සූර්යයා, තෘෂ්ණාව හා අවිද්‍යාව
නාරාවිල පැට්රික්
ආදිතම මානවයා සූර්ය ශක්තිය තේරුම් ගත් බවට හොඳ ම සාධකය වන්නේ සූර්ය
වන්දනාවයි. බුදුදහම හැර අනෙක් සියලු ආගම් වල මූල බීජය සූර්ය වන්දනාව
බවට කරුණු දැක්විය හැකි ය. අග්නි වන්දනාව ද අති පැරැණි ආගමකි. එය පවා
සූර්ය වන්දනාවේ තවත් එක් විකල්ප ප්‍රකාශනයෙකියි සිතේ. දේවත්වය එක් එක්
පරිසරයේ දී කවර නමින් හැඳින්වූණත් ඒ හැමෙකකින්ම සංකේතවත් වන්නේ සූර්යයා
වන බව පෙනේ.
එබැවින් බ්‍රහ්මන්, පිතා, අල්හාග්, යහ්වේග්, විශ්වාත්මන්, ජගදාත්මන්,
ගෝඩ් ආදී හැමෙකින් ම සංකේතවත් වන්නේ සූර්යයාම බවට සැකයක් නැත. සොබාදහමේ
හැම වස්තුවක් ම දේවත්වයට නැංවීමේ මුල් පියවරක් සෘග් වේදයේ දකිනු හැකි
ය. එහි දැක්වෙන සූර්ය සූක්තයන්ගේ අන්තර්ගතය, අනෙක් සියලු සූක්තයන්ගේ
අන්තර්ගතය සමඟ සසඳන විට සූර්ය ශක්තිය අනෙක් සියල්ල ඉක්මවා යන බව සිතා
ගත හැකි ය.
මෙතෙක් යම් පමණකට යත්න දරන ලද්දේ සූර්යයා විශ්ව ශක්තිය ප්‍රභවය වන බව
සාධනය කරන්නටයි. ඒ අනුව ජීවයේ ප්‍රභවය වන්නේ ද සූර්යයා බවට තර්ක කළ
හැකි ය. සූර්ය ශක්තිය විවිධ සංයුක්ත හෝ වියුක්ත හෙවත් ද්‍රව්‍යමය හෝ
අද්‍රව්‍යමය මුහුණුවරින් විශ්වය පුරා ව්‍යාප්තව පවතී. එබැවින් ජීව හෝ
අජීව වස්තු තුළ ක්‍රියාත්මක වන්නේ සූර්ය ශක්තිය මැයි.
ජීවයේ උපත සිදු වූයේ ජලයෙහි බව විද්‍යාත්මක මතයයි. ඒ හට ගැනීමට හේතු
වූයේ ජලයේ ඇති වුණු සසල වීම, ගැටීම, ඇලීම හෙවත් ඵස්ස හෙවත් ස්පර්ශයයි.
සැබවින් ම තෘෂ්ණාවේ මූලික අවස්ථාව එය බව කීමෙහි තේරුමක් ඇතැයි සිතේ.
තෘෂ්ණාව බරපතල මානසික රෝගයක් බව පිළිගත යුතු ය. ඒ බව සුත්ත නිපාතයේ,
බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේ මෙසේ දක්වා ඇත.
“තයෝ රෝගා පුරේ ආසුං
ඉච්ඡා අනසනා ජරා
පසූනං ච සමාරම්භා
අට්ඨා නවුතිමාගමුං”
ආදියෙන් මුලින් ම තිබුණේ රෝග තුනක් පමණි. එනම්, තෘෂ්ණාව, බඩගින්න, හා
ජරාව හෙවත් මරණයයි. සත්ත්ව ඝාතනය පටන් ගත් තැන් සිට එය අනූ අටක් විය.
මිනිසාට වැළඳෙන රෝග ගැන විමසීමේ දී එය කායික හා මනසික වශයෙන් දෙකක්
බවත්, ඒ දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇති බවත් තේරුම් ගැනීම ඉහත
සඳහන් ගාථා ධර්මය පැහැදිලි කරන බව කිවමනා නොවේ. ගවයන් මරා මස් කන්නට
පටන් ගත් පසු මුලින් තුනක්ව තිබුණු රෝග ගණන අනූ අටක් වූ බව ඉහත සඳහන්
ගාථාව පැහැදිලි කරයි. අනූ අටක් රෝග අතර කායික රෝග හා මානසික රෝග යන
දෙකම ඇතුළත් ය. අපේ කායික හා මානසික තත්ත්වය නිර්මාණය වී ඇත්තේ පඤ්ච
මහා භූතයන්ගෙනි. ඒවා සූර්ය ශක්තියේ ප්‍රතිනිර්මාණයෝ වෙති. මිනිස් කයික
හා මානසික පැවැත්ම සඳහා මේ භූත ගුණයන්ගේ කිසියම් ආකාරයක
සමානුපාතිකත්වයක් තිබීම අත්‍යවශ්‍ය ය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ, මේ
සමානුපාතිකත්වය ත්‍රි දෝෂ සිද්ධාන්තය මත රඳා පවතී. ත්‍රි දෝෂ යනු වාත
පිත්ත, කඵ හෙවත් වා, පිත්, සෙම් යනුවෙන් දැක්වේ. තුන් දොස් අසමතුලිතය
හෙවත් කිපීම රෝග කාරකයක් ලෙස ආයුර්වේදයේ දැක්වෙයි. මේ කවර හැටියෙන්
වුවත් පැහැදිලි වන්නේ අපේ කය හා මනසේ නිර්මාණය හුදෙක්ම සූර්ය ශක්තියේ
නියෝජනයක් වන හෙයින් එහි විවිධාකාර අසමතුලිතතා ඇති වීම රෝගයක් ලෙස
හැඳින්වෙන බවයි.
කිසියම් වස්තුවක් හෝ ද්‍රව්‍යයක් තුළ සූර්ය ශක්තිය රඳා පවතින්නේ කිසිදු
විද්‍යාත්මක ක්‍රමයකට නොවේ. එය එක්තරා හිතුවක්කාර ක්‍රමයකි. එහෙත්
මිනිසා විසින් එය ඇති සැටියෙන් විග්‍රහ කරන්නට දරන උත්සාහය විද්‍යාව
ලෙස හඳුන්වනු ලබතැයි සිතේ. මෙසේ විද්‍යාත්මකව විග්‍රහ කරනු ලබන්නට
උත්සාහ කැරෙන හිතුවක්කාරකම හෙවත් අවිද්‍යාව හා තෘෂ්ණාව එක එකක් සමඟ
අන්‍යෝන්‍යව බැඳී පවතී.
එබැවින්ම ඇතිවීම, පැවතීම හා නැවතීම හෙවත් උත්පත්ති, රීති හා භංග
තත්ත්වය නැති කළ නොහැකි ය. එය චක්‍රීය දාමයකි. මෙකී විපරීත ස්වභාවය තුළ
රෝගයක් හෝ ලෙඩක් යනු මිනිසාගේ ජන්ම උරුමයකි. මෙය අප විසින් මැනවින්
තේරුම් ගත යුතු ය. මෙහිදී අපට කරන්නට ඇති එකම දෙය නම්, යථාර්ථය තේරුම්
ගෙන සුදුසු පියවර ගනිමින් මුහුණ දීමයි. |