනාධිපතිතුමන් අතින් සම්මාන ප්‍රදානය කිරීම මෙවරත් පෙර පරිදිම සිදු කෙරෙනවාද

පිළිතුර

ඔව්.දවල් පෙරහර පැවැත්වීමෙන් පසු පෞරාණික චාරිත්‍රයන්ට අනුව සිව් දේවාල බස්නායක නිලමේවරුන් පෙරහරින් මහනුවර ජනපති මන්දිරය වෙත ගොස් පෙරහර සාර්ථකව අවසන් කළ බව දැක්වෙන පෙරහර සන්දේශය අතිගරු ජනපතිතුමන් අතට බාර දෙනවා.

ඉන් අනතුරුව පෙරහරේ විශිෂ්ට දක්ෂතා දැක්වූ කලාකරුවන්ට ජනාධිපතිතුමන් අතින් සම්මාන සහතික ප්‍රදානය සිදු කෙරෙනවා.

නිකිණි පුර පසළොස්වක පොහොය


අගෝස්තු 16 වනදා සෙනසුරාදා පූර්ව භාග 2.17 ට ලබයි.
18 වන දා ඉරිදා පූර්ව භාග 2.46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 16 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 24 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]