හෙළ සාහිත්‍යකරුවා ගේ
තෙරුවන් වන්දනාව
බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති,
ධර්මවේදී
නාලන්දේ විමලවංශ හිමි
අප ජීවත්වන ලෝකය ක්‍රම ක්‍රමයෙන් විද්‍යාව පැත්තෙන් දියුණුවට පත්වෙමින්
ඇත. මිනිසා සඳ තරණය කැර, අනතුරුව අභ්‍යවකාශයෙහි වෙනත් ග්‍රහලෝක තරණය
කිරීමට ද සැලසුම් සකස් කරමින් සිටියි. මිනිස් සුඛ විහරණය පතා විවිධ
මෙවලම් නිපදවමින් සිටින මෙම යුගයෙහි සාහිත්‍යය තුළින් සමාජයට මෙහෙයක්
සිදුවේදැ යි යමකුට ප්‍රශ්න කළ හැකිය. එහෙත් සාහිත්‍යයට සමාජයට අති
විශාල බලපෑමක් කැරෙන බව, අතීත සාහිත්‍යකරුවා ස්වකීය සාහිත්‍ය කරණය
මගින් සමාජයට කළ මෙහෙය විමසා බැලීමේ දී පසක් වේ. විද්‍යාව මගින් මිනිස්
සන්තතියයේ බාහිර දියුණුව සැලසෙන බව සත්‍ය වුවද, අධ්‍යාත්මික දියුණුව
සැලසෙනුයේ සාහිත්‍යය මගින් බව වටහා ගත් අතීත පැවිදි ගිහි උගතුන් විවිධ
ගැදි - පැදි සාහිත්‍ය ග්‍රන්ථ එළි දැක්වීමට යත්න දැරූහ. එහි
ප්‍රතිඵලයක් වශයෙන් වසර දහස් ගණනක් තුළ අපට සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ
රැසක උරුමය කීමට හැකියාව ලැබී ඇත.
හෙළ සාහිත්‍ය කෙතෙහි අග්‍රගණ්‍ය කෘතියකි ‘කාව්‍යශේඛරය’. තොටගමුවේ ශ්‍රී
රාහුල යතිවරයන් විසින් රචිත මෙය ආරම්භ කැරෙනුයේ තෙරුවන් ගුණ මෙනෙහි
කිරීමෙනි. ඒ බැව්,
“සිරි සරසවිය රස
සුබ තරගවතමින් රැස
රන්වණ ඹර නිවෙස
වඳිම් මුනි රජ සයුර සහ තොස”
මෙවැනි කවි තුනකින් තෙරුවන් ගුණ මෙනෙහි කැර ඇත. බු. ව. 1699
පරාක්‍රමබාහු රජ සමයෙහි “මොග්ගල්ලාන” නම් තෙරුන් විසින් ලියන ලද
“අභිධානප්‍රදීපිකාව“ නම් පාලි ග්‍රන්ථය පාලි භාෂාව හැදෑරීමේ දී අතිශය
ප්‍රයෝජනවත් වෙයි. එහි ආරම්භක ගාථාවෙන් මෙසේ දැක්වේ.
“තථාගතෝ යෝ කැරුණාකරෝ නරෝ
පයාත මොස්සජ්ජ සුඛප්පදං පදං
අකා පරත්ථං කලිසම්භවේ භවේ
නමාමිතං කේවල දුක්කර කරං”
කරුණාවට ආකරයක් වූ, ඒ බුදුරජාණන් වහන්සේ, සුවදායක වූ නිර්වාණය,
ක්ලේශයන්ට උපත වූ සසරෙහි දුක් සිඳ දමා, දුෂ්කර වූ ක්‍රියාවන් අනුන්
උදෙසා කරන ලද එම තථාගතයන් වහන්සේ නමදිමි” යනු එහි සාමාන්‍ය අර්ථයයි.
“සිද්ධාන්ත සංග්‍රහය” හෙවත් “සිදත් සඟරාව“ “වේදේහ හිමියන් විසින් රචිත
සිංහලයේ මහා ව්‍යාකරණ ග්‍රන්ථයයි. උන්වහන්සේ ග්‍රන්ථ ආරම්භයේ බුද්ධ
රත්නය සිහිපත් කැරෙනුයේ ;මලෙසය.
“මහද ගඳකිළි කර
සව්නේ ගෙවා දත් හට
දුහුණන් දැනුම් සඳහා
කරනෙමි සිත් සඟරා”
“සියල්ල දන්නා වූ බුදුරජාණන් වහන්සේට මගේ හදවත ගඳකිළියක් බවට පත්
කැරගෙන, දුහුනන් උදෙසා මෙම සිදත් සඟරාව කරමි” මෙමගින් කතුවරයාගේ අපමණ
බුදුබැතිය පෙන්නුම් කරයි. පාලි ව්‍යාකරණ ග්‍රන්ථයක් වන “බාලාවතාරය”
පාලි භාෂාව හදාරන කව්රුත් අතීතයේ මෙන් ම වර්තමානයේ ද එකසේ ප්‍රයෝජනයට
ගනිති. එම ග්‍රන්ථය සම්පාදනය කැරෙන කතුවරයා බුදුරජාණන් වහන්සේට තුන්
ආකාරයකින් වන්දනා කැරෙන බව පවසමින් ග්‍රන්ථය ආරම්භ කරයි.
“බුද්ධං තිධාහි වන්දිත්වා
බුද්ධංබුජ විලෝචනං
බාලාවතාරං භාසිස්සං
බාලානං බුද්ධි වුද්ධියා”
“පිපි නිලුපුල් වැනි ඇස් ඇති බුදුන් තුන් ආකාරයකින් වැඳ, බාලයන්ගේ නුවණ
වැඩීම පිණිස බාලාවතාරය කියන්නෙමි” යනු එහි අර්ථය වේ. 1 වන බුවනෙකබාහු
(1277 - 1288) යුගයෙහි රචනා කරන ලද ග්‍රන්ථයකි “ජිනචරිතය” මෙහි කතුවරයා
වන්නේ “වනරතන මේධංකර” නම් ස්වාමීන් වහන්සේය. බුද්ධ චරිතය වර්ණනා කිරීමේ
පරමාර්ථයෙන් ලියන ලද මෙහි ආරම්භක ගාථා තුනක් මගින් තෙරුවන් නමදියි.
“උත්තමං උත්තමංගේන
නමසිත්වා මහේසිනෝ
නිබ්බාන මධුදං පාද
පංකජං සජ්ජනාලිනං”
“සත්පුරුෂ නමැති මීමැස්සන්ට නිවන් නමැති මීපැණි දෙන්නා වූ, බුදුරජාණන්
වහන්සේගේ උතුම් වූ පා පියුම් හිසින් වැඳ” යනු මෙහි අර්ථය වේ. එසේම
ධර්මරාජ නමැති පර්වතයෙහි පහළ වූ ලෝකයෙහි මහා මෝහාන්ධකාරය නසන්නා වූ
ධර්මය - නමැති සූර්යයා වැඳ, සත්ත්වයන්ගේ සිත් නමැති විලෙහි හටගන්නා වූ
සතුට නමැති කුමුදු සැමදා සිල් නමැති කිරණින් බබළන්නා වූ සංඝ නමැති
චන්ද්‍රයා වැඳ” ආදී වශයෙන් රත්නත්‍රය වඳිමින් පොත ලිවීම ආරම්භ කරයි.
“සිංහල බෝධිවංසය” ලියූ විල්ගමුවේ මාහිමියන් එහි ආරම්භක ගාථාව වශයෙන්
යොදා ඇත්තේ,
“යස්සමූලේ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා
වන්දේතං බෝධිපාදපං”
යන ගාථාවයි. මෙකල බෝධිය වන්දනා කිරීමට යොදා ගෙන තිබෙන මෙම ගාථාවෙන්
ප්‍රකාශ වන්නේ බුද්ධ ගුණය පිළිබඳවයි. මෙලොව - පරලොව දියුණුවට අවශ්‍ය
උපදෙස් වලින් සමන්විත ග්‍රන්ථයකි “ලෝකෝපකාරය”. ශක වර්ෂ 1721 දී
තොටගමුව විහාර වාසී “රණස්ගල්ලේ ස්වාමීන්” විසින් රචනා කළැයි සැලැකෙන
මෙහි කතුවරයාගේ අසීමිත බුදු බැතිය පළවැනි කවියෙන්ම පැහැදිලි වේ.
“මුනිඳුට සරි කෙනෙක්
තුන් ලොවම නැති මුනි තුමකු මුත්
අපමණ තරු රැසින්
සඳට සරි තරුවක් නොමැති මෙනි”
බුදුවරයකු විනා බුදුන්ට සමාන වෙනත් කිසිවකු තුන් ලොවෙහි මැ නැත. තරු
කොපමණ තිබුණත්, සඳට සමාන තරුවක් නොමැති මෙනි, නීති ශාස්තයට අදාළ උපදෙස්
රැසකින් යුතු රසවත් කාව්‍ය ග්‍රන්ථයකි “සුභාෂිතය”. මෙය රචනා කළේ සීතාවක
යුගයෙහි විසූ “අලගියවන්න මුකවෙටි” තුමන් විසිනි.
“සත වෙත පත මෙත හස සෙව් පසිඳූ
අවනත සුර මත මිණි සර පුබුදූ
දිගු රතගිලි දළ පෙළ මොක් සුවඳ රැඳූ
සියපත සියපතයි සියපත නමදූ”
සත්ත්වයන් කෙරෙහි පැතුරුණු මෛත්‍රිය ඇති, සංඝයා නමැති හංසයන් ඇසුරු කළ,
වැඳීම පිණිස නැමුණු දෙවියන්ගේ හිස් මුදුනෙහි ඇති මැණික්වල රශ්මිය
නමැති විලෙහි පිපුණ දික් රතැඟිලි නමැති පෙති පෙළින් යුතු, නිවන් නැමති
සුවඳින් රැඳුනු, බුදුන් ගේ සිරිපා නමැති පියුම නමදින්න” යනුවෙන් බුදු
ගුණ වර්ණනා කරයි. බුදු ගුණ ගැයූ ගීතයක් වශයෙන් හැඳින්විය හැකි “බුදුගුණ
අලංකාරය” වීදාගම මෛත්‍රී හිමියන්ගේ කෘතියකි. එහි බුද්ධ රත්නය සිහි කැර
තිබෙන්නේ මෙලෙසය.
“කුලුණු මෙන් සත වෙත
පතළ නැණ සව් පද රුත
එළි කළ ලොවට සෙත
නිතොර නමදිව් මුනිඳු සරණත”
මෛත්‍රිය ඇති, පැතිර වූ නුවණක් ඇත්තා වූ, ලොවට සෙත සැලසූ බුදු
හිමියන්ගේ ශ්‍රී පාදය වඳිමි” යනු එහි අරුත වේ. ක්‍රි. ව. 1468 දී
වෑත්තෑවේ හිමියන් විසින් ලියන ලද “ගුත්තිල කාව්‍යය’’ අංග සම්පූර්ණ
කාව්‍ය ග්‍රන්ථයක් වශයෙන් සැලකේ. එහි තෙරුවන් වන්දනාව උදෙසා කවි තුනක්ම
ඇත.
“සියපින් සිරින් සරු
දෙතිස් ලකුණෙන් විසිතුරු
කෙලෙසුන් කෙරෙන් දුරු
වඳිම් මුනි උතුමන් තිලෝගුරු”
“වඳිම් අදරින් අනගි සදහම්
වඳිම් මහ සඟව මුණි නන්දන”
කර්තෘ අඥාත “රාජසිංහ වර්ණනාව“ නම් කෘතියේ බුදු ගුණ මෙනෙහි කැර ඇත්තේ
මෙසේය.
“මුනි ගුණ සිලිල කළ
පසඟ සඟතුරු වට කළ
මොක් දියත එළිය කළ
වඳිම් මුනි රජ සොමිදු සුල කළ”
දෙවන රාජසිංහ රජුගේ සළුවඩන නිලය දැරූ “විකුම්ඇදුරු” නම් කවියා විසින්
රචිත “මන්දාරම් පුවත” කාව්‍ය ග්‍රන්ථය ආරම්භ කරන්නේ මෙලෙසය.
“අමත සුව ගෙන දෙන
සුගත දම් සඟ තෙරුවන
ගුරු දෙගුරු සමගින
වඳිමු නිරතුරු නොමඳ බැතියෙන”
ජන හද ඇද බැඳ ගන්නා කාව්‍ය ග්‍රන්ථයකි “යසෝදරාවත” නම් කෘතිය. එය ආරම්භ
වන්නේ,
“සාරාසංක්‍ය කප් ලක්ෂය පෙරුම් පු රා
සොළසාසංක්‍ය කප් ලක්ෂය පෙරුම් පු රා
මෝරා පුබුදු මල ලෙස බුදුවී ලොව් තු රා”
ආදී වශයෙනි.
“පුරාණ තුන්සරණය’ කවි පොත එදා සමාජයේ කා අතරත් බෙහෙවින් ජනප්‍රිය කවි
පොතකි. එහි පළවැනි කවිය මෙසේ දැක්වේ.
“පියුම් පිට සිරි පා
සතුන් ගොඩලම් බල පා
විකුම් ජය තෙද පා
වඳිම් අදරින් මුනිඳු සිරි පා”
එදා සමාජයේ දරුවන්ගේ මූලික අධ්‍යාපනයේ දී උපයෝගී කැර ගත් පාඩම් පොතක්
වශයෙන් “වදන් කවිපොත” ගත හැකිය. එය ආරම්භ කැර ඇත්තේ ද තෙරුවන්
නැමදීමෙනි.
“පළමුව බුදුන් වැඳ
දෙවනුව දෙසූ දහම් වැඳ
මහ සඟ රුවන වැඳ
පටන් ගනිමුව ගණ දෙවිඳු වැඳ”
මෙවැනි නිදසුන් විශාල සංඛ්‍යාවක් හෙළ සාහිත්‍යය තුළින් උපුටා ගත හැකිය.
මෙයින් පැහැදිලි වන්නේ එදා හෙළ සාහිත්‍යකරුවාගේ අපමණ බුදු බැතියයි.
ඔහුගේ ප්‍රධාන අරමුණ වූවේ සාර ධර්ම පිරි සමාජයක් බිහි කිරීමයි. එය
කොතෙක් දුරට සාර්ථක වීද යනු පූර්වාපර ගැලපීමේ දී මැනවින් පසක් වේ. |