මැරැණට පසු මොකද වෙන්නේ
කොබ්බෑවල සුමනදාස වීරසිංහ
මරණය පිළිබඳ විවිධ මතවාද මානව ඉතිහාසයේ සෑම කාල වකවානුවකදීම පැවැති
බවට ලිඛිත මෙන්ම පුරාවිද්‍යාත්මක ඓතිහාසික සාධක ලෝකයේ විවිධ රටවල විවිධ
සංස්කෘති වලින් හමුවී ඇත. සත්වයකු මරණයට පත් වූ පසු ශරීරය කුණු වී සම්,
මස්, ඇට, නහර, කෙස්, දත්, නියපොතු ආදී කොටස් දිරාපත් වී පොළොවේ පස් සමඟ
මිශ්‍ර ව ලේ, මුත්‍ර, පිත, සෙම, සැරව, කෙළ, සොටු, කඳුළු ආදී කොටස් ජලය
සමඟ මුසු වන අතර, ශරීරයේ උෂ්ණය හා වාතය පහව ගොස් වාතය වාතය සමඟ ද උෂ්ණය
තේජෝ ධාතුව සමඟ ද එකතු වී, සියල්ල මරණයත් සමඟ කෙළවර වන බව විශ්වාස කළ
පිරිස් උච්ඡේද වාදීන් ලෙස ද, මරණයෙන් පසුව රූපය පඨවි, ආපෝ, තේජෝ, වායෝ
ධාතූන් සමඟ එකතුවුවත් එම සත්වයා මෙහෙයවන ලද බලය හෙවත් ප්‍රාණය සදාකාලික
බව විශ්වාස කළ පිරිස ශාස්වතවාදීන් ලෙසද හඳුන්වා ඇත. මෙම ප්‍රධාන මත වාද
දෙක මත පිහිටා විවිධ අදහස් හා පළකල හා ඇදහූ පිරිස් බොහෝ වූ අතර බුද්ධ
කාලය වන විට දෙසැට විධ මිථ්‍යා දෘෂ්ටියක් පැවැති බව පැවසෙයි. වර්තමාන
ලෝකයේ ද පවතින ආගම් හා සංස්කෘති හා ගෝත්‍රිකයන් අතර පවතින ඇදහිලි හා
විශ්වාස අනුව බලන විට, අද වන විට මෙබඳු දෘෂ්ටිවාද තවත් වැඩිවී ඇතැයි
සිතිය හැකි ය.
මැවුම්කාර දෙවියකු හෝ බල ශක්තියක් ඇතැයි යන පදනම මත ගොඩනැඟී ඇති ඇදහිලි
ආගම් හා විශ්වාස දේව හෝ බහු දේවවාදී ආගම් වන අතර, ඒ සියල්ල ශාස්වත
දෘෂ්ටිගත ආගම් ගණයට වැටෙයි. භෞතික සාධක මත පිහිටා ජීවිතය හා මරණය ගැන
අදහන පිරිස් උච්ඡේද දෘෂ්ටි ගණයට වැටෙයි. බුදුරජාණන් වහන්සේ ජීවිතය හා
මරණය පිළිබඳ කර ඇති විවරණ ඉතා පැහැදිලි හා නිරවුල් දේශනා වන අතර
නුවණැති ඕනෑම අයකුට හේතු සාධක ඇතිව පිළිගැනීමට හැකි දේශනා ය. ඒවා නම්
පටිච්චසමුප්පාදය විග්‍රහ කරමින් කර ඇති සිය ගණනක් වූ දේශනා ය. එම
සූත්‍ර සංයමයෙන් හා සන්සුන් මනසකින් යුතුව අධ්‍යයනය කර බැලීමෙන් ලෝකය
හා සත්වයන් පිළිබඳ යථාර්ථය හේතු සාධක ඇතිව අවබෝධ කර ගැනීමට හැකියාව
ලැබෙයි. එහෙත් මෙය ගැඹුරු විෂයකි. අවබෝධ ඤාණය තුළින්ම ප්‍රත්‍යක්‍ෂ
වන්නකි. බුදුන් වහන්සේ මෙන්ම උන්වහන්සේ අවබෝධ කර ගත් ධර්මයත් ශ්‍රාවක
සංඝයාත් යන ත්‍රිවිධ රත්නය මත අචල ශ්‍රද්ධාවෙන්ම අවබෝධ වන දහමකි. මෙය
ගැඹුරු යැයි කීමෙන් අදහස් කරන්නේ අවබෝධ කර ගැනීමට බැරි දහමක් යන්න
නොවේ. මෙය ඉතා පහසුවෙන් දැන ගන්නට බැරි දෙයක් ය කියන එක ය. දෑසින් බලා
හෝ දෙකණින් අසා හෝ නාසයෙන් ආඝ්‍රාණය කර හෝ දිවෙන් රස විඳ හෝ ශරීරයෙන්
ස්පර්ශ කර දැන ගැනීමට හැකි දේ බොහෝ දෙනකුට පහසුවෙන් දත හැකි ය. එහෙත්
මරණයෙන් පසුව සත්වයකුට සිදුවන්නේ කුමක්ද? යන්න පංච ඉන්ද්‍රිය ඇසුරින්
කෙසේවත් දැන ගැනීමට නොහැකි වන අතර, ඒ සඳහා සිතා විමසා බැලීමට හැකියාවක්
ඇත්තකුම විය යුතු ය. එසේම එය බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව විමසා
බැලිය යුතු ය.
බුදුන්වහන්සේ දේශනා කොට වදාළ පරිදි සිතන්නට හැකිනම් එවන් අයට මෙකී
ගැඹුරු දේශනා අවබෝධ කර ගැනීමට බැරිකමක් නැත. බුද්ධ කාලයේ විසූ ආර්ය
අෂ්ටවිධ පුද්ගලයන්ට මෙන්ම මෙකල ජීවත් වන අයට ද එම හැකියාව ඇත. බාහිර
විෂය මෙන් වගු සමීකරණ, පරීක්‍ෂණ නල, අන්වීක්‍ෂ, දූරේක්‍ෂ, විද්‍යාගාර
උපයෝගී කරගනිමින් පංච ඉන්ද්‍රිය අනුසාරයෙන් බාහිර විද්‍යා ඉගෙන ගන්නා
ලෙසට පුද්ගලයන්ගේ අධ්‍යාත්මය ගැන ගවේෂණය හෝ නිරීක්‍ෂණය කිරීමට නොහැකි
අතර, මේ සඳහා අවශ්‍ය වන්නේ ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීම ම ය.
නා නා විධ දෘෂ්ඨි ජාල නිසා අවුලින් අවුලට පත් වී තිබුණු සිත් වලට
සැකයකින් අවිශ්වාසයකින් තොරව, ඇදහීමට නොව අවබෝධ කර ගන්නට හැකි හේතුඵල
දහමක් පවතින බව බුදුන් වහන්සේ පෙන්වා දුනි. එය උච්ඡේද වාදය හෝ ශාස්වත
වාදය යන වචන මත පිහිටා කරන වාදයක් නොව යම් යම් හේතූන් නිසා ඇතිවන
ප්‍රතිඵල විදියට විවිධ සත්වයන් වශයෙන් සංසාරයේ ඉපදෙමින් මැරෙමින් අගක්
මුලක් නැති සසර ගමනක යෙදෙන චක්‍රීය පැවැත්ම නිරවුල් කිරීමකි. මෙම සංසාර
චක්‍රය තම තමන් විසින්ම මිස වෙනත් කිසිවකුට නැවැත්විය නොහැකි බවත්,
හේතු සාධක මත පෙන්වාදී ඇත.
මම මැරුණට පසු මොකද වෙන්නෙ? මෙම ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් මාර්ග
ඵලයකට පත්වූවෙකුට මිස වෙනත් කිසිවකුට දීමට නොහැකි ය. මැරුණට පස්සෙ
ඔක්කොම ඉවරයි. ආයේ උපදින එකක් නෑ කියල හිතුණොත් ඔබත් උච්ඡේද වාදියකු
බවට පත්වෙයි. මැරුණට පස්සෙ මම දෙවියන් වහන්සේ ළඟට යයි. නැතිනම්
බ්‍රහ්මත්වයට පත්වී සදාකාලික වෙයි. මේ විදියට හිතුවොත් ඔබ ශාස්වත
වාදියෙකු වෙයි.
මා තුළ තවම අවිද්‍යාව පවතී. කෙලෙසුන් ප්‍රහීණ වී නැත. එනිසා මරණයෙන්
පසු නැවත පුනර්භවයක් හිමි වෙයි. එසේ නැතිනම් මා සියලු අවිද්‍යාවන්ගෙන්
මිදී සියලු කෙලෙසුන් ප්‍රහීණ කොට ඇත්තෙමි. එබැවින් මා හට නැවත උපතක්
සිදු නොවේ. මෙලෙස සිතන්නේ නම් ඔබ බුදු දහම ගැන දත් හේතුඵල දහමට අනුව
සිතන ධර්මය ගැන දන්නා, ප්‍රඥාවන්තයෙකි.
කිසිම සත්වයකු මවන්නකු හෝ උපදවන්නකු විශ්වයේ කොතනක වත් නැත. කුමන හෝ
භවයක සත්වයකුගේ ඉපදීම සිදුවන්නේ, ඔහු විසින් කරන ලද කුසල, අකුසල කර්ම
වල බලපෑමෙන් පටිච්චසමුප්පන්න ධර්මානු කූලව ය. මෙසේ සත්වයකු, උපදවන්නකු
මවන්නකු නැතිනම්, සත්වයකු මරණයට පත්කරන හෝ පත්කරවන මරවන්නක්ද ද නැති
අතර, මරණය ද පටිච්චසමුප්පණ්න ධර්මතාවලට අනුවම සිදුවන ක්‍රියාවලියකි.
සත්වයන් මවන මරන දෙවියකු, බ්‍රහ්මයකු, මාරයකු සිටී නම් එම දෙවියා
මැවුවේ කවුද? අනිකුත් සත්වයන් මරණ මාරයා මරන්නේ කවුද? මෙම ගැටලු වලට
පිළිතුරු නිශ්චිත නැත. පටිච්ච සමුප්පාද ධර්මතාවය විශ්වයේ සෑම සත්වයකුටම
පොදු වූ ධර්මතාවයකි.
අවිද්‍යාවේත් තෘෂ්ණාවේත් බලපෑමෙන් සංසාරයේ පැවැත්ම සිදුවන බැවින්
විභංගපාලියේ පටිච්චසමුප්පාද විස්තරය අවිද්‍යාව ළඟින් පටන්ගෙන විස්තර
කොට ඇත. තත්ථ කථමේ අවිජ්ජාදුක්ඛේ අඤ්ඤාණං, දුක්ඛ සමුදයේ අඤාඤාණං,
දුක්ඛ නිරෝධේ අඤ්ඤාණං, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා අඤ්ඤාණං වශයෙන් දුක,
දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති වන ක්‍රමය යන කරුණු 4 නොදැනීම
අවිද්‍යාව බව දේශනා කොට ඇත. මෙහිදී දුක්ඛ සත්‍යය නම් කුමක්ද? යන්න
මුලින්ම දැන ගත යුතු ය. සියලු සත්වයන්ට දැනෙන රිදුම නම් වේදනාව පමණක්
නොවෙයි.දුක්ඛ සත්‍යය යන්නෙන් අදහස් කර ඇත්තේ. ජාති, මරණ, ශෝක , පරිදේව
දුක්ඛ, දෝමනස්ස උපායාස කැමැති දේ නොලැබීම අකමැති දේ ලැබීම සහ කෙටියෙන්
පවසනවා නම් පංච උපාදානස්කන්ධයම දුක බවයි දේශනා කොට ඇත්තේ. මෙහිදී
සත්වයන්ට ප්‍රකටව හා අප්‍රකටව පවතින හා දැනෙන නොදැනෙන සියලු දුක් ගැන
දේශනාකොට ඇත. මේ අතර ජාති,ජරා මරණ, වශයෙන් ඉපදීම, මේරීම (වැඩීම) හා
මරණය යන කරණු තුන මුලින්ම දේශනා කොට වදාළේ ද බුදු නුවණින් දත් හේතු
සාධක මතම ය. සියලු දුක්වලට මුල ඉපදීමයි. ඉපදීම නිසාම මෝරමින් වැඩෙන විට
අනිකුත් ශෝක, පරිදේව , දුක්ඛ , දෝමනස්ස ආදී දුක් නිරායාසයෙන්ම උරුම වී
අවසානයේදී මරණය නමැති දුක්වේදනාව ඇතිවන අතර මරණයෙන් පසුව ද එම දුක්
නැති නොවෙයි. ස්කන්ධ (රූප , වේදනා, සංඥා , සංස්කාර,විඤ්ඤාණ ) වෙත පවතින
ඇලීම හේතු කොට ගෙන නැවත පුනර්භවයක හටගැනීම පහළවීම, ඉපදීම සිදුවෙයි. මේ
අනුව දුක පිළිබඳ සත්‍යය නොදැනීම අවිද්‍යාව මුල් වීමෙන් සිදුවෙයි.
සත්වයෝ මානසිකව හා කායිකව දැනෙන දුකින් මිදීම පිණිස, සැප යැයි සිතාගෙන
තෘෂ්ණාවෙන් ඇසූ කන, නාසය, දිව , ශරීරය ,මනස යන සළායතන පිනවීම සඳහා රූප
,ශබ්ද,ගන්ධ රස ස්පර්ශ ආදී තාවකාලික වශයෙන් ඉඳුරන් පිනවන සැප ලබා ගැනීමට
රාග, ද්වේෂ, මෝහාදී සිත් පහළ කර ගනිමින් කර්ම රැස් කිරීමට පෙළඹෙති. එසේ
බොහෝ දෙනකු ක්‍රියා කරන්නේ දුක්ඛ සත්‍යය නොදන්නා බැවිනි. ඉඳුරන් හා
ගැටෙන දුක සැප යන අරමුණු සත්‍ය ලෙස සිතීමත් චතුරාර්ය සත්‍ය නොදන්නා
අනවබෝධයත් ඔවුන් තුළ ඇති බැවිනි.
මෙසේ අවිද්‍යාව හේතු කොටගෙන සංස්කාරද සංස්කාර හේතුකොට ගෙන විඤ්ඤාණයත්
විඤ්ඤාණය හේතු කොට ගෙන නාම රූපත් නාම රූප හේතු කොටගෙන සලායතනත් සලායතන
හේතුකොට ගෙන ස්පර්ශයත් , ස්පර්ශය හේතුකොටගෙන වේදනාවත් වේදනාව හේතුකොට
ගෙන තෘෂ්ණාවත්, තෘෂ්ණාව හේතුකොට ගෙන උපාදානත්, උපාදාන හේතුකොට ගෙන
භවයත් භවය හේතුකොට ගෙන ජාතිය හෙවත් නැවත ඉපදීමත් ඒකාන්ත වශයෙන්ම
සිදුවෙයි. ඉපදීම හේතුකොට ගෙන අනිවාර්යයෙන්ම සෑම සත්වයකුටම උරුම වන්නේ
දුකමය. බුදු පසේ බුදු මහරහත් ආදි දුකින් මිදුණු උත්තමයන් වහන්සේට පවා
අවසන් වරට උපතින් ලැබුණු ශරීරය පවතින තුරු කායික දුක් පීඩා ඇතිවන අතර
එම රූපකායේ අභාවයෙන් පසුව නැවත උපතක් සිදු නොවන බැවින් සියලු දුක්වලින්
මිදීම සිදුවෙයි.
මේ අනුව සියලු ආශා ප්‍රහීණ කර නැති සියලු සත්වයන්ට මරණයෙන් පසු කුමන හෝ
භවයක හටගැනීමක් පහළවීමක්, උපතක් සිදුවෙයි. සෝවාන් ඵලයේ සිට අනාගාමී ඵලය
දක්වා මාර්ග ඵල ලාභීන් සීමිත වූ භව ප්‍රමාණයක් සුගති වල නැවත ඉපදෙන අතර
අන් සියලු සත්වයෝ ඔවුන්ගේ තරාතිරම කුමක් වුවත් කර්මානුරූපව සුගතිවල හෝ
දුගති වල ඉපදෙමින් - මැරෙමින් කෙළවරක් නැති සසර ගමනක යෙදෙන්නෝ වෙති.
මරණානුස්මෘතිය හෙවත් මරණය ගැන සිහි කිරීමෙන් ධර්මය අවබෝධ කර ගැනීමට
කියා දී ඇති එකම දහම, බුදු දහම පමණකි.
වෙනත් සත්වයන් මරා යාග හෝම බලි බිලි පවත්වා මරණය හෝ මරණයෙන් පසුව ලබන
ආත්මය හේ සුවපත් කරගත නොහැකි බව බුදුරජාණන් වහන්සේ නොයෙකුත් අවස්ථා
වලදී දේශනා කොට ඇත.
ලෝකයේ කුමන භාෂාවකින් ප්‍රකාශ කළත් මරණය යන වචනය බොහෝ දෙනකුගේ සිතට
අමිහිරි මෙන්ම බිය හා ත්‍රාසය මුසු හැඟීමක් ඇති කරවයි. මරණය යන වදන ඇසූ
පමණින් එසේ වන්නේ ස්වභාවයෙන්ම බොහෝ දෙනකු තුළ පවතින මරණ බිය නිසාය. සෑම
සත්වයෙක්ම තමන් කවදා හෝ ඒකාන්ත වශයෙන් මැරෙන බව දැන දැනත් මරණය ගැන බිය
වන්නේ ඇයි?
මෙයට හේතුව නන්දිරාගයයි. තමන් ලෙස සලකන හා හිතන සිරුර ලක්‍ෂණ වුවද
අවලක්‍ෂණ වුවද අවයව විකෘති අබ්බගාතයකු කොරකු අන්ධයකු බිහිරකු වුවද
දෙවියකු බ්‍රහ්මයකු වුවද පේ‍්‍රත ආදී අමනුෂ්‍ය භූතයෙකු වුවද තිරිසන් ගත
සතකු වුවද කොටින්ම කියනවානම් වැසිකිළි වලක වෙසෙන පණුවකු වුවද මේ සෑම
සත්වයෙක්ම නන්දිරාගය හේතුවෙන් තමන්ට උපතින් ලැබුණු ශරීරයට ආශාවෙන් බැදී
සිටිති.උපන් සෑම සත්වයකුටම තම සිරුර තරම් වටිනා එසේම පි‍්‍රය මනාප
වෙනත් කිසිවක් නැත.
ධර්මය මෙනෙහි කරමින් මරණය ගැන සිතන්නෙක් ජාති, ජරා මරණාදියට හේතුවන්නා
වූ කරුණු අවබෝධ වන විට මමත්වය හා ආශාව පහ වෙමින්, ආත්ම දෘෂ්ඨියෙන්
මිදෙයි. එසේම පටිච්චසමුප්පාද ධර්මතාව තේරුම් ගැනීම නිසා මම කියා නිත්‍ය
කෙනකු නැති බවත් හේතුඵල ධර්මතාව මත පවතින පැවැත්මක් බවත් තේරුම් යෑම
නිසා අවිද්‍යාව පහවෙමින් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙයි. මරණය ගැන පැවැති
බිය සැක පහව යයි. බුදු පසේ බුදු මහරහතන් වහන්සේද පිරිනිවන් පාති.
සක්විති මහාරාජ මහාමාත්‍ය ආදී මහා බලවත්තුද මරණයට පත් වෙති.
දරුවෝ වැඩිහිටියෝ උගත්තු නූගත්තු ආදි සැම දෙනාම මිය යති. මෙසේ මරණයට
පත්වීම තමා කැමැති වුවත් අකැමැති වුවත් වැළැක්විය නොහැකි කියන ධර්මයකි.
එබැවින් මෙයට බියවීම, අනුවණ කමකි. කවදා කුමන මොහොතක කුමන ආකාරයෙන් සිදු
වුවද මරණය නමැති යථාර්ථයට අනිත්‍ය ධර්මයට මුහුණ දීමට හැකි නොසැලෙන
අකම්පිත පුද්ගලයකු වීමට නම් ඒ ගැන ගැඹුරින් මෙනෙහි කරමින්ම ධර්මය අවබෝධ
කරගත යුතුය. |