ලක්දිව දෙවන වරටත් බුදු සිරිපා පහසින් පිවිතුරු වූ බක් පොහොය
ඇන්නරුවේ රතනසිරි හිමි
උදේ සවස මහා කරුණා සිත පතුරුවමින් ලෝවැඩ වැඩීම භාග්‍යවතුන් වහන්සේගේ
සිරිතකි. බුද්ධත්වයෙන් පස්වන වර්ෂයෙහි සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ
වෙසෙන බුදුන් වහන්සේට චූලෝදර, මහෝදර යන නා රජුන් දෙදෙනා අතර මිණි පළඟක්
පිළිබඳ ඇති වන්නට යන සටනක් ගැන, දක්නට ලැබිණි. උන්වහන්සේ නාගයන් කෙරෙහි
කරුණාවෙන් ඔවුනට සුවසෙත සාදා දෙනු පිණිස බක්මස අව පසළොස්වක පොහෝ දා
අලුයම සෘද්ධියෙන් නාගදීපයට වැඩම කළ සේක. මහා බලසම්පන්න මහෝදර නාග රජ
තෙමේ මුහුදෙහි පන්සියයක් යොදුන් නාග භවනයෙහි අධිපතිකම් කරමින් සිටියේ
ය. ඔහුගේ සහෝදරී කන්වඩමන් නම් පර්වතයෙහි නා රජු හට පාවා දෙනු ලැබිණි. ඒ
දෙදෙනාට ලැබුණු පුත්‍රයා චූලෝදර නම් විය. ගොඩවිසූ නාගයෝ ද මුහුදෙහි
විසූ නාගයන් මෙන්ම මහා බලසම්පන්නයෝ වූහ. චූලෝදරගේ සීයා කලුරිය කරන
කල්හි තමා සතුව තිබුණු ඉතා වටිනා මැණික් පුටුව පුතාට නොදී ඔහුගේ
දියණියක වන චූලෝදරගේ මවට දුන්නේ ය. මාමා සහ බෑණා, එනම් චූලෝදර, මහෝදර
යන නා රජුන් දෙදෙනා අතර යුද්ධයට හේතු වූයේ මේ මිණි පළඟ ය. බුදුන්
වහන්සේගේ මේ ගමනට දෙව්රම් දොරටුවේ කිරිපලු රුක අරක්ගෙන සිටි සමිද්ධි
සුමන නම් දෙවියා ද කැඳ වූ සේක. ඒ දෙවිවරු තමාගේ භවන වූ කිරිපලු රුක ද
උදුරා තථාගතයන් වහන්සේට ඡත්‍රයක් මෙන් අල්ලාගෙන, තමා පෙර ජාතියේ විසූ
ස්ථානය වන නාගදීපයට පැමිණියේ ය. සමිද්ධි සුමන දිව්‍ය රාජයා, දෙව්රම්
වෙහෙර දොරටුවේ කිරිපලු රුක අධිගෘහිත දේවතා වන්නට පෙර ජාතියේ නාගදීපයේ
මනුෂ්‍යයකුව ඉපිද සිටියේ ය. එකල කිරිපලු වෘක්‍ෂයක් යට වැඩ සිට දන් වළඳන
පසේ බුදුවරයන් වහන්සේ දැක උන්වහන්සේට පාත්‍ර පිරිසුදු කර ගන්නට කොළ කඩා
දුන්නේ ය. ඒ පින් බලෙන් ඒ මිනිස් තෙමේ දෙව්රම් වෙහෙර කිරිපලු රුකෙහි
දෙවියකුව උපන්නේ ය. මේ මහාවංශයේ දැක්වෙන ප්‍රවෘත්තියයි. බුදුන් වහන්සේ
බක් අව පසළොස්වක් පෝදා උදෑසන ලක්දිව නාගදීපයට වැඩමවා අහසෙහි සිට එහි
යුද්ධයට සූදානම්ව සිටි දෙපසෙහි නාගයන් බිය ගන්වනු සඳහා මහත් ඝන අඳුරක්
මැවූහ. නාගයන් බියෙන් හැකිලී සිටින විට ආලෝකයක් මවා තමන් වහන්සේ ඔවුනට
දක්නට සැළැස් වූහ. එයින් ඉමහත් සොම්නසට හා සැනසීමට පත් නාගයෝ සර්වඥයන්
වහන්සේ දැක බුදු සිරිපා කමල් වැන්දාහ. බුදුන් වහන්සේ චූලෝදර, මහෝදර නා
රජුන් දෙදෙනා ප්‍රමුඛ දෙපක්‍ෂයේ පිරිස සමඟි කරවීමට සමත් ධර්මයක් ඔවුන්ට
දේශනා කළහ.
සසර ආදීනව හා කාකොලුක ජාතකය, වින්දන ජාතකය, ලටුකික ජාතකය, වට්ටක ජාතකය
යන මේවායින් වෛර කිරීමේ ඇති දෝෂ හා සමඟි බවේ ඇති අනුසස් ද ප්‍රකාශ
කරමින් අවවාද දුන්හ. පසුව යුද වැදී සිටි නා රදුන් දෙදෙනා ධර්ම කථා
ශ්‍රවණයෙන් අපමණ පී‍්‍රතියට පත්ව යුද්ධයට හේතු වූ මිණි පළඟ තථාගතයන්
වහන්සේට පිදූහ. අවසන අසූ කෝටියක් නාගයන් තිසරණ පන්සිල්හි පිහිටුවා
පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් වැඳුම් පිඳුම් කරනු පිණිස කිරිපලු රුක හා
මිණි පළඟ නාගයන්ට ම පවරා දී සැවැත් නුවර දෙව්රම් වෙහෙරට වැඩම කළහ.
(පොත පත ඇසුරෙනි) |