UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දේශනාව

ආලෝකයෙන් ආලෝකයට

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

චත්තාරො මෙ මහාරාජ පුග්ගලා
සන්තො සංවිජ්ජමානා ලෝකස්මිං
කතමේ චත්තාරො ? තමො තමපරායණෝ
තමෝ ජෝති පරායණෝ
ජෝති තම පරායණෝ
ජෝති ජෝති පරායණෝති
(සංයුත්ත නිකාය , කෝසල වග්ග පුග්ගල සූත්‍රය )

පින්වත්නි,

බුදුරජාණන් වහන්සේ සැවත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ වසන සමයෙහි දී කොසොල් මහරජතුමන් සමග සාකච්ඡාවක් කළා. එහි දී බුදුරජාණන් වහන්සේ විසින් කළ සූත්‍ර දේශනාවක කොටසක් මා මේ ධර්මදේශනාවේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් කළේ “ පුග්ගල සූත්‍රය” නමින් හැඳින්වෙන මේ සූත්‍රය මගින්. මේ ලෝකයෙහි සිටින පුද්ගලයින් හතර දෙනෙකු පිළිබඳව ප්‍රකාශ වෙනවා.

කවුද මේ ප්‍රද්ගලයන් සතර දෙනා තමොතමපරායණො , අඳුරෙන් අඳුරට යන පුද්ගලයා, තමොජෝතිපරායණෝ , අඳුරෙන් එළියට යන පුද්ගලයා ජොතිජෝතිපරායණෝ එළියෙන් අඳුරට සහ එළියෙන් එළියට යන පුද්ගලයා , මෙහි හැඳින්වෙන පළමු පුද්ගලයාගේ ලක්‍ෂණ මොනවාද ? පින්වත්නි ඇතම් අය, අකුසල කර්ම නිසා ඉතා දුක්ඛිතව උපදිනව. කන්න අඳින්න නැති ඔවුන්ට ගේ දොර වැනි වස්තු සම්පත් කිසිවත් නැතිව, විවිධ රෝගාබාධවලටත් විවිධාකාර ජීවන ගැටලු හා ප්‍රශ්න වලින්ද පීඩිතව ජීවත් වනවා. එසේම, භෞතික අංශයෙන් මෙන්ම ,අධ්‍යාත්මික අංශයෙන්ද පිරිහී ඇති ඔවුන්, තිදොරින්ම වැරැදි ක්‍රියාවල යෙදෙනවා.

මිනිසුන්ට නොගැලපෙන පහත් ගති ලක්‍ෂණ වලින් යුක්තව පව්කාර ආකාරයෙන් තමයි ජීවත් වන්නේ. ඔවුන් ජීවත් වන ඒ තත්වය තමයි අඳුරට උපමා කරන්නේ. අඳුරේ ඉන්න ඔවුන් එයින් එළියට එන්න හිතන්නේ නෑ. තම තමන් සිටින තත්වයේම අනාගතය කිසිදින ආලෝකයක් කරා ගමන් කරන්නේ නෑ. අඳුරේ සිටින ඔවුන්ට හිමිවන්නේ අඳුරමයි.

දෙවන පුද්ගලයා තමයි අඳුරෙන් එළියට යන පුද්ගලයා අකුසල කර්ම නිසා දුක්ඛිතව උපදින ඇතම් පුද්ගලයින්, තමන් සිටින දුක්ඛිත තත්වය පිළිබඳව තේරුම් ගන්නට උත්සාහ කරනවා. යහපත් දේ ඉගෙන ගැනීමෙන් යහපත් ආශ්‍රයෙන්, ධර්මශ්‍රවණයෙන් ජීවිතයේ අඳුරුපැත්ත අවබෝධ කරගෙන එම තත්වයෙන් කෙසේ හෝ ඉවත් වෙන්නට සිතන ඔවුන්, මහත් සේ වීර්යවන්ත වනවා.

ඉමහත් උත්සාහයෙන් ඉගෙන ගෙන, එසේම ධන ධාන්‍ය වස්තු හරි හම්බ කරගෙන ජීවිත සුඛිත මුදිත කරගන්න අය සමාජයේ දකින්න පුළුවන්. නූගතුන් අතර ඉපිද වූවත් උත්සාහයෙන් උගතුන් වූ අය දකින්ට පු‍්‍රළුවන්. ඉතා දුප්පත්ව ඉපිද මහත් වෙහෙස දරා ධනවත් වූ අය දකින්න පුළුවන්. එවැනි පුද්ගලයින් අඳුරෙන එළියට යන පුද්ගලයින් ගණයටයි ගැනෙන්නේ.

පසුගිය ආත්මවල කළ කුසල කර්ම නිසා සමහර පුද්ගලයින් උපතින්ම ධනවත් බලවත්, එසේම උගත් රූප සම්පත්තියෙන් පවා අගතැන්පත් වන්න පුළුවන්. එවැනි අය ප්‍රභාමත් ජීවිත ගත කරන අයයි. ඔවුන් ආලෝකයේ සිටින අය ලෙස මේ සූත්‍රයේ සඳහන් වනවා. එසේ උපදින සමහරුන්, විවිධ වැරැදි ක්‍රියා සහිත ඇවතුම් පැවැතුම් නිසා පිරිහීමට පත් වනවා. මේ සඳහා , සුරාව, සුදුව ,දුම්වැටිය , පාපමිත්‍ර සේවනය, ලෝභකම, ඊර්ෂ්‍යාව ආත්මාර්ථකාමීත්වය , මාන්නය වැනි තත්වයන් හේතු වනවා. මෙවැනි පුරුදු හා ගති ලක්‍ෂණ වලට හුරුවෙන කවුරුන්ට වුවද දියුණුව කරා යාමට නොහැකියි. ඔවුන් ලබන ලබන දේ නැති කර ගන්නවා. එසේ කර ගත් අය ඕනෑ තරම් සමාජයේ අපට දකින්නට පුළුවන්.

මේ අයුරින් පින් ඇතිව ඉපදී තමන් ලැබූ පිනැති ජීවිතවල අගය තේරුම් නොගෙන, ජීවිත අවාසනාවන්ත කරගන්නා අය එළියෙන් අඳුරට යන පුද්ගල කණාඩායමට අයත් වනවා. එවැනි අයගේ ජීවිත මෙලොව පමණක් නොව පරලොවක් අඳුරු වෙනවා.

සිව්වන පුද්ගලයා එළියෙන් එළියට යන්නා. ඔවුන් අයත්වන කණ්ඩායම සැමවිටම පින්බර ජීවිත ගත කරමින්, තව තවත් එම ජීවිත උසස් කර ගන්න උත්සාහ දරනවා.

ගුණ නැණ දෙකින් යුත් අය, තව තවත් එම තත්වයන් වර්ධනය කර ගන්නත් උත්සාහ කරන අතර, තම තමන් ලැබූ මිනිසත් බවත්, පින්බර ජීවිතත් අගය කරමින්, වැඩි වැඩියෙන් ගුණ දහමට නැඹුරුව ක්‍රියා කරමින් උත්සාහ කරනවා. ජීවිත පරිහානිය කරා යොමුවන ක්‍රියා මාර්ග අනුගමනය නොකරන ඔවුන් සමස්ත ලෝකයටම හිතැතිව ක්‍රියා කරන්න උත්සාහ දරනවා. එනිසාම ඒ අය එළියෙන් එළියට යන පුද්ගලයින් ලෙස හැඳින්වෙනවා.

මෙලොව උපදින පුද්ගලයින් සමානකම්වලින් යුක්ත වන්නේ නෑ. විවිධ වෙනස් කම් ඔවුන් අතර දකින්නට පුළුවන්. වරක සුභ නමැති තරුණයකු බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා පුද්ගලයින්ගේ අසමානතාවලට හේතුව . එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා පුද්ගල අසමානතාවලට හේතුව කර්මය බව, අල්පේශාක්‍ය බව, විරූපීබව, නිරෝගී නොවීම, අඩු ආයුෂයෙන් මරණයට පත්වීම, මෝඩකම වැනි තත්වයන් අඳුරු පැත්තටයි සම්බන්ධ වන්නේ. ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත එළිය ඇති ආලෝකවත් පැත්තයි. මුලින් සඳහන් කළ අඳුරු පැතිවල සිටින යමෙක් අකුසල යන්හීම යෙදෙමින්, ක්‍රියා කරන්නේ නම් ඔහු සදාකල්ම එහිම සිටින්නෙක්. කිසිදා ආලෝකයක් සොයා නොයන්නෙක්. අ¼ඳුර තුළ සිටින කෙනකු එයින් මිදී, ජීවිතය සුඛිත මුදිත කරගන්නට උත්සාහ කරන්නේ නම් ඔහුට වාසනාවන්ත වූ ආලෝකවත් ජීවිතයක් ඇති කර ගැනීමට පුළුවනි. ධනවත් බව මහෝශාක්‍යබව මනාරූප සම්පත්තියකින් යුතුවීම නිරෝගීකම, දීර්ඝායුෂ විඳීම ඥානවන්තබව වැනි තත්වයන් හිමිකරගෙන උපන් අයෙක් එම තත්වයන් අගය කරමින් ඒවා ආරක්ෂා වන ලෙසත් එම තත්වයන් තව තවත් වැඩි දුයුණුවන ලෙසත් කටයුතු කරයි නම් ඔහුගේ ජීවිතය වඩ වඩාත් ආලෝකවත් වෙනව.

මේ සූත්‍රයට අනුව, බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ, අඳුරේම නො සිට එයි න් එළියට එන්න උත්සාහ කරන්න කියලයි. ආලෝකය ඇති ස්ථානය හැම අතින්ම හොඳයි. අවට ලෝකය මනා සේ පේන්නේ එවිටයි. කවුරුත් අඳුරින් අඳුරට යන්න හොඳ නෑ.එසේම ආලෝකය ඇති තැන සිටින අය එතැනින් අඳුර කරා යනවා නම් එය අඥාන ක්‍රියාවක්. වඩා වැදගත් වන්නේ ආලෝකයෙන් ආලෝකය කරා ගමන් කරන අයකු වීමයි. මොලොව පමණක් නොව පරලොවත්, සැපවත් කර ගැනීමට හැකි වන්නේ ආලෝකය තුළ සිටින අයටයි. එසේම අඳුරින් ආලෝකය සොයා යන අයටයි. එවිට දොලොව යහපත පමණක් නොව සංසාර විමුක්තිය වූ නිවන් සුවයද ඔබට හිමිවනවා. එනිසා පින්වත්නි අඳුරේ නොසිට, ආලෝකය සොයා යන්න ආලෝකයෙන් ආලෝකයට යන්න, ඒ සඳහා මේ උතුම් බුද්ධ දේශනාව උපයෝගී කර ගන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි.

ඉල් පුර පසළොස්වක

 
ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 23 වන දා සිකුරාදා අපරභාග
11.53 ට ලබයි.
24 වන දා සෙනසුරාදා
අපරභාග 08.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා සෙනසුරාදාය.


මීළඟ පෝය දෙසැම්බර්
1 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]