බොදු පිළිවෙතෙන් පළ වන 'ධන' ආකල්ප
හම්බන්තොට සිංහගිරි විහාරාධිපති, සූරියවැව ජාතික පාසලේ ආචාර්ය, බොදු
සංරක්ෂණ පදනමේ සභාපති, විතාරන්දෙණියේ
වජිරවංස හිමි
ධන චින්තනය
(Positive Thinking) පිළිබඳ නූතන මනෝවිද්‍යාඥයින් හා
අධ්‍යාපනඥයින් විශේෂ අවධානයක් යොමු කර ඇති බව පෙනේ. මීට දෙදහස් පන්සිය
පනස් වසරකට පෙර ලොව පහළ වූ බුදුරජාණන් වහන්සේ ද මේ පිළිබඳ ගැඹුරින්
අවධානය යොමු කොට ඇත. බුද්ධ චරිතය බුද්ධ දේශනා හා ශ්‍රාවක චරිත අධ්‍යයනය
කරන විට ධන චින්තනයේ ඵලය මැනවින් පිළිබිඹු වේ.
බුදු වීමට දස පෙරුම් දම් පිරූ බෝසත්හු ධන ආකල්පයෙන් ක්‍රියා කර
බුද්ධත්වය ලබාගත් සේක. උන්වහන්සේ පිරූ වීර්ය පාරමිතාව සහ අධිෂ්ඨාන
පාරමිතාව තුළ ධන චින්තනය කැපී පෙනේ. එමෙන්ම බුදු වූ ආත්මයේ ඉපදුණු විගස
ප්‍රකාශ කළ “අග්ගෝ හමස්මි ලෝකස්ස...” යනාදී උදාන වාක්‍යය, සත් පියුම්
මත ගමන් කිරීම, සතර පෙර නිමිති දැක අධිෂ්ඨානශීලීව ගිහිගෙය අත්හැර
පැවිදි වීම, සත්‍යය සොයා යෑම, අවුරුදු සයක් දුෂ්කර ක්‍රියා කරමින් කළ
උත්සාහය ආදී අවස්ථා බුදුන් වහන්සේ තුළ පැවැති ප්‍රතිජනන ආකල්ප පිළිබිඹු
කරයි.
අරමුණු ඉටුකර ගැනීමේ දී විවිධ බාධා සහ දුෂ්කරතාවන්ට මුහුණපෑමට සිදු
වෙයි. එම බාධක හා දුෂ්කරතා ජය ගැනීමට නොසැලෙන චිත්ත ධෛර්යය වෙසෙසින්
වැදගත් වෙයි. බෝ මුල වෙත පැමිණි බෝසතුන්, බුදුවීම සඳහා ඇතිකරගත් චතුරංග
වීර්ය ධන චින්තනයේ සුවිශේෂ අවස්ථාවක් ලෙස සැළකිය හැකි ය.
1. සිරුරේ සම් ගැලවී විසිරී ගියත් බුදු වී මිස නොනැගිටිමි.
2. සිරුරේ නහර ගැලවී විසිරී ගියත්, බුදු වී මිස නොනැගිටිමි,
3. සිරුරේ ඇටකටු ගැලවී විසිරී ගියත්, බුදු වී මිස නොනැගිටිමි,
4. සිරුරේ මස්, ලේ විසිරී ගියත්, බුදු වී මිස නොනැගිටිමි.
මෙලෙස ඇති කරගත් අධිෂ්ඨානය නිසා බුද්ධත්වය වැනි උත්තරීතර පදවියක් ලබා
ගැනීමට සමත් වූහ. දිව්‍ය බ්‍රහ්ම, මනුෂ්‍යාදීන්ගේ වැඳුම් පිදුම්වලට ලක්
වූහ. අධිෂ්ඨානශීලී නොසැලෙන චින්තනයකින් ක්‍රියා කළ නිසා බුදු පදවිය
හිමිකර ගැනීමට බෝසතුන්ට හැකි වූවා සේ, ඕනෑම පුද්ගලයකුට නොසැලෙන සිතකින්
ක්‍රියා කරන්නේ නම්, ලද නොහැකි ජයග්‍රහණයක් නැත.
යම් ක්‍රියාවක් ආරම්භ කිරීමේ දී සිටම මට පුළුවන් මම ප්‍රතිඵල ලබා
ගන්නවා, ‘මම දිනනවා’ යනාදී හැඟීමෙන් යුතුව ක්‍රියාකිරීමෙන් සාර්ථක
ප්‍රතිඵල ලබාගත හැකි ය. එසේ නොවී යම් ක්‍රියාවක් ආරම්භයේ දී එහි
ප්‍රතිඵල ගැන සැකයක් ඇති කරගෙන ක්‍රියා කරන්නේ නම්, ඉන් සාර්ථක
ප්‍රතිඵල ලබා ගත නොහැකි ය. ‘නැහැ’ ‘බැහැ’ ආදී සෘණ ආකල්පයෙන් ක්‍රියා
කරන්නාට ජීවිතයේ සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි ය. හැම දෙයක්ම
අමාරු අපහසු නොහැකි දේ ලෙස සිතීම පරාජිතයාගේ ස්වරූපයයි. එසේ සිතන
කිසිවකුට සමාජයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් විය නොහැකි ය. ඇතැම්හු ජීවිතයේ
දියුණුව දෛවයට භාර කරති. මේ අපි ලබා උපන් හැටි, අපේ කරුමෙ තමයි, ලැබෙන
දෙයක් ලැබේවි, ආදී වශයෙන් සිතා ක්‍රියා කරන්නාට සමාජයේ ඉදිරි ගමනක්
නැත. එවැනි අයට දියුණුව ලබා, සමාජයේ ඉදිරියට යෑමට නොහැකි ය. සමාජයේ
දියුණුව කරා පියනගනුයේ අලුත් දේ සිතන නිර්මාණශීලීව කටයුතු කරන
පුද්ගලයන් පමණකි.
‘නාචින්තයන්තෝ පුරිසෝ විසේසමධිගච්ඡති’
යන බුද්ධ දේශනාව අනුව, අලුත් දේ නොසිතන පුද්ගලයා දියුණුවට පත් නොවන බව
සඳහන් වෙයි. අද කළ යුතු දේ දැන් මහන්සියි, දැන් බැහැ, දැන් සීතලයි,
දැන් උෂ්ණයි, දැන් නිදිමතයි කියා පසුවට කල් දැමීම තම පරිහානියට
හේතුවන පිළිවෙතක් පමණක් නොව, පසුතැවීමට පවා හේතුවකි. සෑම මිනිසකු තුළම
නිර්මාණශීලී දක්‍ෂතා පවතී. ඒවා ස්මතු කර ගත හැක්කේ උත්සාහය හා චිත්ත
ශක්තිය තුළිනි. සිතේ ඇතිවන අවිදු පසුබට හැඟීම් නිසා, බොහෝ දෙනා
පරිහානිය කරාම ගමන් කරති.
පුද්ගල අපේක්‍ෂා සාර්ථක කරගැනීම සඳහා පුද්ගලචර්යාව හා සිතිවිලි කෙසේ
සකස් විය යුතු ද යන්න බුදුරදුන් සූත්‍රධර්ම රැසකින් පෙන්වා දී ඇත.කරණීය
මෙත්ත සූත්‍රය අනුව තමා පළමුව ‘අත්ථකුසල’ සම්පන්න පුද්ගලයකු විය යුතු
ය. ‘අත්ථ’ යනු අරමුණයි. ‘කුසල්’ යනු දක්‍ෂතාව ය. තම අරමුණු ඉටුකර
ගැනීමට තරම් දක්‍ෂයකු වීම මෙහිදී අදහස් කෙරෙයි. අරමුණු සාර්ථක කර
ගැනීමේ දී, අප විසින් ඇති කරගත යුතු දක්‍ෂතා 15 ක් ගැන කරණීය මෙත්ත
සූත්‍රයේ සඳහන් වෙයි. එම කරුණු 15 අතර, සක්කෝ, යනුවෙන් එහි පළමුවෙන්
සඳහන් වන ගුණය සුවිශේෂ ය. පොත පත කියැවීමෙන්, ලිවීමෙන්, අසා හෝ
බලාසිටීමෙන්, නැතහොත් ප්‍රගුණ කොට පුරුදු පුහුණු කර ගන්නා විවිධ
දක්‍ෂතා ඇති කර ගැනීම, ඉතා වැදගත් වෙයි. අදක්‍ෂ පුද්ගලයාට සමාජයේ
ඉදිරියට යෑමට නොහැකි ය. මෙලොව පරලොව දෙලොවම ඔහු පරාජිතයකු වෙයි.
කුසල් හෙවත් දක්‍ෂතා දියුණු කර ගැනීම දෙලොව හිත සුව පිණිසත්, අකුසලය,
අයහපත පිණිසත් හේතු වෙයි. අතීතයේ හෝ පෙර ආත්මයක පුරුදු පුහුණු කරගත්
කුසල් ඇත්නම් මෙලොව දී හෝ පරලොව දී එය තම හිතසුව පිණිසත්, අකුසලය, අහිත
පිණිසත් පැවතීම, ලෝක ස්වභාවයයි. එනිසා අප පරිත්‍යාගය, මෛත්‍රීය,
කරුණාව, ප්‍රඥාව, යන කුසල සිතිවිලි උපදවාගෙන ඒ අනුව ක්‍රියා කළ යුතු ය.
බුදු දහම පුද්ගලයාගේ දියුණුවට මඟ පෙන්වා ඇති දහමකි. ඒ තුළ කිසි බල
කිරීමක් නැත. බුදුරදුන් දිනක් බමුණකු අමතා ‘බමුණ, ඔබ කැමැති නම්,
ඉදිරියට යන්න. අකැමැති නම් ඉදිරියට නොඑන්න. යනුවෙන් දේශනා කොට ඇත. ඉන්
පැහැදිලි වන්නේ, සිතා මතා බුද්ධියෙන් තීරණ ගැනීමට බුදු දහම පුද්ගලයාට
නිදහස දී ඇති අයුරු යි. බමුණා අමතා බුදුරදුන් එහිදී පැහැදිලි කර දෙන
ලද්දේ දියුණුව කරා පිය නැඟීමට නම්, චිත්ත ශක්තිය, බුද්ධිය හා උත්සාහය
අවශ්‍ය බවයි. යම් ක්‍රියාවක් කිරීමේ දී,
1. ආරම්භ ධාතු (යමක් ආරම්භ කිරීම)
2. නික්ඛම ධාතු (කරගෙන යෑම)
3. පරක්කම ධාතු (බාධා මැඩගෙන යෑම)
4. ථාම ධාතු (බලවත් වීර්යයෙන් කිරීම)
5. ඨිති ධාතු (ස්ථාවරව සිටීම)
6. උපක්කම ධාතු (උපක්‍රමශීලී වීම)
යන පිළිවෙත් අනුව ක්‍රියා කිරීමට උත්සාහය තිබිය යුතුම ය. එසේ නොවුවහොත්
ක්‍රියාවක් ඉදිරියට කරගෙන යෑමට හෝ සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි ය.
තම ශක්තිය හා හැකියාව පිළිබඳ සැකයෙන් තොරව විශ්වාසවන්ත බව ඇති කර ගත
යුතු ය. තම හැකියාව තමා විසින් ම පිළිගෙන ආත්ම විශ්වාසයෙන් ක්‍රියා
කිරීමෙන් පමණක්ම, සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි ය. කුසීත කම පසුබැසීම
ආදී සෘණ මනෝභාව දුරු කළ කල්හි තමා පිළිබඳ තමාට විශ්වාසය ගොඩනඟා ගත හැකි
ය. අලස මානසික බවින් යුතු පුද්ගලයන්ට සමාජය තුළ දියුණුව සලසා ගත නොහැකි
ය.
තමන් යම් ක්‍රියාවක් සාර්ථක ප්‍රතිඵල ලැබීමේ අරමුණින් කරගෙන යන කල්හි
ඊට බාධා ඇති විය හැකි ය. බාධා ඇති වූ පමණින් උත්සාහය බිඳ දමාගත යුතු
නොවේ. විකල්ප ක්‍රම තුළින් ජයග්‍රහණයේ දොරටු විවර කරගත යුතු ය. ඇතැම්
අය තමන් තුළ ඇති ශක්තිය හඳුනාගෙන නැත. ඔවුහු වෙනත් අය දෙන උපදෙස් හෝ
පිළිගෙන උනන්දුව ඇති කර නොගනිති. එබඳු තැනැත්තාට දියුණු විය නොහැකි ය.
සෑම ජයග්‍රහණයකටම මාවතක් ඇත. එය තම බුද්ධියෙන් සොයා ගත යුතු ය. නැතහොත්
අනුන්ගේ නිවැරැදි උපදෙස් ලබා ගත යුතු ය. එසේම දෙන උපදෙස් තමන්ට
ගැලපේදැයි සිතා බැලීම ද කළ යුතු ය. උගතුන්, බුද්ධිමතුන්, ලේඛකයන්
ඔවුන්ගේ ජීවිත ශ්‍රේෂ්ඨ බවට පත්කර ගෙන ඇත්තේ ස්වකීය ශක්තිය හඳුනාගෙන
ක්‍රියා කිරීමෙනි. ඒ බව ඔවුන්ගේ චරිත අධ්‍යයනයෙන් පැහැදිලි වෙයි.
එදා බුදුරදුන් ස්වකීය බුද්ධිය යොදවා ක්‍රියා කිරීමෙන් ලොවටම ශ්‍රේෂ්ඨ
ශාස්තෘවරයකු බවට පත් විය. එම පිළිවෙත අනුගමනය කළ පැවිදි ගිහි දෙපිරිස ද
ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත්ව, දෙලොව දියුණුව සලසා ගත්හ. එම නිසා අප ආගමික
ඉගැන්වීම මෙන්ම ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ ග්‍රන්ථ කියවීම, උගතුන්ගේ අදහස්
පිළිගෙන ක්‍රියා කිරීම ඇහුම්කන් දීම, අධ්‍යයනය කිරීම, නිරීක්‍ෂණය හා
පරීක්‍ෂණ කිරීම කළ යුතු ය. එසේ කිරීමෙන් සෘණ චින්තනයෙන් මිදී ධන
චින්තනය තුළින් සෑම කටයුත්තකදීම ජයග්‍රහණය උදා කර ගත හැකි ය. |