දමනයට අපහසු පුදුම සිත
ශාස්ත්‍රාචාර්ය ඒ.එම්.තිලකරත්න දුරඞගමං ඒකචරං
අසරීරං ගුහාසයං
යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්ඛන්ති මාර බන්ධනා
සිත අසිරිමත් දෙයක් බව බුදුරදුන් විසින් බොහෝ අවස්ථාවලදී දේශනා කොට ඇත.
උන්වහන්සේ ගේ ගැඹුරු දේශනයක් වූ අභිධර්මයේ , චිත්ත හා චෛතසික කාණ්ඩ
දෙකින්ම විස්තර වන්නේ, මේ අරුම පුදුම සිතේ තරම ය. පුද්ගලයා විවිධ
අරමුණු වෙත ද භවයෙන් භවයට ද ඇදගෙන යන සිත (චිත්තෙන නියතී ලොකො -
චිත්තේන පරිකස්සති) භාවනාවෙන් නොවැඩුවේ නම් එහි, විපාක අහිතකරය. එනිසා
පුද්ගලයා සතු කාර්ය වන්නේ, සිත තමන්ගේ අණසක යටතට පත්කර ගැනීමයි. සමථ -
විදර්ශනා භාවනා මඟින් එය කළ හැකිය.
සිතේ පවත්නා ගති ලක්ෂණ කිහිපයක් ඉහත සඳහන් ධම්මපද ගාථාවෙන් ප්‍රකාශ
වෙයි. දුර ගමන් කිරීම එකලාව හැසිරීම, සිරුරක් නොමැතිවීම , ගුහාවක
පැවතීම යන ලක්‍ෂණ ඇති සිත මෙල්ලකිරීම හෙවත් පාලනය කිරීම, මාරයාගේ
ග්‍රහණයෙන් මිදීමට මඟක් බව, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇත.
සිතේ පවත්නා පූර්වෝක්ත ස්වභාව තේරුම් ගත යුතු වනවා පමණක් නොව, සිත
මෙල්ල කිරීමේදී එම දැන ප්‍රයෝජනවත් වන බව ද මෙයින් ගම්‍ය වෙයි. දුර
ගමන් කිරීම සිතේ ස්වභාවයකි. ළඟම අරමුණෙහි රැඳී සිටීම, සිතේ ගතිය
නොවෙයි. එය ඉතා ක්ෂණිකව ඈත අරමුණු කරා ගමන් කරයි. භාවනානුයෝගිව
ඉන්ද්‍රිය විෂය වන ළඟම අරමුණු පාදක කර ගනිමින් සිත සංවර කරගැන්මට යත්න
දරන්නෙකි. ඇසට කනට පෙනෙන දැනෙන අරමුණු වල අනිත්‍ය දුක්ඛා දී ස්වභාව
මෙනෙහි කරන්නෙකි. එහෙත් සිත ඒ අරමුණු වලින් එපිට වෙනත් අරමුණක එල්බ
ගැනීම සිදුවිය හැකිය. එනිසා සිත දුර ගමන් කරන්නක් බව දැන සිටීම , සති
සම්පජඤ්ඤයෙන් කටයුතු කිරීම සඳහා ඉතා වැදගත්ය. ‘එක චරං ‘ යනු හුදකලාව
හැසිරීමයි. පුද්ගලයකු හෝ වස්තුවක් හඳුනා ගැනීමේදී ඒ හා බැඳුණු වෙනත්
වස්තු හෝ පුද්ගලයන් ඇත්නම් එය කිරීම පහසුය. අපි කිසියම් ගඳ සුවඳකින්
යමක් ගැන අනුමානයක් ගොඩනඟා ගනිමු. හමන සුළඟේ ස්වභාවයෙන් වැස්සක් එන බව
අනුමාන කළ හැකිය. එහෙත් එකලාව හැසිරෙන්නකු හඳුනා ගැනීම පහසු නොවෙයි.
එබැවින් සිත දමනය කිරීම ද අපහසුය. ඔබට ගින්න නිවා දැමීමෙන් දුම නතර කළ
හැකිය. එහෙත් සිත ග්‍රහණය කර ගැනීම සඳහා සිතට පාදක වන නිබද වෙනත් යමක්
ග්‍රහණය කිරීමට නුපුළුවන. සිතම ඍජුව ග්‍රහණය කර ගත යුතු වෙයි.
‘අසරීරං “ හෙවත් ශරීරයක් නැති බව ද සිතේ ලක්‍ෂණය කැයි කියැවෙයි.
ශරීරයක් ඇති අයකු යටත් කර ගැනීම කොතරම් පහසුද? ඔහුගේ සිරුර ඉලක්ක කොට
උගුලක් ඇටවීමෙන් ඒ තැනැත්තා අත් අඩංගුවට ගත හැකිය. ශරීරයක් ඇත්නම් එය
අල්ලා ගැනීමෙන් හෝ හිරකොට තැබීමෙන් හෝ ආබාධිත කිරීමෙන් එය මෙල්ල කරගත
හැකි ය.
එහෙත් සිත වනාහි ඉන්ද්‍රියන්ට ස්පර්ශ වන සිරුරක් නැති දෙයකි. සිත පාලනය
කරන්නට වැර වඩන්නා වෙතින් ඉතා පහසුවෙන් ලිස්සා යෑමට, සිතට පුළුවන්. සිත
වෙනුට ශරීරයේ යම් යම් ඉන්ද්‍රියයන්ට දඬුවම් කිරීම මඟින් සිත හික්මවීමට
ජෛනයෝ උත්සාහ කළහ.
එහෙත් එම ජෛන ඉගැන්වීම, මිථ්‍යා අදහසක් ලෙස බුදුරජාණන් වහන්සේ බැහැර
කළහ. සිත අසරීර වීම ද සිත සංවර කරගැනීමේ දී මුහුණ පාන්නට සිදු වන
අභියෝගයක් බව එහෙයින්, වටහා ගත යුතු ය.
සිත ගුහාවක් වාස භූමිය කොටගත්තක් බව ද, වටහා ගත යුතු දෙයකි. ගුහාවක්
ස්වභාවයෙන් ම අඳුරු ය. ඒ අඳුරෙහි කිසියම් සත්වයෙක් සිටීදැයි පියවි ඇසට
හඳුනා ගත නොහැකි ය. යමෙක් ගුහාවට ඇතුළුව එහි සිටින අයකු අල්ලා ගැනීමට
තැත් කරන්නේ නම්, එහි වාසය කරන්නාට පහසුවෙන් සොයන්නා මඟ හැරීමට හැකි ය.
සිත ද එවැන්නකි. අඳුරු ගුහාවක වෙසෙන්නකුට සමාන ය. එබැවින් කොතනක
සිටිනවා ද කවර ස්වරූප ඇත්තෙක් ද කියා දැන ගැනීම පහසු නැත.
අනිත් අතට ගුහාවේ සිටින්නා වහා දුරට යන්නකු නම් එකලාව හැසිරෙන්නකු නම්
සිරුරක් ද නැති අයකු නම් සෙවීමේ දුෂ්කරතාව තවත් වැඩිවෙයි. එබැවින්
අභාවිත සිතැත්තාට සිත හඳුනාගැනීම අතිශයින් දුෂ්කර කාර්යයකි.
පූර්වොක්ත ලක්‍ෂණවලින් යුත් සිත සංවර කරගැනීම ද ඉතා දුෂ්කර කාරණයකි.
යමෙක්, එබඳු වූ සිත සංවර කරත් ද ඔහු මාර බන්ධනයෙන් මිදෙන්නාහු යැයි
බුදුහිමියෝ දේශනා කරති.
පෘථග්ජන සියලු සත්වයෝ මාර මුඛයට වඳින්නාහ (ගොදුරු වන්නාහු) වෙති.
කෙලෙස් සහිත මරණයෙන් ඔවුනට නැවත උත්පත්තියක් ලැබෙන බැවිනි.
නැවත උත්පත්තියක් යනු, යළි ජාති ජරා මරණා දී දුක් සමූහය වැළඳ ගැනීමකි.
සිතෙහි සංකීර්ණ ගතිලක්‍ෂණ තේරුම් ගෙන, සමථ, විදර්ශනා භාවනා මඟින් සිත
සංවර කළ තැනැත්තා, සිතට වසඟ, වූවකු නොවෙ යි. සිත තමා වසඟයටගත්
තැනැත්තෙකි. තමන්ගේ වසඟයේ පවත්නා සිත කෙලෙස් අරමුණුවලට යා නොදී රැක
ගැනීමට දියුණු කළ සිතැත්තා සමත්වෙයි. ජීවිතාවසානය පවා ස්වාභිමතයට අනුව
සැලසුම් කර ගැනීමට, නික්ලේශී උත්තමයන්ට පුළුවන. තෘෂ්ණාවෙන් සමුච්ඡේද
වශයෙන් ම සිත මිදී ඇති නිසා, චුති සිතෙහි ඵලයක් ලෙස ඊළඟ භවයක තෘෂ්ණා
වශයෙන් බැස නොගනියි. එබැවින් පුනර්භවයක් ඇති වීමට ඉඩක් නැත.
බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේ පෘථග්ජන පුද්ගලයන් මෙන් තමන්ට
පාලනය කරගත නොහැකි සිතකින් අනපේක්‍ෂිත අවස්ථාවකදී මෙලොව හැර නො යති.
පූර්ව නිශ්චිත අවස්ථාවකදී තමන් වහන්සේ විසින් අභිමත පරිදි සිත සකසාගෙන,
අනුලෝම ප්‍රතිලෝම වශයෙන් රූපාවචර ධ්‍යාන වලට සම වැදී ධ්‍යානයෙන්
මිදී,නිරුපාධිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවීමට පත්වෙති. එබැවින්
උන්වහන්සේ මාර බන්ධනයට පත් නොවෙති. |