හැකියාව නො සැලැකීම
තමන් සතු රන් ආකාරය මත වැතිර සිටින මිනිසකු ආහාර වේලක් සඳහා
වෙනත් අයකුට අතපෑම කෙ තරම් කනගාටුදායක විහිළුවක් ද? එහෙත්
ශ්‍රී ලාංකියන් වන අප ගේ තත්ත්වය එ බඳු ය. පසුගිය සතිය වන විට
අතිශයින් උග්‍ර වූ මෙ රට සහල් අර්බුදය මඟින් ප්‍රකාශ වන්නේ ද
එය යි.
පිලිපීනය, වියට්නාමය, තායිලන්තය, බංග්ලාදේශය ආදී රටවල් මුහුණු
දුන් ස්වභාවික ආපදා නිසා ගොදුරු වූ සහල් අර්බුදය හා අප මුහුණ
පා සිටින තත්ත්වය එක සමාන නැත. ඉන්දියාවෙන් හෝ මියන්මාරයෙන්
සහල් ලැබෙන තෙක් බලා සිටින අප ගේ අතීතය කෙ බඳු වී ද?
අප ගේ අතීතය අවබෝධ කැර ගැනීම පිණිස, ස්වභාව පිළිබඳ පර්යේෂණ
නමැති කෘතියේ ශ්‍රී ලංකාව (තැප්‍රොබේනය) ගැන ඇති සටහනක් උපුටා
දැක්වීමට කැමැත්තෙමු. මෙය, රෝමයේ විසූ ජ්‍යෙෂ්ඨ ප්ලිනි
(ක්‍රි.ව. 23 – 79) යැයි ප්‍රකට ගායියස් ප්ලිනියස් සේකුන්ඩස්
විසින් රචනා කළ කෘතියක් බව ද කිව යුතු ය.
“අභිධානයෙන් යුත් තැප්‍රොබේන් යනු වෙනත් ලොවකැයි දීර්ඝ කාලයක්
තිස්සේ කියනු ලැබිණ. එහෙත් මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා, විසූ
කාල පරිච්ඡේදය මෙන් ම ඔහු ගේ ජයග්‍රහණයන් එය දිවයිනක් බව සනාථ
කිරීම පිණිස දායක වුණු පැහැදිලි සාධකයන් ඉදිරිපත් කිරීමට සමත්
විය”
“ඇත්ත වශයෙන් එ රට දක්නට ලැබෙන හුදු මහත් සුඛෝපභෝගී වස්තූන්
රැස අප අතර ඇති සියල්ල අභිභවා යන්නේ ය. සිය වැසියන් සතු වස්තු
සම්භාරය අප සතු සෑම දෙයට ම වඩා විශාල බවත් ඔවුහු අප සමඟ පැවසූ
හ”.
“කිසිවෙක් වහලකු සේවයෙහි නො යෙදූ හ.කිසිවෙක් හිරු උදාවන තෙක්
හෝ දිවා කාලයේ දී හෝ නිදා නො ගනිති. ඔවුන් ගේ ගොඩනැගිලි
මධ්‍යස්ථ උසින් යුක්ත ය. ධාන්‍ය මිල ගණන් කිසි දිනෙක වැඩි නො
කැරිණි.”
දැන් අපි වර්තමානය දෙසට හැරෙමු. ආසියාවේ සංවර්ධනය හා පරිසරය
රැකීමේ අරමුණෙන් චීනයේ හයිනාන් දිවයිනේ පසුගිය දා පැවැති බොආවෝ
සමුළුව ද අප ගේ මාතෘකාවට අදාළ වැදගත් සිදුවීමකි. එම සමුළුව
අමතා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙ සේ පැවැසී
ය.
“ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාරධර්ම ඉතිහාසයේ කාර්ය භාරයෙන් සහ
බුදු දහමේ බලපෑමෙන් බොහෝ දුරට හැඩ ගැසී ඇත. මා විශේෂයෙන්
වැදගත් ලෙස සනිටුහන් කැරෙන්නේ බුදු දහම පුළුල් විෂය මාලාවක්
ඔස්සේ ප්‍රයෝජනවත් ප්‍රතිවේදයක් හා භාවිත සැපයිය හැකි බව ය.
පරිසර ආරක්‍ෂණය සම්බන්ධයෙන් ද බෞද්ධ ඉගැන්වීම් තුළ පුරාණ ඥානය
අපට සොයා ගත හැකි ය”.
“ආසියාවේ මේ ශ්‍රේෂ්ඨ ප්‍රඥාවෙන් කොටසක් මෙ සේ උපුටා දක්වමින්
මගේ කතාව අවසන් කැරෙනු කැමැත්තෙමි. බුදුරජාණන් වහන්සේ වරක් මෙ
සේ වදාළ සේක”.
‘ගස අනූපම ය. ඊට අසීමිත විඳ දරා ගැනීමේ ශක්තියක්, ඉවසීමක් හා
පරිත්‍යාගශීලීත්වයක් ඇත. එය බොහෝ ජීවීන්ට පැවැත්ම සඳහා සුවදායක
වාතාවරණයක් සපයයි. එය පොරොවකින් තමා විනාශ කිරීමට උත්සාහ දරන
මිනිසාට ද සෙවණ සපයයි.’
“තිරසාර සංවර්ධනය පිළිබඳ පරමාදර්ශී ඉතිහාසයක් ඇත්තේ ආසියාවට ය.
එහෙයින් සංවර්ධනයේ නාමයෙන් හරිත වර්ණය විනාශ වීම වැළැක්වීම
සඳහා යෝජනාවලියක් සකස් කිරීමට පූර්ණ අයිතියක් සහ හැකියාවක්
ඇත්තේ ආසියාවට ය.”
එ සේ වූව ද මෙහි ආරම්භයේ දී සඳහන් කළ පරිදි අප තවමත් ජීවත්
වන්නේ රන් ආකාරයක් මත වැතිර සිඟමන් යදින්නකු මෙන් නො වේ ද? මේ
තත්ත්වය වෙනස් කිරීමට අප තව තවත් ප්‍රමාද වන්නේ ඇයි? |