ඔබ සිතන හැටි හරි ද?
ඒ.එම්. පුෂ්පරාණි සිරිවර්ධන
ඔබට හැමවිට ම සිතෙන්නේ ඔබගේ ඇති හොඳ පමණෙකි. එය වරදක් නොවේ. එහෙත් එහි
ඇති භයානක පැත්ත වන්නේ ඔබට වඩා හොඳ කෙනෙකු වීමට, එනිසා නොහැකි වීමයි.
ඔබ උදේ හවා පන්සිල් ගෙන හැමදෙනා වෙත ම මෛත්‍රීය පතුරවයි. අනුකම්පාව
දනවන වදන් පවසයි. තෙරුවන් සරණ ඇතුළු ව නොයෙකුත් ප්‍රාර්ථනාවන් දිගු
කරයි. අන්‍යයන්ගේ දුක තමාගේ කරගෙන වදනින් විස්සෝප වෙයි.
එහෙත් අවශ්‍ය අවස්ථාවක අනුන්ගේ දුකට විපතට ඉදිරිපත් වන්නට කාලවේලාව,
මුදල් හදල් ඔබට නැතිවන අවස්ථා වැඩි නොවේ ද?. එය ඔබගේ වරද නොවේ. එය
හරියාකාර බුදුදහම හඳුනාගත් ක්‍රියාකාරී සිතක් ඔබ තුළ නොවීමේ වරදයි. ඔබ
තවමත් ක්‍රියාකාරී සිතක් සකස් කරගෙන නොමැතිවීමේ වරදයි. සිත දෙන්නට අණ
කළ ද,දෑත එය ප්‍රතික්‍ෂේප කරයි.
මෙතැන් සිට ඔබ, ඔබ පිළිබඳ රහසේ සිතන්නට පටන් ගන්න. යම් යම් දේ දීමට ඔබට
ලැබුණු අවස්ථා අපූරුවට මඟ හරවාගත් තැන් සොයා ගන්න. පසුව දෙන්න තිබුණු
බව මතක් වූ අවස්ථා ගණනය කර බලන්න. එවැන්නක් මරු නොකියැවෙන්නට, ලද සෑම
අවස්ථාවකම කාට කොයි ආකාරයෙන් පිහිට වෙම් ද යන්න සිතන්නට, අද පටන් සිතට
ගන්න.
ඔබ තණ්හාධික පුද්ගලයකු ද නැති ද යන්න තීරණය කළ හැක්කේ ඔබට නො වේ. එය
තීරණය කරන්නේ ඔබගේ සමීපතමයායි. ඔබ ළඟ ඇති ඕනෑම දෙයක් අන්‍යයන් හා බෙදා
ගැනීමට ඔබ සූදානම් ද? නැහැ නේද? එහෙත් එය මිතුරුදම් පවත්වාගෙන යෑමෙහි
සුදුසුම ආකාරයයි. මෙම පරිත්‍යාගයෙන්, මිත්‍රත්වයෙන්, ජීවිතයෙහි ඔබට
ඇවැසි සියල්ල දළුලන බව ඔබ නොදන්නවා ඇති. තමා සතු සියල්ල කෙසේ වෙතත්,
අන්‍යයනට අවශ්‍ය වන මොහොතක ඔබට දක්නට හැකි කුමක් හෝ ඔබ ළඟ තබා ගන්නේ
නම්, එය ඉමහත් යහපතක් වෙයි. තම දුකෙහි දී අන් අයට ඔබ අවශ්‍ය වන්නේ
දැයි, ඔවුන්ගේ සතුටෙහි දී ඔබේ ඇසුර ඔවුන් පතන්නේ දැයි සොයා බලන්න. එසේ
නම්, ඔබ අවංක ව වෙනසකින් තොර ව අන් අයට උදව් කරන නිර්ලෝභී පුද්ගලයකු බව
ඔබටම සැක හැර දත හැකියි.
දානය යනු අප මෙලොවට බදා රඳවා තබා ගන්නා සියල්ල අත හැරීමයි. දානය පුරුදු
කරන්න. එවිට ඔබ අත් හැරීමට ද පුරුදුවනු ඇත. තණ්හාව ඉවත් කර ගත හැක්කේ
දානය පුරුදු පුහුණු කර ගැනීමෙනි. එහෙත් දුන් දෙය ගැන සිතමින්, ලත
නොවන්න, ඔබට දෙන්නට හැකි ඊළඟ දෙය පිළිබඳ සිතන්නට වහා පුරුදු වන්න.
අගය කරවා ගැනීමට හුරුවීම ද එක්තරා අන්දමක තණ්හාවක් බව, ඔබ මෙතෙක්
නොසිතන්නට ඇති. යමක් දීමෙන් පසුව ඔබ ඒ ගැන නොසිතා එම ගනුදෙනුවෙන් ඉවත්
වන්නැයි, මා කියන්නේ ඒ නිසයි.
“ලෝකය නමැති ගංඟාව ඔබ තරණය කරන කල්හි, ඔබගේ සිත අනිවාර්යයෙන්ම හිස්
ඔරුවක් කර ගන්න. ඔබ හා ගැටෙන්නට කිසිවකු ඔබට විරුද්ධ ව නැඟී සිටින්නට
එවිට කිසිවකු නොඑනු ඇති, කිසිවකු ඔබට අනතුරක් ද නොකරනු ඇති. එනිසා ඔබ
හා ගැටෙන්නට, හැපෙන්නට එන සියල්ලන් ඉදිරියේ හිස් ඔරුවක් ව සිටින්න”
තරහ ගන්නටත්, වරද පටවන්නටත්, බැණ වදින්නටත්, ශාප කරන්නටත්, හිස් ඔරුව
තුළ මිනිසකු නොසිටින නිසා ඔබගේ සිත හිස් ඔරුවකට උපමා කොට දැක්වීමි.
සිත හිස් කර ගන්නේ කෙසේද? වඩා හොඳ ආලෝකයක් සිතෙහි ඇති කර ගැනීමෙන් එය
කළ හැක. ආලෝකය යනු කුමක්ද? ආලෝකය යනු මනා සිහියයි. මනා සිහිය ඇති කල්හි
සෑම දෙයම පැහැදිලිව තේරුම් ගැනීමට හැකි වනු ඇති.
සිතෙහි පැහැදිලිතාව යනු, කුමක් සිදු වූවද එමඟින් ඔබ සිත කලබලයට පැටලිලි
ස්වභාවයට පත් නොවීමයි. එබඳු චිත්ත පාරිශුද්ධියක් ඇති කර ගන්නේ කෙළෙසකද?
ආශාවෙන්, බැඳීමෙන්, තරහවෙන් සහ මුලා වීමෙන් (වැරැදි දැනීමෙන්) සිත
නිදහස් කර ගැනීමෙනුයි. එය කළ හැකි වන්නේ.
නිවැරදි දැනීම යනුවෙන් අදහස් කැරෙන්නේ, තෘෂ්ණාව නොහොත් තණ්හාව දුරස්
කරගත් සිතක පැවැත්මයි. ‘නිවන’ අවබෝධ කරගත්තෝ, තම ක්‍රියා අතර මුල් තැන
ලබා දෙනුයේ දීමටයි.
අනුන්ගේ දෙයට තමා තණ්හා නොකරන්නේ යැයි ඔබට තණ්හාකරුවකු නො වී ගැලවෙන්නට
නොහැකි ය. මන්ද තමන්ගේ යැයි, අනුන්ගේ යැයි දෙකක් නැත. එනිසා මා ඉතා
ආදරයෙන් ඔබගෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ අයිතියට කිසිවකු හෝ කිසිවක් පවරා
නොගන්නා ලෙසයි. ඔබ යනු අපෙන් කෙනෙකු පමණි. අප යනු ඔබෙන් කෙනෙකු පමණි.
මේ පොදු සංකල්පය හොඳින් සිතා බලන්න.
සත්‍යාවබෝධයට මඟ පෙන්වීම හැර, සත්‍යාවබෝධය ඔබ තුළට ඇතුළු කරවන්නට සමතකු
මිහිපිට නොමැත. එම ප්‍රාතිහාර්ය පෑමට, අප සම්‍යක් සම්බුදුරජාණන්ට පවා
හැකි වූයේ නැත. අප තවමත් සසර සැරිසරන්නේ එනිසාය.
මෙකී සත්‍යය අවබෝධ කර ගත හැක්කේ තමාවම සොයා දැන, තම වැරැදි අවබෝධකොට
ගෙන ඒවායින් නිදහස් වීමෙනි.
තමාට අයිති, තමාට අවනත වන කිසිවක් තිබේ දැයි සොයා බැලුවහොත් ඔබට
හොඳින්ම වැටහෙන සත්‍යය නම්, තමා කැමැති මොහොතක මෙලොවට පැමිණීමටවත්,
කැමැති මොහොතක මෙලොවෙන් සමුගැනීමටවත් නොහැකි බවයි.
කිසි විටක, කිසිවකට තණ්හා නොකරන්නැයි මා කියන්නේ ඒ නිසා ය. මා මේ
සියල්ල පවසන්නේ ඔබට ‘නිවන’ අරමුණු කරගත් ජීවිතයක් අවශ්‍ය ව ඇත්තේ නම්
පමණකි.
තම සිතින් තෘෂ්ණාව ඉවත් කර ගන්නේ කෙසේද? එයට හොඳ සරල ආරම්භයක් අවශ්‍ය
වෙයි. ඔබට එම ආරම්භය සාදා දීමට, මට උදව් කළ හැකියි.
ඔබගේ ඇඳුම් අල්මාරිය හැර බලන්න. දොරෙන් එළියට පනින්නට තනන එහි ඇති ඔබ
දැනට පරිහරණය නොකරන ඇඳුම් ඉවත් කරන්නට මේ මොහොතේ ම ඔබට පුළුවන් විය
යුතු ය.
මතක තබා ගන්න, පසුව පරිහරණය සඳහා ඇඳුම් වෙන් නොකිරීමට, වියපත් ව ලෙඩ
ඇඳට වැටුණු විට දමන්නට පරණ රෙදි එකතු කරන ආච්චි අම්මලා, සීය තාත්තලා අප
අතර එමටය.
එලෙස රෝගී වන්නට ආරාධනා කරන්නට තරම් නපුරු වන්න එපා. මේ මොහොත සතුටින්
ගත කරන්නට, සිහියෙන් ගත කරන්නට උත්සාහයක යෙදෙන අපි රැස් කිරීමට සිතන්නේ
ඇයි? ඔබ රැස් නොකරනාතාක් කල් අවශ්‍ය මොහොතෙහි ඔබ ඉබේ ම සුරැකේවි.
අත්දැකීම් ලද මා හා එකඟ වනු ඇති. එම අවස්ථාවලට එළැඹීමට ඔබ බොහෝ සිත හදා
ගත් දියුණුවට පත්කර ගත් අයකු විය යුතුයි. ඒ ගැන පසුව සිතමු.
දැන් බලන්න, විශේෂව ම පාසල් යන දුවලා, පුතාලා නිවසේ අපිළිවෙල ම ස්ථානය
කර ගන්නේ තම මේසයයි. තමාට අත්‍යවශ්‍ය ම දේවල් සලකා බැලුවහොත් මේසය මත
පවා වැඩි වශයෙන් ඇත්තේ අනවශ්‍ය එකතු කිරීම් බව අපේ දරුවන්ට හොඳින්
වැටහේවි.
අපේ කුස්සිය පුරවාගෙන ඇත්තේ වැඩිහරියක් පසුව ගැනීමට එකතු කරන එහෙත්
කිසිදාක අවශ්‍ය නොවන, අවශ්‍ය කාලය පැමිණෙන විට වැඩකට ගත නොහැකි භාණ්ඩ
තොගයකි.
නිදහස් වන්න මේවායින්, අඩු භාණ්ඩ භාවිතය සිතට ගෙනෙන සැනසිල්ල අත්
විඳින්න. මා බොන කෝප්පය, මගේ පිඟාන ආදී වශයෙන් එක් දෙයකට එක් භාණ්ඩයක්
පමණක් පාවිච්චි කිරීමට හිත හදා ගන්න. අනෙක් සියල්ල ඔබ අසලින් වහා ඉවත්
කරන්න.
ඔබ සතුව කෝප්ප කීපයක් තිබුණත්, එක් වරකට ඔබ මුවට ළං කරගෙන බීමට ගත
හැක්කේ එක කෝප්පයක් පමණක් නේද?. ඔබ සතුව පිඟන් කොපමණ තිබුණත් එක් වරකට
ඔබට ආහාර ගත හැක්කේ එක් පිඟානක පමණයි නේද?. එසේ නම්, කෝප්ප කිහිපයක සහ
පිඟන් කිහිපයක අවශ්‍යතාව මේසයෙන් පමණක් නොව සිතෙන් ද ඉවත් කරන්න.
නිවැසියන් ගණනට අවශ්‍ය බඩු එළි පහළියේ තබාගෙන, අඩු තරමින් අමුත්තන්ගේ
ඒවා නොපෙනෙන තැනක තබා කලබලකාරී පරිසරයෙන් ඇස නිදහස් කරගන්න. ඇස නිදහස්
වද්දී සිත ද ක්‍රම ක්‍රමයෙන් නිදහස් වේවි.
සිතන්න, වැඩිම වුණොත් ඔබට නිවසට සහ ගමනට අවශ්‍ය වන්නේ පාවහන් යුගලයක්
නොවේද? එසේ නම්, වැඩිපුර ඇති පාවහන් වලින්, ඒවා එකතු කිරීමෙන් නිදහස්
වන්න. මෙලෙසින් කතා කළ හැකි දැය අපමණ නොවේද? තින් මේවා අඩු තරමින්
මෙසේවත් නොකරනතාක්, ඔබ සිතේ බැඳී ඇති තණ්හාවෙන්, ඇලීමෙන් ඔබට කිසිදාක
සුළුවෙන් හෝ ගැලවී ගත නොහැකි බව මේ මොහොතෙහි හෝ වටහා ගන්න.
ඔබගේ බුදු කුටියට යන්න. එතැන ඇති අපිරිසුදුතාව ඇස් දෙකෙන් පමණක් නොව
සිතෙන් ද දකින්න. හඳුන් කූරෙන් වැටෙන අළු, ගිනිකූරු කොට පමණක් නොව,
මෙතෙක් පාවිච්චි කළ ගිනිපෙට්ටි පවා ඔබ එකතු කර ඇත. ලෝබ නැතිව ඒවා විසි
කර දමන්න. බුදුපිළිමය අපිරිසුදු තැනක වඩා හිඳුවා වන්දනා කරනවාට වඩා ඒ
වන්දනාව නවතා බුදුහිමියන්ට ගෞරවයෙන් යුතුව සිතෙන් වන්දනා කරන්න.
ඔබ පිරිසුදුකම සුරකින්නේ ඔබ වෙනුවෙන්ම නොවේ. එම ප්‍රසන්න දැකුමෙන්
සුවපත් වන අන් සුවහසක් සිත් අරභයා ය. ඔබට හිංසා නොදෙන, ඔබ සතුටෙන් තබන
අයට කෘතවේදීත්වය සලසනු සඳහා ය. පිළිවෙළකට ඇඳීම ද මෝස්තරයක් නො වේ.
අවබෝධය යනු සසර කලකිරීම නොවන බව දැනගන්න. ගිහි ජීවිතය හසුරුවාගෙන
ජීවිතය ජය ගැනීම යනු එයයි.
හොඳ පවා රැස් නොකර අන් අය වෙනුවෙන් බෙදා හරින්න. අප දුන් දෙය සිහිකර
ගත් අය අපට පින් පමුණුවාවී. එතෙක් ඉවසන්න.
ඔබ බුදුන් පුදන්නේ ඔබට ලබා ගන්නට ඇති භෞතික සැප සම්පත් නිසා නොවන්නේ ය.
දහමින් ලද මඟ පෙන්වීමෙන් ඔබ ලද ආලෝකයට කෘතඥතාවය දැක්වීම සඳහා ය. මෙම
කරුණු කාරණා සිහි නුවණින් තෝරා බේරාගෙන, ජීවිතය සාර්ථක කර ගැනීමට මෙය
කියැවූ ඔබට උතුම් වූ නැණැස, පැණැස පහළ වේවා! |