පත්තනික්කුජ්ජන
කර්මය යනු කුමක් ද?
නාලන්දේ විමලවංශ හිමි
‘පත්තනික්කුජ්ජන කර්මය’ යනු කුමක්ද? යන්න පැවිදි - ගිහි කවුරුත් දැනගෙන
සිටීම ශාසනික වශයෙන් ඉතාමත් වැදගත් ය. මෙය බුදුරජාණන් වහන්සේ විසින්
සංඝයාට අනුදැන වදාළ විනය ප්‍රඥප්තියක් වශයෙන් සැළකිය හැකි ය. බුද්ධ
කාලයේ මෙන්ම, අතීත ශ්‍රී ලාංකික ජන සමාජයේ ද මෙය ගිහියන් උදෙසා
ක්‍රියාත්මක වූ බරපතළ දඬුවමක් වශයෙන් පැවතින. කවදත් භික්ෂූන් වහන්සේලාට
කරදර හිරිහැර කරන, නින්දා අපහාස කරන, ගිහියෝ සමාජයේ ජීවත් වූහ. එහෙත්
තමන් වහන්සේලාට කොතෙක් අකටයුතු කම් කළත්, සංඝයා ඔවුන් සමග කළහයට
ඉදිරිපත් නොවූහ. කෝපයෙන් යුතුව ප්‍රතික්‍රියා කිරීමට ඉදිරිපත් නොවූහ.
සැළසුම් සහගත ලෙස එවැනි ගිහියන්ට එරෙහිව කටයුතු කිරීමට ඉදිරිපත් නොවූහ.
එවැන්නන්ට එරෙහිවැ විනයානුකූලව පියවර ගැනීමට හැකියාව තිබුනි.
‘පත්තනික්කුජ්ජන කර්මය’ යනු එවැනි විනයානුකූල දඬුවම් කිරීමේ ක්‍රියා
මාර්ගයකි.
සංඝයාට එරෙහිවැ අකටයුතුකම් කරන ගිහියන්ගේ තරාතිරම නොබලා මෙම විනය නීතිය
ක්‍රියාත්මක කළහ. ලක් ඉතිහාසයේ ඇතැම් රජ වරුන්ට ද භික්ෂූන් වහන්සේලා
විසින් මෙම දඬුවම ලබා දුන්හ. එක්තරා අවස්ථාවක ‘කාශ්‍යප’ රජතුමා
භික්ෂූන් වහන්සේලාගේ සිත් රිදවීම නිසා උන්වහන්සේලා රජුගේ දානය
ප්‍රතික්ෂේප කළහ. එතුමා විහාරයක් කරවා එය භික්ෂූන් වහන්සේලාට පූජා
කිරීමට ඉදිරිපත් විය. එහෙත් භික්ෂූන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළෙන්
විහාරයෙහි බුදු පිළිම වහන්සේට පූජා කළේය. ඇතැම් රජවරු , ඇමතිවරු,
නායකවරු මෙම දඬුවමට යටත් වූ විට, මහජන අපවාදයෙන් බේරීම සඳහා භික්ෂූන්
වහන්සේලාගෙන් සමාව ගත් අවස්ථා පිළිබඳ ලංකා ඉතිහාසයේ සඳහන් වේ.
ගිහියන් යම් කිසි වරදක් සිදු කළහොත් එය සඳහා භික්ෂූන් වහන්සේලා මෙම
දඬුවම ලබා දෙන ලදී. එනම් ඔවුන් පිළිගන්වන දානය නොපිළිගැනීමයි. දානය
පිළිගන්වන්නට පැමිණි පසු පාත්‍රය යටිකුරු කිරීම මෙයින් අදහස් කරයි. මෙය
ගිහියාට ලබාදෙන බරපතළ දඬුවමකි. එසේම මෙම දඬුවමට යටත් වූ පුද්ගලයාට
සමාජයෙන් බලවත් අපහාස උපහාස ලැබුනි. බුදුරජාණන් වහන්සේ මෙම දඬුවම
භික්ෂූන් වහන්සේලාට හඳුන්වා දුන්නේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටින
සමයේය.
‘අට්ඨිහි භික්ඛවේ අංගේහි සමන්නාගතස්ස උපාසකස්ස ආකකංමානෝ සංඝෝපත්තං
නික්කුජ්ජෙය්‍ය...’යනුවෙන් ‘මහණෙනි, කරුණු අටකින් යුත් පුද්ගලයාට සංඝයා
කැමති නම් පත්තනික්කුජ්ජන කර්මය කළ හැකිය’ යි දේශනා කළහ.
‘ භික්ඛූනං අලාභාය පරිසක්කති , භික්ඛූනං අනන්තාය පරිසක්කති , භික්ඛූනං
ආවාසාය පරිසක්කති, භික්ඛූනං අක්කෝසති පරිහාසති, භික්ඛු භික්ඛූහි
භේදේති, බුද්ධස්ස අවන්නං භාසති, ධම්මස්ස අවන්නං භාසති, සංඝස්ස අවන්නං
භාසති (අංගුත්තරනිකාය , අට්ඨක නිපාත) යනුවෙන් සඳහන් පරිදි කරුණු අටකදී
ගිහියන් උදෙසා මෙම දඬුවම පැනවීමට සංඝයාට හැකියාව ඇත. ඇතැම් උදවිය සංඝයා
ට ලැබෙන යම් යම් ලාභ ආදිය වැළැක්වීමට උත්සාය කරති. එසේ උත්සාහ කැරෙමින්
එම ලාභ වළක්වති. එසේ කිරීම විශාල වරදකි. එවැනි පුද්ගලයන්ට
පත්තනික්කුජ්ජන කර්මය කිරීමට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ. එසේම
යමෙක් සංඝයාට අනර්ථයක් කරයි නම් ඔහුට ද මෙම දඬුවම කි‍්‍රයාත්මක කළ
හැකිය. යමෙක් සංඝයා හෙලා දකිමින්, විහාරස්ථාන වලට හානි කිරීමට හෝ ඒවා
අත් පත් කැර ගැනීමට යත්න දරයි නම් ඔහුට විරුද්ධව මෙය ක්‍රියාත්මක කළ
හැකිය. එසේම යමෙක් සංඝයාට දෝෂාරෝපණය කැරැමින්, ආක්‍රෝශයෙන් කථා කරයිනම්
ඔහුට ද යම් කිසිවක් භික්ෂු සංඝයාට අපහාස කරයි නම් ඔහුට ද , යමෙක්
භික්ෂූන් වහන්සේ ඔවුනොවුන් භේද කිරීමට අසමගි කිරීමට කුමන්ත්‍රණකාරි ලෙස
ක්‍රියා කරයි නම් ඔහුට ද යමෙක් බුදුරජාණන් වහන්සේගේ අගුණ ප්‍රකාශ කරයි
ඔහු ට ධර්මයෙහි අගුණ ප්‍රකාශ කරයි නම් ඔහුට ද, සංඝයාගේ අගුණ ප්‍රකාශ
කරයි නම් ඔහු ට ද, යන මෙම වැරදි කරන ගිහියන් උදෙසා පත්තනික්කුජ්ජන
කර්මයෙන් දඬුවම් කිරීමට අනුදැන වදාරා ඇත.
වත්මන් සමාජයේ බොහෝ දෙනෙක් මේවා පිළිබඳ අනවබෝධයෙන් කටයුතු කැරෙති.
සාමාන්‍ය ජනයා කෙසේ වෙතත් ඇතැම් නායක නායිකාවන් පවා මෙම දඬුවමට
යටත්වීමට
සුදුසු වන අයුරින් කටයුතු කිරීම කනගාටුවට කරුණකි. ‘සංඝ’ යනු අතීත,
වර්තමාන, අනාගත කියන ත්‍රයි කාලික පිරිසකි. විනය නීති සමූහයකින් එකට
බැඳී සිටින පිරිසකි. එබැවින් සංඝයා අතර කාහට වූවද, කුමන පිරිසකට වූ ද
යමෙක් ඉහත සඳහන් එකද කරුණකින් වුව චෝදනා කරයි නම් හෙතෙම එම එක කරුණක්
වුව කරයි නම් ඔහු එය සමස්ත සංඝයා වෙත මැ කරන ලද වරදක් බවට පත් වේ.
සාංඝීක යන්නෙහි අර්ථයද එයම වෙයි. සඟ සතුව යමක් පූජා කළ විට එය සියලුම
සංඝයාට අයත් වේ. එබැවින් භික්‍ෂූන් වහන්සේලා විවේචනය කිරීමේ දී ගිහි
පින්වතුන් බෙහෙවින් ප්‍රවේශම් විය යුතු වෙයි. භික්‍ෂූන් වහන්සේලා ද සංඝ
සමාජය අපහාස, උපහාස, ආක්‍රෝශ පරිභවයන්ට ලක් නොවන අයුරින් කටයුතු කළ
යුතු වෙති. ශීලාදී සුධර්ම පිරිය යුතු වෙති.
සංඝයාගේ කැමැත්ත අනුව පාත්‍රය උඩුකුරු කිරීමේ බලය ද බුදුරජාණන් වහන්සේ
විසින් පෙන්වාදී ඇත්තාහ. ‘අට්ඨහි භික්ඛවේ අංගේහි සමන්තාගතස්ස උපාසකස්ස
ආකංකමානෝ සංඝෝ පත්තං උක්කුජ්ජෙය්‍ය..’ මහණෙනි, කරුණු අටකින් සමන්විත
උපාසකයාට කැමැතිවේනම් සංඝයා ‘පත්තඋක්කුජ්ජන කර්මය’ කරති. එම කරුණු අට
කෙටියෙන් සඳහන් කරන්නේ නම්, යම් කිසි උපාසකයකු සංඝයාට අලාභය පිණිස
උත්සාහ නොකරයි, භික්‍ෂූන්ට අනර්ථය පිණිස උත්සාහ නොකරයි, භික්‍ෂූන්ට
ආක්‍රෝශ නොකරයි, භික්‍ෂූන්ට පරිභව නොකරයි, භික්‍ෂූන් භික්‍ෂූන් හා
නොබිඳවයි, බුද්ධ රත්නයේ ගුණ කියයි, ධර්ම රත්නයේ ගුණ කියයි, සංඝ රත්නයේ
ගුණ කියයි, මෙවැනි පුද්ගලයන් කෙරෙහි, ‘පත්තඋක්කුජ්ජන කර්මය’ කළ හැකි ය.
එවැනි උදවිය පූජා කැරෙන දානය පිළිගත හැකි ය. පාත්‍රය උඩුකුරු කළ හැකි
ය.
‘අට්ඨිහි භික්ඛවේ ධම්මේහි සමන්තාගතස්ස භික්ඛුණෝ ආකංකමානා උපාසකං
අප්පසාදං පවේදෙය්‍යුං..’ (අංගුත්තර නිකාය – අට්ඨක නිපාතය) උපාසක වරුන්ට
ද භික්‍ෂූන් වහන්සේ කෙරෙහි අප්‍රසාදය පළ කිරීමේ හැකියාව ඇත. එහෙත්
හිතුමතේ, ආවාට ගියාට මෙවැනි විනිශ්චයන්ට එළඹිය නොහැකි බව කල්පනාවට ගත
යුතු ය. සංඝයා වෙනුවෙන් සම්පාදනය කැර තිබෙන ශාසනික කතිකාවක් අනුවැ, සංඝ
සභා වලින් ලබාදෙන විනිශ්චයන් අනුවැ, ගිහි පින්වතුන්ට භික්‍ෂූන් වහන්සේ
වෙත අප්‍රසාදය පළ කිරීමෙහි වරදක් නොමැති බව බුදුරජාණන් වහන්සේ විසින්
අනුදැන වදාළ මෙම නීති රීති මගින් පෙනෙයි. භික්‍ෂූන් වහන්සේට අප්‍රසාදය
පළ කළ හැකි කරුණු අටක් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා ඇත. එනම්,
කිසියම් භික්‍ෂුවක් ගිහියන්ට අලාභය පිණිස උත්සාහ කරයි. එසේම ගිහියන්ට
ආක්‍රෝශ කරයි. ගිහියන්ට පරිභව කරයි. ගිහියන් ගිහියන් හා බිඳුවයි. බුද්ධ
රත්නයේ අගුණ කියයි. ධම්ම රත්නයේ අගුණ කියයි. සංඝ රත්නයේ අගුණ කියයි.
භික්‍ෂූන් වහන්සේලාට නුසුදුසු ස්ථානවල සිටියි. මෙම කරුණු වලින් යුක්ත
භික්‍ෂුවකට අප්‍රසාදය පළ කිරීමේ අයිතියක් ගිහි පින්වතුන්ට තිබෙන බව
‘අප්පසාදප්පසාද’ සූත්‍රයේ දී බුදු හිමියන් විසින් අනුදැන වදාළහ. එසේම
ඉහත සඳහන් කරුණුවලින් දුරුව කටයුතු කැරෙන භික්‍ෂූන් වහන්සේලා වෙත
ප්‍රසාදය දැක්වීම සුදුසු බව පෙන්වා වදාළහ.
මෙම කරුණු වලට අමතරවැ, ‘පටිසාරනීයකර්ම’ වශයෙන් විනය විරෝධිවැ, අගෝචර
කටයුතු වල යෙදෙන ශ්‍රමණයන් කෙරෙහි සංඝයා විසින් දිය යුතු දඬුවම්
පිළිබඳව පෙන්වා ඇත. එනම් කිසියම් භික්‍ෂුවක් ගිහියන්ට අලාභය පිණිස
උත්සාහ කරයි නම්, අනර්ථය පිණිස උත්සාහ කරයි නම්, ආක්‍රෝශ කරයි නම්,
පරිභව කරයි නම්, ගිහියන් - ගිහියන් හා අසමඟ කරයි නම්, තුණුරුවන්ගේ අගුණ
ප්‍රකාශ කරයි නම්, මෙවැනි ශ්‍රමණයකුට සංඝයා කැමති නම් පටිසාරනීය කර්මය
කළ හැකි ය. එසේම ඉහත සඳහන් කරුණු වලින් වැළකී කටයුතු කරන ශ්‍රමණයන්ට
පටිසාරනීය කර්මය නොකළ යුතු ය. ඉහත දක්වන ලද පත්තනික්කුජ්ජන කර්මය වැනි
විනයානුකූල කටයුතු වලදී භික්‍ෂූන් වහන්සේගේ සමඟිය බෙහෙවින් වැදගත් වේ.
නොයෙකුත් පිල් වලට බෙදී සිටීම නිසා ගිහියන්ට (වැරදි කරන) එරෙහි එවැනි
විනයානුකූල කටයුතු කිරීමේ දුෂ්කරතාවයන් පැනනැගී ඇති බව පෙනෙයි.
භික්‍ෂූන් වහන්සේ පිරිසක් පත්තනික්කුජ්ජන කර්මය කැරෙන විට, තව
භික්‍ෂූන් වහන්සේලා පිරිසක් පත්තඋක්කුජ්ජන කර්මය කිරීමට සැදීපැහැදී
සිටින තත්ත්වයක් උද්ගතවැ ඇත. අතීතයේ පැවැති සංඝසාමග්ගිය නිසා, රජුන්ට
පවා එම දඬුවම් ලබාදීමට සංඝයාට හැකියාව තිබුණි. |