සිරිලක බුදු සිරිපා පහස ලද දුරුතු උතුම් පුන් පොහොය
මුළු දිවයිනටම සාම විනිසුරු
පියතිස්ස කුමාරසිංහ අද දුරුතු මස පුර පසළොස්වක පොහෝ දිනයයි. අප ගෞතම බුදුරජාණන් වහන්සේ
මුල් වරට මේ දිවයිනට වැඩම කළේ් දුරුතු මස පුර පසළොස්වක පොහෝ දිනකය. උන්
වහන්සේ මෙහි වඩින්නට පළමු මේ මහා භද්‍ර කල්පයෙහි බුදු බව (මහා ඤාණය )
ලබාගත් කකුසඳ , කෝණාගම සහ කාශ්‍යප යන තුන් බුදුරජාණන් වහන්සේද මේ
දිවයිනටම වැඩම කර තිබේ. එම නිසා ලංකා භූමිය පවිත්‍ර භූමියක් බවට පත්
විය.
අප ගෞතම බුදුරජාණන් වහන්සේ රාජ්‍ය වර්ෂ පූර්ව අට වැනි සිය වසේ දුරුතු
මස පුර පසළොස්වක පොහෝ දිනයේද මෙහි වැඩි සේක. බොහෝ කාලයක් බුදු දහම මෙහි
පවතින බව තේරුම් ගත් උන් වහන්සේ එසේ වැඩම කර වදාළේ, උරුවෙල් දනව්වෙහි
ගිනි දෙවි පුදමින් යාග හෝමාදිය පවත්වමින් මිසදිටු අඳුරේ ජීවත් වූ
උරුවේල කාශ්‍යප නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයින් ප්‍රධාන
දහසක් එම සව්වන් දහම් මගට හරවා - ඒ සැම දෙනෙක්ම මාර්ග ඵල ලාභී
තත්ත්වයකට පත් කිරීමෙන් පසු උතුරු කුරු දිවයිනෙන් පිණ්ඩපාතය ලබා ගෙන
අනෝතත්ත විල් තෙරදී දන් වැළඳීමෙන් පසුවය.
එසේ බුදු රජාණන් වහන්සේ වැඩම කළේ මහවැලි නදී තීරයෙහි වු යොදුන් තුනක්
දිග ඇති මහා නාග නම් වනෝද්‍යානයට ය. ඒ අවස්ථාව මේ රටේ වාසය කළ යක්ෂ නම්
නොදියුණු මිනිස් කොට්ඨාශයක් ජන හමුවක් පවත්වමින් සිටි අවස්ථාවක් විය.
පිරිස මැද අහසේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ අව් වැසි, සුළං, කුණාටු ආදී
ප්‍රාතිහාර්ය පා, ඔවුන් දමනය කළ සේක.
ඔවුහු බුදු රජාණන් වහන්සේට වැඩ සිටීමට ස්ථානයක් සූදානම් කළ විට උන්
වහන්සේ පත්කඩ අතුරා එහි වැඩ සිට ඒ වටා ගිනිි වළල්ලක් මවා හාත්පසින්
විශාල කළ සේක. ගිනි රශ්මියෙන් දැවෙන්ට වූ යක්ෂයෝ හිස් හැරුණු අත දුව
ගොස් සයුර සමීපයට රැස්වූහ. බුදුරජාණන් වහන්සේ ඔවුන් සියල්ල “ගිරි” නම්
දිවයිනකට යැවූ සේක. උන් වහන්සේ මෙයින් අදහස් කළේ ම්ලේච්ඡ ජන කොට්ඨාශයකට
ඉඩ නොතබා යහපත් මිනිසුන්ට වාසය කිරීම සඳහා ලක්බිම පිරිසුදු කිරීමටය.
මෙහි යකුන් යැයි හඳුන්වා ඇත්තේ ලේ උරා බොන අමු මිනී මස් අනුභව කරන මුව
දෙපසින් දළ දෙකක් විහිදී ඇති බිය උපදවන අමනුෂ්‍යයන් නොව එක්තරා
නොදියුණු මිනිස් කොට්ඨාශයකි. එම අනගි බුදු සිරි නැරඹීමට පැමිණ සිටි
පිරිස අතර සුමන සමන් දෙවියෝද වූහ. බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසූ මේ
දෙවියෝ වැඳ පුදා ගැනීමට පූජා වස්තුවක් ඉල්ලූ විට බුදුරජාණන් වහන්සේ
තමන් වහන්සේගේ හිස පිරිමැද කේශ ධාතු මිටක් දුන් සේක. එම පූජා වස්තුව
රන් මංජුසාවකින් පිළිගත් සුමන සමන් දෙවියෝ බුදුරජාණන් වහන්සේ වැඩ සිට
දහම් දෙසූ ස්ථානයෙහි රුවන් රැසක් අතුරා ඒ මත මාහැඟි සත්රියන් උස
දාගැබක් කරවා කේශ ධාතු නිදන් කර පූජා පැවැත්වූහ. සුමන සමන් දෙවියෝ එම
නමින් වාසය කළ උඩරට ජන නායකයකු බවත් ඔහුගේ යහපත් ගති ගුණ නිසා
දේවත්වයෙන් සළකා ඇති බවත් පැවසේ.
කෙසේ වෙතත් ජාතික සංකේතයක් වන මහියංගණ මහ සෑය ගෞතම බුදුරජාණන් වහන්සේ
මහා ඤාණය ලබාගත් පළමු වසරේම ඉදිකර ඇත. දෙවියකු විසින් ඉදිකරවා ඇති
මුල්ම චෛත්‍යයද මෙයයි. මේ චෛත්‍යය මුළු මහත් ලෝකයේම පැරැණි මහා සටනක
පුරාවෘත්තයක් සිහියට නංවන අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහා ගුණ සමුදාය
සිහිපත් කරවන ජාතික සංකේතයකි. බුදුරජාණන් වහන්සේගේ බුදුසිරුර දැමූ
චිතකයෙන් සැරියුත් මහ රහතන් වහන්සේගේ සිසු සරභු රහතන් වහන්සේ විසින්
බුදුරජාණන් වහන්සේගේ ගී‍්‍රවා ධාතුව රැගෙන විත් නිදන් කර හිමවතින්
ගෙනෙන ලද වෛවර්ණ පාෂාණයන් උපයෝගී කරගෙන මෙම සෑය දොළොස් රියනක් උසකින්
බැන්දවූහ.
රහත් හිමිපාණන් වහන්සේ නමක් විසින් ඉදිකරණ ලද මුල්ම චෛත්‍ය වශයෙන්ද
මහියංගණ චෛත්‍ය වන්දනීය තත්ත්වයකට පත්ව ඇත.
ඉන් පසු රාජ්‍ය වර්ෂ පූර්ව 307 දී (බු.ව. 237) අනුරාධපුර රාජධානියේ රජ
පැමිණ වසර හතළිහක් රට කරවූ දේවානම්පියතිස්ස (දෙවනපෑතිස් රජතුමාගේ
මලනුවන් වූ මහියංගන පාලකයා වූ උද්ධ චූලාභය කුමාරයා විසින් මහියංගණ
චෛත්‍යය සත්රියනක් උස දාගැබක් ලෙස බැන්දවීය. රාජ්‍ය වර්ෂ පූර්ව 161 දී
(බු.ව. 383 ) අනුරාධපුර රාජධානියේ රජ පැමිණ වසර විසිහතරක් රට කරවූ
ගාමිණී අභය (දුටු ගැමුණු) රජතුමාද මහියංගණ චෛත්‍යය උසින් රියන් අසූවක්
වන සේ බැන්දවීය. මේ චෛත්‍යය ශ්‍රී ලංකාවේ ඉදි වූ මුල්ම චෛත්‍යයයි.
නොකැඩී පවතින ඉතිහාසයක් ඇති ශාරීරික හා පාරිභෝගික වස්තු වලින් පිවිතුරු
බවට පත්වූ චෛත්‍යයක් ලෙස මේ සෑය හැඳින්වේ. මේ සෑ භූමියෙහි රෝපණය කර ඇති
බෝධි වෘක්ෂ තිබේ . මේ බෝධි වෘක්ෂ සිසිල් සෙවණැල්ලේදී රාජ්‍ය වර්ෂ 251
දී (බු.ව. 794) අනුරාධපුර රාජධානියේ රජ පැමිණ වසර දෙකක් රට කරවූ සිරි
සංඝ බෝධි (සිරි සඟ බෝ) රජතුමාගේ මාමණ්ඩිය වූ නන්ද තෙරුන් වහන්සේ කුමරුට
රට කරණයට උපදෙස් දී ඇත. මේ රජතුමා පසු කලක අත්තනගලු වනයේදී හිස දන්දී
ඇත. බුදුරජාණන් වහන්සේ පිරිවෙන් මංචකයෙහි වැදහොත් අවස්ථාවේදී උන්වහන්සේ
අවසන් වරට බැහැ දැකීමට පැමිණිය වුන් අතර සදෙව් ලොවට අධිපති ශක්‍ර
දෙවියෝද වූහ. ඔහු ඇමතූ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.
පතිට්ඨිස්සති දෙවින්ද
ලංකායං මම ශාසනං
තිස්සා සපිරි වාරන්තං
රක්ඛ ලංකාව සාධුකං
“දේවේන්ද්‍රය මගේ ශාසනය ලංකාවෙහි පිහිටා ස්ථිර වනවා. එහෙයින් විජය
කුමාරයා ඇතුළු සත්සියයක් පිරිවර රකුව මෙහි සපිරිවරන්තං යනුවෙන් සඳහන්ව
ඇත්තේ මේ පිරිස ගැනය.
දුරුතු මාසය වැදගත් වන කරුණු රාශියක් ඉතිහාස ගත වී තිබේ. බුදුරජාණන්
වහන්සේ භික්ෂූන් වහන්සේට ආරණ්‍ය පිළි ගැනීමට නියම කර වදාළේ දුරුතු
මසකදීය . උන් වහන්සේ මගධාධිපති බිම්බිසාර රජතුමාගේ ඥාති පේ‍්‍රතාදීන්ට
පින් අනුමෝදන් කිරීම සඳහා දහම් දෙසුවේද දුරුතු මසකදීය.
මහියංගණ චෛත්‍ය රාජයාගේ ආරක්ෂාව පිණිසත් බැතිමතුන් ගේ අවශ්‍යතා සපුරා
ලීම සඳහාත් සුමන සමන් දෙවිඳුන් වෙනුවෙන් දේවාලයක් ඉදිකර ඇත. එහි වසරක්
පාසා පෙරහර උත්සවයක්ද පැවැත්වේ. මෙම පෙරහරේ ආදිවාසින්ගේ රැඟුම් විශේෂ
ස්ථානයක් ගනී. එයින්ද කිරි කොරහ නාට්‍යය අගනේ ය. |