පද බැඳි විමුක්ති සුවය
හේමමාලි නිලාන්ගනි
කරුණාරත්න
ඛුද්දක නිකායට අයත් ග්‍රන්ථ වැඩි කොටසක් පද්‍ය රචනා ලෙස හැඳින්විය හැකි
ය. ධම්ම පද සුත්ත නිපාත ජාතක, අපදාන බුද්ධ වංශය ඉන් කිහිපයකි. ඒ අතර
ඇති ථෙර ගාථා හා ථෙරි ගාථා යනු කාව්‍ය රසයන්ගෙන් අනුන සෞන්දර්යාත්මක
සංකල්පනාවන්ගෙන් සමන්විත නිරාමිස විමුක්ති රසයෙන් පිරිපුන් පද්‍ය
ග්‍රන්ථ
දෙකකි. පෙර’පර දෙදිගම විචාරකයන් ගේ සම්භාවනාවට පාත්‍ර වූ ථෙර
ථෙරී ගාථා බෞද්ධ සාහිත්‍යයේ පමණක් නොව විශ්ව සාහිත්‍ය තුළම සම්මානයට
පාත්‍ර වූ ග්‍රන්ථ දෙකක් ලෙස හැඳින්වුවහොත් එය නිවැරැදි ය. කටුක වූ
ගිහි ජීවිතයත්, ලොව්තුරු සුව ගෙන දෙන පැවිදි ජීවිතයත් වෙන් කොට හඳුන්වා
දෙන පූර්ණ බ්‍රහ්ම චර්යාව, අව්‍යාජ දිවි පැවැත්ම, අල්පේච්ඡතාව, සරල බව,
සැහැල්ලු බව ආදී උදාර, ගුණයන්ගෙන් සමන්විත බුද්ධකාලීන භික්‍ෂු
භික්‍ෂුණීන්ගේ උත්තරීතර හැඟුම් සමුදායක් මෙම ථෙර ථෙරී ගාථා මඟින්
ප්‍රකට වේ.
ත්‍රිපිටකයෙහි පරතෙරට පැමිණි උගත් බ්‍රාහ්මණයන්, රජ කුමාරවරුන්, සිටු
කුමාරවරුන්, ගොවියන්, විවිධ ශ්‍රේණිවල කම්කරුවන් ආදීන් මෙන්ම, රජ
බිසෝවරුන්, රජ, සිටු, බ්‍රාහ්මණ වංශික කුමාරිකාවන්ද, නගර, සෝභනියන්,
දාසියන්, ස්වාමියාගේ වධ බන්දන වලට ලක්ව අසරණව සිටි භාර්යාවන්, අනාථව
අසරණව හුදකලා වූ කාන්තාවන් ආදී ගිහි සමාජයේ විවිධ පන්තීන් නියෝජනය
කරන්නා වූ අය පසුව සසුන්ගතව, තමා ගිහි ජීවිතයේ දී ලද කටුක අමිහිරි
අත්දැකීමත් දැන් ලබන්නා වූ නිරාමිස විමුක්ති සුවයත් පිළිබඳ කරන ලද
ප්‍රකාශ විවිධ අනුභූතීන්ගෙන් යුක්ත වන ආකාරය ථෙර ථෙරී ගාථා තුළින්
පැහැදිලි වේ.
අනේක විධ වූ දුක් කම්කටොළු වලින් පිරී ගිහි ජීවිතයෙන් මිදුණු පසු සිතට
දැනෙන්නා වූ විමුක්ති සුවය වචන වලින් ප්‍රකාශ කිරීම දුෂ්කර ය. එහෙත් හද
පත්ලෙන්ම නැග ආවා වූ ගැඹුරු අර්ථයෙන් සමන්විත වූ ඒ සදාතනික වූ ධර්මතාව
කවියකට නැඟීමට තරම් බුද්ධ කාලීන භික්‍ෂු භික්‍ෂුණියෝ සමත් වූහ. කවි
සමයෙහි දක්නට ලැබෙන සියලු සාධු සම්මත රීතීන්ගෙන් යුක්ත වූ ථෙර ථෙරී
ගාථා කිසි විටකත් අතිශයෝක්තියෙන් යුක්ත නොවී ය. ප්‍රකෘති භාවයෙන්
යුක්ත වූ මෙම කාව්‍යයන්හි සෑම විටම අවශ්‍ය තැන්වලදී උපමා රූපක
නියමාකාරයෙන් යොදා ගෙන ඇත. මිනිස් චිත්ත සන්තානය තුළ පැන නගින්නා වූ
උතුම් මිනිස් ගුණ වන කරුණාව, මුදිතාව, උපේක්‍ෂාව, මෛත්‍රිය වැනි ගුණයන්
ද අලෝහ, අදෝෂ, අමෝහ වැනි වීතරාගී හැඟීම් පිළිබඳව ද ජීවිතයේ අනිත්‍ය
ස්වභාවය පිළිබඳව ද අපූරු අන්දමින් වර්ණනා ;කාට ඇති ආකාරය ථෙර ථෙරී ගාථා
මඟින් ප්‍රකට වේ. එනිසාම ලෝක සත්ත්වයා පිළිබඳව උත්තරීතර දර්ශනයක් ද,
පරිපූර්ණ වූ කාව්‍යම දෘෂ්ටියක් ද මෙම කාව්‍ය තුළ ගැබ්ව ඇත. බුද්ධ කාලීන
මහ තෙරවරුන් හා තෙරණියන්ගේ අරමුණ වූයේ කවියන් වීම, නොව, සසරෙහි පවත්නා
අනිත්‍ය ස්වභාවය වටහාගෙන ඒ ඔස්සේ ජීවිතයේ ඇති සියලු බැඳීම් වලින්
නිදහස්ව උතුම් වූ නිර්වාණය අවබෝධ කොට ගැනීමයි. ඒ නිසාම උන්වහන්සේලා ඒ
සඳහා සුදුසු ස්ථාන කරා වැඩියහ. සියලු ලෞකික ආශාවන්ගෙන් මිදී හුදෙකලා වන
සෙනසුන් කරා වැඩි මහ තෙරවරු හා තෙරණියෝ කෙලෙස් බැම්මෙන් මිදෙන්නට බවුන්
වැඩූහ. අවසානයේ උන්වහන්සේලාට තමන් සෙවු විමුක්ති මාර්ගය හමු විය. සංසාර
චක්‍රය බැඳ තැබූ තෘෂ්ණාව නැමැති කෙලෙස් රැහැන්පට කඩා බිඳ දැමීම
පී‍්‍රතියට කරුණකි. ඒ වීතරාගී නිරාමිස හැඟුම් සමුදාය නිරායාශයෙන් වදන්
වලට පෙරළී උන්වහන්සේලා මුවින් පිටවීම අරුමයක් නොවේ. තමා අවට පරිසරය කවි
ඇසින් නොව පියවි ඇසින්ම යථාර්ථවාදීව දකින්නට හුරු වූ තෙර තෙරණියන් තම
සොම්නසින් පිරි නිරාමිස හැඟුම් පරිසරයේ සුන්දරත්වය සමග මුසු කොට
ප්‍රකාශ කොට ඇති ආකාරය සප්පක, ගිරිමානන්ද, තාලපුට, වංගීස, අම්බපාලී,
චාපා, සුභා වැනි මහ තෙරවරුන් හා තෙරණියන් ගේ ථෙර ථෙරී ගාථා තුළින් මනාව
පැහැදිලි වේ.
අජකරණී නදිය අසබඩ විසූ සප්පක තෙරණුවන් ගේ ස්වභාවය සෞන්දර්ය වර්ණනාව ඉතා
උසස් තත්ත්වයක පවතින කාව්‍ය නිර්මාණයක් ලෙස මෙහිදී පෙන්වා දිය හැකි ය.
“යදා බලාකා සුචිපණ්ඩරච්ඡදා
කාලස්ස මේඝස්ස භයේන තජ්ජිතා
පලෙහීති ආලය මාලයෙසිනි
තදා නදි අජකරණි රමේති මං” (සප්පක ථෙර ගාථා)
එහි අර්ථය නම්, “කළු පැහැති ගන කළු වලා පෙළ දැක බියට පත් වූ කොක් රෑන
සුදු පැහැති තම පියාපත් විදා අහසට නැග පියඹා ගියා. තම නිවෙස්
සොයාගෙන.... නමුත් නිහඬව හුදකලාව ගලා යන අජකරණි නදිය නුඹ මගේ හදවත
පැහැරගෙන ඇත”
හිමාලය කඳු වැටිය පාමුලින් ගලා යන අජකරණි නදිය අසල ගල් ගුහාවක හුදකලාව
වාසය කරමින් බවුන් වඩන සප්පක තෙරණුවන් පරිසරය වෙතින් ලැබුවා වූ මිහිරි
අනුභූතිය විචිත්‍රවත් ලෙස කාව්‍යමය චිත්‍රයකට නංවා ඇත්තේ එ අයුරිනි.
සමස්තයක් වශයෙන් ගත් කළ සම්පූර්ණ ථෙර ගාථාවලියම මනහර දසුන් පෙළක් මනසේ
නිර්මාණය කිරීමට සමත් වී ඇත. වර්ෂාව නිසා සැඩ පරුෂ ලෙස ගලා යන අජකරණි
නදිය ගං ඉවුර දෙපස වැඩුණු මලින් හා ඵලින් බරවුණු වෘක්‍ෂ ලතාවන්, එම
වෘක්‍ෂ ලතාවන් අතරින් පෙනෙන සප්පක තෙරුන් වාසය කරන ගල් ගුහාව, වර්ෂාව
නිසා සෙවණක් සොයා ඇදෙන ෂෂධාකාරයේ වන සතුන් මැඩියන්ගේ ගැඹුරු ශබ්දය....
මේ සියල්ල පෘථග්ජන මිනිසකුට බිය ගෙන දෙන්නා වූ කරුණු කාරණාවන නමුත්
සියලු කෙලෙසුන්ගෙන් මිදි විතරාගී වූ උතුමන් හට එම දර්ශනයන් ද සිත් අලවන
සුළු ය. උපාදානයෙන් මිදුනු එ හැඟුම් නිරාමිස ය. ස්වභාසෞන්දර්යයේ එක්
අවස්ථාවක් මෙලෙසින් අපූර්ව කාව්‍ය සංකල්පනාවක් ලෙස දොරට වැඩියද මෙම
කාව්‍ය විනිවිද යන්නා වූ ගැඹුරු අර්ථය පිළිබඳව ද මඳක් විමසා බැලීම වටී.
වර්ෂාව නිසා සැඩ පරුෂ වී ගලන අජකරණීය නදිය, එම සැඩ පහරට හසුව ගසාගෙන යන
සත්වයන්, කෙලෙස් වර්ෂාවට හසුව, සංසාර සාගරයේ සැඩ පහරට හසුව (සසරෙහි
නැවත නැවත ඉපදෙමින්) දුක් විඳින ලෝක සත්ත්වයා මෙනි. වර්ෂාවට හසු නොවී
සෙවණක් සොයා ඉගිලී යන සුදු කොකුන් රෑන කෙලෙස් වර්ෂාවට හසු නොවි උතුම්
වූ නිර්වාණය කරා ගමන් කරන පැවිදි උතුමන් මෙනි. මහ වැසි ඇද හැලෙන සමයක
වනයේ සිය කුටියෙහි හිඳ ඇද හැලෙන වර්ෂාව ලෙස බලා සිටින ගිරිමානන්ද
තෙරුන් ගේ සිත සොම්නසින් පිරී ඇත. බිම පතිත වන වැහි බිඳුවල ශබ්දය
උන්වහන්සේට ඇසෙන්නේ ගීතයක් මෙනි. කෙතරම් තදින් වර්ෂාව ඇද හැලුනත්
ගිරිමානන්ද තෙරුන්ගේ සිතට කනගාටුවක් නොමැත. ඒ උන්වහන්සේගේ කුටිය
වර්ෂාවෙන් හානියක් නොවන පරිදි මනාව සෙවිලි කොට ඇති බැවිනි.
“ ගීතයක් සේ මේඝය මගේ සවන් පත් වැකේ මනා ලෙස සෙවිලි කළ සුව පහසු මගේ
කුටිය සීත සුළඟින් මා රකිනු ඇත. එහෙයින් බියක් නැත සන්සිඳී වෙසෙමි මම
මෙහි මේඝය... ඉදින් තොප කැමැතිනම් වසිනු මැන මහ තදින් වසිනු මැන”
(ගිරිමාන්ද ථෙරගාථා)
කෙලෙස් වර්ෂාවට නොතෙමි විතරාගී මනසකින් සුවසේ වෙසෙන්නට ගිරිමානන්ද
තෙරුන්ට හැකි ය. ඒ උන්වහන්සේගේ සිත සියලු ලෞකික ආශාවන්ගෙන් මිදී ඇති
බැවිනි. යළිත් ඒ සිත තුළ ක්ලේශ ධර්මයන්ට ඉඩක් නැත. තාලපුට, සුභූති,
වංගීස, කාළුදායි වැනි තෙරවරුන්ගේ උදාන ගීතයන් ද නිරාමිස විමුක්ති
රසයෙන් පිරිපුන් අපූර්ව ස්වභාව සෞන්දර්ය වර්ණනා වේ. බුද්ධකාලීන සමාජයේ
විසූ විවිධ සමාජ පන්තීන් නියෝජනය කළ බොහෝ කාන්තාවන් ද පසුව ජීවිතය
පිළිබඳව ඇති වූ කලකිරීමෙන් බුදු සසුනෙහි පැවිදිව සසර කතරින් එතෙර වූහ.
ඔවුන් සිය අරමුණ වූ නිර්වාණය පසක් කොට ගත් පසු සිත තුළ නැඟුණු සොම්නස
උදාන කවියක් ලෙසින් ප්‍රකාශ කළහ. අම්බපාලි, අඩ්ඪකාසි, සුභා, චාපා
විමලා, මුත්තා, ඉපිදාසි, අභය මාතා, උප්පලවණ්ණා වැනි තෙරණියන් ගේ ථෙර
ගාථා ඔවුන් තුළ පැවැති ජීවිතාවබෝධය මනාව පසක් කොට දෙයි. ගිහි කල රජ,
සිටු, මැති, ඇමැතින් මෙන්ම ජනපදයේ වෙසෙන සියලු පුරුෂයන් සිය වසඟයට ගෙන
සිටි අම්බපාලි යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතා රූමත් කාමිණියකි.
එහෙත් සසුන් ගත වීමෙන් පසු ඇය විසින් කරන ලද ප්‍රකාශ ජීවිතයේ ඇති
අනිත්‍ය බව සිහි කරවයි. ගිහි කල තරුණ වියේ දී සියලු මිනිසුන් උමතු කරවූ
තම සුන්දර රූපශ්‍රීය වයස් ගතව ජරාවට පත්ව විනාශ වීම පිළිබඳව ඇය ශෝක
නොවේ. ලෝකයේ යථා ස්වභාවය නම් ඇතිවීම, පැවතීම, හා නැතිවී යෑමයි. සියලු
වස්තූන් මෙම ත්‍රි ලක්‍ෂණයට ගොදුරු වන බව අම්බපාලි තෙරණිය මනාව වටහා
ගෙන සිටි ආකාරය ඇගේ උදාන කාව්‍ය තුළින් ප්‍රකට වේ. බැහැරින් ඔප දමා
විචිත්‍රවත් ඇඳුම් පැළඳුම් වලින් සරසා ලොවට පෙනෙන්නට ඇති මේ සියලු
පංචස්කන්ධයන් දිනෙක කවර ආකාරයකට හෝ සරසන්නට නොහැකිව විනාශ ව යන අයුරු
අම්බපාලි තෙරණිය ප්‍රකාශ කරන්නේ මෙසේ ය.
“නාඹර තරුණ වියේ මා සතු වූ බඹර පැහැ අක් බඹරු දිගු කෙස් කළඹ දැන් ජරාවට
පත්ව හණ නූල් මෙන් සුදු පැහැ ගැන්ව ඇත. බුදුන් දෙසූ අනියත දහම
සත්‍යවාදී බව දනිමි මම” (අම්බපාලි ථෙරිගාථා)
මේ අයුරින් කේසාන්තයේ සිට පාදාන්තය දක්වා සියලු අංගයන් තරුණ වියේ
පැවැති ස්වරූපයත් පසුව වයසට යෑමත් සමඟ ජරාවට පත්වන ආකාරයත් පියවි ඇසින්
දැකගත හැකි වස්තුන්ට උපමා කරමින් වර්ණනාවට ලක්කොට ඇත්තේ දක්‍ෂ කිවිඳියක
ලෙසිනි. සමස්ත කාව්‍යයම සිහිපත් කොට දෙන්නේ බුදු දහමේ අනිත්‍ය
දර්ශනයයි. කෙටි වූවද සිත් ගන්නා සුළු අගනා උදාන කාව්‍යයක් ලෙසින් චාපා
තෙරණිය ගේ උදානය දැක්විය හැකි ය. ගිහි කල තම ස්වාමියා තමා වෙතම රඳවා
තබා ගැනීමට ඇය ගත්තා වු උත්සාහය පිළිබඳව එහි විස්තර වේ.
තමා වැනි රූපශ්‍රීයෙන් අනූන කාන්තාවක් තනිකර ගිහිගෙය හැර යන්නට
සැරසෙන්නේ ඇයිදැයි සිය ස්වාමියාගෙන් අසන ඇය වෙන් වෙන්ව නොව සිය සමස්ත
රූපයම තනි තනි උපමාවන්ට නගා වර්ණනා කර ඇති ආකාරය මෙම ථෙරි ගාථාවෙහි
දැකිය හැකි විශේෂ ලක්‍ෂණයයි.
“මහගිරි මුදුනක පිපුණු මල්වලින් පිරි රට අත්තන ගසකි මා නැත... නැත...
මල්වලින් පිරී ගිය දෙළුම් අත්තකි මා... තව විටෙක.. දිවයිනක මලින් බරවුණ
පළොල් අත්තක් මෙනි. එවන් වූ සොඳුරු අඟපසඟ ඇති මෙමා කවුරු නම් අතහැර දමා
යාවිද?
(චාපා තෙරණියගේ උදානය)
ගිරි මුදුනක මලින් බරවුණ රට අත්තන ගහක්, මලින් මෙන්ම ඵලවලින් ද පිරී
දෙළුම් ගහක්, මල් වලින් පිරුණු පළොල් ගහක්, ඕනෑම අයෙකුගේ සිත තුළ
චමත්කාරජනක සිතුවමක් මවනු ඇත. පිපුණු මල් වල සුන්දරත්වය මෙන්ම දෙළුම්වල
ඇති මිහිරද නිතැතින්ම සිතට නැගෙන ඇත. මේ සියලු උපමා තුළින් ගම්‍ය
වන්නේ, “චාපා” “බිරිඳ” කොට ගන්නා පුරුෂයා විඳින යුග දිවියේ මිහිරම
නොවේද? එය සත්‍යයක් වූවත් අසත්‍යයක් වූවත් එහිදී ඇය සිය ස්වාමියාට
ඒත්තු ගන්වන්නට උත්සාහ කරන්නේ තමා වැනි සුන්දර භාර්යාවක් ලැබීම ඔහුගේ
භාග්‍යයක් බවය.
ජීවක අඹ වනයේ සුභා තෙරණියගේ උදානයද ස්වභාව සෞන්දර්යයත් කාන්තා
රූපශ්‍රීයත් මිශ්‍ර වූ අගනා කවි පෙළකි. මිනිස් සිරුරේ පවත්නා
නිස්සාරත්වය පිළිබඳ සුභා තෙරණිය ධූර්තයා හමුවේ පවසද්දී කෙලෙස් ගින්නෙන්
දැවෙන කාමුක ධුර්තයා වනයෙහි සුන්දරත්වය මෙන්ම එහි ඇති බියකරු බවද
පවසමින් තමා සමඟ රමණයට එන ලෙස ඇයව පොළඹවයි. හුදෙකලා වූ ස්ත්‍රියකගෙන්
තම සිතැඟි ඉටුකර ගැනීමට මාන බලන පිරිමින් අද මෙන්ම එදා සමාජයේ ද සිටි
බව මේ සිදුවීම් තුළින් පැහැදිලි වේ. එහෙත් මෙම කාන්තාවගේ විශේෂත්වය
වන්නේ අය හුදකලා වූයේ සියලු බැඳීම් අතහැර දැමූ නික්ලේශි අයකු වූ
බැවිනි. ධුර්තයා නොදන්නේ වී නමුදු කාන්තාවක් වූවද ඇගේ සිත පරිසරයේ කවර
හෝ තත්ත්වයකින් සැලෙන්නේ නැත. තමා අවට ඇති සෑම වස්තුවක් කෙරෙහිම ඈ තුළ
ඇත්තේ මධ්‍යස්ථ හැඟීමකි. ඒ බැවින් පරිසරයේ සුන්දරත්වය හෝ බියජනක බවින්
සුභා තෙරණියට ඵලක් නැත. ඇගේ නිවුණු සිත රාග ගින්නෙන් දවන්නට ධූර්තයාට
හැකි නොවන්නේ එ බැවිනි.
“දෙතිස් කුණුපයන්ගෙන් පිරුණු මේ නිස්සාර සිරුර දිනෙක සොහොනෙහි දමා එනු
ඇත. සාර වූ කිසිත් නැත .මේ බිඳෙන සුලු ගතේ දිනෙක පස් කඳට යටවන නැසෙන මේ
සුන්දර සිරුර සිත්කලු ලෙසින් පෙනුණද, රැවටිලා ඔබ නොමඟ ගොස් ඇත”
(සුභා තෙරණිය ගේ උදානය)
සිරුරෙහි ඇති නිසරු බව කෙතෙක් ධූර්තයා හට පැවසූවද මෝහයෙන් මුළා වූ
ධූර්තයාට ඇගේ සුන්දර නෙත් අමතක කරන්නට නොහැකි බව පවසයි. තෙරණිය එම
අවස්ථාවේ දී ඔහුගේ ග්‍රහණයෙන් මිදෙන්නේ ඔහු තදින් පි‍්‍රය කරන ඇගේ නෙත්
වලින් එකක් ගලවා ඔහු දෑත් මත තැබීමෙනි. අවසානයේ සිය වරද වටහා ගන්නා
ධූර්තයා තෙරණියගෙන් සමාව අයදියි. පසුව බුදුන් වහන්සේ වෙත ගිය සුභා
තෙරණිය උන්වහන්සේගෙන් ධර්මය අසා ඇගේ නැති වු ඇස මෙන්ම නුවණැස හෙවත්
උතුම් වූ රහත් ඵලයද ලබා ගත්තා ය.
මිනිස් සිරුරේ ඇති නිස්සාරත්වය පිළිබඳ අපූර්ව වර්ණනාවක් ලෙසින් සුභා
තෙරණියගේ උදානය පෙන්වා දිය හැකි ය. මෙබඳු වූ කාව්‍ය නිර්මාණ රැසක් ථෙර
ථෙරී ගාථාවලියෙහි සඳහන් වේ. ලෞකිකත්වයට වඩා ලෝකෝත්තර පක්‍ෂයට නැඹූරු වූ
මෙම කාව්‍ය තුළ නිරාමිස විමුක්ති රසයත් ස්වභාව සෞන්දර්ය රසාස්වාදයත්
ඉතා විශිෂ්ට ලෙස කුළු ගැන් වී ඇති ආකාරය යථෝක්ත කාරණා මඟින් සනාථ
වේ. |