සිරිලක එකලු කළ පැවිදි මිණි පහන
කොළඹ , මාළිගාකන්දේ
විද්‍යොදය පිරිවෙනෙහි, අවසාන
ප්රථමාංශ පරීක්ෂණයේ ශිෂ්‍ය
අම්බලන්ගොඩ
සුමේධානන්ද හිමි
හික්කඩුවේ ශ්‍රි සුමංගල නා හිමි |
සිරිලක් මව සැමදා වාසනා ගුණැති මවක් බව පසක් කරමින් ජාතියේ පිනට
උතුමන්ගේ නිජභුමිය වූ දක්ෂිණ ලංකාවේ හික්කඩුව හෙට්ටිගොඩ ග්‍රාමවරයෙහි
දී සුපින්වත් කුමරෙකු 1827 ජනවාරි 20 වන දින ජොහානිස් අබේවීර ගුණවර්ධන
රාලහාමිට සහ දන්ඩන්ගොඩ ගමගේ ක්‍රිස්තිනා හාමිනේ යන යුවලට දාව උපත
ලැබීය. දෛවයේ විශිෂ්ට නිර්මාණය වූ මේ කුමරු එකල පැවති සිරිත අනුව දොන්
නිකුලස් යන නමින් ක්‍රිස්තියානි පල්ලියේදී භෞතිස්ම කරවීය. මෙම කුමරා
දකුණු සිරිලක සඟ රජ පරපුර වැඩිසිටි කීර්තිමත් ඓතිහාසික තොටගමු රාජමහා
විහාරයේදී ‘අරුග්ගමුවේ ශ්‍රී රේවත මහා ස්වාමින්ද්‍රයන්වහන්සේ වෙතින්
හික්කඩුවේ සුමංගල යන මංගල නාමයෙන් 1840 නොවැම්බර් මස සසුන් ගත විය.
සුමංගල සාමණේරයන් වහන්සේ තම දෛනික අධ්‍යයන කටයුතු නොපිරි හෙලා හදාළහ.
උපසම්පදාවට සුදුසු කල් පැමිණෙන විට මෙම කුඩා තෙරපාණෝ පෙළ දම් විජම් සේම
සිංහල, පාලි, සංස්කෘත යන භාෂාත්‍රයේ සහ ඉංගී‍්‍රසි, ගණිතය ආදි භාෂා
ශාස්ත්‍රයන්ගේ ප්‍රමාණික උගතෙකු බවට පත්වී සිටියහ.
මෙයට ප්‍රධානතම හේතුව වූයේ රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙනට ඇතුළත්
වීමෙන් වලානේ සිද්ධාර්ථ ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙතින් අධ්‍යාපනය
ලැබීමත් එය මැනවින් ග්‍රහණය කර ගැනීමත්ය. 1848 දී සුමංගල තෙරපාණෝ
මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝෂිතාගාරයේදී මහා සංඝ සභාව මධ්‍යයේදී
පරිවාර පාළිය කඩපාඩමින් කියවීමෙන් හා අනර්ඝ පාලි භාෂා පන්තියක් සංඝ
සභාවට ඔප්පු කිරීමෙන් එතුමන් වහන්සේ තුළ පැවති විචක්ෂණ පණ්ඩිත්‍යයත්,
අග්‍රගණ්‍ය හැකියාවත් මැනවින් ප්‍රදර්ශනය කළහ. මේ ලෙසින් මුන් වහන්සේ
පැවිදි දිවියේ පළමු පියවර ගෙවී ගියහ.
ඉගෙනීමෙන් පමණක් සෑහීමකට පත් නොවූ මුන්වහන්සේ මෙරට ඒ යුගය වනවිට රට
වැටී තිබූ අභාග්‍යසම්පන්න තත්ත්වය පිළිබඳ තම දෘෂ්ටිය මෙහෙය වූ අතර මගෙ
සිරිලක් මෑණියන් එයින් බේරා ගැනීමේ ධර්ම විජය ප්‍රතිපත්තිය ආරම්භ
කරමින් ගාල්ල බෝගහවත්තේ විහාරස්ථානයෙදී ‘ලංකෝපකාර’ නමින් මුද්‍රණාලයක්
පිහිටුවා (1862) ‘සුදර්ශන’ සඟරාව ආදිය පළ කරමින් ජාතික ආගමික
ප්‍රබෝධයෙහි මුල පිරූහ. එපමණකින් පමණක් සෑහීමකට පත් නොවූ සුමංගල නා
හිමිපාණන් වහන්සේ අනාගතයේ මේ සම්බුදු සසුනේ පහළ වන සම්බුදු පුතුන්
වෙනුවෙන් වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයන් වහන්සේ මූලාරම්භ කළ පිරිවෙන්
අධ්‍යාපනයේ නව පිටුවක් පෙරළන්නට අදහස් කළහ. මේ යුගය වන විට මෙරට
පැවතියේ විද්‍යාස්ථාන කිහිපයක් පමණි.
විදුදයේ මූලාරම්භය
තමන් වහන්සේ තුළ එතෙක් කැකෑරෙමින් තිබූ අදහස මල්ඵල ගන්වමින් 1873 දී
කොළඹ මාලිගාකන්ද පාරේ විද්‍යෝදය විද්‍යාලය නමින් විද්‍යාලයක් ඇරඹීය. ඒ
අතර 1875 දී පෑලියගොඩ විද්‍යාලංකාර විද්‍යාස්ථානය රත්මලානේ ධම්මාලෝක
නාහිමියන් විසින් ඇරඹිණි. මේ අභිනව පිරිවෙන් දෙක, එදා තැන තැන
පවත්වාගෙන ආ දේශීය ඉගැන්වීම් ක්‍රමයේ මල්ඵල ගැනීමක් විය. මින්
හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමි ඇරඹූ විද්‍යොදය පිරිවෙන 19 වන හා 21 වන
සියවසේ නැගී ආ දේශීිය භාෂා ශාස්ත්‍රයේ මුල්බිම වූ බව ප්‍රසිද්ධ
කාරණයකි.
වාද විවාදවලට සහායවීම
මේ රටේ පළමු කොට ක්‍රිස්තියානි ආගම වැළඳගත් හැම සිංහලයෙකු විසින්ම එය
වැළදගනු ලැබුයේ තාන්න මාන්න තකා සහ බඩ වියත තකාගෙනය. ඔවුන්ගෙන් සමහරු
ඉන් නොනැවතී බුද්ධාගම මෙරටින් තුරන් කරන අදහසින් යුතුව බෞද්ධයන් සමග
ආගමික වාදවලට ඉදිරිපත් වීමට තරම් නිර්භය වූහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස
බද්දේගමවාදය, පානදුරාවාදය, උදම්විට වාදය ආදි වාද රාශියක්
ක්‍රිස්තියානි, බෞද්ධ දෙපක්ෂය අතර ඇතිවිය. මේ සඳහා ප්‍රාර්ථනා කරගෙන
පැමිණියකු වැනි මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ බුලත්ගම, හික්කඩුවේ
පොතුවිල ආදී ධර්ම විනයධර මහ තෙරුණ්ගේ ද සහාය ඇතිව ඒ හැම තැනකදීම
ක්‍රිස්තියානි පක්ෂය හිස්ලූ අත පන්නා දමන ලදී.
ශ්‍රී සුමංගල සමය වනාහි මෙකළ පවත්නා ශාස්ත්‍රීය දියුණුවේද මූලාරම්භය
වේ. මේ රටේ තිබුණේ පැරණි ග්‍රන්ථ සියල්ලක්ම පුස්කොළ පොත් ය. ඒවායේ
පිටපත් තිබුණේ ස්වල්පයකි. මෙකල ප්‍රථමයෙන්ම කළ යුතුව තිබුණේ
ශාස්ත්‍රීය පුස්කොළ පොත්වල තිබුණු ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ මුද්‍රණය
කරවීමටය. පසුව පුස්කොළ පොත් වව්‍යාට, සන්න, ගැටපද, ව්‍යඛ්‍යාත,
ප්‍රදීපිකා, ටීකා, ටිප්පනි ආදිය ලිවීමෙන් ඒ සේවය වඩාත් උසස් ලෙස සිදු
කළහ. ඒ සුමංගල මා හිමියන් බලාවතාරය ට සුබෝදිනී ටීකාව ලිවීම, කාව්‍යශේඛර
සන්නය, සිදත් සඟරා සන්නය, බ්‍රාහ්මණ ධර්ම කාව්‍ය ආදී වැදගත් ග්‍රන්ථ
රාශියකට සන්න පැවසූහ. ඒ අතරට ලංකාවේ ආරාධනයෙන් බටුවන්තුඩාවේ පඬිතුමා
සමග එක්ව මහා වංශය සිංහලටද පරිවර්ථනය කළහ.
1873 සිට 1911 දක්වා වසර තිස් අටක පමණ කාලයක් විදුදය සෙවණෙහි වැඩහිඳ
ප්‍රාචීන භාෂා ශාස්ත්‍රයට මෙන්ම එකල ලෝකවාසී බෞද්ධ ජනතාවටම අගතියෙන්
තොර සුගතිගාමී පරහිතකාමි අමිල නිමල පරම මෙහෙවරක් සිදුකොට වදාළ
විද්‍යොදය ආදිකර්තෘභූත ත්‍රිපිටක වාගීවරාචාර්ය, මහොපාධ්‍යාය පණ්ඩිත,
ශිරෝමණී බෝධිසත්ත්ව ගුණෝපේත භික්කඩුවේ ශ්‍රී සුමංගලාභිධාන මහා
නේතෘවරයාණන් වහන්සේ වසර අසූහතරක් ආයූ ශ්‍රී වින්දනය කොට 1911 අපේ‍්‍රල්
මස 29 දින ශ්‍රී ලංකාධරණි තලයම ශෝකාර්ණවයෙහි නිමග්න කරවමින් අපවත් වී
වදාළහ. ඒ මහෝත්තමයන් වහන්සේ අපවත් වී 2008 අපේ‍්‍රල් 29 දිනට වසර 97
සපිරේ. ඒ නිමිත්තෙන් විශේෂ ගුණ සමරු උළෙලක් විද්‍යොදය පරිවේණාධීශ්වර,
ගාලු බස්නාහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත දර්ශනපති බලන්ගොඩ
සෝහිතාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. |