ගර්හරා
පොකුණ අසල දී
රත්නපුර
සිවංකර හිමි
සෝදණ්ඩ බ්‍රාහ්මණයා මේ වන්දනා ගමන පිටත් වූයේ මහත් ප්‍රීතියෙනි.
සැහැල්ලුවෙනි. ගෞරවය පෙරදැරි කර ගත් සිතිනි. පන්සියයක් පමණ ගෝල
පිරිසක්ද බමුණා සමඟ ගමන් කරමින් සිටිති. ඔවුන්ගේ ස්වභාවය සන්සුන්ය.
සංවරය. ගමන අරඹද්දී බමුණා තුළ වූ සන්සුන් ස්වභාවය ආපසු ලබා ගැනීමට බැරි
තරම් ඈතට පලා ගොසිනි.
ආරම්භයේ දී ගෝල පිරිස දිරිගන්වන්නට තරම් එඩිතර බවක් බමුණා තුළ විය. ඒ
ස්වභාවය ද ක්‍රම ක්‍රමයෙන් බමුණා කෙරෙන් ඈත් වෙමින් පවතී. මේ තත්ත්වයට
හේතු මොනවාද?
චම්පා නුවර ආශ්‍රිත සුන්දර වන ලැහැබෙහි පිහිටි ගර්හරා පොකුණ සදහම් අමා
දියෙන් උතුරා යන බව ඇසූ මොහොතේ, දහම් පිපාසය නිවාගනු සඳහා එදෙසට ඇදෙන
මහ පිරිස දුටු බමුණාගේ සිතෙහි ද මහත් ආවේගයක් පහළ විය.
සෝදණ්ඩ බමුණා ගර්හරා පොකුණ වෙතට යෑමට තීරණය කළ බව ඇසූ මොහොතෙහි ගෝල
පිරිස නොසන්සුන් වූහ. පසේනදි කොසොල් රජතුමාගෙන් පවා මහත් ගෞරවය ලබා
සිටින, කොසොල් රජතුමා විසින් පඬුරු කොට පුදන ලද චම්පා නගරයෙහි මහත් යස
ඉසුරින් වැජඹෙන කාගේත් ගෞරවයට පාත්‍රව සිටින සෝදණ්ඩ වැනි වැඩිමහලු
බ්‍රාහ්මණයෙක් යොවුන් වියේ පසුවන ශ්‍රමණ ගෞතමයන් වෙත යෑම කෙසේවත් සිදු
විය නොහැකි දෙයක් ලෙස ඔවුහු තර්ක කළහ.
ශ්‍රමණ ගෞතමයන් සෝදණ්ඩයන් බැහැදැකීමට එනවා විනා දෝදණ්ඩයන් ශ්‍රමණ
ගෞතමයන් වෙත යෑම බ්‍රාහ්මණයාගේ ගෞරවයට තරම් නොවේ.
ගෝලයන් තුළ පැවති හීනමානය දුරු කළ සෝදණ්ඩ බ්‍රාහ්මණයා ශ්‍රමණ ගෞතමයන්
තුළ පවතින නව අරහාදී බුදු ගුණ හා ප්‍රඥා මහිමය පහදා දෙමින් ශ්‍රමණ
ගෞතමයන් ගවු සිය ගණන් දුරක සිටිය ද මිල මුදල් වැය කර එහි ගියද යහපතක්
විනා අයහපතක් නොවන බව පැහැදිලි කළේය. එබස් ඇසූ ගෝල පිරිස නිහඬ වූහ.
ගර්හරා පොකුණ අසලට ළංවත්ම භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥා මහිමය අබියස තමා
කෙබඳු අසරණ තත්ත්වයකට ඇද වැටේදැයි බියක් බමුණා තුළ පහළ විය. තමාට මහත්
ගෞරවයෙන් පුදන ගෝල පිරිස් ඉදිරිපිට දී භාග්‍යවතුන් වහන්සේ අසන පැනයකට
පිළිතුරු දීමට තමා අසමත් වුවහොත් තමාගේ යසසට හා කීර්තියට නපුරක්වන බව
බමුණාට පැහැදිලිය.
බමුණා තුළ පැවති මානසික පීඩනය භාග්‍යවතුන් වහන්සේ ට රහසක් නොවීය.
පිළිසඳර කථාබහෙන් පසු ගෝල පිරිස පිරිවරා තමා අසල මිටි අසුනකට බර දුන්
සෝදණ්ඩ බ්‍රාහ්මණයා වෙතින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ විචාල සේක.
“. . . පින්වත් සෝදණ්ඩයෙනි, බ්‍රාහ්මණයකු වීමට පිරිය යුතු ගුණාංග
මොනවාද?”
තමාගේ සිතැඟි වටහා ගත් භාග්‍යවතුන් වහන්සේ යහපත් පැනයක් විචාලීම
පිළිබඳව බ‍්‍රාහ්මණයාගේ සිතේ මහත් පැහැදීමක් ඇති විය.
“. . . පින්වත් ශ්‍රමණ ගෞතමයනි, සත්වන මීමුතු පරපුර දක්වා මවු පිය
දෙපසින් පිරිසිදුවීම, ත්‍රිවේදයෙහි පරතෙරට ගිය අයෙක්වීම, මනා රූප
ශෝභාවෙන් යුක්තවීම, ශීලවන්තයකුවීම, ප්‍රඥාවන්තයකුවීම යන පස් ගුණයෙන්
සපිරි තැනැත්තට බ්‍රාහ්මණ යයි කියති.
සෝදණ්ඩයන්ගේ කීම පිළිගත් භාග්‍යවතුන් වහන්සේ එක එල්ලේම තම නේත්‍ර ආලෝකය
බ්‍රාහ්මණයා වෙත යොමු කරමින් මෙසේ ඇසූහ.
“. . . ඔය කියන ලද ගුණාංග පහෙන් එකක් ඉවත්කර දැමීමෙන් ඔහුගේ බ්‍රාහ්මණ
භාවයට හානියක් නොවේද?”
“නොවේය පින්වත් ගෞතමයන් වහන්ස, . . . .” වසඟයට හා ප්‍රසාදයට පත් සිතින්
යුතුව බ්‍රාහ්මණයා පැවසීය.
“රූප ශෝභාවෙන් කවර පලක්ද? එය අතහැර සෙසුු ගුණංග සතරින් පිරුණ තැනැත්තා
බ්‍රාහ්මණයෙක් වන්නේය.”
“ ඒ සතරින් එකක් හැරදමා ඉතිරි ගුණාංග තුනෙන් යුත් තැනැත්තාට බ්‍රාහ්මණ
යැයි කිව හැකිද?”
“හැකියි ගෞතමයන් වහන්ස, වේදය දැනීමෙන් ඇති ඵලය කුමක්ද? එය හැර දමා
ඉතිරි ගුණාංග තුනෙන් යුත් තැනැත්තාට බ්‍රාහ්මණ යැයි කිව හැකිය.”
“සෝදණ්ඩයෙනි, එයිනුත් එකක් අත්හැර ඉතිරි ගුණාංග දෙකින් යුත් තැනැත්තාට
බ්‍රාහ්මණ යැයි කිව නොහැකිද?”
“හැකියි ගෞතමයන් වහන්ස, ජාතිය කුමක් කරන්නද? එය අත්හල හැකිය. ශීලය හා
ප්‍රඥාව බ්‍රාහ්මණයකුවීමට සෑහෙයි.”
ඒ ඇසීමෙන් සෝදණ්ඩ බ්‍රාහ්මණයා කැටුව පැමිණි බමුණු පිරිස නොසන්සුන්
වන්නට විය. සෝදණ්ඩ තෙම බ්‍රාහ්මණ වර්ගයා පාවා දෙන්නේ යැයි නොසතුටක්
ඔවුන් තුළ ඇති විය.
“ශ්‍රේෂ්ඨ සෝදණ්ඩයෙනි, එසේ නොකියන්න. වර්ණය, වේදය, ජාතිය බැහැර
නොකරන්න. බ්‍රාහ්මණ වර්ගයා පාවා නොදෙන්න. ශ්‍රමණ ගෞතමයන්ගේ මතය පිළි
නොගන්න.”
එය ශ්‍රවණය කළ භාග්‍යවතුන් වහන්සේ බ්‍රාහ්මණ පිරිස දෙස බලා මෙසේ වදාළහ.
“පින්වත් බ්‍රාහ්මණයනි, සෝදණ්ඩ බ්‍රාහ්මණ තෙම නුවණැත්තෙක් නොවේ යැයි ද,
ශ්‍රමණ ගෞතමයන් හා වාද කිරීමට සමතෙක් නොවන්නේ යැයි ද නුඹලා සිතන්නේ
නම්, සෝදණ්ඩ බ්‍රාහ්මණ තෙම නිහඬ වේවා. නුඹලා සමග වාද කිරීමට
කැමැත්තෙමි.”
බමුණු පිරිස නිහඬ වූහ. සෝදණ්ඩ බ්‍රාහ්මණ තෙම මහත් ගෞරවයෙන් භාග්‍යවතුන්
වහන්සේට මෙසේ පැවසීය.
“පින්වත් ගෞතමයන් වහන්ස, ඔවුන්ට කරුණු වටහා දීමට මට අවසර දෙන්න.”
“ හිතවතුනි, මම වර්ණය, ජාතිය හෝ වේදය බැහැර නොකරමි.” එසේ කියමින් පිරිස
අතර සිටි මනා රූ සපුවෙන් හෙබි අන්ගන නමැති තරුණ බමුණා දෙස බැලීය.
“මගේ බෑණනුවන් වන මේ අන්ගන දුටුවාම නුඹලාට මොකද හිතෙන්නේ? ඔබ සැම
අතරින් ඔහු රූප සෝභාවෙන් දෙවැනි වන්නේ පින්වත් ශ්‍රමණ ගෞතමයන්ට පමණයි.
ඔහු වේදය පරතෙරට හැදෑරුවෙකි. ඔහුට වේදය ප්‍රගුණ කළේ මම වෙමි.
මවු පිය පරපුරින් ඔහුගේ සත්වන මීමුතු පරපුර දක්වා සුපිරිසිදුය. මගේ
බෑණනුවන් වුවද ප්‍රාණ ඝාතයේ යෙදෙන්නේ නම්, නොදුන් දෙය ගන්නේ නම්, පර
අඹුවන් කරා යන්නේ් නම්, මුසා බස් දොඩන්නේ නම්, සුරා සොඬෙක් වේ නම් රූප
ශෝභාවෙන් ඇති ඵලය කුමක්ද? වේදය දැනුමෙන් පිහිටක් වේද? ජාතිය කුමක්
කරන්නද? ශීලය හා ප්‍රඥාව තිබුණා නම් බ්‍රාහ්මණයෙකුවීමට ඒ නොසෑහේද?
සෑහේමය.”
බමුණු පිරිස මුවින් නොබැණ, නිහඬවම බලා සිටින අතර, භාගවතුන් වහන්සේ
සෝදණ්ඩයන්ගෙන් මෙසේ විමසූ සේක.
“පින්වත් සෝදණ්ඩයෙනි, මේ ගුණාංග දෙකින් එකක් අත්හැර එකක් රැක ගැනීමෙන්
බ්‍රාහ්මණයෙක් විය නොහැකිද?”
“පින්වත් ගෞතමයනි, එසේ කළ නොහැකිය. ශීලය ඇති තැන ප්‍රඥාව පිහිටයි.
ප්‍රඥාව ඇති කළ ශීලය රැකේ. මේ ගුණාංග දෙක වෙන් කළ නොහැකිය. අතින් අත
සෝදන්නා සේ, පයින් පය සෝදන්නා සේ ශීලයෙන් ප්‍රඥාවත්, ප්‍රඥාවෙන් ශීලයත්
පිරිසිදු වෙයි. ශීල ප්‍රඥාවෝ ලොව ඇති උතුම් ධර්මයෝය.”
උපේක්ෂා සහගත සිතින් යුතුව සෝදණ්ඩ බ්‍රාහ්මණයා වෙත දෙනෙත් යොමුුකර සිටි
භාග්‍යවතුන් වහන්සේ තව දුරටත් ඔහුගේ සිත පිරික්සා බලන අදහසින් මෙසේ
වදාළහ.
“එසේය පින්වත් බ්‍රාහ්මණය, ශීලය ප්‍රඥාවෙන් පිරිසිදු වෙයි. ප්‍රඥාව
ශීලයෙන් පිරිසිදු වෙයි. ශීලය පිහිටි තැන ප්‍රඥාව ඇත. ප්‍රඥාව පිහිටි
තැන ශීලය ඇත. ප්‍රඥාව හා ශීලය ලොව පවතින උතුම් ධර්මතාවන්ය. මේ ශීලය
කුමක්ද? කෙබඳු ද? ප්‍රඥාව කුමක්ද? කෙබඳුද?”
උල්පතක් සිඳී ගියා සේ සෝදණ්ඩ බ්‍රාහ්මණ තෙමේ නිහඬ විය. සිඳුන උල්පතෙන්
ජලය සොයන්නා සේ නිහඬව ඈත් මෑත් බැලූ ඔහු අනතුරුව මෙසේ පැවසීය.
“පින්වත් ගෞතමයනි, ශීල ප්‍රඥා ධර්මයන්ගේ වටිනාකම අපි විශ්වාස කළෙමු.
එහෙත් අර්ථය නොදැක සිටියෙමු. ශ්‍රමණ ගෞතමයෝ අප කෙරෙහි අනුකම්පා උපදවා
එහි අර්ථය වටහා දෙන සේක්වා.”
භාග්‍යවතුන් වහන්සේ වෙතින් ගලා ආ ශීල ප්‍රඥා දහම් අමා ජලය බමුණාගේ
සිඳුන උල්පත පුරවා උතුරා ගලා යන්නාක් බඳු විය.
“. . . පින්වත් බ්‍රාහ්මණය, දිළිඳු පැල්පතක උපත ලබා පැවිදි වූ ශීලවන්ත
පැවිද්දා රජ ඇමැතිවරුන් ගේ පවා පුද සත්කාරයට සුදුස්සෙකි. ඔහු ඉන්ද්‍රිය
සංවර ශීලයෙන් යුතු වෙයි. ඇස, කන, නැහැය, දිව, කය මනස යන ඉඳුරන්ට ගෝචර
වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම අරමුණු වලින් නොකැළඹෙන, අරමුණු
කෙරෙහි මුළා නොවන එළඹ සිටි සිහියෙන් හා නුවණින් යුතු වෙයි. චීවර
පිණ්ඩපාත සේනාසන හා ගිලන්පස තමා ලද පමණින් සෑහීමට පත් වෙයි.
නීවරණයත් දුරු කරමින් සිත එකඟ බවට පත්කර ගනිමින් බවුන් වඩන්නේ ප්‍රථම
ධ්‍යානය, දෙවන ධ්‍යානය, තෙවන ධ්‍යාය, සතරවන ධ්‍යානය ලබමින් පැවිදිකමේ
උතුම් සතුට මහඟු ඵලය විඳියි. එයින් පසු අරූප ධ්‍යාන සතර විඳිමින් සියලු
කලෙසුන් මඬිමින් නිවී සැනසිිලි සුවයෙන් කල් ගෙවයි.
ධ්‍යාන සුව විඳින ශීලවන්ත ප්‍රඥාවන්ත භික්ෂුව දිවකන් නුවණ ලබයි. පරහිත්
දන්නා නුවණ ලබයි. පෙර විසූ කඳ පිළිවෙළ දක්නා නුවණ ලබයි. ඉහත කී
සියල්ලටම වඩා උතුම් දිවැස් ඥාණය ලබයි.
ශීලවන්ත ප්‍රඥාවන්ත භික්ෂුව සියලු කෙලෙස් නසා රහත් බව නමැති උතුම් ඵලය
ලබයි. පින්වත් බ්‍රාහ්මණය, ශීලය හා ප්‍රඥාව මෙසේ යැයි අවබෝධ කර ගන්න.
එහි උතුම් ඵලය රහත් බව යැයි අවබෝධයට ගන්න.”
දහම් ගඟුලේ කිමිදෙමින් මරකත මැණික්වලට වඩා වටිනා උතුම් ධර්මතාවන්
පිළිබඳව ශ්‍රවණය කරමින් ප්‍රීති ප්‍රමෝදයට පත් සෝදණ්ඩ බ‍්‍රාහ්මණයා
තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත් විය.
මහත් ගෞරවයෙන් භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්කාර කළ ඔහු පසු දින දවල්
දානයට භික්ෂු සංඝයා සමග වඩින ලෙස ආරාධනා කර මෙතෙක් දරා සිටි මහත් බරෙන්
නිදහස්ව සැහැල්ලු සිතින් යුතුව ආපසු පියවර තැබීය. හැම පියවරක්ම
සැහැල්ලු විය. පාවී යන්නා බඳු විය. පිරිස ද නිහඬව නිසලව බමුණා අනුගමනය
කළේ නිහඬ බව මැකීමට අකැමැති වූවන් මෙනි. |