සංස්කෘතික සරණාගතයෝ
බටහිර ලෝකයේ ආර්ථික හා තාක්‍ෂණික ආධිපත්‍ය මත ගොඩ නැඟුණු
ගෝලීයකරණය නමැති චණ්ඩ මාරුතය හමුවේ තුන්වන ලෝකයේ රටවල ජනතාව
සංස්කෘතික සරණාගතයන් බවට පත් වී හමාර ය. එම සංස්කෘතික සරණාගත
භාවයෙන් මිඳෙන තෙක් ඔවුන් ගේ සමාජයීය ගැටලු විසඳා ගැනීම පහසු
නැත. මෙය, ශ්‍රී ලංකාව ඇතුළු තුන්වන ලෝකයේ රටවල් ඉදිරියේ ඇති
බරපතළ ප්‍රශ්නයකි.
ශ්‍රී ලංකාව ඇතුළු තුන්වන ලෝකයේ රටවල් ගණනාවක් මුහුණ දී සිටින
ආත්ම නාශක සංස්කෘතිය එනම් මරාගෙන මැරෙන ප්‍රහාර ඊට උදාහරණ
වශයෙන් ගත හැකි ය. මරාගෙන මැරෙන සංස්කෘතිය දේශපාලන ගැටලුවක්
ලෙස ප්‍රකාශ වූව ද එය වාර්ගික හෝ ආගමික මතවාද මත ගොඩනැඟී ඇති
සංස්කෘතික කාරණයකි. මේ තත්ත්වය වටහා ගැනීම පිණිස මැදපෙරදිග හා
ශ්‍රී ලංකාවේ දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ මරාගෙන මැරෙන
සංස්කෘතිය අධ්‍යයනය කිරීම මැනවැයි සිතමු. දේශපාලන අවශ්‍යතාවන්
වෙනුවෙන් භාවිත කැරෙන මේ සංස්කෘතික අවිය දෙස බටහිර දෘෂ්ටි
කෝණයෙන් බැලීමට අපට බල කැරෙන අයුරු වටහා ගැනීම පිණිස
ඇමරිකාවෙන් කදිම උදාහරණයක් ලැබී තිබේ.
ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර මූලස්ථානය කැර ගත් යුදෙව් වාදී
මානව හිමිකම් සංවිධානයක් වන සිමොන් රොසෙන්තාල් සංවිධානය විසින්
අපට එම අවස්ථාව ලබා දී ඇත. ඝාතනයට ලක් වූ බෙනාසීර් බූතෝ
මහත්මිය ගේ ඡායාරූපයක් සමඟ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ
පිටුවක් පුරා පළ කළ දැන්වීමකින් සිමොන් රොසෙන්තාල් සංවිධානය
ප්‍රශ්න කැර ඇත්තේ, මරාගෙන මැරෙන භීෂණයට එරෙහි ලෝක
ක්‍රියාවලියකට එළඹීම සඳහා එය තව ජීවිත කොපමණ බිලිගත යුතු ද
යන්න යි. මේ ප්‍රශ්නය ගැන අවධානය යොමු කිරීම පිණිස එක්සත්
ජාතීන් ගේ සංවිධානයේ විශේෂ සැසියක් පැවැත්විය යුතු යැයි එම
සංවිධානය ඉල්ලා තිබේ.
මරාගෙන මැරෙන ප්‍රහාර කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා
අන්තර්ජාතික ප්‍රජාව ගේ න්‍යාය පත්‍රයේ ඉහළ ම ස්ථානය ලබා නො
දුනහොත් මේ දරුණු පිළිකාව ඔඩු දුවනු ඇතැයි එම දැන්වීමෙන්
පෙන්වා දී ඇත. මරාගෙන මැරෙන ප්‍රහාරකයන් අතට සමූල ඝාතක අවි
පත්වීමේ තර්ජනයක් ද පවතින බැවින් දැනට රටවල් තිහක දී මරාගෙන
මැරෙන ප්‍රහාරවලට ගොදුරු වී ඇති සංඛ්‍යාව ඉතා නො වැදගත් ගණනක්
බවට පත් වීමට ඉඩ ඇතැයි ඔවුහු අනතුරු අඟවති.
තව අවුරුදු විස්සක දී හෝ හතළිහකදී මරාගෙන මැරෙන ජෛව
විද්‍යාත්මක ප්‍රහාරයකින් දස දහසක් දෙනා මියගිය අවස්ථා අසන්නට
ලැබෙනු ඇතැයි ද එම සංවිධානය කියයි. එම නිසා ගෝලීය උණුසුම,
ඒඩ්ස් රෝගය ආදිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ සැසි
පවත්වන ආකාරයට මරාගෙන මැරෙන ප්‍රහාර පිළිබඳ ව ද එක්සත් ජාතීන්
ගේ සංවිධානයේ අවධානය යොමු විය යුතු යැයි ඔවුන් කියයි.
පුවත්පත් දැන්වීමක් ලෙස පළ වූ මේ අදහස රොයිටර් පුවත් සේවය
විසින් ලෝක ප්‍රවෘත්තියක් බවට පත්කැර තිබේ.
අන්තර්ජාතික සංවිධානයන් හි න්‍යායපත්‍රයට අප ගේ ගැටලු ඇතුල්
කැර ගැනීමට වෙහෙස දැරීම සංස්කෘතික සරණාගත භාවයේ එක් ප්‍රධාන
ලක්‍ෂණයකි. ආත්ම නාශක සංස්කෘතිය ගොඩනැඟීම උදෙසා, දෙමළ
බෙදුම්වාදීන් උපයෝගී කැර ගත් දේව සංකල්ප ඇමැතීමට අපොහොසත්
වුවහොත් එය මතවාදී වශයෙන් පරාජය කළ නොහැකි ය. සැබවින් ම එය
සංස්කෘතික කාර්යයකි. ඒ සඳහා භාවිත කළ හැකි මාර්ගය බුදු දහමේ
ඇතුළත් ය. මැදපෙරදිග ආත්ම නාශක සංස්කෘතියට පදනම සපයා ඇත්තේ
ඉස්ලාම් අන්තවාදය බව අපි දනිමු.
එ බැවින් සිමොන් රොසෙන්තාල්වරුන් මෙන් අප, අප ගේ සංස්කෘතියෙහි
ම ආගන්තුකයන් විය යුතු නො වේ. |